මුල් පිටුව

179 තින්ක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ශාක්‍ය කුල ලෙවනවූ සර්වඥයන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ප්‍රඥාපාරමිතාව අරභයා මේ ජාතකය දක්වන ලද

ඒ කෙසේද යත්

බෝධි ජාතකය, උම්මග්ග ජාතකය ආදීවූ දෙයෙහි ප්‍රඥා පාරමිතාව වර්ණනා කරන්නාක් මෙන් මේ ජාතකයෙහිත් සර්වඥයන් වහන්සේගේ ප්‍රඥාපාරමිතා වර්ණනාව කිය කියා වැඩ උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පුර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන් තිබා තිරිසන්ව උපන්සමයෙහිත්, තමන්ගේ ප්‍රඥා බලයෙන් බොහෝ දෙනා ගොඩලෑවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ අසූහාරදහසක් පමණ වදූරන්ට නායකව හිමාල වනයෙහි වසන්නාහ. සමහර කලෙක් මනුෂ්‍යපථයට අවුත් වන සමීපයෙහි විපිසරගමෙක වසන්නාහ. යහපත් ඵල පල්ලවයෙන් සම් පූර්ණ වූ තිඹිරි ගසෙක් ඇත මනුෂ්‍යයෝත් ඒ වනසමිපයෙහි ගමින් පලායන්නාහ. ඒ් අවස්ථාවට වඳූරෝ ගමට අවුත් තිඹිරි කා ඒ ගම වාසයකොට මනුෂ්‍යයන් එන අවස්ථාවට පෙරලා හිමාලය වනයට පලායන්නාහ. එක්සමයෙක මනුෂයෝත් ඒ ගමට බැස උණපත්තෙන් ගෙවල්සොයා උනපත්තෙන් ගෙවල් බිත්ති බැඳ, දොරලී දොරබලා ඒ ගම වාසය කරන්නාහ. එසමයෙහි ගම මධ්‍යයේ තිඹිරිගසක් ඵල්ලවයෙන් අතු කැඩීයන්නාසේ ඵලගෙණ සිටිනේය. එසමයෙහි වඳූරෝ සිතන්න හු තිඹිරිගසෙහි ඵල පල්ලවයෝ කීමෙන්දෝ මනුෂ්‍යයෝ ඇද්ද නැද්දෝහොයි සිතා පරීක්ෂා කරණ පිණිස තමන් ඇමදෝ මනුෂයෝ ඇද්ද නැද්දෝහෝයි සිතා පරීක්ෂා කරණ පිණිස තමන් ඇමදෙන වඳූරෙකු යවුහ. ඒ වඳුරාගොස් බලා එපවත් වඳූරන්ට කීහ. වඳූරෝ එපවත් අසා නායක වදූරු රජ්ජුරුවන් කරාගොස් දේවයන් වහන්ස අපගේ තිඹිරිගස ඵල පල්ලවයෙන් සම්පූර්ණය එසේ හෙයින් එතනට යායුතු යයි කීහ. එබස් වානර රජ්ජුරුවෝ අසා ඒ ගම මිනිස්සු ඇද්ද නැද්ද විචාරා මිනිස්සු ඇතැයි කියන්නා එසේ නම් තිඹිරිගස නිසා යන ගමන නොයම්හයි කීහ. එසේ තමන් කීවත් වඳුරෝ එකසීම එක්ව දේවයන් වහන්ස ගම සමීපයෙහි බැද්දේවල ඉඳ රැ මධ්‍යම වෙලාවට අපි ගොස් තිඹිරිකා එම්හයි කීහ. බොහෝ සේ කාරණා කියා වානර රජ්ජුරුවන් කැඳවාගෙණ හිමාලයවනයෙන් නික්ම ඒ ගම සමීපයෙහි ගල් පොත්තෙක රෑ පසළොස් පැය වනතුරු වැදහොත්තාහු නිදා මධ්‍යම රාත්‍රි වේලේ ගසට නැංගාහ. ඒ වෙලාවට එක් මිනිසෙක් ශරීර කෘත්‍යකරණු සඳහා පිටත්ව යමින් සිටියේ තිඹිරිගස බොහෝ වඳූරන් උන් නියාව දැක ගම මධ්‍යයෙහි සිට ගම ඇත්තන්ට ඇසෙන නියාවෙන් අඬගැසීය. ඒ අඬ අසා බොහෝ දෙන ආයුධ හා කැටමුගුරු ගත් අත් ඇතිව අවුත් ගසමුල වටකොටගෙණ පාන්වූවිට වඳූරන් මරම්හයි සන්නද්ධව ගෙණ සිටියාහ. ඒ වෙලාවට වඳූරෝ මනුෂ්‍යයන් දැක භයින් ත්‍රස්ථව අපට පැමිණියාවූ භය වානර රජ්ජුරුවන්ට කියම්හයි කියා රජ්ජුරුවන්ගේ ප්‍රතිශ්ඨාපන විනා අනික් ප්‍රතිෂ්ඨාවෙක් නැතැයි සිතා වානර රජ්ජුරුවන් ලඟට ගොස් දේවයන් වහන්ස, බොහෝ මනුෂ්‍යයෝ ආයුධ හා කැටමුගුරු ගත් අත් ඇතිව අප මරන්ට වටකොට ගත්තාහ. අප ගැලවීගන්ට නුඹ වහන්සේගේ ප්‍රතිෂ්ඨාවක් කිවමැනවයි වඳූරෝ එක්ව කීහ. එබස් බෝධිසත්වයෝ අසා තෙපි හැම නොබව මනුෂ්‍යයෝ ඔබ්බේ භයක් පැමිණි තැනකට පලායෙති තොප හැම නොබවයි කියා මිනිසුන් ඉඳිනා විදියේ ගිනි මොලවා කපුකටිනා මැහැල්ලක කමීපයට එකියන වඳූරා කුඩාකෙල්ලකු සේ අවුත් ගිනිපෙනෙල්ලක් ඇරගෙණ ගොසින් විථි ගිනිලාපීය. ඒ වෙලාවට ගිනි නිවන්ට මනුෂ්‍යයන් යාදී වඳූරෝ ගසින් බස් නාහු සේනක නම් වඳූරා එක තිඹිරිගෙඩියක් කඩාගෙණ බටහයි වදාරා මේ තින්දුක ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි වානර රජ්ජුරුවන්ට බෑනව උපන් සේනක නම් වඳූරා නම් මෙසමයෙහි මහානාම ශාක්‍ය රජ්ජුරුවෝය. වානර සමූහයා නම් බුදු පිරිසයයි. වානර රජව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.