මුල් පිටුව

236 මූලපරියාය ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සංසාර ප්‍රතිෂ්ඨාධාර වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පන්සියයක් බ්‍රාහමණ භික්ෂූන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

ත්‍රිවේදයෙන් පාරප්‍රාප්ත වූ බ්‍රාහ්මණයෝ පන්සියයක් බුද්ධශාසනයෙහි මහණව බුදුන්ගේ ත්‍රිපිටකය හදාරා ඒ බ්‍රාහ්මණ භික්ෂූන් වහන්සේ විසින් සර්වඥයන් දන්නා ත්‍රිපිටකය අප විසිනුත් දන්නාලදයි ඉතිකින් සර්වඥයන් වහන්සේට උපස්ථාන කිරීමෙන් කින්දැයි සිතා මානයක් උපදවා ආලිස්සම්වූ සේක. සර්වඥයෝත් ඒ දැන බ්‍රාහ්මණ භික්ෂූන් පන්සියයක් දෙනා වහන්සේට මූලපරියාය සුත්‍රයෙන් බණවදාරා පන්සියයක් දෙනා වහන්සේගේ මානගර්භය අරවා වදාළ සේක. මේ කථාව ධම්සභා මණ්ඩපයෙහි රැස්වූ භික්ෂූන් වහන්සේ කථාකොට කොට උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් මතු නොවෙයි පෙරත් මේ පන්සියයක් දෙනාගේ මානය බින්දෙම්වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේකී.

ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ දිසාපාමොක් ආචාරීව පන්සියයක් බ්‍රාහ්මණ මානවකයන් ඇරගෙණ අකුරුකරවා ත්‍රිවේදයෙහි පාරප්‍රාප්ත කළහ. තමන් දන්නා ශාස්ත්‍ර ඇම්ම නිපුණකෙරෙව්වාහ. එකියන බ්‍රාහමණ මානවකයෝ ඉතිකින් දිසාපාමොක් ආචාරීන්ට උපස්ථාන කිරීමෙන් කම්කිම්දැයි සිතා මානයක් උපදවාගෙණ ආලිස්සම්ව ඉන්නාසමයට දිසාපාමොක් ආචාරි දෙබර ගසක් වැතිරගෙණ උන්නාහ. අතවැස්සෝත් දෙබරගස නියොන් ගසා මේ කිහිරිගසසේ අරය නැතැයි කියා කීහ. දිසාපාමොක් ආචාරී මේ කීයේ මටයයි දැන කියන්නාහූ ප්‍රශ්නයක් කොට කියම්සිතා ගාථාවක් කිහ. ගාථාවේ අර්ථ කාලෝ අතීතනාගතවර්ථමාන සංඛ්‍යාත වූ කලය මෙන්, අන්ත හා ඒව තමා හා සමග සබ්බානි එවභූතානි, සියළුම සත්වයන් තම ඝසති අනුභව කරන්නේය කාලඝසො කාලය අනුභව කළාවූ යොගුතො යම්සත්වයෙක් ඇද්ද සෝ ඒ ක්‍ෂණශ්‍රවතෙමේ භූතපවනිං සත්වයාපචනය කරන්නාවූ හෙවත් සියළු සත්වයන් නසන්නාවූ කාලය පව් පාකකෙළෙයි හෙවත් නැසුයේය. යම් කාලයෙක් සියළු සත්වයන් තමා හා සමඟ නසානම් ඒ කාලය ක්‍ෂණා ශ්‍රවයන් වහන්සේ මතෙතහි නැවත උත්පත්තියක් නැතිහෙයින් නැසුවා නම් වන සේක. රහතන් වහන්සේ සකලකෙලාශයන් නසා රහත්වූ හෙයින් සත්වයන් විනාශකළාවූ කාලය ක්‍ෂයකළානම් වනසේකැයි කියා මේ ගාථාවේ අර්ථ මට සත්වෙනි දවසකින් කියවයි කීහ. එකියන ශිෂ්‍යයෝ යහපතැයි ආචාරීනි කියා වැඳ තමන්ගේ ගෙදරට ගොස් සත් දවසක් මුළුල්ලෙහි උත්සහකොට එහි අර්ථනොදැක ආචාරීන් කරා අවුත් අපට ඒ අර්ථය නොයෙදෙයි කීහ. එවිට දිසාපාමොක් ආචාරීන් තොපහැම තල්ගෙඩියේ ඉස්තබාගෙණ මා කිසි වකුත් නොදනිති කියා තොප කියනපමණක් විනා මෙපමණකුත් නොදනිති කියා නින්දාකළාහ. ඒකියන ශිෂ්‍යයෝ ආචාරීන් සමාකරවාගතැයි වදාරා මුලපරියාය ජාතකය නිමවා වදාළසේකී. එසමයෙහි එකියන අතවැස්සෝ නම් මේ බ්‍රාහ්මණ භික්ෂූහුය. එසමයෙහි දිසාපාමොක් ආචාරී නම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේකී.