414 දිවි ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද පරහිත නිරතවූ සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එළුදෙනක අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

වටකොට ගල්වැටක්සේ තිබෙන්නාවූ එක දොරකඩක් ඇති ගිරිගර්භ නම් විහාරයෙහි මුගලන් සාමි වාසය කරණසේක්. එළුගොපොල්ලොත් මෙතන එළුවන්ට උපද්‍රව නැතැයි ඒ ගල් අස්සේ එළුවන් ලාලා පලායන්නාහුය. උදැසනක් පාසා එළුවන් තණට අරණාහ. මෙසේ එක් දවසක් එළුවන් ගාලෙන් ඇරපුකල්හි එළුවන් පලායන්නාහ. එක් එළුදෙනක් පසුවෙලා යන තැනත්තිය දිවියෙක් දැක අල්වාගෙණ කමි සිතා ගල්පසුර දොරකඩ රැක ගෙණ එලිගෙණ උන්නේය. එළුදෙනත් දුරදී දිවියා දැක මේ දිවියා රැකඉඳිනේ මා අල්වාගෙණ කන්නටයයි සිතා අපස්සේ යන්නාමුත් මා ලුහුබඳන්දා අල්වාගෙණ යන්නේය. මූ උන් දොරකඩින්ම යෙමි කිළිපොලා අන්දෙක කෙළින් ඉඳූවා දිවියාගේ ඇස්වර බලා මහත්වූ වේගයෙන් පැනගෙණ දිවගොස් තමාගේ බල එළුවන් හා සමග එක්ව ගියාහ. මේ දුටු මුගලන් සාමින් සර්වඥයන් වහන්සේට මෙපවත් දැන්වූ සේක. සර්වඥයන් වහන්සේ එම්බා මුගලාන දැන් ගැලවිපලා ගියා පමණක් විනා පෙර මේ දිවියා එළුදෙන අඬව අඬවා බෙල්ල කඩාකා මැරූයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස මගධරට බෝධිසත්වයෝ එක්තරා දුප්පත් කුලයෙක ඉපද තාපසව මුගලන් සාමින් වාසය කරන්නාවූ ගිරිගර්භ නම් පර්වත වලල්ලසේ මහල් වැටක් ඇතුලේ වාසය කරන්නාහ. එසමයෙහි එළුගොපොල්ලෝ ඒ ගල්වලල්ල ඇතුලෙන් තණට පිටත්කරන්නාහ. එක් දවසක් එළුවන් ගාලෙන් පලාගියහ. එළුදෙනක පසුව පිය යන්නීය දැක එක් දිවියෙක් අල්වාගෙණ කමි සිතා ඇවිත් දොරකඩ රැකගත එළුදෙන් මුන්ට උපායක් කියා ගැලවෙමි සිතා කියන්නී කිමෙක්ද මයිලනුවන් වහන්ස නුඹ වහන්සේට පාසු අපාසු නැද්ද නුඹ වහන්සේගේ සුවදුක් විචාරාගන්නා ලෙස මාගේ මෑනියන් වහන්සේ මා එවුසේකැයි කීහ. එවිට දිවිකියන්ගේ වල්පතද මිරිකාගෙණ ඇවිත් මා ඉදිරියේ සිට නෑකම් බණවූදැයි කීය. එවිට එළුදෙන් කියන්නී නුඹ වහන්සේ නැගෙණහිරට මූනලා උන් හෙයින් නුඹ වහන්සේ ඉදිරියට ආමි මා වල්පත මිරිකුයේ කෙසේ දැයි කිව සප්තමහා සාගරයද සප්ත කූට පර්වතයෝද සක්වලගලද යන මේ සියල්ල වටකොට මාගේ වල්පතමය. තොප මා වල්පත නොමිරිකා ආයේ කෙසේදැයි කීය. එවිට එළුදෙන් මම භයගතින් නම් ආකාශයෙන් ඇවිත් බැස පියමි නුඹ වහන්සේගේ වල්පත මා මිරිකුයේ කෙසේදැයි කිව, එවිට දිවියා කියන්නේ තොප මෙතනට එන වෙලාවට මුවන් හා ඌරෝ ගොණෝ මෙතන සිටිය ඉවත පලාගියෝය උන්මට ගොදුරුව සිටියවුන් ඉවත පළාගියහෙයින් ඉන් තොප උන් මාරුවට කමිකීහ. එවිට එළුදෙන් අඬ අඬා කියන්නී මා මෙසේ වූ කන්නලව් කිය කියා යාච්ඤා කළදී කුමට මා කන්නේදැයි කිව, එවිට දිවියා කියන්නේ අප දරුණුවූ කෲරවූ සත්වයන්ට තොපගේ කන්නලව්වෙන් කම් කිම්දැයි කියා එළුදෙනගේ බොටුවට පැණ බෙල්ල කඩාගෙණ මස් කෑයේ සර්වඥයන් වහන්සේත් ඒ අසත්පුරුෂවූ දිවි ඒ එළුදෙන කී කන්නලව්ව නොඅසා ඇගේ ජිවිතක්‍ෂය කෙළේ වේද මුගලනැයි වදරා මේ දිවි ජාතකය නිමවා වදාළ සේක.