මුල් පිටුව 451 සිට 500 දක්වා 467 තක්කාරී ජාතකය

467 තක්කාරී ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ශාන්ති නායකයන් වහන්සේ දෙව්රම්හි දී කෝකාලික තෙරුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

එක් වස් සමයක අගසව් දෙදෙනා වහන්සේ විවේක ව වසනු කැමතිව කෝකාලික තෙරුන් වසන තැනට ගොස් ඔහු අමතා ස්ථවිරයිනි, තොප නිසා අපටත් අප නිසා තොපටත් යම් සේ සැප වූ විහරණයක් වේ නම් එපරිද්දෙන් මෙතු මස මෙතැන් හි වසනු කැමැත්තෙමුයි වදාළ සේක.කෝකාලික තෙරුන් එබස් අසා ඇවැත්නි, මානිසා තොපට වන සැප විහරණ කවරේද, දෑගසව්වන් වහන්සේ, කොකාලික ස්ථවිරයෙනි, තොප් අගසව්වන් දෙනොවහන්සේ මෙතැන් හි වසන බව කිසිවෙකුට නොකියතොත් අප සැපසේ වසම් හ. තොපගෙන් අපට ලැබෙන පහසුව එයම වේ. අප තොපට මේ වස් තුන්මස මුළුල්ලෙහි සූත්‍ර අභිධර්ම දෙකින් බණ කියම්හ. ඒ අපෙන් ඔබට ලැබෙන උපකාරය වේ යයි වදාළසේක. එසඳ කෝකාලික තෙරුන් වහන්සේ අගසව් දෙනමට උතුම් වූ සෙනසුන් එලවීය.ඒ දෙනම විහාරයෙහි වසන නියාව කිසිවෙක් නොදනිති. වස් කෙළවර බුදුන් වඳින්ට යම්හයි කෝකාලික තෙරුන්ට කීබස් පිළිගෙන දෙනම කැඳවාගෙන සමීප ගමකට සිඟා වැඩි සේක. අගසව් දෙනම වළඳා පිටත නික්මුණු විට කෝකාලික තෙරුනු නැවත ගමට පැමිණ උපාසකවරුනි, තොප තිරිසනුන් හා සරිවේද අගසව් දෙනම තුන් මසක් තුළ මේ සමීපයෙහි වසන නියාව නොදනු ද? දැන් ඒ දෙදෙනා වහන්සේ පෙරළා වැඩිසේකැයි කීහ. එසේ ඇසූ මනුෂ්‍යයෝ බොහෝ කණගාටුවට පත්ව පිරිකර ගිතෙල් ආදී දේ ගෙන අගසව්වන් කරා ගොස් වැඳ නමස්කාර කොට ඔබ දෙනම අගසව් දෙනම බැව් දැනගත නොහැකි විය. අපට අනුකම්පාවෙන් මෙය පිළිගත මැනවයි ඒ පිළිගැන්වූහ. අගසව් දෙනම ඒ පිරිකර ප්‍රතික්‍ෂේප කළ සේක. කෝකාලික තෙරුන්ට ද එය නොදෙවාපු සේක. උපාසක වරු, එසේනම් නැවත වරක් එගමග මඩිනා සේ ආරාධනා කොට ගියහ. කේකාලික තෙරුන් වහන්සේ, අගසව් දෙනම තමන් දපිරිකර නොගත්තාහ මටත් නුදුන්නේ යයි, අගසව් දෙනම කෙරෙහි අඝාත බැඳි සේක. අගසව්වන් වහන්සේ බුදුන් වහන්සේ සමීපයෙහි ටික කලක් වැස තම පිරිස පන්සියයක් ගෙන ඉන් පිට වී කෝකාලික රටට පැමිණි සේක. උපාසකවරු දිනපතා සිව්පසයෙන් උවටැන් කරති. අගසව් දෙනම හා ගිය භික්‍ෂූන් වහන්සේලා සිවුරු පිළි කැටුව ගිය භික්‍ෂූන් වහන්සේටම බෙදා දෙන සේක. කෝකාලික තෙරුන්ට නොදෙන සේක. එයින් කිපුනු ඒ තෙරුන් වහන්සේ කියන්නේ සැරියුත් මුගලන් දෙනම පවිටු අදහස් ඇතතේය. උපාසකවරු දුන පිරිකර කලින පිළනොගෙන දැන් පිළිගනිති. ඇති කමක් ද නොපෙනෙයි. අන් අයට ද නොදෙති. දුෂ්ට අදහස් ඇත්තේ යැයි අගසව් දෙනමට අක්‍රොෂ පරිභව බනන සේක. අගසව් දෙනම මේ කෝකාලික තෙරණුවෝ අප නිසා බොහෝ අකුසල් පුරා ගනිතියි සිතා සහ පිරිවරින් නික්මුණාහ. උපාසකවරු හඬා වැලපෙද්දී කිසිත් නොබැන වඩිනසේක් ලදරු භික්ෂුවක් කියනනේ උපාසකවරුනි, අගසව් දෙනම මෙතන කෙසේ වසන සේක් ද? තොපගේ කුළුපඟ කෝකාලික තෙරුන් වහන්සේ නොකැමති සේකැයි කීහ. උපාසකවරු කිපී කෝකාලික තෙරුන් සමීපයට ගොස් අගසව් දෙනම ක්‍ෂමා කරවාගෙන මෙහිම රැඳවුව මැනව නැත්නම් ඔබ වහන්සේ මින් පිටව ගිය මැනවයි කීහ. ඒ තෙරණුවෝ උපාසකවරුන්ට බියෙන් ගොස් අගසව් දෙනම රඳවන්නට ආරාධනා කළේය. ඒ දෙනම ඇවැත්නි, තොප පළායව. අපි නොරදම්හයි කියා වැඩි සේක. කෝකාලික තෙරුන්වහන්සේ හුදකලාවම විහාරයට ගියේ උපාසකවරුන්ගේ අකමැත්තෙන් එහි වසනු නොහැකි ව අසරණ ව පා සිවුරු ගෙන බුදුන්ගේ සරණ සොයා ජේතවනාරාමයට ගොස් ස්වාමීනී, සැරියුත් මුගලන් දෙනම පවිටු අදහස් ඇති ඉතා ලාමක ඉච්ඡාවන්ගේ වසඟයට පැමිණියාහයි කීවේය. එවිට බුදුරජාණන් වහන්සේ කෝකාලිකයෙන, එසේ නොකියව. ඒ දෙනම ඉතා උසස් ගුණවතුන් යයි වදාළ සේක. කෝකාලික තෙරුන් වහන්සේ කියන්නේ ඔබගේ අලසව්වන්ගේ බස් ඉතා පවිටුය. මම එය දනිමි. ඔවුන් දුශ්ශීග යයි සර්වඥයන් වහන්සේ වළකමින් සිටියදී ම තුන්වරක් කියා හුනස්නෙන් නැගී ගියේ නොබෝ වේලාවකින් ඔහුගේ සකල ශරීරයෙහි අඹ ඇට පමණ ගෙඩි නැඟී බෙලි ගෙඩි තරමට ලොකු වී ලේ සැරව ගලන්ට පටන්ගත් කල්හි වේදනාවෙන් කෑ ගසමින් ජේතවන දොරටුවෙහි වැදහොත්තේය. ඔහ්ගේ අපකීර්තිය බඹ ලොව දක්වා පැතිර ගියේය. බඹ ලොව උන්ගේ උපාධ්‍ය වූ තුදු නම් බ්‍රහ්මණයෙක් ඇත. මේ කරුණ දුටු ඔහු මම වහා ගොස් ක්‍ෂමා කරමියි සිතා අහසෙහි සිට කෝකාලිකයිනි, තොප විසින් කරන ලද්දේ රෞද්‍ර කර්මයකි. වහාම ක්‍ෂමාව ලබා ගන්නැයි කීහ. ඇවැත්නි, තෝ කවරෙක් දැයි විචාලේ මම තුදු නම් බ්‍රහ්මයෙමි කී කල බ්‍රහ්මය තෝ අනාගාමී යැයි බුදුන් විසින් වදාරන ලද්දේය. අනාගාමී නම් බ්‍රහ්මලෝකයෙන් මේ මනුෂ්‍ය ලෝකයට පෙරලා නොඑන්නාහු යැයි කියන ලද්දේ නොවේද? තෝ වූ කලී කසළ ගොඩ ඇවිදිනා වූ පිසාචයෙක් මෙනැයි කියා බ්‍රහ්මයාට අපහාස කළ සේක. ඒ බ්‍රහ්මයා තොපගේ බස් තොපම විඳුවයි සුඬාවාසයට ගියේය. කෝකාලික තෙරණුවෝ කාලක්‍රියා කොට පරම නරකයෙහි උපන්හ. ඔහු එහි උපන් නියාව දුටු සහම්පති මහා බ්‍රහ්මයා ඒ බව බුදුන්ට දැන්වීය. මේ ගැන දම් සභා මණ්ඩපයෙහි උපන් කථාවක් අරභයා කෝකාලිකයන් තමන්ගේ බස් නිසා පෙරත් නටුයේ වේ දැයි ඉකුත් වත වදාළ සේක.

යටගිය දවස බරණැස බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි ඒ රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයා පිටතට නික්මුණු දළ ඇත්තේය. ඔහුගේ බිරිඳ වෙන බමුණෙකු සමග සංවාසය කරන්නීය. පුරෝහිතයාගේ මෙන් ඔහුගේ ද මුඛයෙන් පිටතට නිත්මුණු දළ ඇත්තේය. පුරෝහිත බ්‍රාහ්මණයා මේ බමුණාගෙන් බිරිඳ බේරාගත නොහී උපායකින් බමුණා මරවමියි සිතා රජ්ජුරුවන් ළඟට ගොස් කියන්නේ රජතුමනි මෙතරම් විශාල රාජ්‍යයක දකුණු වාසල දොර පිහිටුවා තිබෙන නියාව ඉතා අයහපත්ය. මෙනුවර අග රජ වූ ඔබ වහන්සේට ඉන් අපල ගෙන දෙන්නේය. එය කඩා දමා හොඳ නැකැත් යොගයකින් වාසල් දොර පිහිට විය යුතු යැයි කීහ. ඊට කළමනා කවරේ දැයි විචාළ කල්හි සුභ නැකතක් බලා එහි අධිගෘහිත දේවතාවන්ට බිලි දිය යුතුයැයි කීහ. එසේ නම් එලෙස කරවයි රජතුමා අණ කළහ. එකල මහා පිණැති තක්තාරී නම් මානවකයෙක් ඒ පුරෝහිත බ්‍රාහ්මණයා ළඟ ශිල්ප උගන්නාහ. පුරෝහිත බ්‍රාහ්මණයා පරණ දොරටුව බිඳ දමා අලුත් දොරක් සූදානම් කොට සෙට නැකත යහපත. බිලියම් කොට දොර සිටවිය යුතු යැයි රජතුමාට දැන්විය. ආචාරීනි, කුමක් බිලියම් කළ යුතු දැයි විචාල කලහි දේවයන් වහන්ස මේ දොරටුවෙහ් මහේශාක්‍ය දේවතාවෝ අධිගෘහිතය. එබැවින් මුඛයෙන පිටතට නිකමුණා වූ දළ ඇතිව උභය කුළ පාරිශුද්ධ වූ බමුණකු මරා ඔහුගේ මස් හා ලෙයි් බිලියම් කොට දොර සිටුවන වලට හෙලා ඒ මත්තේ දොර සිටවිය යුත්තේ යැයි කීයෙන් රජතුමා ඊට විධාන කළහ. පුරෝහිත බ්‍රාහ්මණයා ඉතා සතුටුව අද සතුරා විනාශ කරමියි සිතා වේගවත්ව ගෙට ගොස් මුඛය රැක ගත නොහී වහා භාර්යාවට කයන්නේ පවිටු චණ්ඩාල ස්ත්‍රිය අද පටන් තී කවරෙකු සමග අභිරමණය කෙරේද? සෙට තිගෙ සොර පුරුෂයා මරා බිලියම් කෙරෙමි කීය. නිරපරාද උන් කුමක් නිසා මරව් දැයි විචාල ගමනේ පිටතට නික්මුණු දළ ඇති ඇස් වපර බමුණකු මරා බිලි දී දකුණු වාසල දොර පිහිටුවන්නේ යැයි කීහ. එබස් අසා ඈ තම සොර සැමියාට කියා යවන්නේ පිටතට නික්මුණු දළ ඇති බමුණු මරා බිලියම් කොට දකුණු වාසල් දොර පිහිටුවන්ට රජතුමා අණකළ සේක්ල. එබැවින් තා හා සමාන වූ බමුණන් ද ගෙන ටෙ උදෑසනින්ම නුවරින් පළා යවයි කියා යැවූහ. ඔහු ද එලෙසම කළේ ය. ඒ බව නුවර ප්‍රකට විය. පුරෝහිත බමුණාගේ සතුරා පළා ගිය නියාව නෙදැන උදෑසන රජුන් ළඟට ගොස් කියනනේ රජතුමනි, අසවල් තැන දළ ඇති බමුණෙක් ඇත. අල්වා ගෙන්වා ගත මැනවයි කීහ. රජතුමා මනුෂ්‍යයන් යැවූහ. මනුෂ්‍යයෝ අවුත් ඔහු පළා ගිය බව කීහ. නුවර සෑම තැනම එවැනි කෙනෙකු බලා නැතිව පුරෝහිත බ්‍රාහ්මණයා හැර අන් එබඳු කෙනෙකු නැතැයි කීහ. පුරෝහිත බමුණා මරන්ට නොපිළිවන් වේදැයි කී කල්හි රජතුමනි කුමක් කියන සේක් ද පුරෝහිතයා නිසා අද මේ නැකතින් දොර නොපිහිටවා නැකත ඉක්ම ගියහොත් නැවත නැකැත් නොලැබෙන්නේය. දොර නැතිව තුබූ කල්හි සතුරන්ට ඇතුල් විය හැක. එහෙයින් කවරකු හෝ අල්ලා ශාස්ත්‍රයෙහි නිපුනු බමුණකු ලවා බිලි පූජා කරවම්හයි කීහ. මහජනයාගේ මෙබස් ඇසූ රජ්ජුරුවෝ කිමෙක්ද පුරෝහිත බමුණා හා සමාන උගතෙක් ඇත්දැයි විචාළ ගමනේ ඔහුගේ අතවැසි තක්කාරී මානවකයා ශාස්ත්‍රයෙහි කෙළ පැමිණිබව දැන උන් කැඳවා සම්මාන කොට පුරෝහිත තනතුර දී දොර පිහිටුවන්ට විධාන කළහ. තක්කාරී මානවක නව පුරෝහිත බමුණා මහා පෙරහරින් දොර පිහිටුවන තැනට ගියාහ. පරණ පුරෝහිත බමුණා රජ අණින් බැඳගෙන වුත් දෙදෙනාම බිළිදෙන වළ වටකොට ඇඳි තිරය තුළට වී සිටියහ. මහළු පුරෝහිතයා වළ බලා මගේ කට නිසා මටම සිදුවූවිපතක මහත. දුෂ්ට ස්ත්‍රියට නොකියේ නම් මේ අනතුර සිදු නොවේ. වනේ වසන මැඩියෝ ඇඬීමෙන් තමා ළඟට සර්පයන් කැඳවන්නාක් මෙන් මම ද මෙය බිරිඳට කියා මරුවා කැඳවා ගතිමියි කීය. තක්කාරී පුරෝහිත බමුණා ආචාරීන් වහන්ස, බොහෝ කොට දොඩන පුද්ගල තෙමේ අන්දු බන්ධන රජ්ජු බන්ධන සංඛලික බන්ධන ආදියටත් අත් පා සිඳීමටත් මරණයටත් පත් වන්නේය. ඔබට පැමිණ ඇත්තේ එයමය. මුඛය රැක ගත නොහී දුකට පැමිණියෝ ඔබ පමණක් නොව සෙස්සෝත් පැමිණියෝම වේදැයි මේ කථාව ගෙන හැර දැක්වීය.

ඒ කෙසේ ද යත් ,

පෙර බරණැස් නුවර දවස දහස බැගින් වස්තු උපයන කාලි නම් වෙසඟනක් වූවාය. ඈට ස්ත්‍රී ධූර්තව ඇවිදින තුඬිල නම් මළණු කෙනෙක් විය. ගණිකාව ඔහුට නිතර වස්තුව දෙන්නී ඔහු සියල්ලම විනාශ කර දමන්නේ් ය. ඔහුගේ දූකෙළෙීම නතර කොට නොහැකි වූයේ දිනක් ඔහු ඉන තුබූ වස්ත්‍රය ද උගස් කොට කඩ රෙද්දක් පමණක් ඇඳ ගෙන ගෙට ආයේය. තුඬිලයාට කිසිවක් නොදී බෙල්ලෙන් ඇද එලියට දමන ලෙස ගණිකාව එහි වැසි කෙල්ලන්ට නියම කළාය. තුඬිලයා දොරකඩ අඬමින් උන්නේ නිතර ගණිකාවට මසුරන් දහසක් ගෙන එන එක් සිටු පුත්‍රයෙක් තුඬිලයා දැක ඇඩීමට හේතුව විචාරා ගණිකාවට එය දන්වා ඈ නොකැමැත්තෙන් තමාට දුන් පිළි හැඳ තමා කලින් හැඳි වස්ත්‍ර තුඬිලයාට දුන්නේය. ඔහු ඒ වස්ත්‍ර හැඳ නටමින් රා බොන්නට ගියේය. ගණිකාව එය දැක කෙල්ලන්ට විධානය කරන්නේ සෙට මේ සිටු පුත්‍රයා යන වේලෙහි මා දුන් පිළි උදුරා ගනුවයි විධානය කළාය. කෙල්ලෝ ද ඹහු නික්මෙන වේලෙහි ඈතින් මෑතින් දිව අවුත් පිළි උදුරා ගෙන සුටු පුත්‍රයා නග්න ගොට යැවූහ. ඔහු මහජනයාගේ නින්දා පරිභව ලබමින් කට නිසා මට වූ විපතකැයි කියා හඬමින් ගියේය. ඔබට ද වූයේ සිටු පුත්‍රයාටමෙන් දෙයකැයි කතාව හමාර කොට නැවත උදාහරණයක් පෙන්වනු සඳහා පෙර එළුවන් දෙදෙනෙක් පොර අණ ගන්නට පටන් ගත් කල්හි එක් කෑරලෙක් තව මොහොතකින් මුන් දෙදෙනා ඔළු පළාගෙන මිය යන්නාහ. එබැවින් වළකමියි සිතා සබඳනි, පොර නානුවයි වලක්වා එය නොඅසා නැවත නැවතත් පොරට වන් කල්හි එසේ නම් මා මරා යුධ කරවයි කියා දෙදෙනාගේ නළල් අතරට වී උන්නේ ගලක ලා ඇඹරූ කලක් මෙන් නළල් දෙක අතරට හිර වී විනාශයට පැමිණියේය. එය ද ඔබ කළ මෝඩකම හා සමානය.

තව ද බරණැස් නුවර ගෝපල්ලෝ රැළක් ඵල ගත් තල් ගසක් දැක එයට නැගී ගෙඩි කඩමින් උන්නේ සර්පයෙක් තල් ගසට නැගෙන්නා දැක බිම උන් ගොපල්ලෝ තණ වලින් කරන ලද එක් කඩක් සතර කොණින් අල්ලා ගෙන වහාම ඒ මත්තට පැන සර්පයාගෙන් මිදෙවයි ගස උඩ උන් ගොපල්ලාට කීහ. ඔහු භයින් ඊට පැන්නේ තණ ඇතිරිය කඩා ගෙන ශවුන් මත්තට වැටී ඔලු පැලී ජීවිතක්‍ෂයට පත් වූහ. ඔබට ද වූයේ මෙබඳු දෙයකැයි කීහ.

තව ද බරණැස් නුවර සොර සමූහයක් එළුවකු අල්ලා මුඛය බැඳ වනයට ගෙන ගොස් මරාකමියි උණ කැළයක් අස්සේ තබා දෙවෙනි දවස එහි ආවාහු ආයුධ අමතකව සිතන්නාහු අයුධ නැතිව මූ මරා කන්නේ කෙසේ ද? එබැවින් එළුවා හැර දමමි. අප හැමට කුසල් ඇතැයි කියා හැර දැමූහ. ඒ අතර එක් කුළුපොත්තෙක් උණ දඬු කපා කැත්ත උණ කැළය අස්සේ තබා ගියේ ය. එළුවා සොරුන්ගෙන් මිදී ඉතා සතුටුව උණ කැළය අසල කෙළිමින් සිටියේ පා පහර වැදී අසළ වූ කැත්ත විසිවී ගොස් දුර වැටුනි. ඒ හඬ ඇසුණු සොරු පරීක්‍ෂා කොට එහි දුවවිත් එළුවා හා කැත්ත දැක වහා ඌ අල්ලා ඒ කැත්තෙන් කපා මරා කෑවාහුය. එළුවා තමා කළ දෙයින්ම මරුමුවට පත් විය. ඔබට ද වූයේ එබඳු දෙයකැයි දක්වා තමාගේ කට රැකගත් සත්ත්වයෝ මරණ දුකින් මුදුනු නියාව දක්වන සඳහා තව කතා වසුතුවක් ගෙනහැර දැක්වූහ.

ඒ කෙසේ ද යත්,

බරණැස් නුවර එක් වැදි පුත්‍රයෙක් හිමාලයට ගොස් උපායකින් කිම්පුරුෂ කින්නරාංගනා දෙදෙනෙකු අල්ලා ගෙන අවුත් රජ්ජුරුවන්ට දුන්නේය. රජතුමා පෙර නොදුටු විරූ කිඳුරන් දැක වැදි පුත්‍රය මොවුන්ගේ ගුණ කවරදැයි විචාළාහ. රජතුමනි, මොහු මනුෂ්‍යයන්ට නොහැකි ලෙස මිහිරි හඬින් ගායනා කරති. ලීලෝපේතව නටතියි කීහ. රජතුමා සතුටුව ඔහුට වස්තුව දී කිඳුරන් නටවයි ගී කියවයි විධාන කළහ. ඒ ඇසූ කිඳුරෝ අක්‍ෂර සම්පූර්ණ කොට ගායනා කරන්නට නටන්නට නෙහැකි වුවහොත් නපුරු වන්නේය. එවිට අපිට නින්දා කරති. මරති. එබැවින් අපි එය රැක ගත යුතු යැයි සිතා නිහඬ වූහ. නැවත නැවත කියත් දීත් නිහඬවන කිඳුන් දුටු රජතුමා මුන්ගෙන් කවර පලයෙක්ද? එකකු සවසට පිස අකො හෙට උදෑසන පිසවයි විධාන කළහ. මෙයින් බියට පත් කිඳුරෝ රජතුමා අමතා තමන් නො නැටීමට හේතුව දක්වා ධර්ම දේශනා කොට අභය ලබා රජ්ජුරුවන්ට ද යහපතක් කොට ගියහ. නුසුදුසු අවස්ථාවේ කථා කෙළේ නම් නින්දාවට ද මරණයට ද පත් වන්ට සිදුවනු ඇත. ආචාරීනී, ඔබ ද කට රැක ගත නොහී අද වැටුන විපතක මහත බලනු මැනවි. ඔබට මම ජීවිත දානය දෙමියි මධ්‍යම රාත්‍රීය වන තුරු සිට මළ එළුවකු ගෙන්වා බමුණා රහසින් එරටින් පිට කොට යවා එළු මසින් බිලියම් කොට වාසල් දොර පිහිට වූහ.

එසමයෙහි පුරෝහිත බ්‍රාහ්මණයා නම් දැන් කෝකාලික තෙරුන්ය. තක්කාරී පණ්ඩිතයෝ නම් බුදුරජාණන් වහන්සේය.