මුල් පිටුව 51 සිට 100 දක්වා 98 කූට වානිජ ජාතකය

98 කූට වානිජ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි අප්‍රතිවාද වූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක්. එක් සොර වෙළඳක්හු අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත්නුවර වෙළෙන්දෝ දෙදෙනෙක් එක්ව වෙළදම්කරන්නාහු ගැලින් බඩුගෙණ ජනපද චාරිකාවට ගොස් වෙළඳම් කොට ලාභ ලැබගෙණ පෙරලා ආවාහුය, ඔවුන් දෙදෙනා අතරෙන් සොරවෙළදා මෙසේ සිතූහ. මේ වෙළඳානෝ බොහෝ දවසක් දුර්භෝජනයෙන් හා දුක්ඛසෙය්‍යාවෙන් මිරිකුණෝය, දැන් තාගේ ගෙයි අනේකප්‍රකාරවූ අග්‍රරසයෙන් යුක්තවූ භෝජනය අනුභව කොට දිරවාගතනොහි අජීණිව මියයන්නේය, එකල්හි මම මේ භාණ්ඩය තුන්කොටසක්කොට එක් කොටසක් ඔහුගේ දරුවන්ට දෙමි. දෙකොටසක් මම ගනිමියි සිතා ඒ සොරවෙළඳා අද බෙදමි සෙට බෙදමි කියා බෙදන්ට මැලිව හිඳිනේය. ඉක්බිත්තෙන් නුවනැති වෙළදා ඔහු නොකැමැතිවුවත් බලාත්කාරයෙන් බඩුබෙදවා විහාරයට ගොස් බුදුරජානන්වහන්සේට නමස්කාර කොට සුවදුක් කථා කොට උන් කල්හි සර්‍වඥයන්වහන්සේ විසින් උපාසකය මෙසේ දවස් ලස්වගියේ කුමක් නිසාදැයි එනුවරට අවුදිනුත් කල්යවා බුද්ධෝපස්ථානයට නොආයේය. කවර කාරනයකින්දැයි විචාළ කල්හි එපවත් බුදුරජානන්වහන්සේට දැන්විය, සර්වඥයන් වහන්සේ උපාසකය මොහු තොප වංචා කරණු කැමතිය. පෙර නවාතැනත් වංචා කරන්ට උත්සාහ කළේ වේදැයි වදාරා ඒ උපාසකයා විසින් ආරාධිතවූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහ බෝසතානෝ බරණැස් නුවර වෙළඳ කුලයක උපන්නාහුය, ඒ බෝධිසත්වයන්ට නම් තබන දවස් පණ්ඩිතයෝයයි නම් තැබූහ. ඒ මහබෝසතානෝ වැඩිවිය පැමිණ අන් වෙළඳකු හා සමග එක්ව ගෙන වෙළදාම් කෙරෙති. ඔහුට අති පණ්ඩිතයයි නමෙක් විය. ඔහු දෙදෙන බරණැස් නුවරින් පන්සියයක් ගැලින් බඩු පටවා ගෙණ ජනපදයට ගොස් වෙළඳාම් කොට ලාභ ලැබගෙණ නැවත බරණැස් නුවරටම අවාහුය. ඉක්බිත්තෙන් ඔහු දෙදෙන බඩු බෙදන කල්හි අතිපණ්ඩිතයෝ මා විසින් දෙකොටසක් ලැබිය යුතුයයි කිවූය. කුමක් නිසාදැයි කීකල්හි තෙපි පණ්ඩිතයෝය, මම අතිපණ්ඩිතයෙමි. එසේ හෙයින් පණ්ඩිතයෝ එක් කොටසක් ලබන්ට නිස්සෝය, මම අතිපණ්ඩිත හෙයින් දෙකොටසක් ලබන්ට කාරණා කවරේදැයි විචාළෝය. මා අතිපණ්ඩිත බැවිනැයි කීය. මෙසේ ඔහු දෙදෙන බසින් බසට කලහ කළාහුය. ඉක්බිත්තෙන් අතිපණ්ඩිතයෝ එක් උපායෙක් ඇත සිතා තමන්ගේ පියානන් ගස්සිදුරෙක්හි හිඳුවා කියන්නේ තොපි අප හැමදෙනම මෙතනට ආකල අතිපණ්ඩිතයෝ දෙකොටසක් ලබන්නට නිස්සෝයයි කියාලවයි කියා බොධිසත්‍වයන් සමීපයට ගොස් සබඳ මට දෙකොටසක් ලබන්නට නිසිනියාවත් මේ වෘක්‍ෂදේවතාවා දන්නේය, වරෝ යම්හ ඔහු අතින් විචාරම්හයි කියා මහාබෝසතානන් එතනට කැඳවාගෙණ ගොස් ස්වාමීනී වෘක්‍ෂදේවතාවන් වහන්ස අපගේ යුක්ති පසිඳිනමැනවයි කිවුය. ඉක්බිත්තෙන් ඕහට අතිපණ්ඩිතයෝ කියන්නාහුය මූ පණ්ඩිතයෝය, මම අතිපණ්ඩිතයෝය, අප දෙදෙනා විසින් එක්ව වෙළදාම් කරණ ලද, අප දෙදෙනාගෙන් කවුරුන් විසින් දෙකොටසක් ලැබ්බයුතුදැයි විචාළ කල්හි පණ්ඩිතයන් විසින් එක්කොටසක් ලැබ්බ යුතුය. අතිපණ්ඩිතයන් විසින් දෙකොටසක් ලැබ්බයුතුයයි කීය. එකල්හි මහබෝසතානෝ මෙසේ විනිශ්චයකරණලද යුක්තිය අසා දැන් තා දේවතා නියාවත් දේවතාවා නොවන නියාවත් දන්නෙම්වේදැයි කියා පිදුරු ගෙණ ගස් සිදුර පුරවා ගිණි මෙලවූය. එකල්හි අතිපණ්ඩිතයන්ගේ පියාගිණි දැල් ඇඟ ගැසෙන්ට පටන්ගත් කල්හි ශරීරයෙන් අර්‍ධයක් දක්වාගෙණ උඩට පැනනැඟී අත්තක් අල්වාගෙණ එල්ලමින් ධරාගතනොහී බිමට වැටී අඬමින් කියන්නේ මේ ලෝකයෙහි කාරණා දන්නාවූ පණ්ඩිතභාග්‍යයෙන් යුක්කවූ උත්තම පුද්ගලයාම යහපත් වන්නේය, අතිපණ්ඩිතයා යන නාම මාත්‍රයකින් වඤචාස්වභාව ඇති කූට පුරුෂයා යහපත් නොවන්නේය, කුමක් නිසාද යත් ? වඤචාස්වභාව ඇති පණ්ඩිතයන්ට පියව මදක් දාගියමෝ වේදැයි මෙසේ බැගෑපත්ව හැඬුයේය ඉක්බිත්තෙන් ඊ පණ්ඩිත අතිපණ්ඩිත දෙදෙන මධ්‍යයෙන් දෙකක් කොට වස්තු සරිකොටස් ගසා ඇරගෙණ කම්වූපරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ පෙරත් මේ සොර වෙළදාම යයි මේ අතීත කථාව ගෙණහැර දක්වා වදාරාමේ කූටවාණිජ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි සොරවෙළඳානම් දැනුත් සොරවෙළඳාමය, නුවණැති වෙළඳවූ යෙම් තිලෝගුරු සම්‍යක්සම්බුදුරජවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.