මුල් පිටුව 201 සිට 250 දක්වා 201 සුංසුමාර ජාතකය

201 සුංසුමාර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මුනීන්ද්‍රවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත ස්ථවිරියන්ගේ වධයට උත්සාහ කිරීමක් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්.

එක් දවසක් සංඝයා වහන්සේ ධර්මසභා මණ්ඩපයෙහි රැස්ව දේවදත්ත ස්ථිරියෝ සර්වඥයන් වහන්සේට වධයට උත්සාහ කෙරෙති කිය කියා උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්ත උනුදැයි වදාරා එපවත් අසා පළමුත් දේවදත්ත ස්ථවිරියෝ මා නසන්නට උත්සාහ කොට හයක් විවරත් උපදවා නුහුනුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේකි.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ගංගාවක් සමීපයෙහි බැද්දක වානරව ඉපිද දවස් හරණ සේක. එසමයෙහි එක් කිඹුල් දෙනෙක් බෝධිසත්වයන් දැක බෝධිසත්වයන්ගේ හෘදමාංශය කන්ට දොළොක් ඇතිව එපවත් තමාගේ කිඹුලාට කියන්නී ස්වාමි පුත්‍රයානෙනි ඇත්සමාන බලඇති වානර රජ්ජුරුවන්ගේ හෘදමංස කන්නට මට දොළක් උපනැයි කියන්නා ඊට කිඹුලා කියන්නේ අපි ජලයෙහි වාසය කරන්නෝය ඔහු වනාහි ගොඩ වාසයකරන්නේය, එසේ හෙයින් උන්ගේ හෘදයමාංසය ගෙණෙන්ට මට පිළිවන්දැයි කිහ. එබස් අසා කිඹුල් දෙන කියන්නී ස්වාමිනි නුඹදන්නා යම් උපායකින් හෘදමාංශය ගෙනෙන්න, නොගෙනාවොත් මාගේ ජිවිතය නොතිබෙයි කිව එබස් අසා කිඹුලා යහපැතැයි කියා වදාරා වානර රජ්ජුරුවන් වසන ගස සමීපයට ගොස් වානර රජ්ජුරුවෙනි ඇයි තොප කසට ඵලාපල කා මෙතන ඉන්නේ බලාත් එගොඩ අඹ දොඹ දෙල් බෙලි කිතුල් තල් ආදීවූ මිහිරි ඵලාපල ඇති වනයේ වාසය කළොත් නපුරුදැයි විචාළාහ. එබස් අසා වානර රජ්ජුරුවෝ කියන්නාහූ කිඹුලානෙනි දෙබිත්තියේ ගසා වතුර යෙමින් සිටියදී ගඟ මෙගොඩ සිට එගොඩට පැනපියා නොහැක්ක කුමක් කෙරෙම්දැයි කීහ. එවිට කිඹුල් කියන්නේ තොපගේ අභිප්‍රාය ඇත්නම් මාගේ පිට ඉඳවාගෙණ ගොඩලාගණිමි කිය. එබස් වානර රජ්ජුරුවෝ අසා යහපත පිට පැලවයි කිය කිඹුලා පිටට පැන නැංගාහ. එවිට කිඹුල් වඳුරානන් පිට හිඳුවා ගස මධ්‍යයට ගොස් දියෙහි ගිලෙන්නට වන, එවිට බෝධිසත්වයෝ මේ කිම්ද සබඳ මා ඇරගෙණ දියෙහි ගිලෙව්නැයි කිහ. එබස් අසා කිඹුලා කියන්නේ තොපට ඵලාපල දෙන්ට උන් එකෙක්ද මාවාගේ කිඹුල්දෙන් තොපගේ හෘදමාංස උවමැනවැයි මාහට කී සෙයින් තොප මරා හෘදමාංස ගන්ට ගෙණාවෙමි කිහ. එබස් අසා වානර රජ්ජුරුවෝ කියන්නාහූ එසේ සිතන්නේ යහපත වඳුරානගේ හෘදමාංස ලෙයි තිබේනම් ඒ ඒ තෙන පිණිමෙන් සුනුවිසුනු නොවේදැයි කීය. එබස් අසා කිඹුල් තොපගේ හෘදමංසය කොයිතිබේදැයි කිය. බෝධිසත්වයෝ එතනට ලන්වූ විලික්‍ෂණ වූ දිඹුල් ගෙඩි ඇති ගසක් දැක තෙළ දිඹුල් ගසෙහි එල්ලෙන්නේ මාගේ හෘදමංසවවි කීහ. එවිට කිඹුලා එසේ වීනම් තොප නොමරමියි හෘදමංසය මට දෙවයි කියා වඳූරා ගොඩලීය. වඳූරු ගසට නැගී තාගේ ගොඩතිබූ අඹ දඹ යෙන් මට කිසි ප්‍රයෝජනයක් නැත එළම අඥාන වූ කිඹුල වඳූරන්ගේ අත් මාත් ඹබ්බේ තිබේද. තා මහත් පමණ මිසක් තාගේ ලෙයි කිසිම නුවනෙක් නැත්තේවේද, තා වංචාකළ නියාව තෝ නොදන්නේය. එසේහෙයින් තෝ තාගේ විමනයට පලායවයි කීහ. කිඹුල් දාසින් පැරදාගිය එකෙකුසේ වික්‍ෂ්පයට පැමිණ තමා ඉන්න වාසස්ථානයටම ගියේයයි වදාරා සුංසුමාර ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි කිඹුල්දෙන නම් චිංචිමානවිකාය, කිඹුලා නම් දේවදත් ස්ථවිරියෝය. වඳූරුව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.