මුල් පිටුව

241 කපි ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සංසාර ඵලකවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වංචා ප්‍රයෝග දෙන්නා භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්,

වංචාප්‍රයෝග දන්නා භික්ෂූ කෙණෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේට දක්වන්නා මහණෙනි දැන්මතුනොවෙයි පෙරත් මූ වංචා ප්‍රයෝගකොට ගිණි තපින්ට උත්සාහකළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එක්තරා කෙළඹි පුත්‍රව ඉපිද තමන් ගේ බිරිඳ මළ පසු දරුවන් වඩාගෙණ වනාන්තරයට ගොස් සෘෂිප්‍රවෘජ්ජාවෙන් පැවිදිව තමන්ගේ පුතනුවන් මහණකොටගෙණ වාසය කරන්නාහ. එසමයෙහි වැස්සක් වසින්ට වන. එවිට එක්තරා වානරයෙක් වැස්සේ තෙමි තමාට සිත පිඩාව බලවත් හෙයින් තාපසයන්ගේ පන්සලටගොස් ගිණිතැප ගණිමියි සිතා මා නික්මිගියොත් වැද්දනොදෙති සිතා තාපසවේසයක් හැරගෙණයෙමි සිතා පුරාතන මළ තාපසකෙණෙකුන්ගේ අඳූන් දිවිසම ජටා ආදීවූ දෙය ඇඳ පෙරව අඬුගත් අත් ඇතිව පන්සල සමීපයෙහි සිටියේය. ඒ වෙලාවට බෝධිසත්වයෝ මැස්සපිට වැදහොත්තාහ. බෝධිසත්වයන්ගේ පය මැඩ මැඩ උන්නාවූ පුත්‍රයා තාපසවේසයෙන් සිටි වඳූරා දැක මූ තාපසකෙණෙකැයි සිතා පියාණන්ට කියන්නාහූ පියානන් වහන්ස ඉඳූරන් දැමුණු තාපස කෙණෙක් වැස්සේ තෙමි තෙමි ශිත පිඩා ඇතිව සිටිනාහ. එසේ වූ තාපසයන් වහන්සේ පන්සලට ගෙණ ගිණි තප්පවූකල නපුරුදැයි කිහ. බෝධිසත්වයෝ තාපසකෙණෙකුන් වහන්සේ වැඩි නියාවනැයි බිමට බැස බලා වඳූරා නියාව දැන පුතනුවන්ට කියන්නාහූ මුතුමූ ඉඳූරන් දැමූ තාපසකෙණෙක් නොවේය. මේතෙම වඳුරාය එසේ හෙයින් මුකෙරේ කරුණායෙන් මෙතනට ගෙන්වා ගිණිතැප්පුවෝ නම් මේ තෙමේ පන්සල ගිණිලායන්ටත් සපතැයි සිතා එතන තිබූ ගිණිපෙණල්ලක්බාලා ඌ භය ගන්වා එතනින් පහකොටපූවාහ. එකියන වානරයාත් එතැන්පටන් නොආයේය. බෝධිසත්වයෝත් පංචර්ධි අෂ්ටසමාපත්ති උපදවාගෙණ තමන් වහන්සේගේ පුතනුවන්දැටත් කිසුනුපිරියම් භාවනා උගන්වා නොපිරිහුනු ධ්‍යානයෙන් බඹලොව ගියාහයි වදාරා කපී ජාතකය නිමවා වදාළ සේකි. එසමයෙහි එකියන වඳූරානම් මේ වංචාප්‍රයෝග දන්නා භික්ෂූහුය. තාපස කුමාරයෝ නම් රාහුල කුමාරයෝය. තාපසව උපන්නෙමි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේකී.