මුල් පිටුව 351 සිට 400 දක්වා 361 මුවපොතක ජාතකය

361 මුවපොතක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සෞධෙදනීය වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් භික්ෂූකෙණෙකුන් වහන්සේට සාමණේර නමෙක් ඇත. ඒ සාමනේර නම් උන් වහන්සේට සුවච කීකරුව අත් පා මෙහෙවර කරණසේක. ඒ සාමණේර නම් නොබෝ කලකින් ව්‍යාධියක් ඇතිව මළසේක. ඒ තෙරුන් වහන්සේ සාමණේර නම් මළාවූ සෝකයෙන් අඬා දොඩා ඇවිදිනාසේක. මාළුවරුන් වහන්සේ අවවාද කීවත් නොගිවිස්නා්ෙකැයි යන මේ කථාව දම්සභාවෙහි රැස්වූ මහළුවරුන් වහන්සේ කිය කියා උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි මේ මහණ දැන්මතු නොවෙයි පෙරත් මේ සාමණේරයන්ට සෝකයෙන් අඬා ඇවිද්දෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ශක්‍රදේවේන්ද්‍රව උපන්සේක. එසමයෙහි එක් තාපසකෙණෙක් හිමාලය වනයෙහි වාසය කෙරෙති. උන් වසන්නාවූ පන්සලට දෙමව්පියන්ගෙන් වෙන්වූ මුව පැටිටෙක් වන, ඒ තාපසයෝ මුව පැටියාට තමන්ට දරුකොට වඩන්නාහ. ඒ මුවා වැඩිවිය පැමිණ විශිෂ්ටවූ රූ ඇතිවිය. නොබෝ කලකින් එක් දවසක් බඩ පුරා තණ කා අජීර්ණව දිරවා ගත නොහි මළේය. ඒ තාපසයෝත් මුවා කෙරෙහි සෝකයෙන් අඬා දොඩා බොහෝ දුක් විඳිනාහ. ශක්‍රයෝ තමන්ගේ නුවණැසින් දහසක් නෙත්ලා මනුෂ්‍ය ලෝකය බලා තාපසයන් විඳිනා දුක් දැක ඒ තාපසයන් ලඟට ගොස් උන්ගේ සෝක සන්හිඳූවා එමි සිතා තාපසයන් සමීපයට අවුත් විචාරන්නාහූ ඇයි තාපසයන් වහන්ස, නුඹ වහන්සේ වික්‍ෂේපව ඉඳිනේ ඇයිදැයි විචාළාහ. එවිට තාපසයෝ කියන්නාහූ ශක්‍රදේවේන්ද්‍රයෙනි මා දරුකොට වැඩු මුව පෝතකයෙක් මළේය. එසේ හෙයින් පුත්‍රසෝකයෙන් ඉවසාගත නොහි අඬා දොඩා ඇවිදිමි කීය. එවිට ශක්‍රයෝත් කියන්නාහූ නටනටා යම්දෙයක් නස්නා සුළුමය. මළවුන්ට සෝක කිරීමෙන් කාරිය කිම්ද, තමාගේ කයට හිතට දුක්වෙන පමණක් විනා මළවුන්ට සෝක කිරීමෙන් කාර්ය කිම්දැයි කීහ. එවිට තාපසයෝත් තොප මනාකොට කියන්නාහූ වචනය ඉතා යහපත, මෙවක් පටන් ශෝක නොකරවයි කීයා එවක් පටන් සෝකනොකොට උන්නාහ. ශක්‍රයෝත් තාපසයන්ට අවවාද කියා දිව්‍යලෝකයටම ගියාහයි වදාරා මුවපොතක ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි මුව පැටවා නම් දැන් මේ සාමණේරය. තාපසයෝ නම් මේ භික්ෂූහුය. ශක්‍රදේවේන්ද්‍රව උපන්නෙම් බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසෙක්.