මුල් පිටුව 401 සිට 450 දක්වා 409 සුමඞගල ජාතකය

409 සුමඞගල ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද අසමසමවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි රාජෝවාදයක් අරභයා මේ ජාතකය දක්වන ලද

ඒ කෙසේද යත්

සර්වඥයන් වහන්සේ කෝසල රජ්ජුරුවන්ට වදාරණසේක් මහරජ දරු වන් නම් සන්හිඳි වාසය කටයුතු. පෙරත් රජදරුවෝ සන්හිඳිවාසය කළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රජ්ජය කරණ සමයෙහි ඒ නුවරට පසේ බුදු කෙණෙකුන් වහන්සේ වැඩිසේක. රජ්ුරුවෝ පසේ බුදුන් වහන්සේ දැක තමන්ගේ උයනට වඩා ගෙණගොස් උයනේ වැඩහිඳිනා නියායෙන් සලස්වා තමන්ගේ සුමංගල නම් උයන් ගොව්වා පසේ බුදුන්වහන්සේට අත්පා මෙහෙවර කරණ නියායෙන් සැලැස්වූහ. ඒ උයන් ගොව්වාත් ආදරය සම්භාවනා ඇතිවිම රජ්ජුරුවන් කී සැටියේම පසේ බුදුන් වහන්සේට අත්පා මෙහෙවර කරන්නේය. පසේ බුදුන් වහන්සේත් රජගෙන් වළඳා උයනේ වාසය කරණ සේක. කීප මසක් වැස උයන් ගොව්වාට කියා පිටිසර ගමකට වැඩිසේක. උයන් ගොව්වාත් උන්වහන්සේ පිටිසර ගමකට ගිය නියාව කියා උයනට නොගියේය. පසේ බුදුන් වහන්සේත් පිටිසර ගිය කීප දවසකින් උයනට වැඩිසේක. පසේ බුදුන් වහන්සේත් පිටිසර ගිය කීප දවසකින් උයනට වැඩිසේක. උයන් ගොව්වා උන් වහන්සේ වැඩි නියාව නො දන්නේය. උදෑසන තමාදෙන අමුතු බතකට මුවන් විඳින්ටයයි ගියේය. පසේ බුදුන් වහන්සේ උයනේ සලවට සිව්රෙන් මොට්ටක්කිලිය ගසා වැඩ උන්සේක. උයන් ගොව්වාත් මේ වැදහෝනේ මහාමුවෙකැයි සිතා ඇදගෙණ විද්දේය. ඒ හීය ලෙන් ඇනී පිටින් නැංගේය. එවිට පසේ බුදුන් වහන්සේ ඇයි සුමංගලය මමයි වදාළ සේක. එවිට උයන් ගොව්වා අත දුන්න දමාපියා ස්වාමිනි මහා මුවෙකැයි සිතා විද්දෙමි කියා ක්‍ෂමා කළ මැනවැයි කියා වැඳ වැතිර ගියේය. පසේ බුදුන් වහන්සේ ඉතිකින් කළමනාකිම්දැයි කියා මා ඇඟ ඇනීගිය මේහීය ඇද දමාපියටයි කී සේක. එවිට හීය ඇදපු කීප පැයකින් ප්‍රාණය නිරුද්ධ විය. උයන් ගොව්වාත් පසේ බුදුන් වහන්සේට විදි නියාව රජ්ජුරුවන් වහන්සේ ඇසූ සේක්වි නම් මට ආඥාකරණ සේකැයි භයින් අඹු දරුවන් ඇරගෙණ වලට වැද ගියේය. ඒ උයනේ වසන්නාවූ අනික් කෙණෙක් නැත්තාහ. දේවතාවෝ පසේ බුදුන් වහනසේට විත් කා මළසේකැයි බරණැස් නුවර මුළුල්ලේ සැලකළාහ. රජ්ජුරුවෝත් එපවත් අසා අමාත්‍යමණ්ඩලයා හා සමග උයනට ගොස් පසේ බුදුන් වහන්සේ ආදාහන කරවා නුවරට ගියාහ. උයන්ගොව්වා අවුරුද්දක් සැඟවි ඉඳ තමා සිතළුක් අමාත්‍යයෙකුට පෙණී රජ්ජුරුවන් වහන්සේ මා කෙරේ කෝප ඇතිසේක් දෝහෝයි නියමකළ මැනැවයි කිය. ඒ අමාත්‍යයාත් රජ්ජුරුවන් කරා ගොස් ස්වාමිනි සුමංගල නම් උයන් ගොව්වා උයනට ඵලාඵල ඇතිකරන්නට ඉතා සමර්තය. ඌ ගිය තැන් පටන් උයන ඉතාම නපුරුව ගියේයයි කීය.

රජ්ජුැවෝ ඌ දිසාවට මුනත් නොලා උන් කියන බසුත් නොඇසුවාහ. ඒ අමාත්‍යයාත් ගෙට අවුත් තව කෝප සන්නොසිඳුනේය. නැවත අවුරුද්දක් සැඟවි ඉඳූවයි කියා යවිය. එයින් අවුරුද්දක් සැඟවි ඉඳ පළමු පරිද්දෙන්ම ඇවිත් ඒ අමාත්‍යයා දිට ඒ අමාත්‍යයාත් පළමු පරිද්දෙන්ම රජ්ජුරුවන්ට කීයේය. රජ්ජුරුවෝ දෙවෙනිවාරයේත් නොඇසුවාහ. ඒ වාරයේත් තව අවුරුද්දක් සැඟවි ඉඳූවයි කියා යැවිය. එවකත් ගොසින් අවුරුද්දක් සැඟවි ඉඳ තුන්වෙනි වාරයේත් ඇවිත් දිට ඒ අමාත්‍යයාත් තුන්වෙනි වාරයේත් රජ්ජුරුවන්ට කිය රජ්ජුරුවෝ තුන්වෙනිවාරයේ උගේ පවත් අසා ගෙන්වා ගෙණ පාවයි අමාත්‍යයාට කීහ. ඒ අමාත්‍යයාත් තමාගේ ගෙයි උන් උයන් ගොව්වා රජ්ජුරුවන්ට ගෙණවිත් පෑහ. රජ්ජුරුවෝත් උයන්ගොව්වා දැක ඇයි තා පසේ බුදුන් වහන්සේ කුමට විද්දෙදැයි විචාළාහ. ස්වාමිනි පසේ බුදුන් වහන්සේ උයනට ආ නියාව නොදත්තෙමි මම මුවෙන් විදින්ටයයි ගියෙමි. ඉස වසා සිවුර ලාගෙණ වැඩ උන් තැනැත්තන් වහන්සේ මහමුවෙකැයි සිතා නොදැන විද්දෙමියි කීහ. රජ්ජුරුවන් වහන්සේ නොදැනකළ වරදට කරන්නේ කිමදැයි කියා ඌට බොහෝ වස්තු දී පළමුසේම උයන රැකවලට සැලැස්වූශ. ඒ අමාත්‍යයාත් ඇයි ස්වාමිනි දෙමුරෙක මා දන්වන ගමනේ බැණ නොනැගී වැඩ ඉන්ටත් දැන්වූ කලි මූට ප්‍රාසාද දෙන්ටත් කාරණා කිම්දැයි විචාළාහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ එම්බා ඉසුරුමතුන්නම් යම් කෙණෙකුන්ගේ වැරැද්දක් ඇසූ කල තමාගේ කෝප නිවිගිය අවස්ථාවේ ගෙන්වාගෙණ ඌගේ වැරදිවිචාරා නිවැරදි හෙයින් මූට ප්‍රසාදත්දී ඌට උයනත් සැලැස්වීම රජ්ජුරුවෝ කීහ. එතන උන්නාහූ අමාත්‍ය මණ්ඩලයා සාධුකාර දී බොහෝ කෝලාහල කළාහ. අරගල සන්හිඳියන්නා උයන් ගොව්වා නැගිසිට රජ්ජුරුවන් වහන්සේ වැඳ ස්වාමිනි නුඹ වහන්සේ ශ්‍රී කාන්තාත් ලක්‍ෂමිත් නොහැර පවතිත්වයි නිරන්තරයෙන් සියල්ලවුන් කෙරේ කෝපයෙන් නොවි දැහැමින් සෙමෙන් රාජ්‍යය කරණසේක්වයි සියක් අවුරුද්දක් සැපසේ බොහෝ දෙනා කෙරේ මෛත්‍රී කොට මින් චුතව දිව්‍යලෝකයට ගොස් දිව්‍යසම්පත් අනුභව කරණසේක්වයි ආවඩා ස්තුති ඝෝෂා කෙළේයයි වදාරා මේ සුමංගල ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි පසේ බුදුන් වහන්සේ ආදාහන කරවා පූජා කළාවූ රජ්ජුරුවෝ නම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.