මුල් පිටුව 451 සිට 500 දක්වා 463 චුල්ලනාරද ජාතකය

463 චුල්ලනාරද ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්. චුල්ල කුමාරිකා පලොභයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

සැවැත් නුවර එක් ගෙදරක සොළොස් හැවිරිදි රූපත් දුවක් වූවාය. ඈ කෙතරම් රූපත් වුවද සරණයට විචාළ කෙනෙක් නැත. එබැවින් ඇමක් දමා මසකු බා ගන්නාක් මෙන් මේ රූපත් දුව කාලා භික්ෂුවක් සිවුරු හරවා ඒ කුල පුත්‍රයා නිසා ජීවත් වෙමියි ඇගේ මව කල්පනා කොට දිනක් ගෙයි කැද බත් අවුළු පත් ආදී දේ සපයා තබා දොරකඩ සිට වීථි මධ්‍යයයෙහි මඩින භික්ෂුන් අතුරින් රස තෘෂ්ණාවෙන් බැඳ ඇර ගන්ට සුදුසු වූ එක් භික්ෂුවක් පරීක්‍ෂා කරන්නේ මහ පිරිවරින් වඩින ත්‍රිපිටකධර දූතාංගධාරී භික්ෂූන් අතර දුහුල් අඳනයක් ඇඳ මටසිළුටු සිවුරක් පොරවා ඉඳුනිල් මිණිවන් පාත්‍රයක් ගෙන ඈත මෑත බලමින් එන භික්ෂුවක් දැක මුන් වහන්සේ වසඟ කර ගත හැකියි සිතා ඉදිරියට ගොස් පාත්‍රය ගෙන කැඳවා ගෙන අවුත් වළඳවා ස්වාමීනී අද පටන් මෙහිම වැඩිය මැනවැයි ආරාධනා කළාය. භික්ෂුවද එතැන් පටන් ඒ ගෙට ගොස් කල්යාමෙන් බලවත් විශ්වාස භාවයට පත් විය. ඇගේ දුව වන රූපස්ථූල කුමාරිකාව ද තම ස්ත්‍රී විලාස දක්වා භික්ෂුව කාම රාගයෙහි අල්වා ගත්තාය. ඇගේ ශරීරය මහත බැවින් ස්ථුල නම යෙදුනා නොව රාගයෙන් ස්ථූල බැවින් ඒ නම ව්‍යවහාර විය. ඒ තරුණ භික්ෂුවද කෙළෙස් වසඟව මම වනාහි දැන් බුද්ධ ශාසනයෙහි පිහිටක් ලබන්නට අසමර්ථයෙමියි සිතා විහාරයට ගොස් පා සිවුරු පාවා දී අසවල් තැනට වස්ත්‍රය එවයි කියා විහාරයට ගොස් පා සිවුරු ගත මැනවැයි සිවුරු හරිමි කැමැත්තෙමියි ආචාරී උපාධ්‍යයන් වහන්සේට කීයේය. උන් වහන්සේ ඒ භික්ෂුව කැඳවා ගෙන බුදුන් සමීපයට ගොස් එපවත් දැන්වූ සේක. සර්වඥයන් වහන්සේ මහණ මේ ශාසනයෙහි ඇළුම් නැති කවරවුවෝ කවුරුදැයි විචාර ස්ථුල කුමාරිකාව විසිනැයි කී කල්හි පෙරත් ඈ වනයෙහි විසූ තොපගේ බ්‍රහ්ම චර්යාවට අන්තරා කොට මහත් වූ අනර්ථ කරවූය. නැවත නැවතත් තොප ඈ නිසා ශාසනයෙහි කළකිරී සිවුරු හරනා කැමැත්තෙහි දැයි වදාරා ඉකුත් වත වදාළ සේක.

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රාජ්‍යය කරන කල්හි කසී රට මහත් සම්පත් ඇති එක් බමුණෙක් තම බිරිඳ මළ පසු එකම පුතණුවන් කැඳවා ගෙන හිමාල වනයට ගොස් පැවදිව විසූහ. එකල සොරු ගම් පැහැර කොල්ල කා මිනිසුන් අල්ලා ගෙන බඩු මිටි උන් ලවාම ඔසවා ගෙන තමාට උවමනා තැනට අරගෙන යති. දිනක් එසේ අල්ලා ගෙන යන එක් රූපත් කුමාරිකාවක් සිතන්නී මේ සොරු අප අල්වා ගෙන මෙහෙවර ගනිති. එක් උපායකින් මුන් පලා යා යුතු යයි සිතා ස්වාමීනී ශරීර කෘත්‍ය කරනු සඳහා මදක් ඉඩ දුනමැනවැයි කියා සොරුන් වංචා කොට උන් කෙරෙන් පලා ගොස් තැන තැන ඇවිදින්නී ඉහත කී අසපුව දැක එහි පැමිණ පිය තවුසා පලා පලයට ගිය කළ තාපස කුමාරයයාන් කාමක්‍රීීඩාවෙන් පොළඹවා ශීල භේද කොට තම වසඟයට ගෙන තොප මෙහි විසීමෙන් කුමන පලයෙක් ද ගමට ගොස් පස්කම් සැප විඳිමින් සැපසේ ඉඳිමු යැයි කීවාය. කුමාරයා එබස් අසා යහපත පියා ආ කළ අවසර ගෙන දෙදෙනාම යම්හයි කීය. ඈ එබස් අසා මේ ළාබාල කුමාරයා කිසිවක් නොදනී. පිය තවුසා ආ කළ මා තලා පෙලා එළවා දමතියි සිතා කුමාරයාණෙනි මම කලින් ගොස් මඟ සිටිමි. තොප පසුව එවයි මඟ සලකුණු කියා ගියාය. කුමාරයෝ ඈ ගිය පසු වත් පිළිවෙත් නොකොට ඉස වසා පොරවා ගෙන ඈ ගැන සිතමින් මුසපත්ව හොත්හ. පිය තවුසා අසපුවට එන්නේ ඇගේ පියවර සටහන් දැක මාගේ පුත්‍රයාගේ සිල් බිඳීමට ආ ස්ත්‍රියකැයි සිතා අසපුවට වැද පුතා අමතා ප්‍රත්‍රය වෙනදා මෙන් පැන් දර සකස් නොකොට පහන් නොදල්වා කුමක් නිසා වැදහොත් දැයි විචාල ගමනේ පියාණෙනි වනයෙහි වසන්නට නොකැමැත්තෙමි ජනපදයට යාමට අදහස හෙයින් ඊට සුදුසු අවවාදයක් දුන මැනවැයි වැද සිට ඉල්ලූහ. පුත්‍රය දේශ චාරිත්‍රය කියමියි.

  1. විෂ අනුභව නොකරව.
  2. ප්‍රපාත ගම් වෛර දුර කරව.
  3. මඩෙහි නොගිලෙව.
  4. සර්පයන් දුරු කරවයි කීහ.
අර්ථ නොවැටහුණ කුමාරයා පියාණෙනි ඒ කරුණු සතර මට නොවැටහෙයි. එය විසඳා වඳාළ මැනවැයි කීය.
  1. පුත මේ ලෝකයෙහි පුස්පාසවාදී මත්වන දෑ සුරා යයි කියති. ඒ සිත්කළු සුවඳැති මධුර වූ රස ඇති එබඳු සුරා උතුමෝ බ්‍රහ්මචර්යාවට විෂයෙකැයි කියති.
  2. පුත මේ ලෝකයේ ස්ත්‍රීහු නම් පස්කම් සැපතෙහි ඇළුන වුන් වැන්න. ගසින් වැටුණ පුළුන් සුළඟින් ගසා ගෙන යන්නා සේ තරුණ සිත පැහැර ගෙන යන්නාහ. නාරද නම් තපස්විනයි බ්‍රහ්මචර්යාවට ස්ත්‍රීහු නම් ප්‍රපාතයක් සමාන යයි කියන ලදහ.
  3. පුත ලාභ-පූජා, ප්‍රසංසා-සත්කාර යනාදිය ඇත්නම් මේ බ්‍රහ්මචර්යාවට මඩෙකැයි කියන ලදහ.
  4. පුත මේ පොළෝ තලයෙහි මහත් යසපිරිවර සහ තේජස ඇතිව රජ දරුවෝ වෙසෙති. එබඳු ආශ්චර්යයෙන් හා අධිපතිභාවයෙන් යුත් රජ දරුවන් සමීපයේ රාජ කුළුපගව නොවසව. බ්‍රහ්මචර්යාව කරන්නාවුන්ට ඒ රජ දරුවෝ නම් සර්පයන් හා සමානය.
පුත ආහාර කැමතිව බත් අනුභව කරන වේලෙහි ගෙයකට එළඹියොත් ඒ ගෙයි හොඳ නරක දැන එබඳු ගෙයින් අනුභව කටයුතුය. එහිදීද පමණ දැන බත් පැන් ගත යුතුය. එසේම අන්‍ය ස්ත්‍රී රූපයෙහි සිත් නොඇලිය යුත්තේ යැයි මෙසේ පුත්‍රයාට අවවාද කළේය. පුත්‍රයා පියාගේ බසට කන් දී පියණෙනි මට ජනපදයෙන් කම්නැත. මෙහිම ඉඳිමියි එහි සිට සමාපත්ති උපදවා ඉන් මිය ගොස් බඹලොව උපන්හ. එසමයෙහි කුමාරිකාව නම් දැන් මේ ස්ථුල කුමාරිකාවය. තාපස කුමාරයෝ නම් උකටලී මහණය. පිය තාපසයෝ නම් බුදුරජාණන් වහන්සේය.