මුල් පිටුව 401 සිට 450 දක්වා 407 අෂ්ටශක්‍ෂද ජාතකය

407 අෂ්ටශක්‍ෂද ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කරුණා නිධානවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරණසේක් මධ්‍යම රාත්‍රියෙහි කොසොල් රජ්ජුරුවන් විසින් අසන ලද විභාග නැති භයානක ශබ්ද අටක් අරභයා මේ ජාතකය දක්වා වදාළ සේක. මෙහි වර්ථමාන කථාව යට ලෝභ කුම්භි ජාතකයෙහි පෙණෙන්නේය මේ ජාතකයෙහි කොසොල් රජ්ජුරුවන් විසින් ස්වාමිනී තිලෝගුරු බුදුරජානන් වහන්ස මේ ශබ්දයන් ඇසුවායින් කුමක් වන්නේදැයි විචාළ කල්හි නොබව මහරජ මෙයින් කිසි අන්තරායෙක් නොවන්නේය. මෙබඳූවූ භයානක ශබ්ද තොපිම නොඇසුවව පෙරත් රජදරුවෝ මෙබඳූ ශබ්ද අසා බමුණන්ගේ බස් ගෙණ සර්වතුෂ්කනම් යාගයක් කාරණු කැමැත්තාහූ නුවනැත්තවුන්ගේ බස් අසා යාගයට මරණු පිණිස ගෙණාවූ සත්වයන් නොමරණ පිණිස නුවර බෙරලවා අභයදානය දුන්නාහූ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේකී.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද වැඩිවිය පැමිණ ගිහිගෙයි කලකිරී හිමාලය වනයට වැද ඍෂි ප්‍රවෘජ්ජාවෙන් පැවිදිව වාසය කොට ළුනු ඇඹුල් පිණිස බෝධිසත්වයෝ බරණැස් නුවර ආ ගමනේ රජ්ජුරුවන්ගේ මගුල් උයනේ වාසය කරන්නාහ, එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ මධ්‍යම රාත්‍රිවෙලෙහෙි ශබ්ද අටක් ඇසූහ. ඒ ශබ්ද අට කවරේද යතහොත් පළමු කොට රජ්ජුරුවන්ගේ උයන සමීපයෙහිදි දිය සුන් පොකුණක් සමීපයෙහි හිඳ කොකොක් අඬාලීය. දෙවෙනිව ඒ අඬට අනතුරුව රජ්ජුරුවන්ගේ ඇත්හල තොරණ සමීපයේ ඉඳ කැවිඩිධේනුවක් අඬළූව, තුන්වෙනිව ඒ අඬට අනතුරු වම රජ්ජුරුවන්ගේ රජගෙයි කැණිමඩලේ කඳ පණුවෙක් අඬලීය. සතරවැනිව ඒ අඬට අනතුරුව රජ්ජුරුවන්ගේ රජගෙයි මැදිරියේ ඉඳිනා කොවුල්ලෙක් අඬාලීය. පස්වෙනිව ඊට අනතුරුව රජජුරුවන් වඩනා මුවෙක් අඬාලීය. සවෙනිව ඊට අනතුරුව මැදිරියේ හිදීනා වඳූරෙක් අඬාලීය. සත්වැනිව ඊට අනතරුව මැදිරියේ හිඳිනා කින්නරාවක් අඬළුව, අටවැනිව ඊට අනතුරුව රජ්ජුරුවන්ගේ මගුල් උයනට ආකාශයෙන් වඩනාවූ පසේ බුදු කෙණෙකුන් වහන්සේ උදන් ගාථා වදාළ සේක. මේ ශබ්ද අටම ඒ රජ්ජුරුවන් ඇසූහ. ඒ අසා රජ්ජුරුවෝ තුන්යම රාත්‍රියෙමි භයින් නොනිදාම පාන්කළහ, පුරෝහිත බ්‍රාහ්මණයාත් පාන්වූ පසු රජගෙට අවුත් රෑ නිදිලත් සැටිය විචාළේය. රජ්ජුරුවෝ කියන්නාහූ මට සැපයෙක් නම් කොය්නද රෑ මෙසේවූ ශබ්ද අටක් අසා භයපත්ව නිදි නොලද්දෙමි කීහ. එවිට පුරෝහිත බ්‍රාහ්මණයා සිතන්නේ අප කන්ට කැවිල්ලක් ලා ගියේයයි බමුණානන් සත්කාර එක්කොට කියන්නේ මේ මහා භයංකරවූ ශබ්දයෙක මිට සර්වතුෂ්ක නම් යාගයක් කළොත් විනා නපුරැයි රජ්ජුරුවන්ට කියා බොහෝ ප්‍රාණීන් එක්කරවාගෙණ යාගයක් කර වන්ට උවමැනවැයි නොයෙක් සතා සතුන් පක්ෂීන් මිනිසුන් ඇතුළුවූ අය යාගයට එක්කරවූහ. එවිට ඒ පුරෝහිත බ්‍රාහ්මණයාගේ අතවැසිවූ බමුණෙක් කියන්නේ ආචාරීන් වහන්ස අප උගත් වේදශාස්ත්‍රයෙහි ප්‍රාණයක් නසා කරන්ට කී යාගයක් දුටුයේ නැත, මෙතෙක් ප්‍රාණ නසා පව්කරන්නාවූ කාරණා කිම්දැයි කීහ. එවිට පුරෝහිත බ්‍රාහ්මණයා කියන්නේ තොපිම රජ්ජුරුවන්ට පක්ෂපාතව ගියාද මෙතෙක් දෙනාට වන්නාවූ ලාභ අලාභ කරවුදැයි කෝප කළාහ, ඒ අතවැසිත් ආචාරීන් අතින් කෝප අසා කෙතෙක් කෝප කළත් මා මේ ප්‍රාණවධයට එක් වන්නේ නැතැයි පලාගොස් මේ පුරෝහිත බ්‍රාහ්මණයාටත් රජ්ජුරුවන්ටත් පිරෙන්නාවූ පාප සංසිඳූවාපියන්ට නිස්සෝ කව්රුදැයි පරීක්ෂා කොට රජ්ජුරුවන්ගේ උයනට යන්නාවූ තාපසයන් කරා ගොස් කියන්නාහූ තාපසයන් වහන්ස අපගේ රජ්ජුරුවන් වහන්සේ ඊයේ රෑ ශබ්ද අටක් අසාවදාරා ඒ ශබ්ද අට ඇසූ නියාව පුරෝහිත බ්‍රාහ්මණයාට කීසේක.

පුරෝහිත බ්‍රාහ්මණයාත් තමා රැකෙන උපායට සර්වතුෂ්ක නම් යාගයක් කළ මැනවැයි ප්‍රාණීන් රැස්කරවාගෙණ මරන්ට උවමැනවැයි යාග ශාලාවක් ඉදි කරවා ඒ ශාලාවෙහි මෙකී අය බැඳගෙණ ප්‍රාණවධයට එක්කරන්නාහ. ඔබ වහන්සේ වැනි ඍද්ධි ඇති තාපසයන් වහන්සේ මෙතන වැඩ ඉන්දදී රජ්ජුරුවන් වහන්සේට පිරෙණ පාපය නැතිකොට හික්මවා වදාළ මැනවැයි කීහ. එවිට තාපසයෝ කියන්නාහූ රජ්ජුරුවෝ අප ලඟට අවුනම් මේ ශබ්ද අටෙහි විපාකත් කියා රජ්ජුරුවන් භික්මවන පමණක් විනා අප ඉස අකුස්සක් බැඳගෙණ රජ්ජුරුවන් ලඟට ගොස් හික්මවන්දැයි කීහ. එවිට බ්‍රාහ්මණයා මම ගොසින් රජ්ජුරුවන් වහන්සේ කැඳවාගෙණ එමි කියා රජ්ජුරුවන් ලඟට ගොස් කියන්නේ ස්වාමිනී නුඹ වහන්සේ ඇසූ ශබ්ද අටේ අර්ථ විභාගකොට කියන්නට දන්නාවූ තාපස කෙණෙකුන් වහන්සේ මගුල් උයනේ වැඩ ඉඳිනාසේක. නුඹ වහන්සේ එතනට ගොස් අර්ථ විචාළ මැනවැයි කීහ. රජ්ජුරුවෝත් යහපතැයි උයනට ගොස් තාපසයන් වැඳ ඇසූ සබද අටෙහි අර්ථ තාපසයන්ට කීහ. තාපසයෝ ඒ ශබ්ද අටෙහි අර්ථ විසඳන්නාහූ පළමුවන ශබ්දයෙහි කොකෙකු ඇඬූ කාරණය නම් පළමු මේ පොකුණේ මත්ස්‍යයන් කාපැන්බී වාසය කෙළෙමි දැන් මැඩියන් කා ජීවත්වෙමි, තමාගේ වික්‍ෂේපයෙන් අඬාලීය, මින් රජ්ජුරුවෙනි තොපට වන්නාවූ අනර්ථයෙක් නැත, පොකුණ බිඳුවා පැන් පුරවා පියන්න දැනුත් කොකා විසින් කිසි වික්‍ෂේපයක් නැතිව සැපසේ ඉඳිනේයයි කී කල්හි රජ්ජුරුවෝ පොකුණේ කසල හරවන්ට අමාත්‍යයන්ට කීහ. මින් තොපට වන්නාවූ භයෙක් නැතෙයි කියාා බෝධිසත්වයෝ දෙවෙනි ශබ්දයේ අර්ථ විසඳන්නාහූ රජ්ජුරුවෙනි ඇත්හල තොරණ වසන්නාවූ කැවිඩි තමාගේ දරුවන් ඇතුන් මරාපූ හෙයින් පුත්‍රස්නේහයන් ඇඬූහ. තොපට මින් අනර්ථයෙක් නැතැයි කියා තුන්වැනි ශබ්දයෙහි අර්ථ විසඳන්නාහූ රජ්ජුරුවෙනි තොපගේ රජගෙයි කැණිමඩුල්ලේ කඳ පණුවෙක් වාසය කරන්නේය. ඒ තමා යන එන තැනක් නැතිහෙයින් මම මින් කවර දවසෙක ගැලවි පලායෙම්ද ගොදුරක් කවර කලක බඩ පුරා ලබම්දැයි කියා ඇඬිය. මිනිසෙකු ගෙන්වා කැණිමඩුල්ල බිඳවා කඳපණුවා ඇරගෙණ ඔබ්බේ ලවාපියවයි සැපසේ තමා කැමති තැනක ඇවිදිනේය, මින් තොපට වන අන්තරාය නැතැයි කීහ.

සතරවන ශබ්දයේ අර්ථ කියන්නාවූ බෝධිසත්වයෝ මහරජ්ජුරුවෙනි තොපගේ මැදිරියේ ඉඳිනා කොවුළු මම මේ මැදිරියෙන් ගැලවී ගියේ නම් සැපසේ ඒ ඒ ගස් උඩවල හිඳ ඵලා ඵල අනුභවකොට සැපසේ ඇවිදිමි කියා ඇඬුව, මින් තොපට වන්නාවූ අනර්ථයෙක් නැතැයි කියා පස්වැනි ශබ්දයෙහි අර්ථ කියන්නාහූ මුවා මුවරැලට නායකව වනයේ වාසය කරන්නේ වැද්දෙකුට අසුව මේ සා බන්ධනයකට පැමිණියෙමි ඉදින් මිදිගියෙන් නම් සැපසේ වනයෙහි වාසය කරන්නෙම් වේදැයි කියා ඇඬිය. මින් තොපට වන්නාවූ අන්තරා නැතැයි කියා සවෙනි ශබ්දයේ අර්ථ කියන්නාවූ තාපසයෝ රජ්ජුරුවෙනි මේ වඳූරු වැඳිරියෙක නිසා කාමයෙහි ගිජුව අවුත් බන්ධනයකට පැමිණියෙමි ඉඳින් මේ දුකින් මිඳි ගියෙමි නම් සැපසේ වනයේ ඇවිදිනෙම් වේදැයි කියා ඇඬිය. මින් තොපට වන්නාවූ භයෙක් නැතැයි කියා සත්වන ශබ්දයේ අර්ථ කියන්නාහූ මේ කින්නරයා එක් දවසක් පර්වතයකින් ඇඳිරියෙහි බස්සේ තමාගේ කින්නරාංගනාවට අතදී බැස තමාගේ ස්ථානයෙහි සැපසේ වැදහෙව ලෝකස්වාදරතියෙහි යෙදී වාසයකොට දැන් එසේ වූ කින්නරාවක් හැර බන්ධනයට පැමිණියෙමි, මින් මිදි ගියෙන් නම් සැපසේ වනයට වැද වාසය කරන්නෙම් වේදැයි ඇඬිය. මින් තොපට වන්නාවූ භයෙක් නැතැයි අටවැනි ශබ්දයෙහි අර්ථ කියන්නාහූ එක් පසේ බුදු කෙනෙකුන් වහන්සේ හිමාලය වනයේ සිට කාල ක්‍රියාවට ආසන්න හෙයින් මනුෂ්‍යාපතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන්ගේ උයනේ කාලක්‍රියා කෙරෙමි උයනට යනසේක් මේ ජාතියෙන් දෙවැනි ජාතියෙක උත්පත්තියෙක් නොවන්නේය. මින් චුතව නිර්වාණ පුරයට පැමිණ නිවන් සැප අනුභව කෙරෙමියි ප්‍රීති වාක්‍ය කිය කියා උදන් අන අන, වැඩිසේක.මින් තොපට වන්නාවූ අන්තරායෙක් නැතැයි කියා මේ ශබ්ද අටෙහි අර්ථ විසඳා වදාළ සේක. රජ්ජුරුවෝ තාපසයන් වහන්සේ කෙරේ සමාධිව පසේ බුදුන් වහන්සේගේ කඳ ආදාහන කරවා බන්ධනාගාරයෙහි සිටියාවූ සතුන් බන්ධූනයෙන් උනාහැරවුවයි වදාරා මේ අෂ්ට ශබ්ද ජාතකය නිමවා වදාළ සේකී. එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරියෝය. බ්‍රාහ්මණ මානවකයා නම් ශාරිපුත්ත ස්ථවිරියෝය. එසමයෙහි තාපසව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.