මුල් පිටුව 401 සිට 450 දක්වා 413 ආදිත්ත ජාතකය

413 ආදිත්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ලෝකත්‍රයට ප්‍රදීපයක් බඳූවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන්ගේ අසදාසදානයක් අරභයා මේ ජාතිකය දක්වන ලද.

මෙහි විස්තර වශයෙන් මහාගෝවින්ද ජාතකයෙහි පෙණෙන්නේය. මෙහි වනාහී කෝසල රජ්ජුරුවෝ ක්‍ෂේත්‍රය දැනම දානය දුන්නාය. දැන් දුන් නියාව ඉතා යහපතැයි දම්සභාවේ රැස්වූ භික්ෂූන් වහන්සේ කිය කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් මතු නොවෙයි මහණෙනි පෙර උත්තමයෝත් ක්‍ෂේත්‍රය දැනම දන්දුන්නෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ ස්ක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර සිව්රට විරන්‍ද නම් නුවර හතර නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි රජ්ජුරුවන්ගේ සමුද්‍රවිජයානම් අග්‍රමෙහෙසිකා කෙණෙක් ඇත්තාහ. දන්දී එක් දවසක් බිසවුන් රජ්ජුරුවෝත් එකතැන ඉඳ කියන්නාහූ මෙතෙක් දෙන්නාවූ දානය නිසිතෙනකට දෙන්ට නොලඹම්හ. අප සිතට සමාධියක් නොවන්නේයයි කීහ. බිසව් කියන්නාහූ මම දැන් ඉදිකරවමි නුඹ වහන්සේ පසේ බුදුන් වහන්සේ වඩනා නියායෙන් ආරාධනා කළ මැනැවැයි කීහ. රජ්ජුරුවෝ කෙසේ ආරාධනා කෙරෙම්දැයි කීහ. මල් සතරමිටක් ඇර ගෙණ නැගෙණහිරට දමා ආරාධනා කළ මැනැවයි කීහ. ඒ දිග පස් බුදුන් වහන්සේ නැතිහෙයින් නොවැඩි සේක. පසුව දවස් දකුණු දිගට මල්දමා ආරාධනා කළහ. ඒ මල් නන්ද මූල දිගත් පසේ බුදුන් වහන්සේ නැති හෙයින් නොවැඩිසේක. තුන් වෙනි දවසුත් බස්නාහිට මල් දමා ආරාධනා කළහ. ඒ දිග පසේබුදුන් වහන්ස් නැති හෙයින් නොවැඩිසේක. සතරවෙනි දවස උතුරු දිගට මල් සතරමිටක් දමා ආරාධනා කළාහ. ඒ මල් නන්දමූල පබ්භාරයට ගොස් පන්සියයක් පසේ බුදුන් වහන්සේ වඩනා තැනට ගොස් වැගිරින. පසේ බුදුන් වහන්සේ මේ කාරණය දැක දිවසින් බලා භරත රජ්ජුරුවෝ අපට ආරාධනා කරන්නාහයි කීයා පසේ බුදුන් සතරදෙනෙකුන් වහන්සේ තොරා භරත රජ්ජුරුවන්ගේ ආරාධනාවට ගොස් සිඟවයි යවුසේක. උන් වහන්සේලා සත්දෙනා වහන්සේත් ගැටවුගන්වා ආකාශයෙන් අවුත් රජ්ජුරුවන් ගේ රජගෙයි සමීපයෙහි සිඟා වැඩි සිටි සේක. රජ්ජුරුවොත් පසේ බුදුන් වහන්සේලා දැක ප්‍රීතියෙන් පිනා දන්දී පසුවදවසටත් ආරාධනා කොට ශ්‍රමණ පරීෂකාර ඉදිරියෙහි තිබූහ. උන් වහන්සේලාත් ශ්‍රමණ පරිෂ්කාර පිළිගෙන වඩනා පසේ බුදුවරයන් වහන්සේලාගෙන් පළමු වඩනා පසේ බුදුන් වහන්සේ රජ්ජුරුවන් වහන්සේට අනුමෙවැනි බණ වදාරණසේක් ගාථා දෙකක් කීසේක. මහරජ යම් ගෙයක් ගිණි වැදගත් කල ගෙයි තුබූ වස්තු ගින්නේ දැනහෙයින් වහ වහායෙන් පිටත ලද්ද එමෙන් ජරාමරණ තමාට පැමිණෙන්නාට පළමුව තමා සෙව්ව වස්තුව දානවිෂයෙහි පරිත්‍යාග කොට මහරජ දිව්‍යලෝක සම්පත්තිය විඳූවයි රජ්ජුරුවන්ට අවවාධ කොට තමන්වහන්සේට දුන් පිරිකරත් ඇරගෙණ කැණිමඩල පලාගෙණ ආකාශයට පැණනැගී නන්දමූලක පබ්බාරයට වැඩිසේක. දෙවැනිව වඩනා පසේ බුදුන් වහනසේ රජ්ජුරුවන්ට අනුමෙවැනි බණ වදාරණසේක්.

මහරජ දන්දෙන්ට ශ්‍රමණබ්‍රහ්මණයන් ඇතිව වස්තුව දන්නොදී චෙතරණී සව්ර්ග මෝක්ෂ සම්පත් විඳූවයි රජ්ජුරුවන්ට අවවාද කියා ආකාශයට පැණනැගී පස්වනක් වලා මඩිමින් තමන් වහන්ස්ට දුන් පිරිකරගෙණ නන්දමූලක පබ්භාරයට වැඩිසේක. තුන්වැනිව වඩනා පසේ බුදුන් වහන්සේ රජ්ජුරුවන්ට අනුමෙවැණි බණ වදාරණ සේක් මහරජ දන්දීමද යුද්ධකිරීමද සමාන වන්නේය. ඒ කවරහෙයින්ද යත් සෞරවිර්ය ඇති පුරුෂයෝ බොහෝ සතුරන් ජයගන්නේය. ස්වල්ප වූ පුරුෂයෝ බොහෝ මසුරු සිත් ජයගන්නේය. මහරජ එසේ හෙයින්ම දානාමානාදී බොහෝ පින්කම්කොට සවර්ගමෝක්ෂ සැප විඳුවයි රජ්ජුරුවන්ට අවවාද කොට තමන්වහන්සේට පිළිගැන්වූ පිරිකරත් ඇරගෙණ ආකාශයට පැණනැගී නන්දමූල පබ්භාරයට වැඩිසේක. සතරවෙනිව වඩනා පසේ බුදුන් වහන්සේ රජ්ජුරුවන්ට අනුමෙවැනි බණ වදාරණ සේක් මහරජ යහපත් ගුණ ඇති ශ්‍රමණ බ්‍රහ්මණයන්ට දුන්නාවූ දානය පරලොවෙහි යහපත් විපාක දෙන්නේය. ඒ එසේමය. යහපත්වූ භූමියෙහි වපුලාවූ බිජුවට යහපත් සස්‍යඵලය දෙන්නේද එමෙන් යහපත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුන්නාවූ දානයත් මහවිපාක දෙන්නේයයි රජ්ජුරුවන්ට අවවාද කියා තමන් වහන්සේට දුන් පිරිකරගෙණ ආකාශයට පැණනැගී නන්දමූල පබ්භාරයට වැඩිසේක. පස් වැනිව වඩනා පසේ බුදුන් වහන්සේ රජ්ජුරුවන්ට අනුමෙවැනි බණ වදාරණ සේක් මහරජ උත්තමයන් සිටිනා තරම් පදමටත් තමන්ගේ ජාතිග්‍රෝතශයටත් නපුරුයි කියාත් පරලොව භයත් මෙලොව අප කීර්තිය නිසා පවු නොකරන්නාහ. සමහර කෙණෙක් එකෙකු මරාපුවයි එකෙක් අප නසාපියාද පව් නම් කුමක්ද පින් නම් කුමක්ද උදාර සිතින් පවුකරන්නාහ. මහරජ එලෙස පවුනොකොට පින්කම් කොට සැප විඳූවයි රජ්ජුරුවන්ට අවවාද කොට තමන් වහන්සේ අටපිරිකරගෙණ නන්දමූලක පබ්බාරයට වැඩිසේක. සවෙනිව වඩනා පසේ බුදුන් වහන්සේ රජ්ජුරුවන්ට අවවාද කියා අටපිරිකරගෙණ ආකාශයට නැගී නන්දමූලක පබ්භාරයට වැඩිසේක. සත්වැනිව වැඩි පසේ බුදුන් වහන්සේ රජ්ජුරුවන්ට අනුමෙවැනි බණ වදාරණ සේක් මහ රජ යම් දෙයක් ලබමි කරන්නාවූ හීනවූ බ්‍රහ්මචර්යායෙන් රජව උපදනාහ. මධ්‍යමව කරන්නාවූ බ්‍රහ්මචර්යාවෙන් දිව්‍යලෝක සැපත් ලබන්නාහ.උත්තම වූ බ්‍රහ්මචර්යායෙන් නිර්වාණ සම්පත්තිය ලබන්නාහ. මහ රජ ඒ උත්තම බ්‍රහ්මචාර්යයන් නිර්වාණසම්පතියට උත්සාය කරවයි අවවාද කියා ආටපිරිකර ගෙණ ආකාශයට නැගී නන්ද මුලක පබ්භාරයට වැඩිසේක. රජ්ජුරුවෝත් ආකාශයෙන් යන්නාවූ පසේ බුදුන් වහන්සේ බලාසිට මහත්වූ ප්‍රීතියෙන් පසේ බුදුන් වහන්සේ වදාළ අවවාද සිත තබා දසරාජ ධර්මයෙන් රාජ්‍යය කොට පරලොව ගියාමයි වදාරා මේ ආදිත්ත්‍ය ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි ඒ සම්බුදු විජයා බිවස් නම් රාහුලෝමාතාවූ යසෝධරා ස්ථවිරය. භරත රජ්ජුරුවෝ නම් බුදුවු මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේක.