මුල් පිටුව 451 සිට 500 දක්වා 459 මිත්තා මිත්ත ජාතකය

459 මිත්තා මිත්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද හුදු නුවණින් මවාළූ රුවක් වැනිවු තිලෝගුරු බුදුරජානන් වහන්ස් ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන් ගේ අමාත්‍යයකු අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

කොසොල් රජ්ජුරුවෝ එක් අමාත්‍යයෙකුට බොහෝ සම්පත්දී අධික කරුණා ඇත්තාහ. සෙසු අමාත්‍යවරු රජ්ජුරුවන් අමාත්‍යයාට අධික කරුණා ඇතිනියාව දැන නොයෙක් දෝෂකියා බිඳවාපුවාහ. රජ්ජුරුවෝ අමාත්‍යයාගේ දෝෂ පරීක්ෂා කොට කිසි දෝශයක් නැතියෙහින් බුදුරජානන් වහන්සේ කරාගොස් ස්වාමිනි මිත්‍රයාගේ යහපත හා අමිත්‍රයාගේ දෝෂත් අසනු කැමැත්තෙමි කීහ. මහරජ පළමුත් තොපගේ රජ දරුවෝ නුවනැත්තන් අතින් විචාළගමනේ නුවණැත්තෝ විසඳා කිව්වෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බොධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට පණ්ඩිත අමාත්‍යය උපන්නාහ. ඒ රජ්ජුරුවෝ එක්තරා අමාත්‍යයෙකුට අධික කරුණා ඇත්තාහ, සෙසු අමාත්‍යවරුත් ඒ අමාත්‍යයකෙරෙහි ඵරිස්සාව බැඳි නොයෙක් දෝෂ රජ්ජුරුවෙන්ට කියා බිඳවුහ.රජ්ජුරුවෝත් ඒ අසා අමාත්‍යයාගේ දෝෂ පරීක්‍ෂා කොට කිසි දෝශයක් නොදැක සිතන්නාහ.මිත්‍රයාගේ යහපතින් අමිත්‍රයාගේ දෝෂයත් පණ්ඩිත අමාත්‍යයාගෙන් අසනු කැමැත්තෙමි කියා ගෙන්වා විචාරන්නාහු මේ ලෝකයෙහි නුවැණැත්තාවූ සත්වතෙමේ කෙසේ වු කාරියක් කරන්නාවු සත්වයා ඇසින් දැකවත් කණින් අසාවත් මේ මට අමිත්‍රයයි දැනගණිද ඒ මිත්‍රයයි දැනගණිද ඒ මිත්‍රයා දැනගන්නා පිණිස නුවණැත්තාවු සත්වතෙමේ කෙසේ වීර්ය කෙරේදැයි විචාලාහ. එබස් අසා රජ්ජුරුවන්ට අමිත්‍ර ලක්ෂණ කියන්නාහු බෝධිසත්වයෝ මහරජ්ජුරුවන් වහන්ස මිත්‍ර ප්‍රතිරූපකවු සත්වතෙමේ මිත්‍රවු දැක සන්තෝෂාකාරයක් නොදක්වා ද ඒ මිත්‍රයාගේ කථා පිළිගෙණ සතුටු නොවේද මිත්‍රයා තමා මූන බැළු අවස්ථාවෙහි තෙමේ මූන බලාද මිත්‍රයාගේ කථාවට විරුද්ධ වේද ඔහුගේ සතුරන් භාජනය කෙරේද මිත්‍රයාගේ බලවත් කාර්යයකට වර්ණනානොකෙරේද ඔහුගේ ප්‍රඥාවට ප්‍රසංසා නොකෙරේද මිත්‍රයාට අවැඩක්වු කල්හි සතුරන් සේ සතුටුවේද වැඩක්වු කල්හි නොසතුටුවේද නොලදහැකි භොජනයක් ලත්කල්හි මිත්‍රතෙම මෙයින් ස්වල්පදෙයක් ලද්දේ නම් යහපතැයි ඔහු සිහි නොකෙරේද යන මේ කාරණා සොළොස්දෙන අමිත්‍රයා කෙරෙහි පිහිටියාහ. නුවනැත්තාවු සත්වතෙම මේ සොළොස් ආකාරයෙන් අමිත්‍රයා දැකත් ඔහුගේ ගුණ අසාත් අමිත්‍ර ලක්ෂණ දැනගන්නේයයි රජ්ජුරුවන්ට අමිත්‍ර ලක්ෂණ කීහ. නැවත රජ්ජුරුවන් විසින් නුවනැත්තාවු සත්වතෙමෙ කෙසේවු කාරියක් කරන්නාවු පුද්ගලයා ඇසින් දැකත් ඔහුගේ කාර්යය අසාත් මේ මිත්‍රයතා යයි දැනගණිද ඔහු මිත්‍ර නියාව දැනගන්නට කෙසේ උත්සාහ කෙරේදැයි විචාළ කල්හි මිත්‍රතලක්ෂණ කියන්නාවු බෝධිසත්වයෝ මහ රජ්ජුරුවන් වහන්ස මිත්‍ර තෙම තමාගේ මිත්‍රයා අන්‍යදෙශයකට ගිය කල්හි ඇමවෙලෙහිම සිහිකෙරේද බැහැර ගොස් ආතැනැත්තවු දැක සතුටු වේද ඔහු කෙරේද මිත්‍රයන්ගේ මිත්‍රභජනය කෙරේද මිත්‍රයාගේ නුගුණ කියන්නාවුන් වලකා ගුණ කියන්නාවුන්ට ප්‍රසංසා කෙරේද තමාගේ රහස් මිත්‍රයාට කියාද ඔහුගේ රහස් තෙමේ සඟවාද මිත්‍රයාගෙන් ස්වල්ප මාත්‍රවූ දෙයක් ලද්දේ නම් ඊට වර්ණනා කෙරේද ඔහුගේ ප්‍රඥාවට ප්‍රසංශා කෙරේද මිත්‍රයාට වැඩක්වු කල්හි සතුටුවේද අවඩක්වු කල්හි දෝම්නස්වේද නොලද ආහාර පාණවර්ගයයක් ලත් කල්හි මාගේ මිත්‍රතෙම මේ භෝජනයෙන් ස්වල්ප මාත්‍රයක් ලද්දේ නම් යහපත් වන්නේයයි ඔහු සිහිකොට අනුභව කෙරේදැයි යන මේ කාරණ සොළොස මිත්‍රයා කෙරෙහි මානව පිහිටියේය. නුවනැත්තාවු සත්වතෙමෙ මේ මිත්‍රයා දැකත් ඔහුගේ කාර්යය අසාත් මේ සොළොස්කාරණයෙන් මිත්‍රලක්ෂණ දැනගන්නේයයි මහබෝසතානෝ රජජුරුවන්ට මිත්‍රයාගේ ලක්ෂණ ප්‍රකාශකොට කීහ. රජ්ජුරුවෝ මහබෝසතානන්ගේ බසට සතුටුව මහත්වු ඓශ්චර්යය දුන්නාහ. ශාස්තෘවු තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ජාතක ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාල මෙසේ මහරජ්ජුරුවෙනි පෙරත් මිත්‍ර අමිත්‍රව දෙදෙනාගේ ලක්ෂණ දැනගන්නට සුදුසුවූ ප්‍රශ්න පහළවිය. එසමයෙහි නුවණැත්තෝම ප්‍රශ්න විස්සජ්ජරනය කොට මෙයාකාරයෙන් මිත්‍ර අමිත්‍ර දෙදෙනාගේ ලක්ෂණ දතයුතුයයි කිවෝ වේදැයි වදාරා මේ මිත්තාමිත්ත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරයයෝය.

එසමයෙහි නවණැත්තාවු අමාත්‍යයෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජු වූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.