මුල් පිටුව 451 සිට 500 දක්වා 456 ජනසන්ධව ජාතකය

456 ජනසන්ධව ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද හුදු සද්ධර්මයන් මවාලු රුවක් වැනිවු තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන්ට කී අවවාදයක් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

කෝසල රජ්ජුරුවෝ කාමයෙහි තෘෂ්ණා වසඟව කළමනා සියළු කට යුත්තෙහි විචාරයත් මදව සර්වඥයන් වහන්සේටත් කරණ බුද්ධෝපස්ථානයෙහි ප්‍රමාදව වාසය කරන්නාහු. එක් දවසක් සර්වඥයන් වහන්සේගේ ගුණ සඳහන් කොට බුදුන් දක්නට ගියාහු සර්වඥයන් වහන්සේ කෝසල රජ්ජුරුවන් දැක ඇයි මහරජ මෙතෙක් දවස් නුදුටුවිරුමෝනැයි විචාරා වදාළසේක රජ්ජුරුවෝ ස්වාමිනි අපරික්ෂිතව උනිමි කීහ. සර්වඥයන් වහන්සේ මහරජ මාසේවු තිලෝගුරු සර්වඥ කෙණෙකුන් තොපගේ නුවර හිඳ දන්පින් කරවයි අනුශාසනා කරමින් ඉන්දදී තොපි දන් පින් නොකොට ප්‍රමාදව දවස් අරිනා පමණක් මිසක් පෙර අබුධෝත්පාද කාලයෙහි උත්තමයෝ තමන්ගේ රාජ්‍යසීමායෙහි සියළු මනුෂ්‍යයන්ට අවවාද කියා දානාධ්‍යාශයෙහි යොදා රාජ්‍යය කළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ අග්‍රමෙහෙසිකා බිසවුන් කුස පිළිසිඳ දසඑකඩ මසකින් වැදූහ. ඒ කුමාරයන්ට නම් තබන්නාහු ජනසන්ථව කුමාරයෝ යයි නම් තබා ඒ රාජ කුමාරයන් වැඩිවිය පැමිණ දිසාපාමොක් ආචාරීන් සමීපයට ගොස් උගතමනා ශාස්ත්‍රයන් ඉගෙණගෙණ තමන් ගේ නුවරට ආ ගමනේ පියානන් ඇවෑමෙන් රාජ්‍යයට පැමිණ දස රාජධර්මයට ආකොප්‍යව සදහන් හල් කරවා මුළු නුවර දඹදිව සියළු යාචකයින්ට දවස සලක්‍ෂයක් ධන වියදම් කොට දන්දී රාජ්‍යය කරන්නාහු ජනසන්ථව රජ්ජුරුවෝ තුමූ දවස්පතා පඤචශිලය රැක පොහොය අටසිල් රැක සියළු මනුෂ්‍යයනුත් පඤච ශිලයේද අෂ්ටාංග ශිලයේද සියළු ගුණයෙහි පිහිටුවා ධර්මප්‍රීතියෙන් වාසය කරන්නාහු, අමාත්‍යයෙනි දෙමව්පියන් නැදිමයිලන් බෑබුන්හු ආදීවු වැඩිමාළු නෑයන්ට ආචාර සමාචාර කරව දවස දවස්පතා පඤචශිලය පොහොයෙන් පොහොයට අෂ්ටාංගශිලය රකුවයි මනුෂ්‍යයන්ට අවවාද කියා මනුෂ්‍යයන්ට කියන්නාහු සිරගෙයි දොරහැර තියෙන්නේය, දම්ගෙඩිය දිරාතිබෙන්නේය, එක් දවසක් රජ්ජුරුවෝ පොහොදා පෙහෙව උඩුමාලේ හුන්නාහු මුළු නුවර බෙරලවා මනුෂ්‍යයන් එක් කරවා රජ්ජුරුවෝ අවවාද වශයෙන් බණ කියන්නාහු මනුෂ්‍යයෙනි පශ්චත්තාප වන්නාවු කාරණයෝ දශදෙනෙක් වන්නාහ. ඒ කාරණ දසය නම් කෙසේදයත්, තරුණ අවස්ථාවෙහි මනුෂ්‍යයෝ සේවාකම් හා වෙළඳාම් ආදීයෙන් වස්තු උපදවන්නාහ, ඒ වෙලෙහි තම තමාගේ පැමිණි වියදමකටදී වස්තුවක් වයෝවෘද්ධ අවස්ථාවෙහි රැකෙන්ටයයි සොයා නොතිබු නම් සම්පත් සොයා තබාගෙණ සැපසේ රැකෙන්නවුන් දැක තුමු කිසි කටයුත්තකට අයෝග්‍යවූ අවස්ථාවෙහි කිසි සම්පතක් නැතිව දුක්ඛිතව සිට අප විසින් මේ නියාවට වස්තු සොයා නොතිබුයේයයි පශ්චත්තාපයට පැමිණෙන්නාහ.

තවද යම් සත්වකෙණෙකන් බාල අවස්ථාවෙහි තමන් උගමනා ශාස්ත්‍ර ඉගෙණ තමන්ගේ ශාස්ත්‍රබලයෙන් සැපසේ යම් සත්වකෙණෙක් රැකෙත් නම් ශාස්ත්‍ර නූගත්තාවූ යම් කෙණෙක් ශාස්ත්‍ර උගත්තවුන් බලා අපිත් ශාස්ත්‍ර උගතුමෝ නම් මුන්සේම සැපසේ ශාස්ත්‍ර උගත්තවුන් බලා අපිත් ශාස්ත්‍ර උගතුමෝ නම් මුන්සේම සැපසේ ශාස්ත්‍ර පෑ රැකෙන්නමෝ වේදැයි පසුතැවිලියට පැමිණෙන්නාහ. තවද යම් සත්වකෙණෙක් බොරු හා කේලාම් කියා අත්ලස් ඇරගෙණ තදපරුෂව වාසයකළෝ නම් මරණ පැමිණ අවස්ථාවෙහි අනේ අපි බොහෝ අත්ලස්ගෙණ තදපරුෂව වාසය කළම්හ, අපට කුමක් වේදෝහෝයි මරණාසන්න කාලයෙහි ඒ පුරුෂ තෙමෙ පසුතැවිලියට පැමිණෙන්නාහ. තවද යම් සත්වකෙණෙක් ප්‍රාණඝාත කළම්හ. අනුන් අඬ අඬා සිටියදීම අදත්තා දානයෙන් උදුරා ගතුම්හ, කුමක්වේදෝහෝයි මරණාසන්න කාලයෙහි එසේ පුරුෂතෙම පසුතැවිලියට පැමිණෙන්නාහ. තවද යම් සත්වකෙණෙක් බොහෝ ස්වාමික ස්ත්‍රි ඉන්දදී පරදාරාදීන් සේවනය කළෝ නම් මරණාසන්න යෙහි එසේවු පුරුෂයන් මම බොහෝ පරස්ත්‍රී සේවනය කෙළෙමියි පසුතැවිලියට පැමිණෙන්නාහ. තව ද යම් සත්වකෙණෙක් දන්පින් කරත් බොහෝ සම්පත් ඇතිවුවත් පරලොවට පිහිටක් වුවමැනවයි සිතා දනක් පිනකන් නොකොළෝ නම් එසේවු පුරුෂයත් මරණාසන්නයෙහි මාගේ බොහෝ සම්පත් ඇතිව තිබෙද්දි පරලොවට ප්‍රතිශ්ඨාවන පිණිස දනක් පිනක් නොකෙළෙමියි මරණාසන්න කාලයෙහි පසුතැවිලියට පැමිණෙන්නාහ. තවද යම් සත්ව කෙණෙක් මෙසේ කව මෙසේ ඉඳූවයි උගන්වන හෙයින් ගුරුන් හා සමානයෝය. උන්ට වන්නාවු ඉෂ්ටානිෂ්ට කියන්නාහු උන් කැමති අන්නපානාදියත් දෙන හෙයින් ඉෂ්ටදේවතාවෙකු හා සමානවු පියාණකෙණෙකුන් කීවා නොගිවිස උන්ට ආක්‍රොශපරිභව බෙනේනම් එසේවු පුරුෂයන් මරණාසන්නයෙහි මාගේ දේවතාවෙකු හා මට හිතවු පියානන්ට ආක්‍රොශ පරිභව බිණිමි කුමක්වෝදෝහෝයි එසේවු පුරුෂයන් මරණාසන්නයෙහි පසුතැවිලියට පැමිණෙන්නාහ. තවද යම් සත්වකෙණෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දනක් පිනක් නොකොට ආක්‍රොෂ පරිශව බෙණේනම් එසේවු පුරුෂයත් උතුම්වු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මාගෙන් දනක් පිනක් නොකොළෙමි නිකම්ම ආක්‍රොශ පරිභව බිණිමි කියා එසේවු පුරුෂයත් පසුතැවිලියට පැමිණෙන්නාහ. තවද යම් සත්වකෙණෙක් සිල්වත් ගුණවත් තැනකට ගොස් තමාට ප්‍රතිශ්ඨා පිණිස ස්වාමිනි මා කළමනා කිම්ද ගැලවෙන නියායෙන් නිසි අවවාද මට කිවමැනවැයි නොකියා මෙහෙයෙන් නිකම් වාසයකළෝ නම් එසේවු පුරුෂයත් මරණාසන්නයෙහි සිල්වත් ගුණවත් තෙනින් නිසි අවවාදයක් ඉගෙණගත නුහුනුයෙමි පසුතැවිලියට පැමිණෙන්නාහ. සර්වඥයන් වහන්සේ මහරජ ඒ ජනසන්ථව රජ්ජුරුවෝ තමාගේ අමාත්‍යයන් ඇතුළු නුවරවාසින්ට දෙපෝයෙන් දෙපොයට මෙසේ අවවාද කියන්නේ වේදැයි වදාළසේක. ජනසන්ථව රජ්ජුරුවෝත් දැහැමෙන් සෙමෙන් රාජ්‍යකොට පරලොව ගියාහයි වදාරා මේ ජනසන්ථව ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රාජ්‍යවාසීනම් දැන් බුදු පිරිසය, එසමයෙහි ජන සන්ථව රජ්ජුරුවෝ නම් බුදුවු මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.