මුල් පිටුව

400 සුසීම ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සංසා චක්‍රය මිථනය කළවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ හිඳ සමයෙහි මහබිනික්මන් අරභයා මේ ජාතකය ලද්වන ලද.

එක් දවසක් දම්සභාවේ රැස්වූ භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ, මේසා මහත් රාජෛශ්චර්යයත් තිබා පියා මහාබිනික්මන් කළේ වේදැයි කිය කියා වැඩ උන් ප්‍රස්ථාවට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් මතු නොවෙයි මහණෙනි පෙරත් මහබිනික්මන් කළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි උන්ට පුත් රජ කුමාරකෙණෙක් උපන්නාහ. උන්ට බ්‍රහ්මදත්ත කුමාරයෝයයි නම් තුබූහ. ඒ රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රහ්මණයාගේ ගෙයි බෝධිසත්වයෝ උපන්නාහ. උන්ට සුසීම කුමාරයෝයයි නම් තුබූහ. ඒ කුමාරවරුහූ දෙදෙනාම වැඩිවිය පැමිණ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් කරා ගොස් සියලු ශාස්ත්‍ර නිමවා ඉගෙණ නුවරට අවුත් යුවරජ තනතුරෙහි සිට පියානන් ඇවෑමෙන් රාජ්‍යයට පැමිණ මාගේ යාළුවූ සුසීම කුමාරයනුත් පුරෝහිත තනතුරෙහි පිහිටුවා දෙන්නම දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කරන්නාහූ එක් දවසක් රජ්ජුරුවෝ නුවර ප්‍රදක්ෂිණා කරන්නාහූ තුමූ ඇත් කඳකට වී පැන් නැගී පුරෝහිත බ්‍රාහ්මණයා තමන් පිටිපසේ ඉඳූවා නුවර ප්‍රදක්ෂිණා කරන්නාහ, රජ්ජුරුවන්ගේ මෑනියෝ සැඳැල්ලහෙි සිටියාහූ රජ්ජුරුවන් පිටිපස්සේ ඇතුපිට උන්නාවූ සුසීම කුමාරයන් දැක උන්කෙරේ අභිලාෂා ඇතිව මුන් නොලදීන් නම් ප්‍රාණයෙන් කම් කිම්දැයි ගෙට වැද යහන් මතුයෙහි මුනින් වැදඔත්තාහ. රජ්ජුරුවෝ නුවර පැදකුණු කොට රජගෙට අවුත් මැනියන් ඉඳිනාවූ රජගෙට ගොස් මෑණියන් වහන්සේ කොයිදැයි විචාරා ලෙඩට වැදහෝනාසේකැයි යනුව මෑණියන් වහන්ස අළුාසු කිම්දැයි විචාළාහ, බිසවුන් පුතනුවන්ට කියයතු දෙයක් නොවන හෙයින් ලජ්ජා ඇතිව බැණනොනැගී උන්හ. රජ්ජුරුවෝත් මාලිගාවට අවුත් අගමෙහෙසුන් බිසවුන්ට කියන්නාහූ මෑනියන් වහන්සේට ඇති ආළුාසු විචාරා එවයි කියා බිසවුන් යවුහ. රජ්ජුරුවන්ගේ මැනියෝත් ස්ත්‍රී නම් උන්සිත ඇත්ත නොසඟවන හෙයින් යේ ලනියන්ට මෙපවත්කීහ. බිසවුන් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝත් එපවත් අසා සුසීම නම් පුරෝහිත බ්‍රාහ්මණයානන් කැඳවා කියන්නාහූ එම්බා සුසීම නම් පුරෝහිත බ්‍රාහ්මණයානෙනි මාගේ මෑනියන් වහන්සේට මෙසේවූ අභිප්‍රායක් ඇතිව ලෙඩසේක. උන් වහන්සේ රැකදේවම්ම තොපට පුත්ව යුවරජ තනතුරෙහි සිටිමි කීහ. පුරෝහිත බ්‍රාහ්මණයානෝ කියන්නාහූ ස්වාමිනි මෙලෙස කිම ආචාරයෙක් නොවෙයි, කියා නොගිවිස්සාහ, රජ්ජුරුවෝත් නොයෙක් කාරණා කියා සුසීම නම් පුරෝහිත බ්‍රාහ්මණයානන්ට මැනියන් පාවාදී උන් රාජ්ජයෙහි පිහිටුවා තුමූ යුවරජ තනතුරෙහි පිහිටියාහ. රජ්ජුරුවෝ එතැන් පටන් රාජ්‍යය කරන්නාහු ගිහිගෙයි කලකිරී කවර විටෙක මේ ගිහිබන්ධනයෙන් ගැලවියෙම්දෝහෝයි සිත සිතා තනිව සිටිනාහ. ඉඳිනාහ ඇවිදිනාහබිසව් සිතන්නාහූ මා මැහැලිසෙයින් මා කෙරේ ආලයමදව ඉඳිනාසේක්වනැයි සිතා එක් දවසක් රජ්ජුරුවන් ඉස බලන්නාක්මෙන් බල බලා ඉඳ තමුන් ඉසින් නරකෙන්දක් ඇරගෙණ රජ්ජුරුවන්ට පෑ දේවයන් වහන්ස මම මතු නොවෙයි මැහැල්ලෙමි. නුඹ වහන්සේත් මහළුවගියසේකැයි රජ්ජුරුවන්ට කීහ. එවිට රජ්ජුරුවෝ මෘත්‍යුමාරයා අවුත් ඉසකේ අල්වාගත්තාක් මෙන් කොට සිතා භයින් ත්‍රස්තව තුමූ තමන්ට අවවාද කියන්නාහූ එම්බා සුසීම කුමාරයෙනි තොපගේ කළුවු කෙස් විලිස්සෙන්නට වන ඉතිකින් තොප මහණවන්ට යන්ට කලැයි කීහ. එවිට බිසව් කියන්නාහූ දේවයන් වහන්ස මම නුඹ වහන්සේ වංචාකරණ නිසා මාගේ ඉසින් නරපතක් ඇරගෙන පෑමි, නුඹ වහන්සේ ඉස නරයෙක් නොවෙයි මා නිශ්රණකොට නුඹ වහන්සේ මහණවන්නට යනසේදැයි කියා නුඹ වහන්සේ ඉතා විශිෂ්ට රූ ඇති සේක. බැළුවන්ට ප්‍රියකරුසේක. මේ අවස්ථාවෙහි මහණවිමට කාරණා නොවෙයි. මහණවන්නට නොගිය මැනවයි කිහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ එම්බා මම මාළුවයසට පැමිණ සිටිනවුන් බොහෝ කොට දිටිමි. තරුණ අවස්ථාවෙහි අනුන් පොළඹාන්නාවූ ස්ත්‍රිහූ මැහැලි අවස්ථාවෙහි සැරයටි දඬුගත් අත් ඇතිව තුමූ තමන් පෙළඹාගත නොහෙන්නාහ. මම ලදරුවනුත් මහල්ලනුත් දුටුවිරිම් තොප කෙසේ කීවත් මහණවන්නට යෙමි කියා රාජකුමාරයන්ට රාජ්‍යය පාවාදී වනයට ගොස් සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාරා මේ සුසීම ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථිවිරයෝය. බිසව් නම් යසෝධරා ස්ථිවිරීය, පුරෝහිත බ්‍රාහ්මණවුයෙම් බුදුවූ මම්මයයි වදාළ සේක.