මුල් පිටුව

484 චිත්ත සම්භුත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

අනාථ නාථ වූ සර්වඥ රාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක් මහා කාශ්‍යප හිමියන් සමඟ වසන දෙනමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ දෙනම ඉතා මිත්‍රව එකටම කල් ගත කරන්නේ ය. ගිහි කලද එසේමය. මොවුන් දෙදෙනාගේ විශ්වාස වන්තභාවය ගැන දිනක් දම්සභා මණ්ඩපයෙහි කථාවක් උපන් කල්හි එහි වැඩි බුදුරජානන් වහන්සේ මහනෙනි, මේ දෙනම පෙර ආත්ම කිහිපයක්ම මෙසේ විශ්වාසය නොහැර පැවැත්තේ වේදැයි ඉකුත් වත වදාළ සේක.

යටගිය දවස උදේනි නුවර අවන්ති නම් රජකෙනෙක් රාජ්‍යය කරන කල්හී ඒ නුවර සමීපයෙහි චණ්ඩාල කුලයෙහි උපන් චිත්ත, සම්භූත නම් මිත්‍රයෝ දෙදෙනෙක් වූහ. උන් දෙදෙනා වැඩි විය පැමිණ වංශධොවන නම් ශිල්පයක් ඉගෙන එකෙක් උතුරු වාසල් දොරද එකෙක් නැගෙනහිර වාසල් දොරද ශිල්ප දක්වමින් කල් යවති. එකල එනුවර යහපත් දැකීම මගුලැයි පිළිගත් දිට්ඨමංගලිකාවෝ ශිල්ප දක්වන චණ්ඩාල පුත්‍රයන් දෙදෙන මුහුණ බලා චණ්ඩාල පුත්‍රයන් අසා නුදුටුමනා දෙයක් දුටුම්හයි දොම්නස්ව සුවඳ පැනින් නා උයන් කෙළියට නොගොස් නතර වූහ. පිරිවර ජනයා චණ්ඩාලයන් නිසා අපට වූයේ බලවත් පාඩුවකැයි උන් දෙදෙනාට තලා ඉවත ඇද දමා ගියහ. ටික වේලාවකින් උන් දෙදෙන සිහි ලැබ අපට ගැහැට වූයේ හීන ජාතිය නිසා නේද ජාති සඟවා ශිල්ප ඉගෙන ගනිමුයි රහසින් බමුණු මානවකයන් දෙදෙනෙක් බැව් හඟවා තක්සලා නුවර දිසාපාමොක් ඇදුරන් වෙත ගොස් ශිල්ප උගන්ට පටන් ගත්හ. එකල චණ්ඩාලයෝ දෙදෙනෙක් ජාති සඟවා ශිල්ප උගනිතියි මුළු දඹදිව ප්‍රසිද්ධ විය. ඔවුන් දෙදෙනාගෙන් චිත්ත පණ්ඩිතයෝ වහා ශිල්ප නිම විය. දිනක් ගම්වැසි පුරුෂයෙක් බමුණන්ට දනක් දෙමියි කියා ආචාරීන්ට ආරාධනාවක් ලැබුණේ කලින් දින වර්ෂාව ඇති වූ හෙයින් තමාට එහි යා නොහැකිව චිත්ත පණ්ඩිතයන් අමතා සෙසු මානවකයන් කැටුව එහි ගොස් දන් වළදා යාග කොට අපටද අහරක් ගෙන එවයි නියම කළේය. ඒ මිනිස්සු උණු කිරිබත් තලිවල දමා බමුණන් ලඟ නිවෙන්ට තිබූහ. සම්භූත කුමාරයා කෑමෙහි ඉතා ගිජු හෙයින් ඉවසාගත නොහී උණු කිරිබත් ගුලියක් මුවෙහි ඔබා ගත්තේ ය. දිව හා තල්ල දා ගියේය. සිහිය එළවා ගත නොහැකි වූ ඔහු චිත්ත පණ්ඩිතයන් මුහුණ බලා චණ්ඩාල භාෂාවෙන් එළු යයි යන බසක් කීයේය. චිත්ත පණ්ඩිතයෝත් ඊටම සරි බසක් ගැලපීය. එකෙනෙහි සෙසු පණ්ඩිතයෝ උන් මුහුණ බලා මේ කුමන භාෂාවක්දැයි විචාළාහ. චිත්ත පණ්ඩිත තෙම අභිවෘද්ධි වේවායි යන මංගල වචනයකැයි කීයේය. එසේ වුවත් සෙසු මානවකයෝ සාකච්ඡා කොට චණ්ඩාල භාෂාවයයි දැන බොල දුෂ්ඨ වූ චණ්ඩාලයෙනි බ්‍රාහ්මණයයි කියා අපට වංචා කළේ වේදැයි කිපී අතින් පයින් තලා දුර්වල කළහ. එක් සත්පුරුෂයෙක් ඔවුන් වළකා තොපගේ ජාති නිසා පැමිණි දෝෂයකි. මතු මෙබන්දක් නොකොට තපස් කොට ජීවත් වෙවයි ඔවුන් යවා ආචාරීන්ටද එය නොහඟවා උන්හ. චණ්ඩාලයෝ දෙදෙන වලට වැද සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව ටික දිනකින් මිය ගොස් නෙරංජරා නම් ගංතෙර මෘග ධෙනුවක කුස පිළිසිඳ ගත්තාහ. මුව පැටැව් දෙදෙන එක්වම ඇවිදිමින් එකට කෙළෙමින් කල් යැවූහ. දිනක් වැද්දෙක් එකම ඊ පහරකින් මුව පැටව් දෙදෙනාම මරා දැමීය. ඉන් චුතව නර්මදා නදීතිරයෙහි උකුස් ධෙනුවක බඩ පිළිසිඳ එකට හැසිරෙන්නේ ඒ ආත්මයේද වැදි පුත්‍රයෙකුට අසුවිය. එකෙක් කොසඹෑ නුවර රජ්ජුරුවන්ගේ පුරෝහිත බමුණාට පුත්වද, එකෙක් උත්තර පංචාල නුවර රජ්ජුරුවන්ට පුත්වද උපන්නේය. උපන් දෙදෙනම ජාතිස්මරණඥාන ඇතිව සිටින්නාහ. රාජ පුත්‍රයා සතරවන ජාතිය දක්වා පමණක් දක්නේය. පුරෝහිත පුත්‍රයාට බොහෝ ජාති දැක්ක හැක. ඔහු වැඩිවිය පැමිණ සියළු නිමවා හිමවත් පෙදෙසට ගොස් පැවිදිව ධ්‍යාන උපදවා විසීය. රාජපුත්‍රයා පියාගේ ඇවෑමෙන් රාජ්‍යයට පැමිණ අභිෂේක දවස මහජනයා මැද උදන් අනනු වශයෙන් මංගල ගී දෙකක් කීයේය. සියළු නුවරවාසීහුද ගාන්ධර්වයෝද ඒ ගී ඉගෙන ගායනා කෙරෙති. දිනක් තාපසයන් වහන්සේ තම මිත්‍ර රාජපුත්‍රයා ගැන බලනුයේ බාල වයසින්ම රාජ්‍යයට පත් බැව් දැන දැන්ම දමනය කළ නොහැක්ක ඔහු මහළු වූ කල ඔහු කරා ගොස් බණ කියා හික්මවා මහණ කරවමියි සිතා පනස් අවුරුද්දක් කල් බලා හිඳ දිනක් අහසින් අවුත් රජ උයන මත්තෙහි රන්පිළිමයක් මෙන් හුන්නේය. එකෙනෙහි එක් ළදරුවෙක් ඉහත කී ගාථා දෙක කියමින් යන්නේය. තාපසයන් වහන්සේ ඒ ළදරුවා ළගට කැඳවා මේ කුමන ගාථාවක් දැයි විචාරා දැන තොපගේ රජ්ජුරුවන්ගේ ගීයට ප්‍රතිඋත්තර ගීයක් කියන කෙනෙක් නැද්දැයි විචාරා නාතැයි කීකල එසේ නම් මේ ගීය කියව තොපට රජතුමා මහත් වස්තුව දෙන්නේයැයි කීයේය. ලදරුවාද ගෙට ගොස් මෑණියන්ට කියා මනාව සැරසී රජුන් ඉදිරියට ගොස් වැඳ අවසර ගෙන මහත් පිරිස මැද හිඳ ස්වාමීනි ඔබේ ගී දෙක ප්‍රථම වදාළ මැනවි. මාගේ ගීය පසුව කියමියි දැන්වීය.

රජතුමා- ස මෙලොව සියලු සත්වයන් විසින් කරන ලද සියළුම කුසලාකුසල කර්ම විපාක හිස් නොවී පල දෙන්නේය. මේ ජාතියට සතරවන ජාතියෙහි චණ්ඩාලව ඉපද රැකි සිල් බෙලෙන් මෙවැනි රජ සිරියකට පැමිණියෙමි. එබැවින් කළ කුසල් සියල්ලම පල ලද්දෙමි.

සස සැඩොල් කුලයෙහි ඉපිද එක්ව සිල් රැකි මාගේ මිත්‍ර චිත්ත පණ්ඩිතයන්ට කුමක්වීද ක්ලේශ වසඟවීද ඔහු කොයි ඉපදී ඇද්ද? යන අදහස් වලින් යුත් සර්ව නගරංසඵලං යන ගාථා දෙක ප්‍රකාශ කළහ. එවිට, ලදරුවා- කළ කුසලාකුසල දෙක පලදීම ඒකාන්තයයි තොප කීවේ සැබෑ වචනයක්මය. එසේ හෙයින් තොප රැකි සීලයේ බලයෙන් සම්භූත නම් රජව සැප විදින්නෙහිද එපරිද්දෙන් චිත්ත පණ්ඩිතයෝ යන නමින් ප්‍රසිද්ධව කාමයෙහි ආදීනව දැක සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව ධ්‍යානලාභීව දැප විඳිම්න් සිටින්නෙමි. එබැවින් අප දෙදෙනා සතර වන ජාතියෙහි කළ කුසල විපාකය විඳිම්න් සිටින්නෙමු. යන අර්තය ඇති ගීය කීයේය.

රජතුමා එබස් අසා තොප චිත්ත පණ්ඩිතයන්ගේ බෑණනුවන් වේදෝයි සතුටට පත්ව ධනයෙන් ආඪ්‍ය වූ ගම්වර සියයක් දී පිරිස පිරිවරා දී මනා වූ රථයකට නැඟී ගොස් උයන් දොර සමීපයෙහි රථය නවතා චිත්ත පණ්ඩිතයන් ලඟට ගොස් වැඳ තාපසයන් වහන්ස ඔබගේ ගීය අසා ප්‍රීති වීමි ඔබව දැන් දැකීමෙන් බොහෝ ලාභ ලද්දෙමියි. කියා එහිම නතරවන ලෙස ආයචනා කොට තම රාජ්‍යයෙන් භාගයක් පිළිගෙන සුවසේ වන්නැයි ආරාධනා කළේය. එවිට චිත්ත පණ්ඩිතයෝ සම්භූත රජ්ජුරුවෙනි, මම වස්තුව ප්‍රාර්ථනා නොකරමි. පැතිය යුත්තේ දුකින් ගැලවෙන ලෙසක්මයයි. කාමයෙහි ආදීනව දක්වා ධර්ම දේශනා කොට අහස් නැගී හිමාල වනයට වැඩි සේක. සම්භූත රජතුමා සසර කලකිරී තම වැඩමහළු පුත් කැඳවා රාජ්‍යය භාරදී හැමට අවවාද දී තපසට නික්ම ගියේය. චිත්ත පණ්ඩිතයන් වහන්සේ බොහෝ සෘෂි ගණයා පිරිවරා ඉදිරියට පැමිණ රජුන් කැඳවා ගෙන ගොස් කිසුණුපිරි යම් භාවනා උගන්වා ප්‍රවෘජ්‍යාවයට පත් කළහ. ඔහුද නොබෝ දිනකින් ධ්‍යානලාභී වූහ. දෙදෙනාම මිය ගොස් බඹ ලොව උපන්නාහ.

එසමයෙහි සම්භූත රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරයෝය. චිත්ත පණ්ඩිතයෝ නම් බුදුරජානන් වහන්සේ ය.