මුල් පිටුව

394 ගන්‍ධාර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද පඤචවිධඥෙය මණ්ඩලය විශේෂයෙන් දක්තාවු සර්වඤයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි භේසජ්ජ සන්ධිකාර ශික්ෂා පදයක් අරභයා මේ ජාතකය දක්වන ලද.

හේ කෙසේද යත්

සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පිලින්දි වච්ඡනම් මහා තෙරුන්වහන්සේ රජ ගහනුවර වසනසේක් රෝගී තැනට ගිලන් පසක් නිසා රජගෙට ගොස් රජගෙයි දොර සිඟාසිට තමන්වහන්සේගේ ශරීරාලෝකයෙන් රජගෙය රන්වන් කරවුසේක. එවිට රජ්ජුරුවෝ බිසෝවරු රජ යුවරජ මහා අමාත්‍යයෝත් සමාධිව උන්වහන්සේට චතු මධුරයෙන් කිරි පිඬු දුන්නාහ. උන් වහන්සේගේ විහාරයේ වැඩ හිඳිනා භික්ෂූන් වහන්සේ ඇම දෙනාවහන්සේට බෙදාදුන්සේක. භික්ෂූන් වහන්සේත් එදවස් වළදනාදෙයත් වළදා ඉතිරි දෙය පාත්‍රවල ලා පසු වදවස් වළදන්ටයයි තුබූ සේක. උපාසක වරුද මේ දැක භික්ෂූන් වහන්සේලාට අප දුන් චතුමධුර තබන්ට කාරණා කිම්දැයි උද්ඝෝෂණය කළාහ. සර්වඥයන්වහන්සේ එපවත් අසා වදාරා මහණෙනි, ආහාරය තබා එලගිතෙල් සකීරාම් ආදීවූ ගිලාන ප්‍රත්‍ය ගිලනුන්ටයයි සිඟාවැලඳිය කටයුතු නොවෙයි සත්දවසකින් ඔබ්බෙහි තිබූදෙය වැලදීමෙන් අකැප යයි වදාරා මේ භේසජ්ජ සන්නිධිකාර ශික්‍ෂා පදය පණවා එම්බා මහනෙනි පෙර උත්තමයෝ එනුසුනු විවරකුත් කැපකළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
හේ කෙසේද යත්

යටගිය දවස ගන්ධාර රට ගන්ධාර නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරණසමයෙහි බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට පුත්ව උපන්නාහ. ඒ රාජ කුමාරයන්ටත් ගන්ධාර කුමාරයෝයයි නම් තූබූහ. එසමයෙහි මියලුනුවර වේදේහනම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරන්නාහ. ඒ ගන්ධාර රජ්ජුරුවෝත් වේදේහ රජ්ජුරුවෝත් දෙන්නම උනුන් නොදැකම මිත්‍රව ඉඳිනාහ. එසමයෙහි එක් දවසක් ගන්ධාර රජ්ජුරුවෝත් අමාත්‍යමණ්ඩලයාත් පිරිවරා සදල්ලේ උන්නාහ. එදවස් රජ්ජුරුවෝ සඳමඩල මහත් හෙයින් වේද මීට අනර්ථ පැමිණියේ කුඩා තරුවට හානියෙක් නැත්තේ වේද අපටත් මේ අන්තරාය පැමිණෙන්නේයයි එම අරමුණක් කොටගෙණ ගන්ධාර නුවරටත් කාශ්මීර රටත් හැර හිමාලය වනයට වැද සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිවූහ. වේදේහ රජ්ජුරුවෝත් ගන්ධාර රජ්ජුරුවෝ මහණවූ නියාව අසා මාගේ යාළුවානන් මහණවූකල මමත් මහණවෙමියි ගමන්ගේ එක්සිය විසිගව්වක් දිග පලල ඇති වේදේහ රාජ්ජයත් කොටුළු පිරි සිටිනා සොළොස් දහසක් බත්ගම්ද අන්තඃපුර පිටිපුර යන සියල්ලම හැර හිමාලය වනයට වැද මහණවූහ. කල්යාමකින් ගන්ධාර තාපසයෝත් වේදේහ තාපසයෝත් දෙන්නම උනුන් දැක වේදේහ තාපසයෝත් නොඅඳූනන හෙයින් ගන්ධාර තාපසයන්ට අත්පා මෙහෙවර කරන්නාහ. එක් දවසක් තාපසයන් දෙන්න කථාකොට කොට උන්කලට සඳමඩල නැගේය. රාහු ඇවිත් ඇවිත් සඳමඩල ගත ගන්ධාර තාපසොයෝ කියන්නාහූ සඳපාන මදවන්ට කාරණා කිම්දැයි විචාළාහ. වේදේහ තාපසයෝ කියන්නාහූ රාහු ඇවිත් සඳමඩල ඇල්ලු හෙයිනැයි කීහ. එවිට ගන්ධාර තාපසයෝ කියන්නාහූ එම්බා වේදේහ තාපසයෙනි මහත් කෙණෙකුන්ටමය යම්හානියක් පැමිණෙන්නේය. මමත් මාගේ රාජ්‍යය හැර මේ වනයට එන්නෙම් මේ අරමුණක් කොටගෙණ මාගේ ගන්ධාර රාජ්ජය කාශ්මීර රට හැර ඇවිත් මහණවීමයි කීහ එවිට වේදේහ තාපසයෝත් එසේද නුඹ වහන්සේ ගන්ධාර තාපසයන්වහන්සේ නමැයි කීහ. එසේ වීනම් මමත් මියුලු නුවර රජකම් කළාවූ වේදේහ රජ්ජුරුවෝ නම් මමයයි කීහ.

එවිට ගන්ධාර තාපසයෝ කියන්නාහූ තොප මහණවුයේ ඇයිදැයි විචාළාහ. මාගේ යාළු ගන්ධාර රජ්ජුරුවන් මහණ වු කළ මට රාජ්‍යයෙන් ප්‍රයෝජන කිම්දැයි සිතා මහණවීම් කියා දෙන්නම උනුනුන් ඇඳිනගණ සමාධිව එකතැන වාසය කරන්නාහු ළුනු ඇඹුල් සෙවුනා සඳහා නොබෝකලකින් පාසල්ගමකට ගොසින් දෙදෙනාම විථියේ සිඟායන්නාහ. ඒ ගම මනුෂ්‍යයෝ දවසක් ළුනුමුසුව ආහාරය පිළිගන්නාහ. දවසක් නිකම් ආහාරය දෙන්නාහ, එක් දවසක් සිඟා ගියකළ ළුනු බොහෝකොට දුන්හ. ඒ ළුනු වේදේහ තාපසයෝ ගන්ධාර තාපසයන්ට දිලා තමනුත් අනුභවකොට ඉතිරි ළුනු කෙහෙල් පතෙක ලා පලයේ සඟවා තුබූහ. පසුදවස් සිඟාගිය ගමනේ ළුනු නොලද්දාහ. එ දවස් වේදේහ තාපසයෝ තමන් තුබූ ළුනු ඇරගණ ගන්ධාර තාපසයන්ට පිළිගැන්වූහ. ගන්ධාර තාපසයෝ අප විථියෙහි සිඟා ගියගමනේ ලත් ළුනක් නැත මේ ළුනු කොයින්දැයි විචාර ඊයේ ගෙණා ළුනු තිබිමයි කී කල්හි එවිට ගන්ධාර තාපසයෝ කිපි තොප සොළොස් දහසක් බත්ගම් ඇරපියා මහණවුයේ කිසිදෙයකත් ආලය නැතිව වේද එසේවූ තොපි ළුනු සිඟිත්තක් නිසා ලෝහකරන්ට කාරණා කිම්දැයි හාසකොට කීහ. එවිට වේදේහ තාපසයෝ කිපි නුඹ වහන්සේ ලොකවාසින්ට අවවාද අනුශාසනා කොටගත නොහෙමි කියා තපසට ආයේය. මම කෝප කරන්ට කාරණා කිම්දැයි කීහ. එවිට ගන්ධාර තාපසයෝ කියන්නාහු තොපි උරණ වූ නමුත් කුමක් කරවු නමුත් මා අවවාද කියන්නේ තොපකළේ ඉතා කාරණයෙක් නොවෙයි. තාපසවරු නම් ලත්දෙයකින් යපෙන පමණක් විනා මෙලෙස කිරීම කටයුතු වනාවෙයි කීහ. එවිට වේදේහ තාපසයෝ කියන්නාහූ නුඹවහන්සේ මාගේ සිත කණස්සළු කරවා අවවාද කිරීම නම් නොකැපෙන කරයකින් හිස කපන්නාක් මෙනැයි කීහ. තෙපි කෙසේ කනස්සළුවීනමුත් මා කියේ කාරණයයයි වේදේහ තාපසයන්ට අවවාද කීහ. වේදේහ තාපසයෝත් කාරණා කියා ගිවිස බෝධිසත්වයන්ගෙන් කර්මස්ථාන ඉගෙන දෙන්නම් හිමාලය වනයට ගොස් පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා කම්වූ පරිද්දෙන් මිය බඹලොව ගියහයි වදාරා මේ ගන්ධාර ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි වේදේහ තාපසයෝ නම් ආනන්ද ස්ථවිරයෝය. ගන්ධාර තාපසයෝ නම් බුදුවූ මම්මයයි වදාළ සේක.