මුල් පිටුව 451 සිට 500 දක්වා 466 ආකීර්ති ජාතකය

466 ආකීර්ති ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් සැවැත් නුවර වැසි සිවුදානපති පුරුෂයෙක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ උපාසක තෙමේ බුදු පාමොක් මහ සඟනට සතියක් දන් පිරිනමා කෙළවර පිරිකර දන් දුන්නේය. බුදුරජාණන් වහන්සේ ඔහුට සිව් පිරිස මැද දී අනුවෙනි ධර්ම දේශනා කරන සේක් උපාසකය තොපගේ පරිත්‍යාගය ඉතා උසස් වන්නේ ය. දානය ගිහිපැව දි කා විසිනුත් කටයුත්තේ ය. පෙර නුවණැත්තෝ තවුස්ව වනයට ආ යාචකයන්ට තමන් සතු ලුණු නැතිව තැම්බූ කරකොළ පවා ඉතා ප්‍රීතියෙන් දන් දී සැපසේ දවස් යැව්වෝ වේ දැයි දක්වා ඉකුත් වත වදාළ සේක.

ඉහත බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි අසූකෙළක් මහා සම්පත් ඇති බමුණු මහා සාරකුලයක උපන් අකීර්ති නම් බ්‍රාහ්මණ මානවකයෙක් තම දෙමව්පියන්ගේ ඇවෑමෙන් සියලු වස්තුව දානමුඛයෙහි පරිත්‍යාග කොට තම බන්ධු වර්ගයා අඬ අඬා සිටිය දී යසවතී නම් වූ තම එක ම නැගෙණිය ද කැඳවාගෙන බරණැස් නුවර වාසල් දොරින් නික්ම තුන් යොදුනක් පමණක් ගොස් පන්සලක් කොට ගෙන නැගෙණියන් සමග පැවදි ව කල් යැවූ හ. ඔවුන් එනුවරින් පිට වී ගිය දොර අකීර්තිචාර නමින් ද ගඟට බැස එතෙර වූ තොට අකීර්ති තීර්ත යන නමින් ද ප්‍රසිද්ධ විය. ඔහු මහණ වූ තැන් පටන් බොහෝ ගම් නියම් ගම් රාජධානි වල මනුෂ්‍යයෝ එහි පැවදි වූහ. මහ පිරිවර හා ලාභ සත්කාර උපන. බුද්ධෝත්පාද කාලයක මෙන් පැවැත්නේ ය. අකීර්ති මහා තාපසයන් වහන්සේ මෙහි ලාභ සත්කාර ඉතා මහති. පිරිසත් අධික ය. හුදකලාව ම විසිය යුතුයැයි සිතා තම නැගෙණියටවත් නො දන්වා රාත්‍රී කාලයේ පිටත්ව ගොස් ක්‍රමයෙන් සොළී රට කාවීර නම් පටුන් ගම සමීපයෙහි උයනක වැස පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත් හ. එහි ද මහත් ලාභ සත්කාර හට ගත්තේ එය ද පිළිකුල් කරමින් අහස් නැගි නාගදීපය සමීපයේ කාර දිවයිනට බටහ. එකල කාර දිවයින අහිදීප නම් විය. තාපසයන් වහන්සේ එහි වූ මහා කර ගසක් යට පන්සලක් කොට ගෙන වාසය කළා හ. ඒ බැව් කිසි කෙනෙකුන් නො දන්නා හ. නැගෙණියෝ තම සහෝදරයන් වහන්සේ සොයමින් ක්‍රමයෙන් සොළී රටට ගොස් එහි නොදැක උන්වහන්සේ කලින් විසූ තැන ම විසූ හ. ධ්‍යානයක් ලබා ගත නොහැකි විය. තාපසයන් වහන්සේ අල්පේච්ඡ බැවින් අන් තැනකට නොගොස් කර ගස මුල ම එහි ඵල හට ගත් කල්හි ඵල අනුභව කරමින් ද කොළ හට ගත් කල්හි දියවත් කොට තම්බා ඒවා ද අනුභව කරමින් කල් යවන්නේ ඔහුගේ සීල තේජසින් ඒ දුටු සක්‍රයා අකීර්ති තාපසයෝ කුමක් පතා උග්‍ර තපස් රකී ද සක්‍ර සම්පත්තිය උදුරාගනු සඳහා ද නොදනිමි පරීක්‍ෂා කළ යුතුය. ඔහු දුක සේ ජීවත් වෙති. ඉදින් සක්‍ර සම්පත් පතා නම් තමාට තැම්බූ කරකොළ මට දෙති නැත්නම් නොදෙතියි සිතා බමුණු වෙසකින් තාපසයන්ගේ ඉදිරියට ගියහ. තාපසයන් වහන්සේ කරකොල තම්බා නිවුණු පසු අනුභව කරමියි සිතා පන්සල් දොරකොඩ උන්නේ එහි ළඟා වූ සක්‍රයා දැක සතුටුව මට වූයේ මහත් ලාභයෙක. අද දනක් දෙමියි කරකොළ තැම්බූ භාජනය ගෙනවුත් මේ දන් දීම බුදුබව ලැබීම පිණිස ම හේතු වේවයි තමන්ට තබා නොගෙන ම සක්‍ර බමුණාගේ පාත්‍රයෙහි ලූහ. බමුණා දන් ගෙන මද දුරක් ගොස් අතුරුදහන් විය. තාපසයන් වහන්සේ දන් දී නැවත කරකොළ නොතම්බා ප්‍රීතියෙන්ම කල් යැවූ හ. මෙසේ දෙවන තෙවන දවස් හි ද පැමිණි සක්‍ර බමුණා ට කරකොළ දන් දී තෙදිනම නිරාහාරව දුර්වල ව ගියේ පන්සලින් නික්ම තමන් දුන් දන් ගැන සලකමින් පන්සල් දොරකොඩ උන්නේ සක්‍රයා ඔහු දැක මුන් තෙදිනක් ම දන් දී නිරාහාරව සිටියදීත් ප්‍රීතියෙන් ම කල් යවයි. කුමක් පතා දන්නේ දැයි විමසා දැන ගතිමියි සිතා සක්‍ර වෙසින් අවුත් තාපසයෙනි, මෙවැනි දුෂ්කර ස්ථානයක කුමක් පතා තපස් කරවූදැයි විචාළ හ. තාපසයන් වහන්සේ උන් සක්‍ර නියාව දැන මම සක්‍ර වේශය පතන්නේක් නොවෙමි. බුදු බව පතා තපස් කෙරෙමි. සක්‍රය ඉපදීම, ජරාව, මරණය නැත්තා වූ නිවන පතා මේ වනෙහි තපස්කෙරෙමි. සක්‍රයා සතුටට පත් ව පණ්ඩිතයෙනි, මේ යහපත් වචනය හේතුකොට ගෙන තොපට වර දෙමි. කැමති වරයක් ගනුවයි කීහ. එබසට තාපසයන් වහන්සේ සක්‍රයෙනි, මාසිත කිසි දිනෙක ලෝභයෙක් නූපදීවයි කෝපයෙන් නූපදීවයි ආදී වශයෙන් වර ලබා ගෙන සක්‍රයාට ධර්ම දේශනා කළහ. සක්‍රයා ඉතා සතුටුව දෙව් ලොවට ගිය හ. තාපසයන් වහන්සේ භාවනා කොට මියගෝ බඹ ලොව උපන්නා හ.

එසමයෙහි සක්‍රයෝ නම් දැන් අනුරුද්ධ තෙරුන් ය. අකීර්ති පණ්ඩිතයෝ නම් බුදුරජාණන් වහන්සේය.