මුල් පිටුව

385 කුක්කු ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ඒ කෙසේද යත්

අසන්නවුන්ගේ කන්හි අමානමන මධුර දේශනා ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි රජෝවාදයක් අරභයා මේ ජාතකය දක්වන ලද.

මේ කථාව විස්තර වශයෙන් තෙසකුණ ජාතකයෙහි පෙණෙන්නේය.
මෙහි වනාහී

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කරණ අමාත්‍ය ධුරයේ උපන්සේක. ඒ රජ වනාහි දශරාජ ධර්මයෙන් විරුද්ධව තමන් සිතුදෙයක්ම කරන්නේය. රාජ්ජය අධර්මයෙන් පිළි පන්නේය. බෝධිසත්වයන් වහන්සේ මේ රජ්ජුරුවන්ගේ අභිප්‍රාය කාරණයකින් ගිවිස්වා අරවාලතොත් විනා අවවාද කියා අරවාලිය නොහැක්කැයි සිතා කාරණා සොයන්නාහූ ඒ අවස්ථාවෙහි රජ්ජුරුවෝ එක් දවසක් උයන්බලන්ට ගියහ. උයනේ රජ්ජුරුවන් අමුතුව කරන්නාවූ මඩපයෙක් ඇත්තේය. රජ්ජුරුවෝ මඩපකර්මාන්ත බලන්ටයයි ඇතුලට වන්නාහූ ගොණැස් උරවාතුබූ කැණිමඩුල්ල දැක වැටියේදෝහෝයි සිතා මෑතට අවුත් බෝධිසත්වයන් කැඳවා කියන්නාහූ එම්බා අමාත්‍යයානෙනි මේ කැණමඩල නොවැටෙන්ට කාරණා කිම්දැයි කීහ. බෝධිසත්වයෝත් රජ්ජුරුවන් වහන්සේට අවවාදය කින්නාට යහපත් කාරණායයි සිතා කියන්නාහූ දේවයන්වහන්ස, මේ ඵලය හැර යහපත්ව සැසහැර තරව උරවන ලද්දාවූ ගොනැස්බලයෙන් මඬුල්ල රඳන්නේය. කැණිමඩල බලයෙන් ගොනැස්ස නොවැටෙන්නේය. දේවයන් වහන්ස කැණිමඬල නම් රජ්ජුරුවන් වැන්නේය ගොනැස්සනම් අමාත්‍යමඩලයා වැන්නේය ඉන් එක් ගොනැස්සෙක් දිරාගිය නමුත් ඒ දිශාවට කැණිමඩල නැමියන්නේය. එමෙන් එක අමාත්‍යයෙකුට වැඩීමෙකුවීනමුත් රජදරුවන් වහන්ස්ට අලාභවන්නේ නොවෙයි. ලොකපාලවූ රජදරුවන් විසින් අමාත්‍ය මණ්ඩලය ඇතුළුවූ සියළු ප්‍රජාව නොමිරිකා දශරාජ ධර්මයට අකොප්‍යව රාජ්ජය කළ යුත්තේයයි බෝධිසත්වයෝ කීහ. රජ්ජුරුවෝ බෝධිසත්වයන් කී බසට සතුටුව උන්අවස්ථාවට එක් පුරුෂයෙක් ලප්නාරංගෙඩියක් ගෙණවුත් රජ්ජුරුවන් අතටදින, බෝධිසත්වයෝත් මෙයිත් අවවාද කියන්ට නිසිකාරණයෙකැයි සිතා දේවයන් වහන්ස මේ ලප්නාරන්ගෙඩිය නුවැත්තේ තිත්තත් අර ඇඹුලත් ඇර අනුභව කෙරෙද්ද?. නුඹ වහන්සේත් පැවැත ආ රාජධර්මය නොහැර රාජ්‍යවාසීන් ගෙන් කරවුවර ගතමනා දෙයහැරගෙණ රාජ්‍යවාසීන්ගෙන් අන්‍යායාගේ අර්ථය නුපදවනසේක්ද?, ලප්නාරන්ගෙඩිය පොත්ත තුනීවිනම් තිත්ත රසවන්නේය. මස් ඝනවීනම් අමුල්රසවන්නේය තිත්තත් නොවි මස් අනුභවකරන්නාමෙන් රාජ්ජවාසින්ගේ කරවුවරගෙණ රට කන්නා රජ්ජුරුවන් අමාත්‍ය මණ්ඩලයා සිත් ගන්නාහයි බෝධිසත්වයෝ කීහ. බෝධිසත්වයන් කි බසට සතුටුව කථාකොට මඟුල් පොකුණට ගියහ. මගුල්පොකුණෙහි යහපත් පියුමක් පිපී දියට රියනක් විතර උස්ව සිටියේය. රජ්ජුරුවෝ කියන්නාහූ එම්බා අමාත්‍යයාණෙනි දිය හා මඩ ආධාරකොට ඇතිවූ මේ පියුම මඩෙහිත් දියෙහිත් දෙකින් වෙන් වෙන්ව පිපෙන්ට කාරණා කිම්දැයි විචාළාහ. බෝධිසත්වයන් වහන්සේත් එවිට කියන්නාහූ දේවයන් වහන්ස ලොකපාලවූ රජදරුවන් වහන්සේත් ලෝභ වේෂ මෝහ මද මානමාත්සර්යය යන සියල්ලෝම මේ පියුම පරිද්දන් ඇලිමක් නැතිව දශරාජධර්මයෙන් රාජ්ජය කරණසේක් වීනම් බ්‍රාහ්මණ, වෛශ්‍ය ග්‍රහපති යන සියල්ලෝම රජදරුවන් වහන්සේට ඉතා පක්ෂවන්නාහයි කීහ. රජ්ජුරුවෝත් බෝධිසත්වයන් කී අවවාදයෙහි පැහැද එතැන්පටන් දශරාජධර්මයෙන් අකොප්‍යව දානාශිලාදී පින්කම්කොට දෙව්ලොව ගියහයි වදාරා මේ කුක්කු ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරය, එසමයෙහි රජ්ජුරුවන්ට අමාත්‍යව උපන්නෙම් බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.