මුල් පිටුව 351 සිට 400 දක්වා 366 සෙවතකෙතු ජාතකය

366 සෙවතකෙතු ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද දෙවිබඹුන් මුදුනෙහි කෙළනා පාපියුම් ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වඤචා ප්‍රයෝග දන්නා භික්‍ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් භික්ෂූන් කෙනෙකුන් වහන්සේ වඤචා ප්‍රයෝගයෙන් දවස් අරිණසේක. සෙසු භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේට දැක්වූ සේක. සර්වඥයන් වහන්සේ සැබෑද? මහණ වඤචා ප්‍රයෝගයෙන් දවස් අරිනේ යයි විචාරා සැබෑව යනු අසා දැන් මතු නොවෙයි මහණෙනි පෙරත් මේ මහණ වඤචා ප්‍රයෝගයෙන් දවස් හැරියේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර මහාප්‍රතාප නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට පුරෝහිතව ඉපිද පන්සියයක් අතවැස්සන්ගෙන් ශෙවතකෙතු නම් බ්‍රාහ්මණයෙක් ඇත, ඒ බ්‍රාහ්මණයා වංශවත් හෙයින් මානී ව ගර්වයක් ඇතිව වාසය කරන්නේය. එක් දවසක් බ්‍රහ්මණයා විථියේ යන කලට චණ්ඩාලයෙක් ඉදිරියට එන්නේය. ඒ බ්‍රාහ්මණයානෝ තෝ කවරෙක්දැයි විචාරා මම චණ්ඩාලයකැයි යනු අසා තෝ චණ්ඩාල යෙක් වීනම් වහා යටිසුලඟට පලායවයි කීය. එයින් මේ මා කීව එකෙකැයි සිතා උඩුසුලගින් ගියේය. බ්‍රහ්මණයාත් වහ වහා උඩුසුලගින් ගොස් සිටියේය. එවිට චණ්ඩාල කියන්නේ නුඹගේ මේසේම මා කෙරේ ගර්ව කාරණා පසු මා විචාළ ප්‍රශ්නය කිව මැනවැයි කීහ. එවිට බ්‍රාහ්මණයා කියන්නේ ඇයි චණ්ඩාලය තා කී ප්‍රශ්නය කිය නොහෙම්දැයි කිවයි කීහ. එවිට කියන්නේ කියාගත නුහුනුවෝ නම් මාගේ යට පස්සෙන් යන්නේදැයි කීය. බ්‍රාහ්මණ කියන්නේ තාගේ ප්‍රශ්නය නොකියෙන් නම් යට පස්සෙන් යෙමි කියා. එවිට චණ්ඩාල කියන්නේ දිසාව කවරේදැයි විචාළේය. බ්‍රාහ්මණ කියන්නේ සතර දිගය සතර අනුදිගය යන මේ දිශා නමැයි කීය. එවිට චණ්ඩාල කියන්නේ මෙවිචරත් දැනගත නොහෙන්නා තොපිද ගර්වකරන්නේ යයි ඉස අල්වාගෙණ ගමාගේ පය අස්සෙන් කර අල්වා දැමිය. ඒ දුටු බොහෝ මනුෂ්‍යයෝ එපවත් පුරෝහිත බ්‍රාහ්මණයාහට කිවාහුය. සෙවතකෙතු බ්‍රහ්මණයා දැක සැබැද බ්‍රහ්මණය. තා ඉස අල්වා චණ්ඩාලයා තමාගේ පයට පස්සෙන් යවුයේදැයි විචාරා සැබෑව යනු අසා එම්බල බ්‍රහ්මණය චණ්ඩාල උවත් නුවනැත්තන් කෙරෙහි නින්දා කිරීම කටයුතු නොවෙයි ශාස්ත්‍රය නම් එක් කෙණෙකුන් නම් දනිති කියාත් නැත. ශාස්ත්‍රය නිමවා දැනගතහැකි දෙයක් නොවෙයි දිශාව නම් දෙමාපියන්ම ඇතිව උත්පත්තිනි වන හෙයින් පුර්වදිග නම් තමාගේ ආචාරී ගුරුවරයන් වසනා දිග දකුණුදිග නම් වෙයි. දාන ශිලාදී ගුණයෙන් යුක්තවූ සත්පුරුෂයන් වාසය කරන්නාවූ තැන් එක් දිගෙක් වෙයි. නුවනැත්තාවූ සත් පුරුෂයන් වසන්නාවූ තැන් එක් දිගෙක් වෙයි. කියා මේ ඇමට වඩා නිවනට යන්නාවූ මර්ගයම ඇති දිග ප්‍රධාන වන්නේයයි කීහ.

එවිට බ්‍රහ්මණයාත් මේ පුරෝහිතයානන් මෙසේ චණ්ඩාලයකු මට නින්දා කළ කලදී බැන නොනැගී උන්නේය. මුන් ලඟ නොරඳමියි තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් ලඟට ගොස් ශිල්ප ඉගෙණගෙන බරණැස් නුවරට එන්නාහු අතරමග තාපසවරු ඉන්නා පන්සලට වැද ඒ තාපසවරුන්ට නායකව ඒ තාපසවරුන් ඇර ගෙන බරණැස් නුවරට ගොස් රජ්ජුරුවන්ගේ උයන සැතපී තාපසවරුන් උදැසන නුවරට සිඟා ගියාහ. රජ්ජුරුවෝත් තාපසවරුන් දැක සමාධිව තමන්ගේ උයනේ වාසය කරණ නියායෙන් සැලැස්වූහ. එක් දවසක් රජ්ජුරුවන්ගේ අභිප්‍රාය දැනගත්තොත් ඇතිතෙක් දවසට ජීවත්වන්ට පුළුවනි. එසේ හෙයින් රජ්ජුරුවන් එන වෙලාවට කණ්ඨක තපස් වවුල් තපස් උක්කුටික තපස් පඤව තාප තපස් ආදීවූ තපස්රකුවයි විධාන කොට තුමූ කිකරු යාපත් තාපසවරුන් පස්දෙනෙකු තමන් සමීපයේ ඉඳූවා යාපත් දණ්ඩාසනයක් ඉදිරියේ තබා ඊ මත්තෙහි වර්ණයෙන් සිතියම් කරණ ලද වසා ලැලී ඇති පොතක් තුමු බල බලා තාපසවරුන් පස්දෙනාට ප්‍රශ්න කිය කියා උන්හ. ඒ වෙලාවට රජ්ජුරුවෝ අවුත් තාපසවරුන්ගේ වෙන වෙනම ව්‍රත ත් දැක තාපසයන් සැලැස්මත් දැක සමාධිව මෙසේවූ තපස් කරන්නාවූ තාපසවරුන්ට මතු යහපත් විපාක වන්නේ වේදැයි පුරෝහිත බ්‍රහ්මණයානන් අතින් විචාළහ. පුරෝහිත බ්‍රාහ්මණයානෝ කියන්නාහු මෙසේවූ තපස්කරන්නාවූ තාපසවරුන්ට මින්මතු වන්නාවූ විපාකයකුත් නැත. මින්වන ඵලයකුත් නැතැයි කීය. එවිට තාපසයෝ කියන්නාහූ විපාකයක් නැති කල අෂ්ටදශ ශිලයෙන් ද චතුර්වේදයෙන්ද කිසි ප්‍රයෝජනයක් නැති කල මහා බ්‍රහ්මයා විසින් මේ ශාස්ත්‍රය ඇති කරන්නට කාරණා කිම්ද පඤචාභිඥා අෂ්ටසමාපත්ති විනා සෙසු දෙයකින් ප්‍රයෝජන නැද්දැයි කීය. එවිට පුරෝහිත බ්‍රාහ්මණයානෝ කියන්නාහු තොප කෙතෙක් කීවත් තොපගේ ශාස්ත්‍රයෙන් මෙලොව විනා පරලොාවින් කිසිම ප්‍රයෝජනයක් නැත. මුන්පන්සියකගේ අඳුන් දිවිසම ඡටාමඩුළු අරවා අභ්‍යන්තර සේවාකමට සලස්වා වදාළොත් යහපතැයි රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝත් පුරෝහිත බ්‍රාහ්මණයා කීවාසේම තාපසවරුන් පන්සියය සේවා කමට සලසාගෙණ ආයුධ දීගණ වැසි රැකවලැයි කියා සැලසිනැයි දතයුතු. එතැන් පටන් ඒ තාපසවරු පන්සියය රජ්ජුරුවන්ට සේවාකම් කළහයි වදාරා මේ සේවතකෙතු ජාතකය නිමවා වදාළසේක.