411 චෙතිය ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද විතාරාගී වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පොළොව ගිළූ කථාව අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

ධම්සභාවේ රැස්වූ මාළු වරුන් වහන්සේ දේවදත්ත ස්ථවිරයන් පොලොව පලාගෙණ නරකයට ගියේයයි කිය කියා වැඩ උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහනෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි මහණෙනි පෙරත් දේවදත්ත ස්ථවිරයන් පොලව පලාගෙන නරකයට ගියේයයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යට ප්‍රථම කල්පයෙහි මහා සම්මතය, රොජය, වරරෝජය, කල්‍යාණය, වරකල්‍යාණිය, ඌපොසථය, මන්ධාතුය, වරමන්ධාතුය, චරය, උපචරයයියන රජ දරුවෝ දස දෙනෙක් වූහ. ඉන් උපචරනම් රජ්ජුරුවන්ගේ පුත් චෙතිය නම් රජෙක් චේතිය රට සොත්තිය නම් නුවර රාජ්‍යය කරන්නේය. ඒ රජ්හුගේ කපිල නම් පුරෝහිත බ්‍රාහ්මණයක් ඇත. ඒ පුරෝහිත බ්‍රහ්මණ මම වෘද්ධයෙමි රජ්ජුරුවෙනි දිවපැන යානොහෙමි මට මින් කම්නැතැයි තුමූ පැවිදිව පඤ්ච, භිඤා අෂ්ට සමාපත්ති උපදවා උයනෙහි තාපසව වාසය කරන්නාහ, තමන්ගේ පුරෝහිත ධුරය අනික් කෙනෙකුන්ට නොසලස්වා තමන්ගේ පුතනුවන්ටම භාරකොට තපසට ගියාහ. කපිල තාපසයන්ගේ කොරකළඹ නම් මලනු කෙනෙක් ඇත. රජ්ජුරුවන් හා කොරකලඹයන් හා බලදා පටන් පුරුද්දාහ රජ්ජුරුවෝත් කොරකලඹයාට කියන්නේ ඇයි තොපගේ බෑනන් වහන්සේ සිටි පුරෝහිත ධුරයට තොපි සිටුවයි කීහ. එවිට කොරකළඹයෝ අපගේ බෑනන් වහන්සේ තාපසවූ පමණක් විනා තමන් වහන්සේ ධුරයට නොසැලැස්වූ සේක. ඉන් උන් වහන්සේ සැලසුවොත්විනා ධුරයට සිටින්නේ කෙසේදැයි කිහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ තොපි මම්වැඩි මාළු කෙරෙමි තොපගේ බෑනන් තොපට බාල කෙරෙමි කීහ. එවිට කොරකළඹයෝ කියන්නාහූ ස්වාමිනි උන් වහන්සේ ප්‍රයෝග දන්නා සේක. නුඹ වහන්සේට ආකාශයෙන් වැටෙන්නාසේ දක්වන සේක. පොලොව ගලන්නාසේ දක්වන සේක. ඊට භය නොගෙණ තරයේ සිටිනාසේක් නම් යහපතැයි කීහ. එවිට රජ්ජුරුවෝ කවර විෂ්මයෙක් පෑවෝතිනුත් තරයේ සිටිමි සැකයක් නොසිතවයි කීහ. ඒ කවර දවස්ද කියන්නේයයි විචාළේය. අදට සත්වෙනි දවස්යයි කීහ. මේ කථාව නුවර මුළුල්ලේ සැලව අපගේ රජ්ජුරුවන් වහන්සේ අදට සත්වෙනි දවස් බොරුවක් කියන සේකල, බොරු නම් උල්ද වටද සතරැස්ද නිල්ද සුදුදැයි කියා නුවර වාසී මැසි පිට මැසි ලමින් ඒ ඒ තැන රැස්වූහ. තාපසයන්ගේ පුතනුවෝත් තාපසයන් ලඟට ගොස් සෙට රජ්ජුරුවන් වහන්සේ බොරු කියනසේකැයි පියානන් වහන්සේට කීහ. උන් වහන්සේත් උයනින් අවුත් ආකාශයේ වැඩ සිටිසේක. රජ්ජුරුවෝත් සර්වාභරණයෙන් සැරසී ආකාශයෙහි සිටියාහ, තාපසොය් කියන්නාහූ මහරජ බොරු කිකල සතරදිග රැකගෙණ සිටිනා දෙවියෝ පලා යන්නාහ, මෙලෝ පරලෝ දෙකින්ම අවැඩ පැමිණෙන්නේය, එසේ හෙයින් බොරු නොකියව මැනැවයි කීහ. තාපසයන් එසේ කීවත් රජ්ජුරුවෝ නුඹ වහන්සේ බාලසේක.

කොරලඹයෝ වැඩි මහළුයයි කීහ. එවිට සතර දිග රැකවල්ගෙණ සිටි දෙවියෝ සතරදෙන තමන් අත තුබූ කඩු සතර රජ්ජුරුවෙන් පාපිට දමා පළාගියාහ. රජ්ජුරුවෝ ඒ දැක භයපත්ව කොරකලඹයන් මූන බෑළූහ. එවිට කොරකලඹයා කියන්නේ ආදිමකියම්වේද නුඹ වහන්සේ භය ගන්නා නියායෙනැයි කීහ. එවිට රජ්ජුරුවෝ තාපසයන්ට කියන්නාහූ තාපස යන් වහන්ස නුඹ වහන්සේ බාල සේක,කොරලකළඹයා වැඩිමාළුයයි කීහ. එවිට තාපසයෝ කියන්නාහූ මහරජ එකවිට කී බොරුවෙන් රැකවල සිටි දෙවියන් පලා ගිය නියාව දුටුවාවේද දෙවැනි බොරුවෙන් බිම වැටීහුනුව මුඛයෙන් හමන මහනෙල්මල් සුවඳ නැතිව දුර්ගන්ධහමන්ට වන, සඳූන් සුවඳ හමන්නාවූ ශරීරයෙන් අසුචිගන්ධ හමන්නට වන, මේ දැකත් තොපට ප්‍රත්‍යක්‍ෂ නොවේද පළමුසේම සැබෑවයෙහි සිටුව, බොරු කියා අවිචියට නොයවයි කීහ. ඒ අසා රජ්ජුැවෝ කොරලකළඹයන් මුනබැළූහ, කොරකළඹයා කියන්නේ නොබව මැනව රජ්ජුරුවන් වහන්ස මේ මායමැයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ තාපසයන් වහන්ස නුඹ වහන්සේ බාලයා සේක කෝරකළඹයා වැඩිමාළු යයි කීහ. එවිට රජ්ජුරුවන්ගේ දන දක්වා පොලොව ගැලපිය. එවිට තාපසයෝ කියන්නාහූ මහරජ පළමුසේ සැබෑවයෙහි පිහිටා තොපගේ අභිවෘද්ධිය පළමුසේම වන්නේයයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ මහ තාපසයන් වහන්සේ බාලසේක. කොරලළඹයා වැඩි මාළුයයි කීහ. එවිට උකුල දක්වා පොලොව ගැලපීය. එවිට තාපසයෝ කියන්නාහූ මහරජ බෙරුකීම නම් මෙලෝ පරලෝ දෙකින්ම අවැඩ සැලසෙන්නේය. බොරු කියන තැනැත්තවුට දරුවෝ ඇතිනොවෙන්නාහ. ඉදින් ඇතිවෙත්නම් ගැණූ දරුවෝ ඇතිවන්නාහ. ඉදින් පිරිමි පුතෙක් ඇතිවී නමුත් නොකිකරුවන්නාහ. බොරු කියන තැනැත්තවුගේ මුඛයෙන් උපනුපන් ජාතියෙහි දුගී දුර්ගන්ධ වැහෙන්නේය. බැළූවන්ටා අනිභිප්‍රායවන්නේය.

මහරජ සැබැවයෙහි පිහිටා පෙරසේම රාජ්‍ය ශ්‍රීයෙහි පිහිටිය මැනවැයි කීහ. එවිට රජ්ජුරුවෝ මේ තාපසයන්ගේ සෘර්ධියෙන්ම වන දෙයැකැයි සිතා කියන්නාහූ තාපසයන් වහන්ස කොරකළඹයා වැඩි මාළුය. නුඹ වහන්සේ බාලයයි කීහ. එවිට තනමත්ත දක්වා ගැලපීය. එවිට තාපසයෝ කියන්නාහූ මහරජ බොරු කියා අවිචිනරකයට නොගොස් සැබෑවයෙහි පිහිටා නුඹ වහන්සේ ඓශ්චර්යයෙන් නොපිරිහී පළමු රජ්‍යශ්‍රිය වින්ද මැනවැයි කීහ. එපවත් රජ්ජුරුවෝ කියන්නාහූ නුඹ වහන්සේ බාලයයි යන බසම කීහ. එවිට සෙනෙහැති මවක පුතකු රත්පලසකින් වසාගෙණ යන කලක් පරිද්දෙන් අවිචිමහනරකයෙන් ගිණිකඳෙක් අවුත් රජ්ජුරුවන් වටකොටගෙණ අවිචිනරකයට ඇරගෙණ ගියේය. ඒ රජ්ජුරුවන්ගේ රාජකුමාරවරු පස්දෙනෙක් ඇත්තාහුය. ඒ පස්දෙනම එතනට ආවාහුය. ඒ තාපසයෝ රාජකුමාරය්නට කියන්නාහූ තොපි ඇම මේ නුවර නොයිදුවයි කියා වැඩිමාළු රාජ කුමාරයන්ට කියන්නාහූ මේ දිසාවට ගිය කල්හි අසවල් තැන ඇත්රුවෙක් ඇත. එතන නුවරක්කොටගෙණ ඉඳූවයි කීහ. එහි වනාහී හස්තිපුර නම් වෙයි දෙවැනි රාජකුමාරයන්ට කියන්නාහූ මේ දිසාවෙහි ගියකල අස්රුවෙක් ඇත. එතන නුවරක් කොටගෙණ ඉඳූවයි කීහ. ඒ වනාහී අශ්වපුරය නම් වෙයි තුන්වෙනි කුමාරයන්ට කියන්නාහූ මේ දිසාවේ අසවල් තැන සිංහ රුවෙක් ඇත. තොපි එතන නුවරක් කරගෙණ ඉඳූවයි කීහ. ඒ වනාහී සිංහපුර නම් වෙිය.සතරවෙනි කුමාරයන්ට කියන්නාහූ අසවල් තැන පර්වත දෙකක් ඇත. ඒ පර්වතයෙන් වැටෙන්නාවූ ජලධාරා දධ දධයයි වැගිරෙන්නේය. තොපි ඒ ස්ථානයෙහි නුවරක් කොටගෙණ ඉඳූවයි කීහ. ඒ නුවර දද්ධරනම් නුවරවෙයි, පස්වෙනි කුමාරයන්ට කියන්නාහූ තොපි මේ නුවර පස්කොටා කන්දක් කොට පවුරු ලවා මාලිකා ඉදිකොට වසවයි කීයා යවුහ. කුමාරයෝ පස්දෙනත් තාපසයන් කී සැටියෙන් ඒ ඒ තැන නුවරකොට ගෙණ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාරා මේ චේතිය ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි චේතිය රජ්ජුරුවෝ නම් දේවදත්ත ස්ථවිරයෝය. කපිල තාපසයෝ නම් බුදුවූ මම්මයයි වදාළසේක.