මුල් පිටුව

343 ජෝත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සියළු සත්වයන්හට නායකවූ සර්වඥයන් වහන්සේ භගුනම් රට සුංසුමාර නම් ගුහාව සමීපයෙහි විංසන නම් වනයෙහි වැඩ වසන සමයෙහි බෝධිරාජ කුමාරයන් අරභයා මේ ජතාකය දක්වන ලද.

ඒ කෙසේද යත්

බෝධිරාජ කුමාරයෝ සෙසු රජදරුවන් ඉඳිනා ගේවලට වඩා යහපත් මාලිගාවක් කරවා ඉන්ට උවමැනවැයි එක් වඩුවෙකු කැඳවා කෝකාලික නම් අනර්ඝ රජගෙය ඉදිකරවා මේ වඩුතෙම මේ මාගේ මාලිගවක්සේම රජගෙයක් අනික් රජදරු කෙණෙකුන්ට ඉදිකළේ වී නම් නපුරුයයි වඩුවාගේ ඇස් උදුරුවපියයි. එදවස් දම්සභාවේ රැස්වූ භික්ෂූන් වහන්සේ මෙසේ වූ රාජ ගෙයක් කළ වඩුවාට බොහෝ උපකාර කොට ප්‍රසාද දුනමනා තැන වඩුවාගේ ඇස් උදුරුවාපුවෝ වේදැයි කිය කියා උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්ත ව උනුදැයි විචාරා වදාර එපවත් අසා දැන් මතු නොවෙයි මහණෙනි පෙරත් මේ රාජ කුමාර තෙම රජදරුවන් ගේ අව සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීව බොහෝ රාජ කුමාරයන්ට ශාස්ත්‍ර උගන්වා වාසය කරන්නාහ. එසමයෙහි බරණැස් නුවර රජ්ජුරුවන්ගේ පුත්වූ බ්‍රහ්මදත්ත නම් කුමාරයෝ ශිල්ප උගන්ට යයි තක්සලා නුවරට දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප උගන්නා සඳහා ගියාහ. දිසාපාමොක් ආචාරී රාජකුමාරයන් දැක ලක්ෂණ බලා මේ රාජ කුමාරයා චණ්ඩය මුගේ සන්තානයෙහි ගුණයක් නැත්තේයයි රාජ කුමාරයන්ට අවවාද කරන්නාහූ එම්බා රාජ කුමාරයෙනි තොපි රාජ්ජයට වන්කල කිසිපිහිටක් නොලබන්නාසේ වැඩනැත්තවුව යම් අවසරයක දේවතාවෝත් අත් නොදන්නාහ. මනුෂ්‍යයෝ තමාම අත් නොදන්නාහ සාහසික කළාවූ යම් පාපයෙක් ඇත්නම් එම ජාතියෙහි විපාක දෙන්නේමය, ඒ එසේමය. යම් ඵලයක් රෝපනය කළේ නම් නොබෝ කලකින් එහි ලාභය විඳිද්ද, එසේම සාහසික කළාවූ යම් පාපයක් අත්පිට විපාකදෙයි සහසික නොවමැයි රාජ කුමාරයන්ට බොහෝ අවවාද කියා උන්ගේ නුවරට යවුහ. ඒ රාජ කුමාරයෝත් බරණැස් නුවරට ගොස් රජ්ජුරුවන්ට ශිල්ප දක්වා පිය රජ්ජුරුවන් විසින් දෙන ලද්දාවූ යුවරජ තනතුරු ලැබ වාසය කරන්නාවූ පියානන්ගේ ඇවෑමෙන් රාජ්ජයට පැමිණ රාජ්ජය කරන්නාහ. ඒ රජ්ජුරුවන්ගේ චණ්ඩ පරුෂ වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් ඇත. ඒ බ්‍රහ්මණයා සිතන්නේ රජ්ජුරුවන් දස දහසක් දඹදිවට නායක කරවාපි නම් අග්‍රපුරෝහිතව බොහෝ සම්පත් ලබන්නෙම් වේදැයි සිතා රජ්ජුරුවන්ලඟට ගොස් මෙපවත් කියා බොහෝ කාරණා කියා රජ්ජුරුවන් පොලඹවාගෙණ යුද්ධයට යන ලෙසට චතුරංගනී සේනාව සන්නද්ධ කරවාගෙණ පළමුකොට ගොස් කුඩා නුවරක් වටලාගෙණ ඒ රජ්ජුරුවන් පොළඹවාගෙණ මේ නියායෙන් දස දහසක් යොදුන් දඹදිව නුවරවල් ඇරගෙණ දහසක් රජ්ජුරුවන් අල්වාගෙණ තක්සලා නුවර රජ්ජුරුවන් අල්ලා ගන්නා පිණිස ගියහ. ඒ නුවර ලඟ ගඟෙක් ඇත.ඒ ගඟ අසල යහපත් ඡායා සම්පන්න නුග ගසෙක් ඇත. ඒ නුගගස මුල රජ්ජුරුවෝ යානක් ලබාගෙණ එනත සැතපී පසු දවස තක්සලා නුවරට සටනට ගියාහ. දිසාපාමොක් ආචාරීන් ඒ රජ්ජුරුවන් යුද්ධයට එන නියාව අසා නුවර අට්ටාල වෙට්ටම් පවුරු වාසල් ආදීවු තැන සේනාව සලස්වාගෙණ යුද්ධකොට නුවරට වැද්ද නුදුන්නාහ. රජ්ජුරුවෝ නුවර සටන්කොට ඇරගත නොහි දෙවෙනිවත් නුගගස මුලට අවුත් පුරෝහිත බ්‍රාහ්මණයාට කියන්නාහූ මේසා මහත් සේනාවක් ඇරගෙණ ගොසින් යුද්ධකොටත් නුවර ඇරගත නුහුනුම්හ කළමනා කිම්ද කැඳවා විචාළාහ.