මුල් පිටුව 101 සිට 150 දක්වා 116 අකාලරාරි ජාතකය

116 අකාලරාරි ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා වහන්දෑ දෙනමක් කළමනා වත්පිළිවෙත් කළමනා වේලාවට නොකොට රාත්‍රියෙහි නිදිවූ කලත් යෙහෙන් පිබිදීමක් නැතිව පිබිදිනා කල මහත් කොට ඝෝෂාව පවත්වා පුබුදිනා හෙයින් ස්වමීපයෙහි වැදහොත් වහන්දෑ රාත්‍රියෙහි නිදි නැතිව හිඳිනාසේක. මේ කථාව දම්සභාමණ්ඩපයෙහි රැස්වූ මහළුවරුන් වහන්සේ විසින් කියමින් උන්කල්හි සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාල කල්හි අසවල් නම අකාළරාවිවූ නියාව කිය කියා උනුම්හයි දැන්වූකල්හි මහණෙනි මොහු දැන්මතු නොවෙයි පළමුත් අකාළරාවී වූවෝ වේදැයි වදාරා ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණ කුලයක ඉපද උගතමනා ශිල්ප ශාස්ත්‍ර නිමවා දිසාපාමොක් ආචාරීව පන්සියයක් අතවැස්සන්ට ආචාරීව වසන්නාහ. එසමයෙහි අතවැස්සන්ගේ කල් නොවරදවා හඬන කුකුළෙක් ඇතිවූ නිසා ශිල්ල ශාස්ත්‍ර වේලාවට පිරුවති. ශාස්ත්‍ර නොපිරිහෙලා ඉන්නා අවදියෙහි ඒ කුකුළා කල්යාමකින් නැසී ගියහ. එක් ශිෂ්‍යයෙක් සවසානභූමිය කෙරේ බැද්දක දර කඩා ගියේ එක් කුකුළකු අල්වා ගෙණවුත් මැදිරියක ලා පෝෂ්‍යය කෙරෙති. එසමයෙහි ඒ කුකුළා අඬන කල මඬ්‍යම රාත්‍රියෙහි ඇඬූ කල්හි ශිෂ්‍යයෝ පිබිද ශිල්ප ශාස්ත්‍ර පිරිවන්නට නැගීසිටි කලට වේලා බෝ විසින් නිද නිදා පිරිවීමෙන් වනපොත් කළ දෙයත් පිරිහෙයි. අළුයම් වේලේ හැඬූ කල මඳ විසින් තිබෙයි. මේ දෙකාරණයෙන්ම ශිල්පය පසුබසිනා බව දැක සිතන්නාහු මේ කුකුළා ඇඬීමෙන් අමුතුම ශිල්ප උගන්නා තබා පළමු කළදෙයත් අපවත් වෙයි සිතා ඌ මරා එපවත් ආචාරීන්ට කීහ. ආචාය්‍ර්‍ය මවුපියන් නැතිව ආචාය්‍ර්‍ය ගුරු කෙනෙක් නැතිව ව්‍යසර්‍ථත වෙන කෙනෙකුන්ගේ පණත මේ කුකුළාසේමයයි කියා ශිෂ්‍යයන්ට අවවාද දී කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා දෙකල් ගළපා මේ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කල්වරත් නොදැන අඬන කුකුළා නම් පිබිදීම ව්‍යවස්ථිත නොවන මහණය, ශිෂ්‍යයෝ නම් දැන් මේ බුදුපිරිසය, ආචාරීව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාරා මේ ජාතකය නිමවා වදාළසේක.