මුල් පිටුව

422 ලොමස ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් සමයෙක්හි විශුද්ධ ගුණමහිමයෙන් ලෝක ප්‍රසිද්ධවූ සම්‍යක් සම්බුදුරාජෝත්තමයානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් උකටලී මහණකෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වා වදාළසේක. ඒ මහණහට සැබැද මහණතෝ උකටලීයෙහිදැයි වදාරා සැබැව ස්වාමිනී දැන්වු කල්හි මහණ කේලශයෝ තමා මහත් යසවතුන් ද අහසට පමුණුවති පිරිසිදු සතුන්ද සකලිටු කෙරෙති තොපවැන්නවුන් කුමකැයි උකටලී නොකරැද්දැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළසේක.

හේ කෙසේද යත්

පර බරණැස බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ගේ පුත්වූ බ්‍රහ්මදත්ත කුමාරද පුරෝහිත බමුණාගේ පුත් වූ කාශ්‍යප නම් කුමාරද යනමොහු දෙදෙන යාළුව එකගුරුන්ගේ සමීපයෙහි ශිල්පයෙහි ශිල්ප උගන්නාහුය. ඔවුන් දෙදෙනා අතුරෙන් බ්‍රහ්මදත්ත කුමාරතෙම පියරජ්ජුරුවන් ඇවෑමෙන් රාජ්‍යශ්‍රියට පැමිණියේය. බ්‍රහ්මදත්ත කුමාර වනාහී මාගේ යහලු රාජ කුමාර තෙම රාජ්‍ය සම්පත්තියට පැමිණියේය. එතෙම මට බොහෝ ඓශ්චර්ය දෙන්නේය. අකුශල වර්ධනයට කාරණාවූ ඒ සම්පත්තියෙන් මට කවර ප්‍රයොජ්නද මම මව්පියන් ද රජ දරුවන්ද විචාරා පැවිදිවෙමි සිතා ඒ තමා සිතු ලෙසම මව්පිය දෙදෙනා හා රජ්ජුරුවන් විචාරා හිමාලය වනයට ගොස් තවුස් පැවිදිවූ සත්වෙනිදා පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා නමින් ලෝමසකාශ්‍යපයයි ප්‍රසිද්ධව ඇවිදිලි අහරින් යැපී දවස් හරණේය. එතෙම වසඟවූ පසිඳූරන් ඇත්තේය. ඝෝරවූ තපස් ඇත්තේය. ඔහුගේ තපෝ තේජසින් ශක්‍රභවනය තම්පාවූයේය. ඒ විමසා බලන්නාවූ සක්දෙව් රජතෙම ඒ ලෝමස කාශ්‍යපයන්ගේ තපෝ තේජසින් බිඳපුව මැනවයි මධ්‍යම රාත්‍රියෙහි බරණැස් රජ්ජුරුවන්ගේ ශ්‍රියහන් ගබඩාට තමාගේ ශරීරසෝභා වෙන් බබුලුවා අහස සිට මහරජ නැගිටුවයි කීයේය. තෝ කවරෙක්දැයි කී කල්හි ශක්‍රදේවේන්ද්‍රයෝ නම් මමයයි කිය කුමට ආයෙහිදැයි විචාළකල්හි මහරජ තොපි සියළු දඹදිව එක්සත්කොට රජකරණු කැමැත්තෙහිදැයි විචාරා ඒ කුමක් නිසා නොකාමැතිවන්නේදැයි කී කල්හි එසේ වී නම් මහරජ තෝ ලෝමසකාශ්‍යපයන්ගෙන්වා ගෙණ පසු ඝාතනය කරව. එයින් තෝ මා මෙන් අජරාම වෙයි. සියලු දඹදිව එක්සත්කරන්නේයයි කීයේය. ඔහුගේ බස් බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ යහපතැයි පිළිගත්තාහුය. ශක්‍රදේවේන්ද්‍රයාද එසේ වී නම් මහරජ පමා නොවයි කීයා දිව්‍ය පුරයටම ගියේය. දෙවැනි දවස් බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සයහ නම් අමාත්‍යයා කැඳවා යහළ තෙපි මාගේ ප්‍රියයහළු වූ ලෝමස්කාශ්‍යප තාපසයන්ගේ සමීපයට ගොස් අපගේ රජ්ජුරුවන් වහන්සේ තාපසයන්ලබා පසුඝාත යාගය කරවා සියලු දඹදිව එකරජකරණ කැමතිසේක. නුඹවහන්සේ යම් පමණක් රට කැමැතිසේක් වී නම් සියල්ල දෙනසේක. මා හා සමග වැඩිය මැනවයි කියා කැඳවාගෙණ එවයි කීයේය. ඒ අමාත්‍යාද යහපතැයි පිළිගෙණ තාපසයන් වසන තැන නොදැන නුවර බෙර හසුරුවා පිරිවරින් ඒ බෝසාතානන් වසන තැනට ගොස් තාපසයන් වහන්සේ වැඳ එකත්පස්ව හිඳ රජ්ජුරුවන්ට කී අසුන් දැන්වූයේය. එකල්හි ඒ ලෝමහංස කාශ්‍යපයන් වහන්සේ එම්බා සයහ අමාත්‍යායෙනි තොපි කුමක් කියව්ද සක්වල ගළ අවසන් කොට ඇති මහාසමුද්‍රයෙක්හි පලනාලද රත්න කුණ්ඩයක්මෙන් මලා සියළු ජම්බුද්වීපය මට දෙතත් පසුඝාතයාගෙන් ප්‍රාණඝාත කොට නින්දිතව ලබන්නාවූ ඓශ්චර්ය මමත් නොකැමැත්තෙමි යම් ජිවිකාවක් තොප අපායට පමුණුවනු කරන්නේම් ඒ එසේමය. මෙලොව යමෙක් ලග්නා පැල් පමණක් නැතිව භික්‍ෂා පාත්‍රය අතින්ගෙණ සිඟා ජීවිකාව කෙරෙද්ද යමෙක් අධර්මයෙන් මුළු ලොව වසඟකොට රාජ ශ්‍රී විඳිනේද ඔහුගේ ඒ රජසුව වැලදීමට වඩා භික්ෂා වාරයෙන් ජිවත්වන්නාවූ ඒ දුක්ඛිතයාගේම ජිවිකාවම සියදහස් ගුණයෙන් උතුම් වන්නේයයි වදාළසේක.

උන් වහන්සේ බස් ඇසූ සයහ අමාත්‍ය තෙම නැවත බරණැස් නුවරටගොස් රජ්ජුරුවන්ට එපවත් දැන්වීය. එසේ නොවඩිනා කල කුමක් කරමෝදැයි රජ්ු නිරුත්සාහ විය. නැවත ශක්‍රදේවේන්ද්‍ර තෙම මධ්‍යම රාත්‍රියෙහි අවුදින් අහසි සිට කිමේක්ද මහරජ ලෝමය කාශ්‍යප තාපසයන් කැඳවා යාග නොකරන්නේහිදැයි විචාළේය. ශක්‍රදේවේන්ද්‍රයෙනි කැඳවා ගමන් කරවුම්හ. නොවඩනාසේකැයි කීයේය. ඒ බිසව ශක්‍රදේවේන්ද්‍රයෝ එසේ වී නම් මහරජ තොපගේ චන්ද්‍රාවති කුමාරිකාවන් සර්වාභරණයෙන් සරහා සයන අමාත්‍යයා හා සමඟ ගමන් කරවා ඉඳින් යාගකළ හොත් තොපට රජ්ජුරුවෝ මේ කුමාරිකාවන් දෙන්නාහුයයි කියවා ලව. ඒකාන්තයෙන් මේ කුමාරිකාවන් කෙරහි පිළිබඳ සිත් ඇති තාපසයෝ එන්නාහුයයි කීයේය. එබසට බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද එබස් අසා යහපතැයි පිළිගෙණ දෙවැනි දවස් චන්ද්‍රාවතී කුමාරිකාව සරහා සයන අමාත්‍යා හා සමඟ ගමන් කරවුහ. එසඳ ගොස් මහබෝසතානන් වැඳ පිළිසඳර කථාකොට දිව්‍ය කණ්‍යාවක් වැනිවූ රාජ කුමාරිකාවන් තාපසයන් දක්වා තෙමේ එකත් පසෙක සිටියේය. ඒ ලෝමස කාශ්‍යපයෝද ඉන්ද්‍රිය සංවරය බිඳ ඒ කුමාරිකාවන් දෙස බැළුවාහුය. ඈ කෙරෙහි පිළිබඳ සිත් උපන් හෙයින් ධ්‍යානයෙන් පිරිහුණාහුය. සයන අමාත්‍යයා තාපසයන් කුමාරිකාව කෙරෙහි පිලිබඳ සිත් ඇති බව දැන තාපසයන් වහන්ස නුඹ වහන්සේ ඉඳින් යාග කරනසේක් වී නම් අපගේ රජ්ජුරුවෝ තොපට මේ කුමාරිකාවන් අත්පා මෙහෙකරණ පිණිස දෙනනාහුයයි කීයේය. එබසට තාපසයෝ රාග චේතනාවෙන් කම්පාවුවාහු කිමෙක්ද මේ කුමාරිකාවන් මට දෙද්දැයි විචාරා එසේය යාගකරන්නාවූ තොපට දෙන්නාහුයයි කී කල යහපත එසේ විනම් යාගකරමැයි කියා කුමාරිකාවන් හා සමඟ රථයානාවකට නැගී ජටාමඩුලු නොහැර තවුස්වෙසින්ම බරණැස් නුවරට ආයේය. එසඳ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද තාපසයන් දැක එම්බා තාපසයෙනි සෙට යාගය කරම්හ ශක්‍රයාගේ අජරමරව යාගය කළ අවසන් තොපට දියනියන් පාවාදෙමි කීයේය. ලෝමස කාශ්‍යපයෝද යහපතැයි පිළිගත්තාහු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද දෙවැනි දවස් තාපසයන් කැඳවාගෙණ චන්ද්‍රවතී කුමාරිකාවන් හා සමඟ යාගකරණ තැනට ගියේය. එතැන්හි හසත්‍යසවභව මහිසාදීවු සියළු සිවුපාවෝ බැඳ සිටුවන ලද්දාහුය. ඒ ලෝමය කාශ්‍යප තාපසයෝද ඔවුන් මරා යාග කරන්නට පටන්ගත්තාහු ඉක්බිති එතැන්හි රැස්වූ මහජනයෝ එම්බා තාපසයෙනි මේ තොපට සුදුසු නොවෙයි තපස්වීව සිට ප්‍රාණඝාත කර්ම නොකරවයි කියා නැවතත් කියන්නාහු මෙලොව ....... නැසීමට ඉර සඳ දෙදෙනාහැර වෙන බලවත් දෙයක් නැත්තේය. චන්ද්‍ර සූර්යයෝ එම්බා තාපසයෙනි බලවත්වෙති. ඉෂ්ටා නිෂ්ටවූ අරමුනු වේග ඉවසීමෙහි හෙවත් සිත උපන්නාවූ රාග වේෂයන් සන්හිඳිමෙහි ශිල්වත් මහණ බමුණෝම ලොව බලවත් වෙති මහමුහුද දියකඳ නවතාලීමට වෙරල බලවත් වන්නේය. මේ සියලු බලවත් සතුන්ට වඩා සියල්ලවුන් තමාවසඟකරණ හෙයින් ස්ත්‍රිහුම ඉතා බලවත් වෙති දැන් මෙලොවට ප්‍රත්‍යක්‍ෂවන නියාය ඒ එසේමැයි සියල්ල නිරාලයව හැර උදකලාව මහවලට වැද පැවිදිව උග්‍රවූ තපෝ තේජස් ඇතිව අහසින් යනතරම් සෘධිමහිම ඇතිව වසන මේ ලෝමසකාශ්‍යප නම් තාපසයානන් චන්ද්‍රවතී නම් රාජ කුමාරිකාතොමෝ තමාවසඟකොට පියානන් උදෙසා වාචප්‍යෙය යාගය කරණ සේක් යොදා සතර අපායෙහි උපදවා දුක් දෙන්නාවු ප්‍රාණඝාත කර්මය කරන්නී වේදැයි කිවාහුය.

එසමයෙහි ඒ ලෝමස කාශ්‍යප තාපසයෝ යාග කරණු පිණිස මංගල හස්තියාගේ ශ්‍රීවයගෙණ දකුණතින් කඩුව ගෙණ ඔසවාගත්හ. එකෙණෙහි හස්තිරාජතෙම මරණභයින් තැතිගෙණ මහත්කොට නාදකෙළේය. ඔහුගේ බෑගෑ අඬ අස අසා සෙසු චතුපොද ජාතිහුද එසේම නාදකළාහු.ඒ දුටුවාවූ මහජනයෝ මහත් අඬින් ඇඬුවාහුය. තාපසතෙම ඔවුන්ගේ අඬ අසා මහත් කොට කළකිරීමට පැමිණියේය. තමාගේ තවුස් වෙස් බැලීය. එකෙණහි පළමුවෙන් සිත උපන් රාගය මුළාව සලකාගත නුහුනු ජටාමඩුල්ලද දික්ව තිබෙන දැලි රැවුළුද ලෙහි රෝමයන්ද දැක තවුස් වෙස් ිනියාව දැන ඉතා නුසුදුසු පාපකර්මයක් මා විසින් කරණ ලදැයි සිත උපන් උවේගය එතැන්හි ප්‍රකාශකොට කියනුයේ චන්ද්‍රවතී කුමාරිකාව කෙරෙහි ලෝභය උපදවා ඒ නිසා මා විසින් යම්මේ අකුශල කර්මයක් කරණ ලදද, ඒ දැඩිවු දුක්ඛ විපාක දෙන්නේය. මෙසේ අකුශල කිරීමට කාරණා කවරේදැයි බලන්හූ මම නුනුවනින් සලකාගැන්මයයි කියන ලද අයෝනිසෝ මනස්කාරයම දුටිමි. එසේහෙයින් මේ කඩුවෙන් මට කම් නැත. ප්‍රඥා නැමති කඩුව ගෙණ හැර සුභනිමිත්තය හා බැඳි පවත්නාවූ මේ රගය කපාහරින්නෙම් කීයේය. එබස් ඇසූ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එඹා තාපසයන් වහන්ස දැන්ද මේ චන්ද්‍රවතී කුමාරිකාවන්ද මේ රාජ්‍යයද සත්රුවන් රැසක්ද දෙමි තොපි භයනොගෙණ යාගය කරවයි කීයේය. එබසට තාපසයන් වහන්සේ එඹා රජ්ජුරුවෙනි ඉතා බොහෝ ඓශ්චර්ය දෙමි කීවත් කාමසම්පතතියට මම නොකැමැත්තෙමි තොප දෙමි කී චන්ද්‍රවතී කුමාරිකාවන්ද රාජ්‍යයද තොපටම වේවයි මම වනාහි අපේෂාවක් නැත්තෙම් කියා ඒ ජනමාධ්‍යයෙහිම සිට කිසුනු භාවනාකොට ධ්‍යාන උපදවා අහස ඌරුබධාසනයෙන් ඉඳ රජහට ධර්මදේශනා කොට පින් කිරීමෙහි පවානොවන ලෙස අවවාදකොට යාග ශාලාව බිඳූවා සියලු මහජනයාට අභය ඉල්වා දී රජහු යාඥාකළදී අහසින්ම තමා වසන තැනටම ගොසින් ජිවිතිනාන්තය දක්වා බ්‍රහ්ම විහාර භාවනාකොට බඹලොව උපන්සේකැයි මෙසේ මේ ජාතක ධර්මදේශනාව දක්වා චතුස්සත්‍යය ප්‍රකාශකොට පුර්ව්පාර සන්ධිගලපා නිමවා වදාළසේක. චතුස්සත්‍ය ධර්මදේශනා අවසානයේ උකටලී මහණ රහත් ඵලයට පැමිණිසේක. එකල්හි සයන අමාත්‍යයෝ නම් දැන් මේ ශාසනයෙහි ශාරීපුත්ත ස්ථවිරයයෝය. ලොමස කාශ්‍යප තාපසයෝ නම් දැන් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ ගෙණ හැර දක්වා වදාළ සේක.