මුල් පිටුව

180 ගිජ්ඣ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තවද සමන්ත භද්‍ර වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි දෙමව්පියන්ට උපස්ථාන කරණ භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථමාන කථාව සාම ජාතකයෙහි විස්තර වශයෙන් දක්වන ලද, දෙමාපියන්ට උපස්ථානකරණ භික්ෂූවක් භික්ෂූන් දක්වන්නා මහණ ගිහින්ට උපස්ථාන කරන්නේ සැබෑදැයි විචාරන්නා සැබැව දෙමව්පියන්ට උපස්ථාන කෙරෙමි කී විසින් ඒ භික්ෂූන් වහන්සේට උපස්ථම්භව වදාරණ සර්වඥයන්වහන්සේ සාධු සාධු මහණ තා කළදෙය යහපත පෙරත් උත්තමයන් ගිහිසමයෙහි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ගිජ්ජකුඨ පර්වතයෙහි ගිජුලිහිණිව ඉපිද වෘද්ධ වූ දෙමව්පියන්ට උපස්ථාන කරණ සේක. එසමයෙහි වැසි සුලන් කාලය පැමිණියේය. ගිජුලිහිණියෝ එකසීම පර්වතයෙහි ඉඳගතනොහි අවුත් බරණැස්නුවර සමීපයෙහි පියාපත් තෙමී බරව වැටිගියහ. බරණැස් සිටානෝත් වැවට නාන්ටගොස් තෙමී වැටී වැදහොත් ගිජුලිහිනියන් දැක ගිනිගෙන්වා ගන ගිජු ලිහිණියන් පියාපත් තවා මළමීවුන් දමන තැනට මිනිසුන් යවා එතන තිබූ ගෝමස් ගෙන්වා ගිජුලිහිනියන් සතප්පවූහ. ඒ ගිජු ලිහිණියෝත් හිමකාලයෙහි සිටානන්ගේ අනුග්‍රහයෙන් සැපසේ වාසය කොට වැසි සුලන් පසුවූ කල්හි සැපසේ ගිජ්ජකූට පර්වතයට ගොස් උනුන් හා කැටිව සාකච්ජා කරන්නාහු බරණැස් සිටානන් විසින් අපට බොහෝ සංග්‍රහ කරණ ලද එහෙයින් අපිත් ඊට ප්‍රත්‍යුපකාර කරන්ට උවමැනවැයි සිතා අපි පළඳනාවක් පිළියක් ලදමෝ නම් සිටානන්ගේ ගෙයි එළම්හයි කියා කථාවක් කොට විථියේ රණක් රත්රනක් පිළියක් දුටුවු නම් වහා ඩැහැගෙණ ගොස් සිටානන්ගේ සඳල්ලේ එලන්නාහ. ඒ සිටානෝත් මේ වස්තුව එලන්නේ ගිජුලිහිණියෝයයි සිතා තමන්ගේ ගෙයි ඒ ඒ තැන දමන්නාහ. එවිට බොහෝ දෙනා තමන්ගේ වස්තුව ගිජුලිහිණියන් කොල්ලකන හෙයින් එපවත් ගොසින් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝත් එසේවීනම් ඉන් ගිජුලිහිණියෙකු අල්වයි කීහ. එවිට යහපතැයි කියා මල ආදීවූ දෙයින් අල්වන්ට උපාය කළහ. එවිට දෙමව්පියන්ට උපස්ථාන කරන්නාවූ ගිජු ලිහිණියා මළෙහි බැඳින, එවිට ඒ පුරුෂයා ගිජු ලිහිණියා අල්වා ගෙණ රජ්ජුරුවන් කරා ගියේය. එ වෙලාවට බරණැස් සිටාණෝත් ගිජු ලිහිණියන් ගෙණයන්නා දැක යම්සේ මුන් මරාපුනම් නපුරුයි සිතා එක්කම රජගෙට අවුත් වන්හ, එවිට රජ්ජුරුවෝත් ඇයි තොපි සම්පත් කොල්ලකන්නෝ ඇයි දැයි විචාළහ. එවිට සැබෑව ස්වාමිනි කී විසින් කවුරුන්ට දෙන්නටදැයි සම්පත් ඇර ගන්නෝයයි විචාරන්නා අපට බොහෝ උපකාරකළ විසින් ප්‍රත්‍යුපකරණ නිසා මේ සිටානන් වහන්සේට සම්පත් දෙම්මැයි කියන්නා එබසට සතුටුව තොපි ඇම සියක් යොත්නක් ඔබ්බේ තුබූ කුණු දකින තොපට මේ මලදැකගත නුහුණුවෝ ඇයිදැයි විචාළහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහු රජ්ජුරුවෙනි ගිජු ලිහිණියන් සියක්යොතකින් ඔබ්බේ තුබූ කුණුදකින්නේ සැබැව පෑමිනෙන්නා වූ විපත්තියට තුබූ මල හෙයින් දැනගත නොහෙන්නාහයි කීහ. එවිට රජුජුරුවෝ සිටානෙනි ගිජු ලිහිණියන් තොපට සම්පත් දුන්නෝ සැබෑදැයි විචාළ සේක. සැබැව දේවයන් වහන්ස ලිහිණියා ඇර වදාළමැනව මම උන් උන් ගේ සම්පත් උන් උන්ටම දුන්හයි වදාරා දෙකල් ගලපා ගිජ්ජ ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි බරණැස් රජ්ජුරුවා් නම් ආනන්ද ස්ථිවිරයයෝ බරණැස් සිටානන් නම් ශාරීපුත්ත ස්ථවිරයෝය.

දෙමව්පියන්ට උපස්ථාන කළාවූ ගිජු ලිහිණියා නම් බුදුවූ මම්මයි වදාළසේක. මේ බණ අවසානයේහිදී ඒ භික්ෂූන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන්ඵලයට පැමිණිසේක.