මුල් පිටුව 451 සිට 500 දක්වා 458 මහා පදුම ජාතකය

458 මහා පදුම ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කොසිය ජාතකය සුධාභොජන ජාතකයහෙි විස්තර වශයෙන් පෙණෙන්නේය. තවද මෙණ්ඩක ප්‍රශ්න ජාතකය උමන්දාවෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය.

තවද සද්ධර්ම මහා කිරීටවු සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි චිඤචමානවිකාව අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්.

සර්වඥයන් වහන්සේ බුදුවු පසු තීර්ථකයන්ට වන්නාවු ලාභය පිරිහින. තීර්ථකයෝ මේ භවත් ගෞතමයන් බුදුවු තැන්පටන් අපට වන්නාවු ලාභයෙක් ඇත්නම් පිරිහින ඉඳින් අභව්‍යකරවාපුමෝ නම් අපි ලබන්නාවු ලාභ ලබන්නමෝ වේදැයි සිතා තීර්ථකයෝ ඇම එක තැනකට එක්ව කථාකරන්නාහු ඒ ශ්‍රමණ භවත් ගෞතමයෝ දුටු දවස් පටන් අප ලබන්නාවු ලාභයෙන් පිරිහි ගියම්හ. යම් උපායකින් ගෞතමයන් අභව්‍ය කරවාපුමෝ නම් අපි ලාභ ලබන්නෝ මෝ වේදැයි කීහ. ඉන් එක තීර්තකයෙක් කියන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන්ට කිළුටක් කියා අභව්‍ය කරන්ට උවමැනවැයි කියා එසේ වි නම් මේ හැම චිංචිමානවිකා නම් පරිබ්‍රාජිකාවක් ඇත්තීය. බැළුවන්ට ප්‍රසාද වහන සිත්කළුය ඈ නිසා ශ්‍රමණ භවත් ගෞතමයන්ට කිළුටක් උපදවා අභව්‍ය කරවා පිරිහෙලා පියම්හයි කථාකොට උන්නාහ, ඒ තීර්ථකයෝ උන්නාවු ශාලාවට ආවාවු චිංචිමානවිකාව තීර්තකයන්ට වැඳ එකත්පස්ව උන්නාහ, තීර්තකයෝ උන් වැඳිමටත් බැනනොනැංගාහ. දෙවෙනිවත් වැඳලා සිටියාහ, ඒ වෙලෙත් බැණනොනැංගාහ, තුන්වෙනිවත් බැනනොනැංගාහ, ඒ වෙලෙහි විංඤචිමානවිකා විචාරන්නී ඇයි ස්වාමිනි මා විසින් කවර අපරාධයක් කරණලද ද කවර වැරැද්දක් නිසා බැණනොනැගෙන්නේදැයි විචාළාහ. එවිට තීර්ථකයෝ කියන්නාහු තොප විසින් කළ වැරැද්දක් නැත. ශ්‍රමණ භවත් ගෞතමයන් බුදුවූ දවස් පටන් අප ලබන්නාවු ලාභයෙන් පිරිහුනු නියාව නොදැනුදැයි කිවාහුය. දනිමි ස්වාමිනි කීහ. එවිට කියන්නාහු එසේ විනම් උපායකින් බොහෝ මනුෂ්‍යයන්ට දැනෙන නියායෙන් කිළුටක් කියවයි කීහ. චිංඤිමානවිකාත් යහපතැයි තමාගේ ගෙට ගොස් සවස්වෙලෙහි රතුකඩක් ඇඳ ජේතවනාරාමයට යන මග ඹස්සේ ගොස් රෑ තමාගේ තීර්තකයන් ඉදිනා ගෙයක ලැග පාන්දොර එතනින් පිටත්ව ජේතවනාරාමයෙහි ලැග එන කෙණෙකුන්මෙන් අඟවා තමාගේ ගෙට යන්නීය. ඈ දුටු මනුෂ්‍යයෝ තොපි කොයි යව්දැයි විචාළාහ. මා කොයියත් කිම තොපට ඇයි දැයි කියන්නීය. නැවතත් කොයි ගොසින් එව්දැයි විචාළ කල කොයි ගොසින් එත්කීම, තොපට ඇයිදැයි කියන්නී මේ නියායෙන් තුන් සාරමසක් ඇවිද බොහෝ දෙනාට සැක උපන් පසු තොපි කොයටි ගොසින් එව්දැයි විචාළකල්හි මම ජේතවනාරාමයෙහි බුදුන් ලඟ ශ්‍රියහන් කුටියේ ලැඟ එන නියායයි කියන්නීය, මෙසේ කියා බඩ කෝටුමිටියක් බැඳගෙණ ඒ බඩ වසා කඩක් බැඳ දැන් මාගේ දෙමසය තුන් මසය බුදුන් දා දරුවෝයයි කියා බස ප්‍රකාශකොට තන පුඩු කළුකොට ගෙරිඇටින් තවා පය උදුම්මවා දසමසක් ගියකළ බඩ මහත් කොට ගෙණ සර්වඥයන් වහන්සේ බණ වදාරමින් වැඩ උන් ධර්මශාලාවට ගොස් බණ පිරිස් මධ්‍යයෙහි සිට බුදුන්ට කියන්නී නුඹ වහන්සේ බණ පිරිස් පිරිවරා ඉඳ බණ කියනසේක්ද මාගේ බඩ දරුගැබ මුකුරා දසඑකඩ මස පිරුනේය, මා වදන්ට ගෙයක් කොයිද ඉස්තෙල් පාන් තෙල් කොයිද නුඹ වහන්සේ දන්නේ මා හා කැටිව රාත්‍රියේ ක්‍රීඩාවෙහි යෙදෙන්නටමද දරුවැදීමේ තොරුතුරු නුඹ වහන්සේ නොදන්නාසේක.කෝ සල රජ්ජුරුවන්ට කියාවත් මා අනේ පිඩුහමසිටානන්ට කියාවත් විශාඛා මහ උපාසිකාවන්ට කියාවත් මා පෝෂ්‍ය කරණ නියායෙන් පාවා නොදී කුමක් කරණසේක්ද නුඹ වහන්සේ මම පෝෂ්‍යනොකළ මා දරුව දන්නේ කොතනදී දැයි කිව සර්වඥයන් වහන්සේත් වදාරණ බණ තබා ගෙණ වදාරණසේක් නගා තොපලා මාලා දන්නා පමණක් විනා අනික් දන්නෝ කවුරුදැයි වදාළසේක. එවිට කියන්නී නුඹහෙලා මාලා දන්නා පමණක් විනා අනික් දන්නෝ කවුරුන්දැයි කිව, සර්වඥයන් වහන්සේත් නිෂ්කාරණයේවු අපඛ්‍යනයෙකැයි කරබාගෙණ උන්සේක. එවෙලෙහි ශක්‍රයන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුනුවිය ශක්‍රයෝ දිව්‍යපුත්‍රයන් සතර දෙනෙකු චිංචිමානවිකාවන් බඩ බදනා ලද දර මිටිය බැදූම් කපාපියවයි කියා යවුහ. දිව්‍යපුත්‍රයෝ සතර දෙනා මීවෙස් මවාගෙණ ගොස් දරමිටිය කපාළූහ. සුලඟක් මවා බඩ වසා පෙරමිකඩක් පහකළහ. එතන රැස්වු බණ පිරිස නිස්කාරණයේ බුදුන්ට සැලැස්වු අපක්‍යානයක් බලවයි කැටමුගුරු ආදියෙන් මරා වාසලින් පිටත් කළහ, පොළොව පලාගෙණ අවිචිමහනරකයෙන් ගිණිකන්දක් අවුත් නරකයට ගෙණ ගියේය. ධර්මශාලාවේ රැස්වු භික්ෂූන් වහන්සේ විංචිමානවිකාවන් නිෂ්කාරණයේ බුදුන්ට අපඛ්‍යානය සලසා නරකයට ගියාවේදැයි කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පුර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි මහණෙනි පෙරත් චිංචිමානවිකාවෝ බොරු කියා අභව්‍ය වුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳගෙණ දස එකඩ මසකින් වැදුහ. ඒ කුමාරයන්ට නම් තබන්නාහු පදුම කුමාරයෝයයි නම් තුබූහ. උන් උපන් නොබෝ කලකින් බිසවුන් මළහ. උන් මළ පසු රජ්ජුරුවෝ අනික් බිසෝකෙණෙකුන් අගමෙහෙසුන් තනතුරට තුබූහ. ඒ බිසව් රජ්ජුරුවන්ට ප්‍රියව මනවඩති. එසමයෙහි පසල් ගමෙක සොරුන් විසින් භයෙක් උපන රජ්ජුරුවෝ ඒ සොරුන්ගෙන් උපන් භය අසා සංහිඳූවන්ට නික්මුණාහූ බිසව් කියන්නාහු මම මෙතන රැඳි නොයිඳිමි කැටිව එමි කිහ. රජ්ජුරුවෝ කියන්නාහු අප යන්නේ සටනටයි එසේ හෙයින් තොප කැටිව කැඳවාගෙණ යන්ට සේරුවා නොවෙයි කියා තොපගේ දුක්සැප දෙක දක්නට පදුම කුමාරයෝ දකිති කියා බිසවුන් රඳවා පදුම කුමාරයන්ට නුවරත් පාවාදී සේනාව සන්නද්ධ කරවා පසල්ගමට සටනට නික්මුණාහු සොරුන්ගෙන් උපන් භය සන්සිඳවා පෙරලා නුවරට අවුත් නුවරලඟ කඳයුර බැඳගෙණ උන්නාහ. පදුම කුමාරයෝත් රජ්ජුරුවන් ආ නියාව අසා අලංකාරකොට නුවර සරහවයි අමාත්‍යයන්ට විධාන කරවා තනියම රාජනිවාසයට ගොස් රාජනිවාසයේත් ඒ ඒ තැන කළමනා වෙවරත් කරවා අගමෙහෙසුන් බිසවුන් වහන්සේ ඉදිනාගෙට ගොස් වැඳලා සිටියාවු මෑනියන් වහන්සේගේ ඵාසු අඵාසු කිම්දැයි විචාළාසේක. බිසව් පදුම කුමාරයන් දැක පිළිබඳ සිත් ඇතිව මට ඇම්මැයි කියාද කියන්නේයයි මෙසේ අවුත් යානමත්තේ වැදහිඳූමයි කීහ.

පදුම කුමාරයෝ කියන සේක් මෑනියන් වහන්ස කටයුතු දන්නා තැන් පටන් අන් ස්ත්‍රතියකට කෙලෙස් වසයෙන් මුනමැළු විරූත් නැත නුඹ වහන්සේ මාගේ මෑනියන් වහන්සේය පියානන් වහන්සේගේ බිසවුන් වහන්සේ හෙයිනුත් මෑනියන් වහන්සේය, එසේ හෙයින් නුඹ වහන්සේගේ කෙතෙක් කිවත් මම එසේවු අනාචාරය කරන්නේ නැතැයි කීහ. බිසව් බොහෝ යාච්ඥා කළාහ. කෙතෙක් යාච්ඥා කළත් නුඹ වහන්සේ හා අනාචාරයට මා යෙදෙන්නේ නැතැයි කීහ. බිසවු කියන්නාහු මා කරා තොප නොකළ පසු රජ්ජුරුවන් වහන්සේට කියා ඉස කප්පාලමි කීහ. ඉස කප්පන්නේ මේ එක ජාතියෙකවේද නුඹ වහන්සේ ඉස කප්පන්නා තබා කැමති යම් වධයක් කරවුව මැනව මා කනස්සල නැතැයි කියා පදුම කුමාරයෝ පිටත පළා ගියාහ. ඒ කුමාරයන් පළා යන්නා තමන්ගේ ඇඟ තබා ප්‍රහාරයකට තෙල් ගල්වා කිළුටු කඩක් ඇදගෙණ වැදහෙව රජ්ජුරුවන් වහන්සේ මා විචාළ සේක් වී නම් ලෙඩට වැද හෝනාසේකැයි කියවයි අන්තඃපුර වාසීන්ට උගන්වා වැදහොත්තාහ. රජ්ජුරුවොත් නුවරට වැද නුවර ප්‍රදක්‍ෂිණාකොට රජගෙට වැද බිසවුන් කොයි දැයි විචාළාහ. අන්තඃපුරයේ ඇත්තෝ කියන්නාහු ලෙඩට හෝනා සේකයි කීහ රජ්ජුරුවෝත් බිසවුන් ඉන්නා ගෙට ගොස් යානාපිට ඉඳ තොපට අපාසු කිම්දැයි, බිසව් බැනනොනැගී වැදහෙව කියන්නාහු සස්වාමික කෙණෙක් වීනම් මෙසේ ඉඳමෝද අපට ස්වාමිකෙණෙක් ඇද්ද නුඹ වහන්සේ ඇති නියාව දන්නේ දුටුවිටයයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු ඇයි තොපට ගහටකළෝ කවුරුදැයි කීහ. අනික් කවුරුද නුඹ වහන්සේ මේ නුවර රැකවලට රඳවාගියෝකාදැයි විචාළාහ.පදුම කුමාරයෝයයි කීහ. එසේ විනම් තමන් කිවාම නොකළහයි කියා මාගේ ඇඟ පත නසා ඉසකේපත අල්වා ඈත මැත ඇද කල ගහටයෙ විවර කියනපාමනේ ඇද්දැයි කීහ. එවිට රජ්ජුරුවෝ කිපී යව ගොස් පදුම කුමාරයා අල්වාගෙණ ගෙණවයි කීහ. එවිට අමාත්‍යයෝ මෙවර අසා ගෙණ පදුම කුමාරයන් අල්වාගෙණ පිට තලහයා බැඳ තලා රත්මල් වඩම් කරලා පාවටව කියවා රජ්ජුරුවන් ලඟට ගෙණාහ. අතරමග දුටු මනුෂ්‍යයෝ මේ කිමෙක්දැ ස්වාමිනි නුඹ වහන්සේටත් මෙසේවු දෙයක් පැමිණියේදැයි අඬ දොඩා බොහෝ මනුෂ්‍යයෝ එක්වුහ. පදුම කුමාරයන් ගෙණ ගොස් රජ්ජුරුවන්ට දැක්වුහ. රජ්ජුරුවෝත් පදුම කුමාරයන් දැක මේ සෙරුන් එලනප්‍රපාතයේ එලවයි කීහ. එවිට පදුම කුමාරයන් කියන්නාහු පියානන් වහන්ස මම මෙසේවු දෙයක් කළේ නැත ගැනුන්ගේ බසට නිස්කාරණයේ නොනසව මැනවයි කීහ. රජ්ජුරුවෝ කිපී මේ සොරාගේ බස් තබා සෙලින් එලවයි කීහ. එලවයි කී බස් හා සමඟ අන්තඃපුර වාසින් හා අමාත්‍යයෝත් අඬා රජ්ජුරුවන්ට කියන්නාහු දේවයන් වහන්ස රජ්‍යයකරන්නාවු රජ දරුවන් වහන්සේ නම් පරීක්ෂාකාරී වුවමැනව ඇසු ඇසුවන් පස්සේ නොයායුතුය. තීක්ෂණ කෝපී නොවියයුතු නිග්‍රහ කළ වුන්ට නිග්‍රහ කළ යුත්තේය. සංග්‍රහකළවුන්ට සංග්‍රහ කළයුත්තේය. ජන්දයෙන් භයෙන් මෝහයෙන් වේෂයෙන් උපන්නාවු බසට පරීක්‍ෂා කළ මැනව පෙර රජ දරුවන්සේ එක්විවර වරදට මසුරන් සියයක් දඩගන්නාසේක, උග්‍රව දෝෂකළ උන්ට නුවරින් පිටත යවනසේක, මේ නිග්‍රහ සැලසුනෙත් මෑතය, පළමු රජදරුවන් වහන්සේ සමයෙහි මෙසේවු නිග්‍රහයෙක් නැත. ගෑණියකගේ බස්ගෙණ ශිලයෙන්ද ආචාරයෙන්ද නිසිවු රාජ්‍යයක් රකිණාවු නුඹ වහන්සේගේ පුත්වූ පදුම කුමාරයන් වහන්සේ නිස්කාරණයේ නොනැසුව මැනවයි කීහ. මෙසේ බොහෝකොට කන්නලව් කීවත් රජ්ජුරුවෝ නොගිවිස පදුම කුමාරයන් නොමරවයි කීහ.

එවිට සොළොස් දහසක් බිසෝ වරුන් අමාත්‍යයයෝත් රාජ්‍යවාසීන් මහහඬින් හඬා සිටියාහ. එවිට රජ්ජුරුවෝ සිතන්නාහු රාජ්‍යවාසීන් හා අන්තඃපුරවාසීන් එකගිව පදුම කුමාරයන්ට ලැබි සිටින්නේය, මටත් බිසවුන්ටත් ලැබි සිටි එකෙකුත් නැත මුන් හැමවිත් තමුන් නොමැරුවෝ නම් නපුරැයි රජ්ජුරුවෝත් චතුරංගිනිසේනාවත් ඇරගෙණ පදුම කුමාරයනුත් ඇරගෙණ සොරුන් එලන්නාවු පර්වත යට නැගී පදුම කුමාරයන් දෙපය අල්වා ඉස බිම බලවා සොරුන් එලන්නාවු ප්‍රපාතයෙහි එළූහ. ඒ පර්වතයේ වාසය කරන්නාවු දේවතාවා පදුම කුමාරයෙනි තොපි නොබවයි කියා පියාන කෙණෙකුන් පුතනු කෙණෙකුන් වඩන්නාසේ ලෙයිලා වඩාගෙණ පර්වතයේ ඉදිනා නාරජ්ජුරුවන් පෙනගබ මත්තේ තුබූහ. ඒ නාගරාජයාත් පදුම කුමාරයන් නාග භවනයට ගෙණගොස් රාජ්‍යය සරියේ බෙදාදී අවුරුද්දක් රාජ්‍යයකොට සිතන්නාහු මෙතන ඉඳ කාරිය කිම්දැයි සිතා මනුෂ්‍ය පථයට යෙහි කීහ. රජ්ජුරුවෝත් යහපතැයි බෝධිසත්වයන් විචාරන්නාවු මනුෂ්‍ය පථයෙන් කවර ගමෙක තොපි ගෙණගොස් ලන්නේදැයි කීහ. මා හිමාල වනයේ ලාපියවයි කීහ. යහපතැයි කියා නා රජ්ජුරුවෝත් පදුම කුමාරයන් හිමාල වනයෙලා ගියහ. බෝධිසත්වයෝ ඍෂිප්‍රවෘජ්ජාවෙන් පැවිදිව නොබෝ දවසකින් පංඥාභිඥා අෂ්ටසමාපත්ති උපදවා හිමාලය වනයෙහි වාසය කරන්නාහ. එක්තරා වල්වැද්දෙක් තමාගේ කාරියකට වලට ඇවිදිනේ පදුම කුමාරයන් වාසය කරන්නාවු පන්සලට වැද පදුම කුමාරයන් දැක ඇඳින ගෙණ නුඹ වහන්සේ පදුම කුමාරයන් වහන්සේදැයි වාචාළාහ. එසේයයි කීසේක. ඒ වැදිත් තාපසයන් කෙරේ කීපදවසක් රඳා නුවරට ගොස් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ සැබැදෑයි විචාරා නියම දැන චතුරංගිණිසේනාව ඇර ගෙණ හිමාලය වනයට ගොස් සේනාව රඳවා අමාත්‍යයනුත් ඇරගෙණ පන්සලට ගියාහ. ඒ පන්සල දොරකඩ පිටසිට රන්පිළිමයක්සේ දොරකට උන් නාවු බෝධිසත්වයන් දැක එකත්පස්ව උන්නාහ. අමාත්‍යයෝත් බෝධිසත්වයන් දැක වැඳ එකත්පස්ව උන්නාහ. බෝධිසත්වයෝ කියන්නාහු එම්බල මේ වනයෙහි මිහිරි පලාඵල ඇත යහපත්වු මිහිරි පැන් ඇත ගමන් ශ්‍රමදාහ නිවා කව බොව සැතපී ඉඳූවයි කීහ. ඒ අසා සහපිරිවරින් රජ්ජුරුවෝත් අමාත්‍යයෝත් බෝධිසත්වයන් හා කථාකරන්නාවු තාලවෘක්‍ෂ ප්‍රමාණය කටත් උසවු මහත්වු ප්‍රපාතයකින් මාගේ සිය අතින්ම ඵලාපියන ලද එම්බා පුත පදුම කුමාරයෙනි තොපි කෙසේ ජිවත් වුයේදැයි කියා නැවත කියන්නාහු මා අපරීක්ෂිතව කළාවු වරදක්‍ෂමාකරවා පුත පදුම කුමාරය මා හා කැටිව නුවරට අවුත් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරවයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහු මහරජ්ජුරුවෙනි යම් මිනිසෙක් බිලියක මස් කැටියක් අමුනා දියයට දමාද ඒ බිලිය මත්ස්‍යයෙක් ගැල නැවත වමාරා ගැලවි ගියේද එමෙන් මමද දුකසේ ගැලවි දෙවනුව රාජ්ජයට පැමිනෙද්දැයි මහ රජ්ජුරුවෙනි කීහ. ඒ වෙලෙහි රජ්ජුරුවෝ කියන්නාහු ඒ කිම්ද බිලිය නම් කින්ද, මස් කැටිය නම් කින්ද, බිලිය ගිළු කුඩ මස්සා නම් කින්ද, ඒ මට නොදැනේයයි කිවමැණවයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහු මහරජ බිලිය නම් පඤචකාම නැමති බිලියය, මස් කැටිය නම් හස්ති අශ්ව රථ පන්තිය යන සේනා නැමති මස් කැටියට ඒ ගැල පියා වමාරා පලාගියාවු කුඩා මස්සා නම් මමය මහරජ්ජුරුවෙනි තෙපි ගෑනියකගේ බස්ගෙණ මා පර්වතයෙන් ඵලාපුව ඒ දවස් මාගේ මෛත්‍රී බලයෙන් රැකිනිමි. එසේ වු මරණින් මිදුන මම නැවත රාජ්‍ය ලෝභයෙන් වලවැටෙම්ද, මම රාජ්‍යයට නොයමි තොපි ගොසින් දැහැමෙන් රාජ්‍යය කරවයි කීයා යවුහ. රජ්ජුරුවෝත් අමාත්‍යයෝත් බෝධිසත්වයන් වැඳ අඬා වැලප නුවරට යන්නාහු බෝධිසත්වයන් එළූ පර්වතය ලඟට පැමිණියාහු පර්වතය දැක අමාත්‍යයන් අතින් විචාරන්නාවු එම්බා අමාත්‍යයනි මාගේ කිසිවරදක් නැත්තාවු ගුණයෙන්ද ආචාරයෙන්ද ශිලයෙන්ද සමන්විත වූ පදුම කුමාරයන් නොලද්දේ කා නිසාදැයි විචාළාහ. අමාත්‍යයෝ කියන්නාහු ස්වාමිනි නොදන්නාසේක්ද, නුඹ වහන්සේගේ බිසවුන් වහන්සේ නිසායයි කීහ. ඒ වෙලෙහි මාගේ නිච රඳවු පදුම කුමාරයන් නිස්කාරණයේ වරදලැවු ඈ ගෙණවිත් මේ පර්වතයෙන් දමවයි කියා එතනම සිට ගෙන්වා ගෙණ බිසවුන් පර්වතයෙන් එලවා නුවරට ගොස් දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කොට කම්වු පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා මේ මහා පදුම ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බිසව් නම් චිංචිමානවිකාය, රජ්ජුරුවෝ නම් දේවදත්ත ස්ථවිරය, පර්වතයේ වසන්නාවු දේවතාවා නම් ශාරිපුත්‍ර ස්ථවිරය, නා රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරය. පදුම කුමාරවු තාපසයෝ නම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.