මුල් පිටුව

177 මිත්තා මිත්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කරුණානිධාන වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි උපාධ්‍යයන් වහන්සේ කෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් බාල නමෙක් තමන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ කෙරේ විස්වාසිසේක මාකළ දෙයකට උරණ නොවනසේකැයි වාන් ලනලෙස පයියක් විදිනට රෙද්දක් ඇරගත්පසු එපවත් උපාධ්‍යායන් වහන්සේට කීසේක. උපාධ්‍යයායන් වහන්සේ මාගේ කඩ කුමකට ඇරගත්තුදැයි විචාරන්නා නුඹ වහන්සේ මා හා විශ්වාසය තකා ඇරගනිමි කියන්නා තොප හා මා හා කුමන විශ්වාස දැයි කියා අත්ලෙන් පාරකීපයක් ගැසුසේක. මේ කථාව ධම්සභා මණ්ඩපයෙහි ප්‍රකාශ විය. එබස් සර්වඥයන් වහන්සේ අසා මහණෙනි පළමුත් එහි භික්ෂූහූ කෝපිවූවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ කසීරට බ්‍රාහ්මණ කුලයක ඉපිද වැඩිවිය පැමිණ ගිහිගෙයි ආලයහැර හිමාලයවනයට වැද සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව බොහෝ තාපසවරුන්ට ගණශාස්තෘව වාසය කරන්නාහ. එසමයෙහි එක්තරා තාපසකෙණෙක් ඇත. ඒ තාපසයෝ කුඩා ඇතෙක් වඩති බොධි සත්වයෝ ඒ ඇතා වැඩීමෙන් බොහෝ උපද්‍රව සැලසෙයි ඇරපියවයි කිවත් ඇර පියානොහි පුත්‍ර ප්‍රේමයෙන් වඩා මුහුකෙරෙව්වාහ. එකියන ඇත් ත්‍රිමද හලිතවූ තැනැත්තේ තාපසයන් ඵලාපල ගෙණෙන්නට ගිය කීපදවසකින් ආතැනැත්තන් දැක අල්වාගෙණ මරා තළාපියා පලාගියෝය. බොහෝ් තාපසවරු ඒ තාපසයන්ට කළමනා ආදාහණකොට එපවත් බෝධිසත්වයන්ට කීහ. නැවත කියන්නාහූ ස්වාමීනි වෛර මිත්‍රයන් දැන ගන්නේ කෙසේදැයි කීහ. එවිට බෝධි සත්වයෝ කියන්නාහූ යම් අහිත මනුෂ්‍යකෙණෙකුන් දුටු වෙලේ පිළිසඳර කථා නොකෙරේද, සිනාවක් නොයේද, ඇස් දල්වා ප්‍රියව නොබලාද, දැක සතුටු නොවේද, යන මෙකී කාරණාවෙන් යුක්තවූ තැනැත්තේ වෛරීය. මෙකි කාරණා නොවඉන්නා තැනැත්තේ ප්‍රියකරුයයි බොහෝ තාපසවරුන්ට අවවාද කියා සතර බ්‍රහ්මවිහරණයෙන් බඹලොව ගියාහයි වදාරා මේ මිත්තා මිත්ත ජාතකය නිමවා වදාළ සේකී. එසමයෙහි ඇතා වැඩූ තාපසයෝ නම් අතවැසි භික්ෂූහුය, ඇතා නම් උපාධ්‍යායෝය, ගණශාස්තෘව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේකි.