මුල් පිටුව

191 වලාහක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කරුණානිධාන වූ සර්වඥයන් වහන්සේ ජේතවානාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා ස්ත්‍රියක් කෙරෙහි පිළිබඳ සිත් ඇති භික්ෂූන් කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

හේ කෙසේද යත්.

එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ ස්ත්‍රීයක් කෙරෙහි පිළිබඳ සිත් ඇතිව වාසය කෙරෙති සර්වඥයන් වහන්සේ ඒ අසා සැබෑද මහණ ස්ත්‍රියක් කෙරෙහි තා පිළිබඳ සිත් ඇත්තේදැයි විචාළ සේක. සැබැවයි ස්වාමීනි කියන්නා මහණ ස්ත්‍රීන් කෙරේ පිළිබඳවීමෙන් යකින්නන් අතට පැමිණ වෙළඳූ පන්සියයමෙන් දුකට පැමිණෙන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස තාම්බ්‍රපණ්දිපයෙහි තම්මැන්නා නුවර යක්ෂ පුරයක් මවාගෙන බොහෝ යකින්නෝ වාසය කරන්නාහ. ඒසමයෙහි ඒ යකින්නෝ තමන්ගේ තම්මැන්නාවට පඩව් පාරූ නැගී මනුෂ්‍යයන් ආකල උන් හා සමග වාසය කොට අනික් වෙළදකෙණෙකුන් නැව්නැගී ආකලට පළමු සිටියවුන් ඇසිල්ලෙකින්ම නාසා සිරගෙයි ලා උන් කන්නාහ. තම්මැන්නා ඉද්දට නැවෙක් නොආනම් නාගදිවයින පටන් කැළණිය දක්වා මේ අන්තරා කඩයේ කඩක්කරේ ඇවිද දුටු නැවෙක් ඇත්නම් අල්වා කන්නාහ. මේ නියායෙන් දවස් හරණා සමයෙහි වෙළෙන්දෝ පන්සියයෙක් නැව් නැගී යන්නාහූය තාම්බ්‍රපර්ණි දිවයිනට පාවශියහ. එවිට යකින්නෝ තම තමන්ගේ වාසස්ථානයට මනුෂ්‍යයන් ඇති ස්ථානයක් මෙන් වප් වැපිරීම් සිසෑම් හා බල්ලන් කුකුලන් ආදීවූවන්ගේ නොයෙක් වෙස් මවා පෑහ. මනුෂ්‍යයන් ඇති ගමෙකැයි සිතා ගොඩබැසපු කල්හි ඒ යකින්නෝ එතැනට අවුත් ඒ වෙළඳුන්ට කන බොන කැවිලි සලස්වා කා බී අන්තයෙහි කියන්නාහූ තොප හැම කොයිසිට අවුදැයි විචාරා ඉක්බිති ස්වාමිපුත්‍රයෝ වෙළඳාමට ගියාහ. දැන් තුන්අවුරුද්දක්නේ ආහ. එසේ හෙයින් තොප ඇමත් වෙළඳූන් හෙයින් අප ඇමට ස්වාමි පුත්‍රව ඉඳුවයි කිහ, ඒ නියාවටම ඒ යකින්නෝ තමන් භාවහාව දක්වා තමන් හැමට ලබාගෙන පන්සියයක් වෙළඳූන් තමන් ඇමට සලස්වා ගත්තාහ. නායක වෙළදාගේ භාර්යාවද රෑ පළාගොස් මිනිකා ඇවිදින් ස්වාමිපුත්‍රයා ලඟම හොත් වේලාවට යකින්න ඇඟ සිසිලස තිබූහෙයින් වෙළෙන්දා මේ කිමෙක්දෝහෝයි පරීක්ෂා කොට මිනි කන නියාව දැන පසුවදවස් උදෑසන වෙළෙදුන් පන්සියය හා සමග ශරීර කෘත්‍ය කරන්නට ගොසින් නායක වෙළදෙන්දා කියන්නේ එම්බල මුන් ඇමනම් යකින්නෝය. පළමු උන් පුරුෂයන් අප දැක කාපුහ. ඉනිබ්බේ පලායායුතු යයි කීහ. එවිට ඉන් දෙසිය පණසෙක් මේ කුමණ බසෙක්ද මෙසේවූ දිව්‍යාංගනාවන් හා සමාන ස්ත්‍රීයන් ඇරපියා අපි යානොහෙමැයි කියා රැඳුනාහ. දෙසියපණසෙක් අපි ගැලවීයන්නේ කෙසේදැයි සිත සිතා මුදු වැල්ලේ ඇවිදිනාහ එකලට බෝධිසත්වයන් වහන්සේ හිමාලය වනයෙහි අජානීය සෛන්ධව ඉපිද කවුඩුවන්ගේ පැහැය හා සමාන වූ මුහුණක් හා ඉන්ද්‍රනීල මාණික්‍යයමය වූ කෙස්වැටියක් හා පෙළපු පුළුන් හා සමාන ධවල වූ පෑයක් ඇතිව ආකාශයෙන් යන්නාවූ සෘද්ධි ඇතිව දවස් පතා තම්මැන්නාව සමීපයෙහි විලෙක සයංජාත ඇල් කා යනවිටෙක මා හා දඹදිවට යන්නෝ ඇද්දැයි අඬගා යන්නාහ. එසේ අඬගෑකලට ඒ මිනිස් දෙසියපණස එතැනට අවුත් අපි යම්හයි දොහොත් මුදුනේ තමාගෙන කීවාහ, එවිට බෝධිසත්වයෝ බිමට බැස පිටහිඳූව ගෙණ වල්ගසේ එල්ලනුන් වල්ගයේ එල්වාගෙණ සෙස්සන් ඔහුගේ ආනාභාවයෙන් ඇරගෙණ ආකාශයට නැගී දඹදිවට ගොස් උන් උන්ගේ වාසස්ථානයට සලස්වා බෝධිසත්වයෝ තමන්ගේ හිමාලයවනයට ගියාහ. සර්වඥයන් වහන්සේත් මහණෙනි යම් භික්ෂූනි කෙණෙක් උපාසක උපාසිකාකෙණෙක් සිව්වනක් පර්ෂිදෙන් යම්කෙණෙක් ස්ත්‍රීවිෂයෙහි ලෝහවූනම් පඤචවිධ වූ වදවිඳිනාහ. පඤ්චවිධ වූ වධය නම් කවරේද යත් ?. අත් කැපීම එකෙක, කන් නාසා කැපීම එකෙක මාපට ඇඟිල්ල කැපීම එකෙක උරය කැපීම එකෙක ඉස කැසීම එකෙක යන පඤචවිධ වූ වධ විදිනාහුය. නරකාදී වූ සතර අපායෙත් බොහෝ දුක් විඳිනා හයි වදාරා නැවත වදාරණ සර්වඥයන් වහන්සේ මහණෙනි යම්කෙණෙක් සර්වඥයන් වහන්සේගේ බස් නොඅසා ස්ත්‍රීවිෂයෙහි තමන් සිතූ සැටියේ වාසය කෙරෙන්නම් නායක වෙළෙන්දාගේ බස් නොඅසා යකින්නට ගොදුරුවූ වෙළදුන් දෙසියපණස හා සමවන්නාහ. යම් කෙණෙක් සර්වඥයන් වහන්සේගේ බස් ගිවිස එසේ වූ කටයුත්ත ඇරපුනම් අස්වසා නායක වෙළදුන්ගේ බස් ගිවිස ගැලවිගිය වෙළදුන් දෙසිය පණස හා සමවන්නායහි දිව්‍යලෝකයෙහි හා සොලොස් බඹ ලොවින් වින්දමනා සම්පත් විඳිනාහයි කියා අමාමහ නිවන් දැක්වීමෙන් මේ ධර්ම දේශනාව කුළුගන්වා මේ ජාතකය චතුසත්ත්‍යය ප්‍රකාශ කිරීමෙන් මේ ධර්මදේශනාව නිමවා වදාළ සේක. මේ ජාතකාවසානයෙහි ඒ භික්ෂූන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් එළයෙහි පිහිටි සේක. එසමයෙහි බෝධිසත්වයන් වහන්සේගේ අවවාද ගිවිස වෙළඳ පුත්‍රයෝ දෙසිය පණස නම් බුදු පිරිසය, අශ්වව උපන්නේ නම් ලොව්තුරා බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.