මුල් පිටුව

248 මහා මන්ධාතු ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කරුණා නිදාන වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි උකටළීවූ භික්ෂූ කෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්

එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ තෘෂ්ණා වසඟට සිවුරු හරිනට උත්සාහකරණ නමක් දැක ඒ නම ඇරගෙණ ගොස් සර්වඥයන් වහන්සේට දන් වන්නා ඇයි මේ මහණ නොකමැති පරිද්දෙන් ගෙනායේ කුමකටදැයි විචාරා එපවත් අසා මහණ තා විසින් සිවුරුහැර ගිහිගෙයි සිටත් තාගේ තෘෂ්ණාව පුරාගත එයිද රහත්ව තෘෂ්ණාව ක්‍ෂය කරතොත් මිසක් ගීහිගෙයිසිට තෘෂ්ණාව පුරා ගතඑයිද තා තිබා සතිස්ලක්ෂ දසදහස් තුන්සිය පණස් යොදුන් චක්‍රවාටගර්භයට ඒකාධිපත්‍ය රාජ්ජය හා තාරකාදිව්‍ය ලෝකයේ රාජ්ජය හා තව්තිසා භවනයෙහි ආඩ්ඩරාජ්ජයත් ඇතුළුවූ රාජ්ජ තුනක් සතිස්ශක්‍රකොණෙකුන්ගේ ආයුෂය නිමා වනතුරු රාජ්ජයකොට තමන්ගේ තෘෂ්ණාව පුරාගතනුහුනුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස ප්‍රථමකල්පයෙහි සූර්යපුත්‍රවූ මහාසම්මත නම් රජ්ජුරු කෙණෙකුන් ඇතිවූහ. ඔහුගේ පුත් වරරොජ නම් රජ්ජුරුකෙණෙකක් ඇති වූවාහ. ඔවුන් පුත් කල්‍යාණ නම් රජ්ජුරුකෙණෙක් ඇතිවූහ. ඔවුන් පුත් චර කල්‍යාණ නම් රජ්ජුරුකෙණෙක් ඇතිවූහ. ඔවුන් පුත් ඌපෝස්ථ නම් රජ්ජුරුකෙණෙක් ඇතිවූහ. ඒ රජ්ජුරුවන්ට පුත්ව මහාමන්ධාතු නම් රජ්ජුරුකෙණෙක් ඇතිවූහ. ඒ රජ්ජුරුවන් ආඥාවෙන් චක්‍රරත්නය හස්තිරත්නය අශ්වරත්නය හාසපති රත්නය පරිනායකරත්නය මාණීක්‍යරත්නය පුත්‍ර රත්නය ආදීවූ සප්ත රත්නයන් පහළ විය. සතිස්ලක්ෂ දසදහස් තුන්සිය පණස් යොදුන් චක්‍රවාට ගර්භයට ඒකාධිපත්‍යව රාජ්ජය කරන්නාවූ මහත්වූ ආඥාතේජස් ඇත්තාහ. වමත හකුළුවා දකුණතින් අත්පොලොසන් කරන්නා සත්රුවන් වැසි වස්නේය. මෙසේ වූ ආඥාසම්පන්න රජ්ජුරුවෝ ආයුස බොහෝ හෙයින් සුවාසුදහසක් අවුරුදු කුමාරකෙළි කෙළියාහ, සුවාසූ දහසක් අවුරුදු යුවරජ තනතුරෙහි සිටියාහ., සුවාසුදහසක් අවුරුදු රාජ්ජය කොට චක්‍රවර්තී රාජ්ජයෙහි කනස්සළුව උන්නාහ. එපවත් අමාත්‍යයෝ දැන රජ්ජුරුවන් වහන්සේ වික්‍ෂේපව උන්නේ ඇයිදැයි විචාරන්නා කුමක්ද මේ නියාවට සම්පත් හා ආශ්චර්යය ඇත තෙනකට ගොස් රාජ්ජය කරන්නා කැමැත්තෙමි, එසේවූ ස්ථානයක් මට කියවයි. කීහ.යහපතැයි කියා අමාත්‍යයෝ කියන්නාහූ මේ නියාවට සම්පත්තී හා පංචකාමයෙන් තාරකා දිව්‍යලෝකයෙහි වඩනේයයි කීහ. එවිට රජ්ජුරුවෝ යහපතැයි කීයා චක්‍රරත්නයට පැන් ඉස නැගී අමාත්‍යමණ්ඩලයා පිරිවරා වාතුම්හාරාජකයට ගියාහ. ඊවසන්නාවූ සතරවන් දෙවෙියෝත් රජ්ජුරුවන්ගේ ආඥාවෙන් ඉදිරියට අවුත් රජ්ජුරුවන් වහන්සේ කැන්දාගෙණ තමන් වාසස්ථානයට ඇරගෙණ ගියහ. එවිට රජ්ජුරුවෝ චාතුම්මහාරාජික දිව්‍යලෝකයෙහි නැතක්කාලයක් වාසය කොට එහි මදක්කල් වික්‍ෂේපව සතරවරම් දෙවියන් අතින් විචාරන්නාහූ මේ නියාවට සම්පත්තීයෙන් හා පංචකාමදැපයෙන් කොයි වඩීදැයි විචාරන්නා සතරවරම් දෙවියෝ කියන්නාහූ අපි නම් ශක්‍රදේවේන්ද්‍රයන්ගේ සේවකයෝය. ශක්‍රදේවේන්ද්‍රයන් වසන තව්තිසා දිව්‍යලෝකයෙහි සම්පත්තීන් හා පංචකාමයෙන් වැඩියයි කීහ. මහාමන්ධාතු රජ්ජුරුවෝ ඒ අසා චක්‍රරත්නයයෙහි පැන් ඉස සප්තරත්නය හා සමග තව්තිසා දිව්‍යලෝකයට ගියාහ. එවිට ශක්‍රයෝත් තමන්ගේ දිව්‍යසේනාව ඇරගෙණ රජ්ජුරුවන් කරා අවුත් රජ්ජුරුවන් තමන්ගේ ශක්‍රභවනයට ගියාහ. ශක්‍රයෝත් තමන්ගේ තව්තිසා දිව්‍යලෝකය සරියේ බෙදා අර්ධරාජ්‍යයක් දුන්හ.

ඒ දෙවියන්ගේ ආනුභාවයෙන් ඔහුගේ උස මහත හා දෙවියන්ගේ උස්මහත හා දෙවියන්ගේ ආත්මභාව නියාවට නිරිමිත විය. ශක්‍රයන් හා මහාමන්ධාතු රජ්ජුරුවන් එක්තැන උන්කලට වෙනස නම් ඇසපිය එළිමනිනා සෙස්ස එකසරිය, මේ නියායෙන් සතිස් ශක්‍රකෙණෙකුන්ගේ ආයුෂය යනතුරු රාජ්‍යකොට තම තෘෂ්ණාව අධිකසෙයින් විතර්කසිතක් සිතන්නාහූ කිමෙක්ද අධිරාජ්ජය කිම්ද ශක්‍රයන් මරා රාජ්‍යය කෙරෙමි සිතා එම ක්‍ෂණයෙහිම කයත් වයොවෘද්ධව දිව්‍යාත්මභාවය නැතිවී මනුෂ්‍යාත්ම භවය පහළවිය. එවිට මහාමන්ධාතු රජ්ජුරුවෝ දිව්‍යලෝකයෙන් බැස තමන්ගේ මගුල්උයනට බටහ. ඒ වෙලේ එකියන මගුල්උයනේ උයන්ගොව්වාත් මහාමන්ධාතු රජ්ජුරුවන් වහන්සේ නියාව දැන ආසනයක් පනවා නුවරට පලාගොස් නුවර රජකම් කරණ රජ්ජුරුවන් හා අමාත්‍යයෝ එතනට අවුත් රජ්ජුරුවන් වහන්සේ දැක නුඹවහන්සේ සවර්ගස්ථ වූ කල කුමක් කියාමෝදැයි කියන්නා එවිට කියනසේක් සතිස්ශක්‍ර කෙණෙකුක්ගේ ආයුෂවළදා මනුෂ්‍යභාවනයට අවුත් මළ මහාමන්ධාතු ජාතකය නිමවා වදාළ සේක. මේ බණ අවසානයෙහි එකියන භික්ෂූන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිතවූ සෝවාන් ඵලයෙහි පිහිටිසේක. එසමයෙහි මහාමන්ධාතුව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේක.