මුල් පිටුව 401 සිට 450 දක්වා 404 කුමාස පිඬි ජාතකය

404 කුමාස පිඬි ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද චක්‍රලක්‍ෂයෙන් චිහ්නිතවූ ශ්‍රිපාද ලක්ෂණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මල්ලිකා දේවින් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

මල්ලිකා දේවින්ගේ උත්පත්තිය මෙසේ දතයුතු එක් මාලාකාරයෙකුගේ විශිෂ්ටවූ රූ ඇති දුවක් ඇත ඇට නම් තබන්නාවූ මල්ලිකා දේවියයි නම් තුබූහ. ඕ තොමෝ තමාහා සමවයස් ඇති කුමාරිකාවරුන් ඇරගෙණ මල් වත්තකට යන්නී කොමුපිඩුසතරක් ගෙණගියාය, සර්වඥයන් වහන්සේ සිඟාවඩිනා දැක තමා අත තිබූ කොමුපිඩු සතර සර්වඥයන් වහන්සේ පාත්‍රාදාතුන්වහන්සේට පිළිගැන්නුවාය. සර්වඥවන් වහන්සේ කොමුපිඩු පිළිගෙණ සිනා පහල කොට වැඩිසේක. ආනන්ද සාමි සිනා පහළ කළ නියාව දැක ඇයි ස්වාමිනි සිනා පහළ කළේයයි විචාරා සර්වඥයන් වහන්සේ වදාරණ සේක් මේ කුමාරිකාවට අග මෙහෙසුන් තනතුරු අද දවස් පැමිණෙයි වදාරා ජේතවනාරාමයට වැඩිසේක. කෝසල රජ්ජුරුවෝ යුද්ධයට ගියාහූ යුද්ධයෙහි පරාජයට අසකු නැගි ඇවිත් මල්වත්ත සමිපයට පැමිණියාහ. මාලාකාර කුමාරිකාවෝ රජ්ජුරුවන් දැක කාංසාවක් නැතිව සිට රජ්ජුරුවන් ලඟට අවුත් අසුගේ රෑන අල්වාගෙණ සිටියාහ. රජ්ජුරුවෝ කුමාරිකාවන් දැක තොපි සස්වාමික දැයි විචාරා අස්වාමකයෙමි කි කල්හි මල් වත්තට අවුත් අසු පිටින් බැස සැකයක් නැතිව ඇකය පිට ඉසතබා ගමන්සන් නිවාගෙණ රජ්ජුරුවෝ රජගෙට ගොස් මහත්වූ පෙරහරින් ළුවා මල්ලිකා කුමාරින් ගෙන්වා රුවන් රැසක් පිට සිටුවා අභිෂේක ජලය වත්කොට සොළොස් දහසක් බිසෝවරුන්ට අගමෙහෙසිකා නියාවට සලස්වා මහත්වූ ස්නේහයෙන් වාසය කරන්නාහ, මල්ලිකා දේවිත් රජ්ජුරුවන් කෙරේ අධික ස්නෙහය ඇත්තාහ. සර්වඥයන් වහන්සේට උපාසිකා තනතුරෙහි සිටිනායා මල්ලිකා දේවින් අග්‍රමෙහෙසිකාවූයේ සර්වඥයන් වහන්සේට පිළිගැන්වූ කොමු පිඩයෙහි අනුසාසෙනැයි තොයෙක් තෙන ප්‍රකාශ විය. මේ කතාව දම් සභාවේ රැස්වූ මහණුවරුන් වහන්සේ කිය කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කතාවකින් යුක්තව උනුදැයි විචාර වලාදා එපවත් අසා මහණෙනි මැවැනි ලොව්තුරා සර්වඥයන්ට දන්දී එමවිට මහත් ඓශ්චර්ය ලද්දෝ වේදැයි. වාදරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේට දන්දි එවිටම ඒ ඒවිට ඓශ්චර්ය ලද්දෝ වේදැයි වදාරා ඒ කොන්දේසි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ .

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ දුප්පත් කුලයෙක ඉපද අනුන්ට බැල මෙහෙකොට ජිවත් වන්නාවූ ළුනු නැති තෙල් නැති කොමුපිඬු සතරක් ඇරගෙණ අනුන්ට බැලමෙහෙකොට හීසාන්ට යන්නාවූ පසේ බුදුන් දෙදෙනකුන් වහන්සේ වාසල සිඟාවඩින්ටයයි සිටිනියාව දැක සිතන්නාහූ මා අත තුබූ කොමුපිඬු සතර පිළිගන්වමි සිතා ආරාථනා කොට පසේ බුදුන් සතර දෙනා වහන්සේ කැඳවාගෙණ ජායාසම්පන්න වෘක්‍ෂයක් සමීපයට ගොස් රුප්පය පිසවැලිපායා වැලිගොඩ සතරක් තනා වැලිගොඩ සතරපිට වඩා හිඳූවා ගොටුවෙන් පැන් ගෙණවිත් පිළිගන්වා ඉන තුබූ කොමුපිඩු සතර මෑත්කොට ස්වාමිනි ගැත්තවුට අනුකම්පා කොට වලදා පින් පුරවා වදාළ මැනවැයි මහත්වූ ආදරයෙන් පාත්‍රසතරට කොමු පිඩු සතර පිළිගන්වා වැළඳවුහ. පසේ බුදුන්වහන්සේ කරුණාවෙන් වළඳා අනුමෙවෙනි බණ වදාළසේක. බෝධිසත්වයෝත් මහත් සන්තෝෂයෙන් බණ අසා මතු මෙසේ වූ දුක්ඛිත කුලයෙක නොයිපද ධනේෂ්වර වූ කුලයක උපදිමිවයි ප්‍රාර්ථනා කළාහ. පසේ බුදුන් වහන්සේත් තොපකළ ප්‍රාර්ථනාව සිද්ධ වේවායි කියා තමන් වහන්සේලා වසන ස්ථානයට වැඩ වදාළ සේක. එවිට ඒ සිට නොබොකලකින් බෝධිසත්වයෝ නැසී උපදිනාහූ එම බරණැස් නුවර බිසවුන් කුස පිළිබඳ ගත් ගමනේ දසඑකඩ මසකින් වැඳූහ. රාජකුමාරයෝ රාජ්‍යයට පැමිණ නුවර සරහා ඔටුනු පැලඳ ඒ ඒ තැන සිටිනා අමාත්‍ය මණ්ඩලයා හා බ්‍රාහ්මණ සමූහයා පඬුරු පාක්කුඩම් ගෙණ ඒ ඒ තැන සිටි නවුන් හා සොළොස් දහසක් බිසෝවරුත් සොළොස් දහසක් නාටක ස්ත්‍රීන් පංචාංගි තූර්ය නාදයෙන් පිරිවරණ ලද ශක්‍ර දේවේන්ද්‍ර විලාසයෙන් ඉඳ සිතන්නාහූ ජාතිස් මහණ ඥාණ නුවණ පහළවූ හෙයින් මේ සියළු ඓශ්චර්යය මා ලද්දේ පසේ බුදුන් වහන්සේට පිළිගැන්වූ කොමු පිඩු සතරෙහි විපාකයෙනැයි සිතා සිංහාසනයේ ඉද ප්‍රිතිවේගයෙන් උදන් අනන්නාහූ ගාථාදෙකක් කීහ. එහි අභිප්‍රාව නම් මම පසේ බුදුන් වහන්සේට ගිය ජාතියෙහි දුන්නේ ළුනු නැති තෙල් නැත්තාවූ පින්නෙහි තබා ඉදිකල කොමුපිඩු සතරක් දන්දී බ්‍රාහ්මණ ගෘහපති අමාත්‍ය මණ්ඩලයන් හා සොළොස් දාසක් බිසෝවරුන් සොළොස් දාහක් නාටක ස්ත්‍රීන් හා ඇත් අස් රථ පාබල චතුරංගිනි සේනාව හා පාංචවංගීක තුර්යනාද හා තුන් සියයක් යොදුන් මේසා බරණැස් නුවරයක් හා සියළු සමාපත්තින් අඩුවක් නැතිව මා ලද්දේ පසේ බුදුන් වහන්සේට මා දුන් කොමපිඩු සතරිනැයි ගාථා දෙකින් රාජ්‍යයට පැමිණ ඔටුණු පලඳිනා ගමනේ කීහ. තුන්සියයක් යොදුන් නුවර බොහෝ මනුෂ්‍යයන් හා බ්‍රාහ්මණ ගෘහපති අමාත්‍යය මණ්ඩලය හා රජ්ජුරුවන් වහන්සේ ඔටුනු පැළඳ වැඩ ඉඳවදාළ ගාථා දෙකයයි කියා බොහෝ මනුෂ්‍යයෝ ඉගෙණ කියන්නාහූ මෙහි අර්ථය නොදන්නාහ. කෝසල රජ්ජුරුවන්ගේ දුවනියන් රජ්ජුරුවන්ට අගමෙහෙසිකා කළහ. ඒ බිසව ගාථා දෙක ඉගෙණ එක්වන් කියන්නාහ.

මෙහි අර්ථක වරවිටක විචාරම්දෝහෝයි සිතා උන්කලට එක් දවසක් බිසවුන් රජ්ජුරුවන්ට කළ සංග්‍රහයක් නිසා සමාධියෙන් බිසවුන්ට රජ්ජුරුවෝ කියන්නාහූ තොප කැමති වරයක් ඇරගණුවයි කීහ. බිසව තෙසු මට අඩුකින්ද මට නුඹ වහන්සේ ඔටුනු පැලඳ ඉඳ වදාළ ගාථාකෙහෙි අර්ථ අසන්නා කැමැත්තෙමි, ඒ මට වදාළ මැනවැයි කීහ. රජ්ජුරුවෝ තොපට තනිව නොකියමි. දොලොස් යොදුනක් පමණ බරණැස් නුවර බෙර පියවිකරවා රාජ වාරයෙහි රත්නයෙන් විසිතුරු වූ මණ්ඩපයක් කරවා රත්න පර්යංක පණවා අමාත්‍යයන් හා බමුණු වෙළඳ ආදින් විසින්ද නුවර වැස්සන් විසින්ද සොළොස් දහසක් පමණ පුරඟනාවන් විසින්ද පිරිවරණ ලදුව මේ කිවවුන් මැදයේ රත්න පර්යංකයෙහි හිඳ කියමි කිවුය. යහපත රජ්ජුරුවන් වහන්සැයි බිසවුන් පිළිගත්හ. රජ්ජුරුවෝද මෙපරිද්දෙන් සියල්ල සමුද්ධි කරවා දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව ශක්‍රදේවේන්ද්‍රයා පරිද්දෙන් මහත්වූ ජනසමූහයා පිරිවරණ ලදුව රත්නපර්යංකයෙහි උන්හ. මල්ලිකා දේවිද සර්වාභරණයෙන් සැරසි ස්වර්ණ යෙන් විසිතුරු කරණ ලද භද්‍ර පීඨයක් අතුට එකත් පසෙක ඇස් කෙළවරින් රජ්ජුරුවන් බල බලා කථා කරන්නට සුදුසු වූ ස්ථානයෙහිද රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේ සතුටු සතුටුව කියන්නාහූ මංගල ගිතිකාවගේ අර්ථ මට ආකාශ තලයෙහි සම්පූර්ණ චන්ද්‍රයාසේ ගෙණහැර පාණ කලක් පරිද්දෙන් ප්‍රකාශකොට වදාළ මැනවැයි කියා කියන්නී මෙසේ කිවුය. කුසල ධර්මයෙහි අංධ්‍යාස ඇත්තාවූ රාපෝත්තමයානන් වහන්ස එක් වන් නුඹ වහන්සේ තර කොට සතුටු සිත් ඇතිව ගාථා දෙකක් වදාළ සේක්ද, රාජ්‍ය වර්ධනය කරන්නාවූ රජ්ජුරුවන් වහන්ස, ඒ ගාථාවෙහි අර්ථ නුඹ වහන්සේ අතින් විචාරමි, ඒ මට ප්‍රකාශ කොට වදාළ මැනවැයි කිවුය. ඉක්බිත්තෙන් බිසවුන්ට ගාථාවන්ගේ අපි ප්‍රකාශ කොට කියන්නාහූ මහබෝසතාණෝ මෙපරිද්දෙන් කියාත්, එම්බා භද්‍රාව මම මේ බරණැස් නුවර නාම්ග්‍රෝත්‍රයෙන් අප්‍රසිද්ධ වූ එක්තරා දිළිඳු කුලයෙක්හි උපනිමි ඒ කුලයෙහි උපන්නාවූ මම ද දිලිදු බැවින් අනුන්ට මෙහෙවර කොට ජීවත්වන්නෙමි අනුන්ට මෙහෙකරුව උපන්නෙම් අනුන්ගේ දුක්පත් වියද මෙන් රැකෙන්නාවූ මමද දුශ්ශීල භාවය හැර පඤ්චශිල සංවරයෙහි පිහිටියෙමි, සිල්වත් මා විසින් එදවස් කළමනා කර්මාන්ත කරන පිණිස නික්මුණාවූ මම මහ මාවතකට නැග කර්මාන්ත භූමියට යන්නෙම් භික්ෂාව පිණිස බරණැස් නුවරට වදනා සමුද්ධි වූ ආචාරයන් හා ශිලයන් ඇති රාගාදි පරිලාභයන් සන් හිඳවිමෙන් සිහිල්වූ කාමාදී ආශ්‍රවයන් රහිත වූ බුදුන් වහන්සේ සතර නමක් දිටිමි. උන් වහන්සේලා කෙරෙහි සිත පහදවාගෙණ වැලිගොඩ සතුරක් කොට ඊ මත්තේ කොල අතුට වැඩ හිඳුවා දක්ෂිණෝදකය දී කර්මාන්ත භූමියෙහිදී මා කන්ටයයි ගෙණයමින්සිටි තෙල් මී සකුරු ආදී කිසිවකුත් රසයක් නැත්තාවූ කොමු පිඩු සතර සතරදෙනා වහන්සේගේ පාත්‍රවලට ස්වහස්තයෙන් සිතපත දවාගෙණ පිළිගැන්විමි, ඒ කුශල කර්මයාගේ විපාක මෙබඳූ වන්නේයයි මෙබඳූ කුසල විපාක හේතුකොට ගෙණ ධනධාන්‍යාදීන් හා වස්ත්‍රාභරණ ආදීවූ සියළු සම්පත්තින් පිරුණා වූ උතුම්වූ මේ පෘථිවි මණ්ඩලය අනුභව කෙරෙමි, භද්‍රාව තොප ප්‍රධාන කොට ඇති සොළොස් දහසක් පුරගනන් හා මාගේ මේ සියළු සමෘද්ධි මුළුල්ලම ඒ පසේ බුදුන් සතරදෙනා වහන්සේව චේතනාත්‍රය පුස්ධ කොට ගෙණ මා පිළිගන්වා ළූ කොමුපිඩු සතර නිසායි, යනාදීන් තමන් පූර්ජාතියෙහි කළ කුශලය ප්‍රකාශකොට කිවාහුයි. මෙපරිද්දෙන් මහබෝසතානන් තමන්ගේ පූර්වජාතියෙහි කල කුශලයාගේ විපාක විස්තර කොට කී කල්හි ඒ අසා පහන්වූ සිත් ඇති මල්ලිකා දේවි කියන්නාහූ මහරජ්ජුරුවන් වහන්ස මෙලෙසින් ප්‍රත්‍යක්‍සකොට දානයෙහි විපාක දන්නාවූ නුඹ වහන්සේ මෙතැන් පටන් කොට එක බත් පිඩක් පමණකුත් ලැබ ධර්මික ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දන්දීම අනුභව කළ මැනැවයි බෝධිසත්වයන් වහන්සේට ස්තූති කොට කියන්නි. කුශලයෙහි අධිපති වූ රජ්ජුරුවන් වහන්සේ නුඹ වහන්සේ ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචකයන්ට ලත් දෙයක් ශක්ති විචාරකින් දානපරිත්‍යාග කොට අනුභව කළ මැනව දානාදී කුශලයෙහි ප්‍රමාදයක් නුවුව මැනව පතිරුප දේසවාසාදී චතුර්විධවු ධර්ම චුක්‍රය පැවැත්වුව මැනව, යම්සේ අන්‍යවූ අඥානගතියට යන්නාවූ සත්වයෝ ලෝකවාසීන් උක් යතෙකලා පෙලන්නාකේ මෙන් පීඩා කොට වස්තු රැස්කරන්නහූ අධර්ම රැස්කරන්නාහූ අධර්මිෂට වෙත්ද නුඹවහන්සේද එපරිද්දෙන්ම අධර්මිෂ්ට නුවුව මැනව.

දානං සිලං පරිච්චානං අඡ්ඡමං මද්දමං තපං

අකෝකධො අවිහිංසාව, ඛන්තිව අවිරෝධතා

කියන ලද්දා වූ මේ දසවිධවූ රාජ ධර්ම රැක්ක මැනව, කොකළ මැනවැයි විවාද කළාහ. ඒ මල්ලිකා දේවින කී බස් පිළිගත්තාවූ මහබෝසතාණෝ මෙලෙස කියත් සොඳූර කෝසල රජ්ජුරුවන්ගේ දුවනියනි එම මා විසින් දන්දෙන ලද්දේයයි තෘප්තියක් නොකොට නැවත නැවත බුද්ධාදී වූ මහාත්මයන් හැසුරුණාවූ දාන මාර්ගයෙහි හැසිරෙමි අග්‍රදක්‍ෂිණෙය්‍ය බැවින් අර්හත්වූ ඒ උත්තමයෝ මම දක්නට මනාමය යහපත් එසේ හෙයින් ඔවුන්ම දක්නා කෑමැත්තෙමි. ඒ මල්ලිකා දේවින්ගේ සියළු සමුර්ධිය දැක සොඳුර දැන් මා විසින් පූර්ව ජාතියෙහි කළාවූ මාගේ කුශල කර්ම තොපට ප්‍රකාශ කොට කියන ලද, තෙපි වනාහී මේ සොළොස් දහසක් පමණ පුරඟනාවන් හා නාටකස්ත්‍රී සමූහයා මධ්‍යයෙහි රූපයෙන්ද ලිලායෙන්ද ස්ත්‍රී විලාසයෙන්ද තොප හා සදෘශ්‍ය වූ එකද ස්ත්‍රියක් නැත . පෙති කවර කුශලයක් කොට මේ සම්පත්තිය ලද්දාහුදැයි විචාරන්නාහූ බෝධිසත්වයෝ මෙසේ කියත්, සොඳූර කොසොල් රජ්ජුරුවන්ගේ දියණියෙනි තොපි රූප සමෘද්ධියෙන් ත්‍රසංත්‍රියත් දිව්‍යලෝකහෙි ශාක්‍රදේවේන්ද්‍රයන්ගේ එක්තරා දිව්‍යස්ත්‍රියක් මෙන් මේ ස්ත්‍රි සමූහයා මධ්‍යයෙහි සොභාමත්වූ පූර්වජාතියෙහි කවර නම් උත්තම කුශල කර්මයක් කළාද, කවර කාරණයෙකින් මෙ ලෙස රූපශ්‍රියෙන් යුක්ත වූවාහුදැයි විචාළාහුයි. ඉක්බිත්තෙන් බෝධිසත්වයන්ට ඒ මල්ලිකාදේවි පූර්ව ජාතියෙහි තමාකළාවූ කුශල කර්ම ජාතිස්මරණ ඥාණයෙන් දැක කියන්නි මෙසේ කියා, මහරජ්ජුරුවන් වහන්ස මම පූර්ව ජාතියෙන් දැක කියන්නී මෙසේ කියා, මහරජ්ජුරුවන් වහන්ස මම පූර්ව ජාතියෙහි එක් කෙළෙඹි කුලයක්හට දාසව උපනිමි අනුන් විසින් ඒ ඒ කටයුතු කරණ පිණිස නියෝග කරණ ලද එකකිම්, සෙසු කොල්ලෝ නම් දුශ්ශීලහ, මම වනාහී කායවක්මානා යන චාරත්‍රයෙන් කිසිත් අකුශල අකුශලයෙක් නොකොට නිරන්තරයෙන් පන්සිල් රක්ෂා කිරීමෙන් ශිලසම්පන්නයෙහි, පරචදියක් නොකොට දැහැමින් සෙමෙින් පවත්වන ලද ජිවිකා ඇත්තෙමි ආචාර සම්පන්නයෙමි ගුණ ඇත්තෙම් යහපත්වූ දර්ශනයන් ඇත්තෙමි ප්‍රියවූ ස්වභාගයක් ඇත්තෙම්, ඉක් බිත්තෙන් මම එකල්හි ස්වාමි දරුවන් විසින් මට කොටස් කොට තබනලද්දාවූ මට පැමිණි බත් කොටස සිඳූනාලද ක්ලේශයන් ඇති පසේ බුදු කෙනෙකුන් වහන්සේට හටගත්තාවූ සොම්නස් ඇතිව ආහාරයෙහි ලෝභ තෘෂ්ණා රහිතව ආදි මධ්‍යවසානකොට ඇති චෙතනාත්‍රය සුද්ධකොටගෙණ පිළිගැන්විමි, හේ මම ආයුපමණින් එහි සිට කාලක්‍රියා කොට සැවැත්නුවර කොසොල් රජ්ජුරුවන් වහන්සේගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳගෙණ එයින් බිහිව දැන් නුඹ වහන්සේට පාදපරිචාරිකාව වෙසෙමින් මෙබදු සම්පත්තියක් අනුභවකෙරෙමින් මෙසේවූ රූපසමූර්ධියකින් යුක්තයෙමි, රජ්ජුරුවන් වහන්ස ඒ පසේ බුදුන් වහන්සේට අනුන්ට දාසිව සිට සිත පහදවාගෙණ මා දන්දුන්නාවූ බත් කොටසෙහි විපාක මෙබදු වන්නේයයි කියා තමාගේ පූර්ව චරිතය ප්‍රකාශ කළාහ. මෙසේ රජ්ජුරුවන් හා මල්ලිකා බිසව් හා සමග දෙදෙනා තමන් ගේ පූර්ව ජාතියෙහි කළාවූ කුශලකර්ම විස්තර කොට නුවර සතර වාසල් දොරහද නුවර මධ්‍යයෙහි ද මාලිකා දොරකඩද යන මේ ස්ථානවල්හි දන්හල් සයක් කරවා සියළු දස දහසක් යොදුන් ජම්බුද්විපයෙහි නගුල් උඩ බඳවා මහදන් පවත්වා පඤ්චශීල සංරක්ෂණයෙන් පේවස් රක්ෂාකොට ජිවිතයාගේ ආයුෂ කෙළවර ස්වර්ගයම පරම ප්‍රතිෂ්ඨා කොට ඇත්තාවූ හෙවත් දිව්‍යලෝකයෙහි උපන්නාහයි තිලෝගුරු බුදු රජානන් වහන්සේ මේ ජාතක ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා කුම්මාසපිණ්ඩි ජාතකය නිමවා වදාළ සේක. එකල්හි මල්ලිකාදේවිය නම් රාහුල මාතාවෝය. රජ්ජුරුවෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.