මුල් පිටුව

449 දසරථ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මේ ජාතකය ජේතවනාරාමයෙහි වසන්නාවු සුන්දර ගතියක් ඇති හෙයින් සුගත නම්වූ සර්වඥයන් වහන්සේ පියා ම ළ සෝකයෙන් අඬන්නාවු එක් කෙළෙඹි පුත්‍රයෙකු අරභයා වදාළසේක.

ඒ කෙසේද යත්

ඒ කෙළෙඹි පුත්‍රයා පියා මළකල්හි සෝකයෙහ් මඩනාලද්දේ කලමනා සියළු කර්මාන්ත හැර සොකයම අනුව පවත්නේය. සර්වඥයන් වහන්සේ අළුයම් වෙලෙහි මහා කරුණා සම්පත්තියෙන් නැගී ලොව බලාවදාරණ සේක් ඒ පුරුෂයාගේ ශෝතාපත්තිඵලයට උපනිශ්‍රය ඇතිනියාව දැන දෙවන දවස් උදෑසනම සැවැත් නුවර පිඬුසිඟා වළඳා කරණ ලද ආහාර කෘත්‍යය ඇති සේක් භික්‍ෂුන් වහන්සේ යවා එකම භික්ෂූකෙණෙකුන් කැඳවා කෙළෙමි පුත්‍රයාගේ ගෙට ගොස් ඔහු විසින් වැඳ එකත්පස්ව උන්කල්හි මිහිරිවූ කට හඬින් කථාකරණසේක් සෝකය කිම්ද උපාසකයයි වදාරා ඔහු විසින් එසේය ස්වාමිනි පියාකෙරහි කරණලද සෝකයෙන් මා පෙළෙන්නේයයි කී කල්හි එඹා උපාසකය පුරාතනයෙහි නුවනැත්තෝ අෂ්ටලෝක ධර්ම තත්වහෙයින් දන්නාහු පියානන් කළුරියකළ කල්හි ස්වල්ප මාත්‍රයකුත් සෝක නොකොළෝ වේදැයි වදාරා ඒ උපාසකයා විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර දසරථ නම් මහරජ්ජුරුකෙණෙකු අගති ගමනින් දුරුව දස රාජ ධර්මයෙන් රාජ්ජය කරන්නාහුය ඒ රජ්ජුරුවන්ගේ සොළොස් දහසක් පුරාගනාවන්ට නායක අග්‍රමහේසිකා බිසව් පුතුන් දෙදෙනෙකු හා එකම දියනි කෙණෙකුන් වැදුහ. ඔවුන් අතුරෙන් වැඩිමාළු පුතනුවෝ රාමපණ්ඩිත නම්වෙති, මලනුවෝ ලක්ෂමණ කුමාර නම් වෙති, දියනියෝ සිතාදේවින් වන්නාහ. මෙසේ වයස ගිය බිසව් කළුරියකළාහ එකල රජ්ජුරුවෝ බොහෝ සෝකයට පැමිණ අමාත්‍යයන් විසින් සන්හිදූවන ලද්දාවු බිසවුන්ගේ ආදාහන කෘත්‍යකරවා අනික් බිසෝකෙණෙකුන් අගමෙහෙසුන් තනතුරෙහි තිබූහ. එකල ඒ බිසව්ද රජ්ජුරුවන්ට ප්‍රිය වන්නාහුය මන වඩන්නාහු කල්යාමකින් දරුගැබක් ඇතිව පුතනුකෙණෙකුන් වැදුහ. ඒ කුමාරයන්ට භරත කුමාරයෝයයි නම් තුබුහ. එකල රජ්ජුරුවෝ පුත්‍ර සෙනෙහෙයන් බිසවුන්ට කියන්නාහු සොඳුර තොපට වරයක්දෙමි ගණුවයි කීහ. බිසව් වරගන්නො ්කුමාරයන් සත් අට ඇවිරිදි අවස්ථාවෙහි රජ්ජුරුවන් සමීපයට ගොස් දේවයන් වහන්ස නුඹ වහන්සේ විසින් මට වරයක් දෙන ලද්දේ වේද දැන් මට ඒ දුනමැනවයි කීහ. රජ්ජුරුවෝත් යහපත දේවින් ගණුවයි කීහ. එකල බිසව් කියන්නාහු දේවයන් වහන්ස නුඹ වහන්සේ විසින් මාගේ පුතනුවන්ට රාජ්ජය දුන මැනවැයි කීහ. එබසට රජ්ජුරුවෝ රැහැනිව අසුරගසා නැසීගියාව් චණ්ඩාලිය මාගේ පුත්‍රයෝ දෙදෙනෙක් ගිණිකලඳක්සේ දිලියෙන්නාවු ඔවුන් මරවා තිගේ පුතාට රාජ්ජය ඇරදෙනු කැමැත්තෙහිදැයි භය ගැන්වුහ. බිසව් භයපත්ව ශ්‍රියහන් ගබඩාවට වැද දෙවැනි දවසෙක නැවත රාජ්ජය ඉල්වන්නාහුය රජ්ජුරුවෝද බිසවුන්ට ඒ වරය නොදි සිතන්නාහු ගැනු නම් කෙළෙහිගුණ නොදන්නාහ මිත්‍රද්‍රෝහිය තෝ මාගේ නෑයෝ යයි කියා සොරපතක්ගෙණ අත්සල් හෝ දී මාගේ දරුවන් මරාපු නම් නපුරුයි සිතා කුමාරවරුන් දෙන්නා සමීපයට ගෙන්වා ඒ බව කුමාරවරුන්ට කියා දරුවනි තොපි මෙහි වසනකල අන්තරායෙක් වී නම් නපුරුයි තෙපි දුරුරටකට හෝ වලකට හෝ ගොස් මාගේ ඇවැමෙන් අවුදින් තොපගේ කුලසන්තක රාජ්‍යය ගණුවයි කියා ලක්ෂණ පාඨකයන් ගෙන්වා තමන්ගේ ආයුසංස්කාරට විචාරා ඉදිරියෙන් දොළොස් අවුරුද්දක් පවතීන්නේයයි අසා එඹා දරුවෙනි මට දොළොස් අවුරුද්දක් ගියකල අවුදින් සේසත් තන්වා රාජ්ජය කරවයි කීහ. කුමාරවරුන් යහපතැයි පිය රජ්ජුරුවන් වැඳ සමුගෙණ අඬඹීණ් වලපමින් ප්‍රාසාදයෙන් බටහ.

එකල සිතාදේවි මමත් බෑනන් වහන්සේලා කැටුව යෙමි කියා පියානන් වැඳ සමුගෙණ දඬමින් වලපමින් නික්මුණාහ. මෙසේ තුන් බිත්තෝම මහජනයා පිරිවරා නික්ම මහජනයා රඳවා අනුක්‍රමයෙන් හිමාලයට ගොස් සමුර්ඩිවූ ජලාශයෙන් ඇති සුලඟවු පලාඵලයෙන් ඇති ස්ථානයෙක්හි පන්සල් මවා පලාඵලයෙන් යැපෙමින් වාසය කරන්නාහුය. එකල ලක්ෂණපණ්ඩිතයෝ සීතාදේවින්ටද රාමපණ්ඩිතයන්ටද යාඥාකරන්නාහු නුඹ වහන්සේ අපට පිතෘපස්ථානයෙහි සිටිසේක. එසේහෙයින් ආශ්‍රමයෙහි නුඹ වහන්සේ රැදූන මැනව පලාඵල ගෙණහැර නුඹ වහන්සේ පෝෂ්‍යකරම්හයි ප්‍රතිඥා ගෙණ එදවස් පටන් ආශ්‍රමයෙහි රාම පණ්ඩිතයන් රඳවා තුමු දේවත් පලා ඵල ගෙණහැර පෝෂ්‍ය කරන්නාහ. මෙසේතුන්බිත්තෝම පලාපලයෙන් ජීවත්ව වසනකල දසරථ රජ්ජුරුවෝ පුත්‍රසේනහයෙන් පෙළෙමින්ම නවවෙනි අවුරුද්දෙහි කාල ක්‍රියා කළාහ. එකල බිසව් රජ්ජුරුවන් ආදාහන කරවා ඉක්බිති මාගේ පුතනුවන් භරත කුමාරයන් රාජාභිශේක කරන්නට වන්හ. එකල අමාත්‍යයෝ රාජ්‍යස්වාමිහු වල්හි වසන්නාහ එසේහෙයින් භරත කුමාරයන්ට රාජ්‍යය නොලැබෙයි වැලක්කාහ එකල භරත කුමාරයෝ මාගේ බෑනන් වලින් ගෙණවුත් අභිෂේක කරවමි පංචකකුධාභාණ්ඩය යනුත් ගෙන්වාගෙණ සිවුරඟසේනග ගෙණ රාමපණ්ඩිතයන් වසන තැන්ට ගොස් නුදුරු තෙනක කඳවුරුබැඳ අමාත්‍යයන් කීපදෙනෙකු හා සමග ලක්ෂණ කුමාරයන්ද සිතාදේවින්ද වල්ගිය වේලාවට ආශ්‍රමයට වැද පන්සල් දොර කඩ තබන ලද රන්රුවක් වැනිව උන්නාවු රාමපණ්ඩිතයන් සමීපයට ගොස් වැඳ එකත්පස්ව සිටියාහුය. දසරථ රජ්ජුරුවන් මළ නියාව කියා අමාත්‍යයන් මා සමඟ රාමපණ්ඩිතයන් පාමුල්හි වැටි ඇඬුහ. රාම පණ්ඩිතයෝ නොහැඬුහ. සොකමාත්‍රයකුත් නොකළාහ, භරත කුමාරයන් අඬා වලපමින් උන්කලට සවස් වෙලේ වල්ගිය කුමාරවරු දෙදෙන පලාඵල ඇරගෙණ ආහ. එකල රාමපණ්ඩිතයෝ කියන්නාහු මේ කුමාරවරුදෙදෙනම බාලයෝය සෝක සහනයකළ නොහෙන්නේයයි සිතා සනිකෙම තොපගේ පියානෝ මළෝයයි කීකල්හි සෝක ඉවසිය නොහී ලැයපැලී මියන්නාහ.

එසේ හෙයින් උපායෙන් මුන් දයට බාවා මේ ප්‍රවෘත්තිය කියම්සිතා කුමාරවැන් දෙදෙනා ඉදිරියේ එක්වන් පොකුණක් දක්වා තොපි ඇම ඉතාකල්යවා ආහෙයින් තොපට දඬුවමැයි කියන්නාහු ලක්ෂණ කුමාරයන් හා සිතා දේවින් හා දෙන්නම මෙසේඑව තොප පමාවුවාට දඬුවන් පිණිස කරවටක් දියට බැස දිටුවයි කීහ. එබසට හා සමග ඔහු දෙදෙනම දියට බැස සිටියාහ. කුමාර එකල පියානන් මළනියාව කියන්නාවූ රාමපණ්ඩිතයෝ එඹා ලක්ෂණ කුමාරයන් හා සීතාදේවිනී මේ භරත කුමාරයෝ දසරථරජ්ජුරුවන් මළහයි කීයති කීහ. ඔවු දෙදෙනා පියානන් මළහයි කියන බස අසමින් විසඥව දියපිට හුනහ දෙවෙනිවත් තුන්වෙනිවත් නගා සිටුවා එපවත් කියා දියෙන් ගොඩ නගා මදක් අස්වැසිලිලත් කල්හි ඇම එක්ම අඬාවැලපඋන්කල භරත කුමාරයෝ සිතන්නාහු මාගේ බෑනන් වහන්සේ ලක්ෂණ කුමාරයෝද මාගේ නැගනියෝ සිතාදේවිද පියානන් මළනියාව අසා සෝක සහනයකළනොහි විසඥව ගියහ. රාමපණ්ඩිතයෝ වනාහි නොහඬන්නාහුය. සෝක නොකරන්නාහු උන් සෝක නොකරණ කාරණා විචාරන්නාහු රාමපණඩිතයෝ වහන්ස නොකටයුත්තෙහිද නුඹ වහන්සේ සෝකි නොකරන්නේ කවර ආනුභාවයකින්ද නුඹ වහන්සේ පියානන් මළනියාව අසාත් සෝකයෙන් නොපෙලෙන්නට කාරණා කිම්දැයි විචාළාහ.

ඉක්බිත්තෙන් රාමපණ්ඩිතයෝ තමන් සෝකනොකරණ කාරණා කියන්නාහු එම්බල භරත කුමාරයෙනි ජිවත්වන්නාවු සත්වයෙකුගේ මරණ කාලයෙහි සෝකයෙන් අඬන්නාහු කිසි සත්වයෙක් රැකගතනොහේද සෝක සන්හිඳූවාගත නොහේද එසේහෙයින් දැන් අෂ්ටලෝකධර්මය සත්වහෙයින් කියන්නාහු මෙබඳූවු නුවනැති ප්‍රාඥායක්හු මරණාන්තරයාගේ කෙළවර මළාවු සත්වයක්හු මළැයි තමා තැවිමෙන් කිම්ද කිසිම උපකාරනැති සෝකකිරීමෙන් කවර ප්‍රයෝජනද මළ භරත කුමාරයෙනි මේ මහණ නම් රන්රුවන්ට බඳූවු රූ ඇති ලදරුයයිද කුමාරාදී කුල ඇත්තන්ද වැඩිසිටි සක්තිසම්පන්න යෝධයන්ද නුවනැත්තාවු ප්‍රථජ්ජනයන්ද බුද්ධාදීවු ප්‍රාඥයන්ද චක්‍රවර්ති ආදිවූ ඉසුරුමතුන්ද වස්ත්‍ර අන්නපාන නොලබන්නාහු දිලිදූයයියන මේ සියල්ලවුන් කෙරෙහි වෙනසක් නැත්තෝය. ඒ සියල්ලෝම මරුහා කිසි ලැජ්ජාවක් නැතිව එහිම භෂ්මවන්නාහ. තවද මළ භරතයෙහි යම්සේ විලික්‍ෂව ගියාහු ඵලයෙන් විලික්‍ෂුනු තැන්පටන් තුවටුවෙන් දැන් ගිලිහෙයි කියා භයවේද එහි වැටීම ඒකාන්තයෙන් නියමද ජිවත්වන්නාවු සත්වයාගේ ජිවිතයත් ඒකාන්තයෙන්ම අසවල් වෙලෙහි අසවල් ඇසිල්ලෙක මියෙති නියමයක් කළනොහැක්කේය, තවද උදෑසන දුටුවාවු බොහෝ සත්වයෝ සවසට නොපෙනෙන්නාහ. සවස දුටු බොහෝ සත්වයෝ උදෑසන නොපෙණෙන්නාහ. මරුමුඛයට පෙනෙන්නාහ තවද මාගේ පියානෝය පුතනුයයි අඬන්නාවු යම් සත්ව කෙණෙක් තෙම ගතිමුඩව තෙමේ තමා පෙලෙන්නේය ස්වල්ප මාත්‍රයකුත් වැඩක් ඵලවාගත නොහෙන්නේය. ඕහට අනික්වැඩකුත් කළ නොහෙන්නේය මළාවු සත්වයා ගෙන්වාගතත් නොහෙන්නේය. තවද යම් සත්වයෙක් අඬන්නේවිනම් එසේ වූ සත්වතෙම ක්‍රශවන්නේය නපුරු ශරීරවර්ණ ඇතිවන්නේය. එසේ හෙයින් තමාගේ කායචිත්ත දෙකටම තාපනය කරණ විවරක්මවන්නේය. ඒ ඇඬිමෙන් මළාවු සත්වයා ජිවත්වන්නේත් නැත ඕහට ඇඬිමම වන්නේය. තවද යම් නුවණැති සත්වයෙක් තෙමතමා වසන්නාවුගෙයි ගිණිගත්කල්හි මදකුත් මලිතක්මක්නොවි සියදාස් ගණන් පැන්සල සලා ගිණිනිවාද එපරිද්දෙන්ම නුවනැතිසත්වතෙම නැංගාවූ සෝකාග්නිය නිවන්නේය. වාතමුඛයෙහි අරණලද පුළුම් රැල්ලෙක් යම්සේද නුවනැත්තෝ එපරිද්දෙන්ම සෝකය නසා දුරුකරන්නේය. තවද යම්සත්වයෙක් තෙම පරලොවයන්නේ උදාකලාවම යන්නේය ක්‍ෂත්‍රියාදී යම් කුශලයෙක් උපන්හොත් උදකලාවම උපදනේය. එතන මාගේ මිත්‍රයෝය නෑයෝය මෑනියෝය පියානෝයයි එක්ව සන්වාසය කරණ පමණක් විනා සියළුම සත්වතෙම කළාවු කුසල් අකුශල් දෙකම ප්‍රාණප්‍රතිෂ්ඨාකොට ඇත්තේය. ඒ කාරණය හේතුකොටගෙන බොහෝ ඇසූ පිරූ තැන් ඇති නුවනැති සත්වතෙම අෂ්ටවිධවු ලෝක ධර්මද මෙලොව පරලාව දෙක්හි බලන්නේ විනම් ඕහට මහතවු සෝකයකුත් ශරීර තාපනය නොකරන්නේය. තවද සත්වයාහට ලාභ අලාභයද, අයස්ද යසස්ද, නින්දාවද, ප්‍රශංසාවද සැපයද, අසැපයද යන මේ සියල්ලම නිත්‍යබව සත්වයන්ගේ ස්වභාව ධර්මයෙක් වන්නේය. එසේ හෙයින් සෝකනම් නොකටයුතු වන්නේය. තවද මළ භරත කුමාරයෙනි නුවනැත්තා අන්ධවු අඥාන සත්වයන් මෙන් ඇඬිම වැල පීම් සුදුසු නොවන්නේය. මම වනාහි මාගේ පියානන්ගේ ඇවෑමෙන් උන්ගේ තනතුරෙහි සිට දුගී මගී යාචකයින්ට දන්දීම්ද යසපිරිවර දෙන්ට නිස්සන්ට යසස්ද මාගේ පියානන් අනුභවකළාසේම යසස් අනුභව කෙරෙමින් නෑයන් පෝෂ්‍යය කෙරෙමි අවශේෂවූ මාගේ පරිවාරජනයන් රකිමි ධාර්මිකවූ ශ්‍රමණබ්‍රාහ්මණයන්ට රක්ෂාවරණයෙන් රකිමි මෙතන කර්තව්‍ය දන්නාවු ප්‍රාඥයන්ට සුදුසුවන්නේය.

එසේ හෙයින් මා සෝකකරන්නේ නැතැයි කීහ. එකල සිටියාවු පර්ෂිත් රාමපණ්ඩිතයන්ගේ අනිච්ඡතාව ප්‍රකාශ කරන්නාවු ධර්මදේශනාව අසා නිස්සෝකීවුහ. ඉක්බිති භරතකුමාරයෝ රාම පණ්ඩිතයන් වැඳ බරණැස් රාජ්ජය පිළිපැදද මැනැවැයි කීහ. රාමපණ්ඩිතයෝ කියන්නාහු එඹල ලක්ෂණ කුමාරයන් හා සීතාදේවින් කැඳවාගෙණ ගොස් රාජ්‍යනුශාසනා කරවයි කීහ. එබසට භරත කුමාරයෝ කියන්නාහුදේවයන් වහන්ස නුඹ වහන්සේ යනුයි කීහ. රාමපණ්ඩිතයෝ කියන්නාහු මාගේ පියානන් වහන්සේ මට දොළොස් අවුරුද්දක් ගියකල අවුත් රාජ්‍යයට කරවයි කීසේක. මම දැන්ම ගියේවිනම් උන්වහන්සේට නොකීකරුවා නම්වෙයි එසේහෙයින් අනික් තුන්අවුරුද්දක් ගියකල එමි කීහ. නැවත භරත කුමාරයෝ කියන්නාහු එසේකල මේ දැතුරු රාජ්‍යය කරන්නෝ කවුරුදැයි කීහ. රාම පණ්ඩිතයෝ තෙපි රාජ්ජය කරවයි කිහ. භරත කුමාරයෝ අපි රාජ්ජය නොකරම්හයි කීහ නැවත රාමපණ්ඩිතයෝ කියන්නාවු එසේවීනම් යම්තාක් මාගේ ඊමවේද ඒතාක් රාමපණ්ඩිතයෝ කියන්නාවු එසේ වීනම් යම්තාක් මාගේ ඊමවේද ඒතාක් මේ මිරිවැඩිසඟල රාජ්ජය කරවන්නේ යයි තමන්ගේ මිරිවැඩිසඟල පාවාදුන්හ. එකල ඔහුදෙන්නා හා භරත කුමාරයන් හා මිරිවැඩිසඟල ඇරගෙණ රාමපණ්ඩිතයන් වැඳ සමුගෙණ මහජනයා පිරිවරා බරණැස් නුවරට ගොස් තුන් අවුරුද්දටම මිරිවැඩිසඟල තබා රාජ්‍යය කළාහුය. ඒ අමාත්‍යයෝ මිරිවැඩිසඟල පර්යාංකයෙහි තබා යුක්ති විචාරන්නාහු ඉදින් ඒ විනිශ්චය නපුරුවිනම් මිරිවැඩිසඟල ඇරගෙණ ඉන් ඉන්වි වැදගන්නේය. ඒ සලකුණෙන් අමාත්‍යයෝ නැවති විනිශ්චය කරන්නා මනාකොට විනිශ්චය කරණ ලද්දේවීනම් නිශ්චලව තිබෙන්නේය. රාමපණ්ඩිතයෝද තුන් අවුරුද්දක් ඉකුත්වුකල වලනි නික්ම බරණැස් නුවරට ගොස් උයනට වැද උන්හ. ඒ බව දත් කුමාරවරහු අමාත්‍යයන් පිරිවරා උයනට ගොස් සීතාදේවින් අග්‍රමෙහෙසිකාකොට දෙදෙනාම අභිෂේක කළාහ. මෙසේ අභිෂේකයට පැමිණියාවු මහබෝසතානෝ සරහා පිළියෙළ කරණලද්දාවු උතුම්වූ රථයට පැන නැගී සිටියාහු මහත්වු පෙරහරින් නුවරට වැද පැදකුණු කොට සුවන්ද්‍රා නම් ප්‍රාසාදයෙහි මතුමාලට නැගී එතැන්පටන් සොළොස් අවුරුද්දක් දැහැමෙන් රාජ්ජය කොට සර්වරග ලෝකය පිරුවාහුය. ඒ අර්ථය ප්‍රකාශ කරන්නාහු බුදුරජානන් වහන්සේ එඹා මහණෙනි රන්මිරිඟු බෙරක් හා සමානවූ ශ්‍රිවයක් ඇති මහත්වු බාහු යුග්මයක් ඇති ඒ රාම රජ්ජුරුවෝ දස දහසක් හා නැවතී සසියයක් සම්බන්ධවූ සදාසක් ඇතුළුවූ සොළොස් දහසක් අවුරුදු ධර්මයන් රාජ්‍යයකළෝ වේදැයි වදාරා මේ දසරථ ජාතකය නිමවා වදාළසේක. චතුස්සත්‍යයාගේ කෙළවර සෝකාතුර වු කෙළෙඹි පුත්‍රතෙම සෝවාන් ඵලයෙහි පිහිටියාහ. එසමහෙි දසරථ රජ්ජුරුවෝ නම් දැන් මේ ශුද්ධෝදන රජ්ජුරුවෝය. එසමයෙහි මව් බිසව නම් දැන් මේ මහාමායා දේවිය, එසමයෙහි සිතාදේවිනම් දැන් මේ රාහුලමාතාවෝය. එසමයෙහි භරත කුමාරයෝ නම් ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි ලක්ෂණ කුමාරයෝ නම් දැන් මේ ශාරිපුත්ත ස්ථවිරයයෝය. එසමයෙහි පර්ෂිත් නම් දැන් මේ බුදුපිරිසය, එසමයෙහි රාමපණ්ඩිතයෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.