455 කාම ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ත්‍රිභූවනාධිපති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් බ්‍රාහ්මණයෙකු අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

සැවැත්නුවර වාසීවු එක් බ්‍රාහ්මණයෙක් කුඹුරක් එලිකරන්ටයයි වල්කොටමි ගොස් වල්කෙටීය. සර්වඥයන් වහන්සේ එතනට ගොස් ඇයි බ්‍රාහ්මණය කුමක් කෙරේදැයි විචිරා වමාල සේක බමුණු කියන්නේ ශ්‍රමණභවත් ගෞතමයෙනි කුඹුරක් එලිකරණ නියාවට වල්කොටමි කීහ. සර්වඥයන් වහන්සේත් යහපතැයි වැඩිසේක. වල්කොටා ගිණිලාපු දවස් වැඩ බ්‍රහ්මණය කුමක් කෙරේදැයි විචාරා වදාළසේක. ශ්‍රමණ භවත් ගෞතමයෙනි වල් ගිණිලාපියම් කිහ. යහපතැයි කියා වැඩිසේක. ගිණිලා කුඹුර එලිකරන්ටවන් දවස් වැඩ බ්‍රහ්මණය කුමක්කෙරෙහිදැයි වදාළසේක. ශ්‍රමණ භවත් ගෞතමයෙනි කුඹුර එලිකරමි කීය. යහපතැයි කියා වැඩිසේක. කුඹුර එලිකොට ඇල අරමුණු බඳිනා දවස් වැඩ බ්‍රහ්මණය කුමක්කෙරේදැයි වදාළසේක. ශ්‍රමණ භවත් ගෞතමයෙනි ඇල අමුණු බඳිමි කීයේය. යහපතැයි කියා වැඩිසේක. ඇල අමුණු බැඳ නියර බඳින්ට වන, එදවසුත් වැඩ බ්‍රාහ්මණය කුමක් කෙරෙති දැයි වදාළසේක. ශ්‍රමණභවත් ගෞතමයෙනි නියර බදිමි කිය. යහපතැයි කියා වැඩිසේක. නියර බැඳ වපුරණ දවසුදු වැඩ බ්‍රාහ්මණය කුමක්කෙරේ දැයි වදාළසේක. ශ්‍රමණභවත් ගෞතමයෙනි කුඹුර වපුරමි කිය. යහපතැයි කියා වැඩිසේක. මෙසේ බ්‍රාහ්මණයාගේ කුඹුර වපුර ගොයම් ඇතිව කිරී වදින අවස්ථානෙහි ගොයම් බලා ඇවිදිනේය. සර්වඥයන් වහන්සේ එතනට වැඩ බ්‍රාහ්මණය කුමක් කෙරේදැයි වදාළසේක. ශ්‍රමණභවත් ගෞතමයෙනි ගොයම් බලා ඇවිදිමි කියා කියන්නේ ශ්‍රමණභවත් ගෞතමයෙනි තොප ඇතුළුවූ භික්ෂූන් වහන්සේට හොයන් දා මැඩි දවස් දන්නෙම් කියා තමාගේ ගෙයි ගොසින් උන්නේය. ඒ බ්‍රාහ්මණයා සර්වඥයන් වහන්සේ එකාවන් දැකිමෙන් බලවත්වු සිත විස්වාසව ඇදහිලි ඇතිව ගෙයි ඉඳ සිතන්නේ සෙට ගොයම්දා මැඩ ශ්‍රමණභවත් ගෞතමයන් ඇතුළුවූ භික්ෂුන්ට දන්දෙමි සිත සිතා රෑ ගෙයි වැදහොත්තේය. එවෙලෙහි මහත් මේඝයක් වැස අචිරවති ගංගාවෙන් වතුර ඇවිත් පැසීගිය කුඹුර ගොයම් එක ගසකුත් නොතබා ඇරගෙණ ගොස් මුදාලාපියා බ්‍රාහ්මණයාත් නිදානැගී කුඹුර බලන්ට ගොස් කුඹර ගොයම් නොදැක ලෙයි බඩ අත්ගසා අඬා මුරගා බොහෝ වික්‍ෂේපයට පැමිණියේය. සර්වඥයන් වහන්සේ බ්‍රාහ්මණයා වික්‍ෂේපයට පැමිණ නියාව දැක වදාරා මුගේ සෝක සන්සිඳවමි අළුත මහණවූ භික්ෂූකෙණෙකුන් කැඳවාගෙණ බ්‍රාහ්මණයාගේ දොරට වැඩිසේක. බ්‍රහ්මණයාත් සර්වඥයන් වහන්සේ දැක ශ්‍රමණයාගේ ගේ දොරට වැඩිසේක. බ්‍ර්හණයාත් සර්වඥයන් වහන්සේ දැක ශ්‍රමණභවත් ගෞතමයෙනි මට වුයේ මහා සෝකයෙක ඒ සෝක සන්සිඳුවාලන්ට අවාහු වනැයි සමාධිව ඉඳිනා අසුන් පණවා වඩාහිඳු වූහ. සර්වඥයන් වහන්සේ වදාරණ සේක් ඇයි බ්‍රාහ්මණය වික්‍ෂේපව උනුදැයි විචාරා වදාළසේක. බ්‍රහ්මණයා කියන්නේ ශ්‍රමණ භවත් ගෞතමයෙනි මා කුඹුර එලිකරන්නට වන් තැන් පටන් තමන් එතනට එනහෙයින් මහත් දුකෙක් විවර දන්නේවේද, එසේ දුකක් කුඹුර ගොයම් පැසී තුබූ අවස්ථාවෙහි ඊයේ රෑ අචිරවති ගංගාවෙන් වතුර ඇවිත් ගොයම් එකගසකුත් නැතිව මුදට ඇරගෙණ ගියේය. ගොයම් නොනැසී තිබුයේ වීනම් දාසක් ගැල්පුරා ධාන්‍යය ලබමි සෙට දවස් ගොයම් මැඩ තමන් ඇතුළුවූ භික්ෂුන් වහන්සේට දන් දෙන්නටයයි සිතා ඉඳ මා සිතුවාවු සිතිවිල්ලත් නුවුහෙයින් වික්‍ෂේපව උනිමි කීහ. ඒ වෙලෙහි සර්වඥයන් වහන්සේ බ්‍රාහ්මණය නටමනාදෙය නස්සේනය. ඊට සෝකකිරීමෙන් කාරිය නැතැයි කාමසුත්‍රය ගෙණහැර දක්වා වදාරා ධර්මදේශනා කොට වදාළසේක. ඒ බ්‍රහ්මණයාත් බණ අසා දාසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් මාර්ගයට පැමිණියේය. එදවස් ධර්මශාලාවේ රැස්ව උන් භික්ෂූන් වහන්සේ මෙසේ මහත්වු සෝකයට පැමිණියාවු බ්‍රාහ්මණයාගේ සෝක සංහිඳූවා බණ වදාරා සෝවාන් මාර්ගයට පමුණුවා වදාළසේකැයි කියා වැඩ උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පුර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි පෙරත් මේ බ්‍රහ්මණයාගේ සෝක සංහිඳූවුයෙමි වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක. ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍යය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ රාජකුමාරවරු දෙන්නෙක් ඇත්තාහ. ඉන් වැඩි මාළු පුතනුවන් යුවරජ තනතුරෙහි තබා බාල පුතනුවන් සෙනවිරත් තනතුරෙහි තැබූහ. එසමයෙහි රජ්ජුරුවෝ එක්තරා ව්‍යාධියකින් නටහ. උන්ට පසු රාජ්‍යවාසීහු වැඩිමාළු කුමාරයන් රාජ්‍යයට තබා රාජ්‍ය කරන්ට වන්හ. පසු රාජ්‍යවාසීහු වැඩිමාළු කුමාරයන් රාජ්‍යයට තබා රාජ්‍ය කරන්ට වන්හ. ඒ රාජ කුමාරයෝ මම රාජ්‍ය නොකරමි. මාගේ මලනුවන්ට රාජ්‍යය දෙවයි කීහ. අමාත්‍යයෝත් නුඹ වහන්සේ වැඩිමාළු රාජකුමාරයන් වහන්සේ සිටියදී මලනුවන් වහන්සේට රාජ්‍යය දිය හැකිදැයි කිවත් මට රාජ්‍යය නොකැමැත්තේයයි නොගිවිස්සාහ. එසේ වී නමුත් යුවරජ තනතුරට හෝ සෙනවිරත් තනතුරට හෝ සිටිය මැනවැයි කිහ. මට යුවරජ තනතුරක් එපයි සෙනෙවිරත් තනතුරෙත් එපයි මට මාගේ අභිප්‍රාය නියාවට ඇවිදිමි මාගේ මලනුවන්ට රාජ්‍යය දෙවයි බාලකුමාරයන්ට රාජ්‍යය පමුණුවාපුහ. තුමු පිටිසර ගමකට ගොස් සිටානකෙනෙකුන්ට බැලමෙහෙකොට සිටිනාහ. සිටානෝ කල්යාමකින් රාජකුමාරයන් නියාව දැන බැලමෙහෙකිරීම හැර රාජකුමාරයන් නියාවට සියලු වෘත්ති තබා රාජ කුමාරයන් පෝෂ්‍ය කරන්නාහ. එසමයෙහි බරණැස් නුවර බදු එලවායයි මනුෂ්‍යයෝ එම සිටානන්ගේ ගමට ගියාහ. සිටානෝත් රාජ කුමාරයන්ට කියන්නාහු ස්වාමිනි නුඹ වහන්සේ පෝෂ්‍ය කරන්නාවු අප අතිනුත් බදුළුලවන්නාහ. නුඹ වහන්සේගේ බලනුවන් වහන්සේට කියා අපගෙන් ඵලවන්නාවු බද්ද අරවා වදාළ මැනැවයි කීහ. රාජ කුමාරයෝත් යහපතැයි රජ්ජුරුවන්ට කියා යවන්නාහු මේ සිටානන් විසින් මා පෝෂ්‍ය කරන්නාහ, උන්ගෙන් ඵලවන්නාවු බදු ඇර වදාළමැනවැයි මලනුවන්ට කියා යවුහ. ඒ රජ්ජුරුවෝද යහපතැයි ඒ සිටානන්ගේ ගමින් එලවන්නාවු බද්ද ඇරපුහ. සිටානන්ගේ බද්ද ඇරපුනියාව අසා සෙසු අසල ඇත්තෝත් රාජකුමාරයන්ට කියා රජ්ජුරුවන්ට කියා යවා බද්ද අරවාගත්හ. මෙම නියායෙන් වටගම්වල බද්ද අරවාගෙණ අර්ථය බොහෝව එම ගම් තමන්ට අරින්ට උවමැනවැයි කියා යවා එම ගම තමන්ට අරවාගෙණ සිතන්නාහු මේ තනි ගමන් කම්කිම්ද වට තෙසු ගම්වලත් අරවාගෙණ තෘෂ්ණාව වැඩි වැඩි සෙනවිරත් ධුරය ඕනැයයි කියා යවුහ. යහපතැයි සෙනවිරත් ධුරය දුන්හ. සෙනෙවිරත් ධුරයත් ඇරගෙණ මෙයෙින් නොසෑහෙයි යුවරජ තනතුරු දුනමැනවැයි කියා යවුහ. යහපතැයි යුවරජ තනතුර දුන්නාහ.
යුවරජ තනතුර ඇරගෙණ නැවත සිතන්නාහු මෙතෙක් නොසෑහෙයි රාජ්‍යය ඇරගණිමියි තෘෂ්ණා ලෝභයෙන් පසල් දනව් වාසීන් එක්කොටගෙණ බරණැස් නුවරට ගොස් නුවර වටලාගෙණ රාජ්‍යය අරිනේය යුද්ධ හෝ කරන්නේයයි කියා යවුහ. රජ්ජුරුවෝ තමන් වහන්සේ ඇරපියා ගිය රාජ්‍ය නොවේද සට පැමිණියේ මලනුවෝ බෑනන් මරාපුවයි යන අපකීර්තිය අසම්ද තමන් වහන්සේගේ රාජ්‍යය නුඹ වහන්සේ ඇරගත මැනැවයි බෑනන් නුවර ගෙන්වාගෙණ රාජ්‍යය පාවාදුන්හ. ඒ රාජකුමාරයෝ රාජ්‍යයට පැමිණ මලනුවන්ට සෙනෙවිරත් ධුරය දෙවා මෙසේ අර්ථලෝභයෙන් මේ එකරාජ්‍යයෙන් දැන් මට ප්‍රයෝජන කිම්ද තවද රාජ්‍ය දෙකක් තුනක් මා ලබන්ට නැතැයි කීය කියා සිත උන්නාහ එසමයෙහි ශක්‍රයෝ දන්පින් කරන්නෝ කවුරුදෝහෝයි දෙමව්පියන්ට උපස්ථාන කරන්නෝ කවුරුදෝහෝයි ධර්මිෂ්ටව වාසය කරන්නෝ කවුරු දෝහෝයි මනුෂ්‍යලෝකය බැළුවාහු මේ රජ්ජුරුවන් සිතන සිතිවිල්ල දැක උන්ගේ සිතිවිල්ලට දෙවනු වත් සෝක උපදවා නිග්‍රහකරවා එන්ට උවමැනවැයි බ්‍රාහ්මණ වේශයක් මවා ගෙණ වාසල්දොර සිට බ්‍රාහ්මණ මාණවකයෙක් වාසල සිට දකින්ට අභිප්‍රාය ඇත්තෙමියි කියා යැවිය. රජ්ජුරුවෝත් කැඳවයි කියා ගෙන්වාගෙණ කිමෙක්ද මානවකයයි විචාළාහ. ශක්‍රයෝ කියන්නාහු ස්වාමිනි තව දන්වන්නාවු කටයුත්තක් ඇතැයි කීය. යහපතැයි මිනිසුන් බාවා කියවයි කිය. ස්වාමිනි නුඹ වහන්සේට රාජ්‍ය තුනක් ඇරගෙණ දෙන්ට අභිප්‍රාය ඇතිව ආමි කීහ. රජ්ජුරුවෝ යහපතැයි සමාධිව ඊට කළමනා කිම්දැයි කිහ, සේනාව සමෘද්ධ කරවාගත මැනවැයි කිහ. රජ්ජුරුවෝ යහපතැයි කියා ශක්‍රයන්ගේ ආනුභාවයෙන් මේ බමුණාට නවාතැන් ලවා බත් බුලත් දෙවයි යන බසක් නොකීවාහ. ශක්‍රබ්‍රාහ්මණයාත් යහපතැයි වාසලින් පිටත ගොස් තමන්ගේ ශක්‍රභවනයට ගියාහ. රජ්ජුරුවෝත් පසුව දවස් සේනාව සන්නද්ධකරවා ගෙණ ගමන් සරහා බ්‍රාහ්මණ මාණවකයා කැඳවයි කීහ.එවිට අමාත්‍යයෝ කියන්නාහු නුඹ වහ්නසේට රාජ්‍ය තුනක් දෙමි කී බ්‍රාහ්මණ මාණවකයාට බත් බුලත් දෙවාලව පඩියක් පිළියත් දෙවාලවයි අපට නුඹ වහන්සේ වදාළ මෙහෙවරක් ඇද්දැයි කීහ. මට මතක නැතිව තොප ඇමට එසේවු මෙහෙවරයක් නොකිම් කිහ. එසේ කල අප උන් දන්නේ කෙසේදැයි කීහ. එසේ වුවත් මේ නුවර යම්තෙනක ඉඳිනම් පරීක්ෂා කරවයි කියා යවුහ. ගියෝ අපි එක තැනකත් නුදුටුම්හයි කියා ආවාහ. රජ්ජුරුවෝත් මා නිසා මෙසේවු රාජ්‍ය තුනක් නොලද්දේයයි මහත් සෝකයට පැමිණ ළය වියලී අක්මා පසු තදව උන්නාවු සෝකාග්නියෙන් කල්යාමකින් රක්ත අතිසාර ඇතිව මම්ම යයි යන බොහෝ වෙදවරු පිළියම්කොටගත නුහුනුවාහ. එසමයෙහි බෝධි සත්වයෝ බ්‍රාහ්මණ කුලයක ඉපිද තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් අතින් ශිල්ප නිමවා ඉගෙණ බරණැස් නුවරට ඇවිත් රජගෙයි වාසල සිට රජ්ජුරුවන් ව්‍යාධි ඇති නියාව මම ගුණකෙරෙමියි කියා යවන්නාහු වෙදනකෙණෙක් වාසල් දොරකඩ සිට දකිනා අභිප්‍රාය ඇත්තෙම් කියා යවුහ. රජ්ජුරුවෝ කියන්නාහු මිට පළමු මම්මයයි යන වෙදවරු ඇවිත් පිළියම් කොටගත නුහුනුවාහ, තුමු බාලදරුවෝද ව්‍යධිය ගුණකරන්නේයයි අර්ථයක් නිසා අවුනම් උන්ට යම්තම් අර්ථයක් දිලා යවාපියවයි කීහ. රජ්ජුරුවන්ට බෝධිසත්වයෝ කියන්නාහු මට වෙදුන්ට දෙන වැටුමෙන් කම්නැත, මම පිළියම් කෙරෙමි, උදක් බෙහෙදට මිල මාත්‍රයක් දෙත්වයි කීසේක. රජ්ජුරුවෝ ඒ අසා යහපතැයි කියා බෝධිසත්වයන් කැඳවා ගෙන්වුසේක.

බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට වැඳ මහරජ නොබව මැනව මම නුඹ වහන්සේට පිළියම් කරමි කීහ. එතකුදුවත් දේවයින් මෙම ව්‍යාධිය ඇතිවූ කාරණා මට කිවමැනවැයි කිහ. රජ්ජුරුවෝ කියන්ට ලජ්ජා ඇතිව මැලිවූහ. බෝධිසත්වයෝ කියන්නාහු දේවයන් වහන්ස වෙදකම් කිම්ද නිදන් දැක කරන්ට උවමැනව, නිදන් නොදැක කාරණා වෙදකමින් ප්‍රයෝජන නැතැයි කීහ. රජ්ජුරුවෝත් යහපතැයි කියා බ්‍රාහ්මණ මානවිකායෙක් දුටුනියාවත් රාජ්‍ය තුනක් ඇරදෙමි කී නියාවත් මට සවනට යන්ට සේනාව සදන්ට කී නියාවත් බ්‍රාහ්මණ මාණවකයා පසු නුදුටු නියාවත් මේ කාරණා බෝධිසත්වයන්ට කීහ. බෝධිසත්වයෝත් මුන් වහන්සේට මේ ව්‍යාධිය ඇති වුයේ ’ලෝභය මුල්කොටසයි දැන ඊට නිසි කාරණා කියා ලෝභය සන්සිඳුවා ව්‍යාධිය සන්සිදුවමි කියන්නාහු මේ තෘෂ්ණාව වනාහී මතුමත්තෙහි වඩා ගෙණ යන්නේවීනම් සතර අපායෙන් ඉස ඔසවාලිය නොහෙන්නේය, මෙසේ මහබෝසතානෝ රජ්ජුරුවන්ට අවවාදකොට නැවත ධර්මදේශනා කරන්නාහු ඉදින් වස්තුකාම කේලශකාමය ප්‍රාර්ථනා කරන්නාවු සත්වයන්ට ත්‍රිවිධ කාමය ඔහුගේ අදහසවූ පරිද්දෙන් සමෘද්ධි වුයේ වීනම් සත්වතෙම ඒකාන්තයෙන්ම ඊප්සිතාර්ථය සිද්ධවු හෙයින් බලවත්වු සොම්නසට පැමිණෙන්නේය. නැවත නැවත යම්සේ ග්‍රිස්ම කාලයෙහි අවුසුලඟින් මිරිකුණා වූ සත්වතෙම බලවත්වු පැන් පිපාස ඇතිවේද එපරිද්දෙන්ම මතු මත්තෙහි රූපතෘෂ්ණාදිවූ ඒ කාමයෙන් මත්වු සත්වයාහට මතු මත්තෙහි වඩාගෙණ යන්නේ, යම්සේ වර්ධනවන්නාවු ඵලවස්සාගේ ශරීරය සමග ඉසුමුදිනෙන් පළාගෙණ නැගෙන්නාවු අංදෙක වැඩීගෙණ යේද එපරිද්දෙන් නුවණැත්තාවු සත්වයාහට අප්‍රාප්ත වස්වෙහි කාම තෘෂ්ණාවද පැවැත්වු රූප ශබ්දාදියෙහි කාම පිපාසාවද නැවත වැනත වැඩෙන්නිය. තවද මේ පොලොතෙලෙහි යම් සත්වයෙක් ශාලි ව්‍රිහි ආදීවු සප්තවිධ ධාන්‍යායෙන් සම්පුර්ණ වු ක්‍ෂ්ස්ත්‍ර වස්තු ඇතුන් අසුන් ගව මිහිසාදින්ද දැසි දසාදින්ද අවශේෂ මුක්තා මාණික්‍යාදීවු දසවිධ රත්නයෙන් සම්පුර්ණවු මුළුලොව කිසිවක්හට දී ගියේ වීනම් මෙපමණවු සර්වඥනක අවිඥනක වස්තු එක් සත්වයෙක් හුගේ සිත්පුරා ලන්නට නොසෑහෙන්නේය. එසේ හෙයින් මේ තෘෂ්ණාව නම් පඤචමහා ගංඟාවෙන් අනවරතයෙන් වදනා ජලයෙන් මහාසමුද්‍රය පුරා උතුරුවාලිය නොහැක්කාසේ කෙතෙක් වස්තු ලදත් මෙතෙක් සෑයෙහි යන්නක් නැති හෙයින් පුරාලිය නොහැක්කේය. එසේ හෙයින් මේ කාරණය දන්නාවු සත්වයා විසින් තෘෂ්ණාවසඟනොව කාය සමාචාරාදිය පුරමින් ත්‍රිවිධ සුචරිතයෙහි හැසිර වාසය කටයුත්තේය, තවද මේ කෝලයෙහි රජ දරුවෝ තමන්ගේ සේනාවාහනාදීවු පරිද්දෙන් පරසතුරන් මැඩ මුළු පොළොව සාදා ජයගෙණ චතුස් සමුද්‍රය අවසානකොට ඇති දස දහසක් යොදුන් ජම්බුද්වීපයෙහි රාජ්‍යශ්‍රී අනුභව කෙරෙමින් වසන්නාහු සමුද්‍රය ඇතුළත රාජ්‍යය සැහෙන්නේයයි එහි තෘප්තියකට නොපැමිණ මතුමත්තෙහි අන්‍ය දීපාන්තරවල රාජ්‍යය උවමැනවැයි ප්‍රාර්ථනා කරන්නාහ. එසේ හෙයින් සත්වයන්ට තෘෂ්ණාවසඟවු සත්වයෝ කිසිලෙසකිනුත් පුරාලිය හැකි කෙණෙක් නොවන්නාහ. මහරජ්ජුරුවන් වහන්ස පුරුෂයෙක් ප්‍රමාණාත්‍රික්‍රාන්ත වු කාමය තමා තමා විසින් සිහිකරගන්නේවි නම් තෘප්තියකට නොපැමිණෙන්නේය, නැවත නැවත ඒ කාමය පැමිණෙන කැමැත්තේය. එසේ හෙයින් වස්තුකාම කෙලශකාමයෙහි තෘෂ්ණාව වඩුත් අඩු වෙක් නොවන්නේය. වස්තුකාමී කෙලශකාමයෙන් කයින් සුදුසුවූ ප්‍රතික්‍රියා කොට ඤනයෙන් ආදිනව දැක යම්කෙණෙක් ප්‍රඥාවෙන් සම්පූර්ණවුද එබඳූ නුව නැත්තෝ තාප්තියකට පැමිණියාහු නම් යම් හෙයකින් ප්‍රඥාවෙන් සම්පූර්ණීවු පුරුෂයා කාමය නිසා බලවත්වු පීඩාවට නොපැමිණෙන්නේය. එබඳුවු පුරුෂයා තෘෂ්ණාව තමා වසඟයෙහි පවත්වාගන්ට අසමර්ථවන්නේය. එබඳූවු ප්‍රඥාවන්ත වූ රුපෂතෙම මේ තෘෂ්ණාවෙහි ආදිනව දැක ගංගාමාලනම් ප්‍රත්‍යෙක බුද්ධාංකුරයානන් මෙන්ද, අර්ධමාශක නම් රජ්ජුරුවන් මෙන්ද තෘෂ්ණා වසඟත්ථයෙහි නොපවතින්නේය.

මහත්වු ප්‍රඥාවෙන් යුක්ත බැවින් සමුද්‍රයසේ මහත්වු සත්වතෙම වහ්නිස්කණ්ධයෙන් සමුද්‍රජලය තවා උනුකොටලිය නොහැක්කාසේ කෙලශකාම නැමති වහ්නින් තවාලිය නොහැක්කේය. යම්සේ චස්කාරයෙක් වහන් නිපදවන්නේ ඒ වර්ෂයෙහි යම් යම් තෙනක නොගයුතු වීනම් ඒ ඒ තැන් කපාහැර වහන්කොට විකිනීමෙන් වහනයට සුදුසුවු මිල ලැබ පුත්‍ර දරාදීන් පෝෂ්‍යයකොට සුඛිත මුදිතව වෙසේද, ඒ පරිද්දෙන්ම නුවණැත්තාවු සත්වතෙම සොම්මර නියතයක් හා සමානවූ ප්‍රඥාවෙන් ඒ ඒ වස්තුකාම කෙලශ කාමයෙන් කපා සිඳිමින් කාමයන්ගේ ඒ ඒ පරිචේඡදය සිඳිනේය, එසේ හෙයින් ඒ ඒ කාමචේඡ්චදයෙන් පුරුදුවු කායවාක් මනඃ යන තුන්දොර අකුශල කාමයෙන් වෙන්වු සත්වයාහට සැපසේ සිද්ධවන්නේය, ඉඳින් සත්වතෙම සියළු කාය කාර්මාදිය කාම පරිලාභයෙන් දුරුකොට සැපයෙහි පිහිටුවනු කැමැත්තෙහි වී නම් කිසුනු පිරියම් කිරීමෙන් භාවනාකොට ධ්‍යාන උපදවා සියළු කාමයන් හැර බ්‍රහ්මලෝකයෙහි උපදනේයයි මෙසේ ධර්මදේශනා කළහ. බෝධිසත්වයන් මේ කාරණයන් කියමින් සිටියදීම මහරජ්ජුරුවන්ගේ ධවලාත්‍රපත්‍රය අරමුණු කොට ඕදතකසින සමාපත්තියෙන් යුක්තවු ධ්‍යාන උපදනේය. රජ්ජුරුවෝ නිරෝගීව සතුටුවූ සිතින් යහනින් නැගීසිට කියන්නාහු මෙතෙක් වෙදවරු මට පිළියම් කරන්ට අසමර්ථවුහ. ප්‍රඥාවන්තවු මානවකයා තමාගේ ප්‍රඥා නැමති ඖෂධයෙන් මා නිර්ව්‍යාධි කෙළේයයි බෝධිසත්වයන් හා සමග මෙසේ කථා කළාහ. බමුණානෙනි තොප විසින් කාමයෙහි ආදිනව දක්වා කියන ලද්දාවු ගාථා අටදහසක් වස්තු වටනේය. එසේ හෙයින් තොපගේ වචනයට පූජාකොට අටදහසක් වස්තු දෙමි කිහ. ප්‍රයෝජන නැත. රථකාරා්ව වසම්සස යනාදීන් මේ ගාථාව කියමින් සිටියදීම වස්තු කාම කෙලශකාමයෙන් මාගේ සිත වෙන්ව ගියේය. මම වුකලි පස්විම් ගාථාව කියමින් සිටියදීම මාගේ ධර්මදේශනාවෙන් ධ්‍යාන ඉපදවිම මහරජ්ජුරුවන් වහන්සැයි කීහ. එබස් අසා රජ්ජුරුවෝ වඩ වඩා සතුටුවුහ. මහබෝසතානන්ට ප්‍රසංශා කරන්නාහුය. නුවණැති පුරුෂයෙක් කර්මවට කෙලෙස්වට විවටයයි කියන ලද ත්‍රිවිධ වෘත්ත දුක්ඛය උපන්නාවු මේ තෘෂ්ණාව විශේෂයෙන් පිරිසිද කෙලශ විස්කම්භනය කොට පඤචාභිඥා අෂ්ටසමාපත්ති ඉපදවීද, ඒ මානවකතෙම ඉතා යහපත්වු අදහස් ඇත්තේයයි සියලුලොව නුවනින් පිරිසිඳ දන්නාවු තපස්වියකැයි වර්ණනා කළාහ. මහබෝධිසත්වයෝද රජ්ජුරුවන් වහන්ස ධර්මයෙහි හැසුරුනු මැනවැයි රජ්ජුරුවන්ට අවවාද කොට ආකාශයෙන් හිමාලය වනයට ගොස් සෘෂිප්‍රවෘජ්ජ්‍යාවෙන් පැවිදිවු පමණින් බ්‍රහ්මවිහරණ භාවනාකොට බ්‍රහ්මලෝකයෙහි උපන්නාහ. ශාස්තෘවු බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා මහණෙනි පළමුත් මේ බමුණා නිසෝසක කෙළෙමි වේදැයි වදාරා කාම ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් මේ බමුණුය. නුවණැති මානවකවූයෙමි තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.