මුල් පිටුව 301 සිට 350 දක්වා 318 කුටිදුෂක ජාතකය

318 කුටිදුෂක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කරුණාවෙන් සිල්වූ ලය ඇති ප්‍රඥා ප්‍රජොතයෙන් නසන ලද මොහාන්ධකාර ඇති ත්‍රෛලොක ස්වාමීවූ ජාතිකාන්තරාදීන් සත්වයන්තරණය කොට අමෘතමහා ලක්ෂණ ක්‍ෂෙ භූමියට පමුණු වන හෙයින් ශාස්තෘ නම් සම්‍යක් සම්බුද්ධ රාජොත්තමයානන් වහන්සේ ප්‍රාකාර ගොපුර ප්‍රාසාදාදියෙන් හා මධුරි මධුග්‍රන්ධි ගන්ධිත ඡායූදක සම්පන්න රම්‍ය භූමිභාග ඇති ජේතවනාරාමයෙහි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ලක්ෂණ චතුර්විධ ආය්‍ර්‍ය ඊය්‍ර්‍ය පථ විහරණයෙන් යුක්තව වාසය කරන්නාවූ එක් සමයෙක්හි මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ පන්සල දැවූ එක් සාමණේරයෙකු අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්

මේ ජාතක කථා වස්තුවට නිදාන වූ විස්තර කථා වස්තුව රජගහයෙහි පහල විය. ඒ කුටිදූෂක ක්‍රියාව යම් සමයක්හි වීද? එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ රජගහනුවැ ගෝචර ග්‍රාමකොට වනමධ්‍යයෙහි වූ පන්සලක වාසය කරණසේක. එතැන්හි වාසය කරන්නාවූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට බාල සාමණේරයන් දෙදෙනෙක් වතාවත් කරන්නාහ. ඔවුන් දෙදෙන අතුරෙන් එක් සාමණේරයන් වහන්සේ කෙනේක තෙරුන් වහන්සේට සුවච කීකරුව උපකාරිකව චාරිත්‍ර සීලයෙන් යුක්තව වාසය කරති. අනික් සාමණේර තෙම එබඳු ගුණ ධර්මයන් නැති හෙයින් දුශ්චාරිත්‍රව වෙසෙයි. ඉන්වත් සම්පන්න සාමණේරයන් විසින් කළ යම් වත් පිළිවෙත් ආදියක් අනික් සාමණේර තෙම තමා ගුණමකු හෙයින් තමා කළ දෙයක් මෙන් තෙරුන් වහන්සේට අඟවන්නේය. වත් සම්පන්න සාමණේරයන් විසින් උදෑසනක් සේ දැහැටි දිය එලවා තිබූ කල්හි තෙරුන් වහන්සේගේ සමීපයට ගොස් වැඳ ස්වාමීනි දැහැටි දිය මා විසින් එලවා තිබෙන ලද දැහැටි කිය සපයා වදාළ මැනවයි යනාදීන් කියන්නේය. අනික් වත් සම්පන්න සාමණේරයන් විසින් උදෑසනක් සේ නැගී සිට පිරිවෙණ ඇමදි කල්හි තෙරුන් වහන්ෙස පිටත නික්මෙන වේලාවෙහි එ සෙවවඡාචාරී අනාචාර සාමණේරතෙම මුස්නක් ඇරගෙන ඈත මෑත පැහැර තමා විසින් ඇමදියෙක් මෙන් තෙරුන් වහන්සේට අඟවන්නේය. එපරිද්දෙන් නිරන්තරයෙන් අප වෙහෙසන ඔවුන් එක් දවසක් වෙහෙසා ඔවුන්ගේ චාටු ක්‍රියාව ප්‍රකාශ කෙරෙමි යි සිතා ඉක්බිති එක් දවසක් ඔහු ඇතුළුගමින් වළඳා අවුත් විහාරයෙහි නිද්‍රාවට පැමිණි කල්හිම වත් සම්පන්න සාමණේරයෝ නහන පැන් උනු කොට අනික් සාමණේරයන්ට නොපෙණෙනසේ පැන් නහන තැන පිට කොටුවේ තබා අනික් මහා භාජනයක නැලියක් පමණ දියවත් කොට උදුනෙහි තිබුවාය. සැතපුනු සාමණේර තෙම පිබිද ගිනිහල් ගෙට ගොස් උදුනෙහි කකියා උණුසුම් නැගෙන දිය දුරදීම දැක තෙල උනුවන්නේ දිය පිරුණු භාජනයෙක් වනැයි සිතා තෙරුන් වහන්සේ සමීපයට ගොස් ස්වාමීනි මා විසින් නහන පැන් සම්පාදනය කරණ ලද්දේය. පැන් සැනසුව මැනවැයි කීයේය. තෙරුන් වහන්සේ ඒ සැබවයි සිතා සාමණේර සීඝ්‍රව ගිනිහල් ගෙට ගොස් උදුනෙහි තුබූ සිස් භාජනයෙහි කෙනෙස්ස එලුයේය. එසේ එලූ කෙනෙස්ස භාජනය සිස් බැවින් තට තට යන අනුකරණ පැවැත්තේය. ඒ කාරණයෙන් ඒ සාමණේරයාට එතැන් පටන් උළුක ශබ්දයායයි ව්‍යවහාර විය. ඒ වේලෙහි වත් සම්පන්න සාමණේරයෝ පිට කොටුවෙහි පළමුවෙන් සපයා තිබූ උනු පැන් ගෙනවුත් තබා ස්වාමිනි පැන් සැනසුව මැනවයි කියා පැන් සැනැස්වූසේක. ඉක්බිති තෙරුන් වහන්සේ ඒ උලුඞක ශබ්දක සාමණේරයාගේ අනාචාරභාවය සිත සිතා උන්වේලෙහි සවස වතාවත් කරන්ට ආ සාමණේරයාට අවවාද කොට වදාරණසේක්. ඇවැත්නි එම්බා සාමණේරය මේ ශාසනයෙහි මහණදම් පුරන්නහු විසින් තමා කළ දෙයත් මෙමා විසින් කළ දෙය යි කියන්නට වටනේය. අන් පරිද්දකින් අනුන් කළ දෙය තමා විසින් කළ දෙයක් බඳු කොට කීයේ වීනම් දැන දැන බොරු කීම නිමිති කොට ගෙන වාක්දුශචරිත වෙයි මුසාවාදයෙන් අකුසල සිඬවන්නේය. මෙයින් මතු මෙබඳු අභූත වචනයක් නොකියවයි අවවාද කොට වදාළසේක. ඒ අවවාද දක්ෂම නොවන සාමණෙරතෙම තෙරුන් වහන්සේ කෙරෙහි කිපි සිත් ඇත්තේ දෙවන දවස් තෙරුන් වහන්සේ සිඟාවනා කල්හි එක්ව නොගියේය. වත් සම්පන්න සාමණේරයෝ තෙරුන් වහන්සේ කැටුවම ගියේය. සිඟන්ට වඩිනා තෙරුන් වහන්සේ නොගිය උලුඞක ශබ්දක සාමණේර තෙරුන් වහන්සේට උපස්ථාන කරණ එක කුල ගෙයකට ගොස් සිටි කල්හි ඒ කුලගෙයි ඇත්තා විචාරන්නා සාමිනි, අපගේ භාග්‍යවත් වූ මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ කොයි දැයි විචාළ කල්හි ගිලන් භාවයකින් විහාරයෙහි වැඩ හිඳිනා කීකල්හි සාමීනි, ඊට අපගෙන් කුමක් ලබන්ය සුදුසු දැයි විචාරණ ලද්දේ මෙනම් මෙනම් දෙයක් දුන මැනවැයි තමා කැමති කැමති දෙය ඉල්වා ගෙණ කැමති තැන් වලදී සෙවචඡාවූ පරිද්දෙන් තෙමේ අනුභව කොට ගියේය. දෙවෙනි දවස් තෙරුන් වහන්සේ එම කුල ගෙට සිඟන්ට වැඩි කල්හි ඒ කුලගෙයි වැස්සෝ කියන්නාහු ස්වාමීනි ඊයේ දවස් නුඹ වහන්සේ ගිලන් භාවයකින් විහාරයෙහි වැඩ උන්හයි යනු අසා නුඹ වහන්සේ විහාරයෙන් වැඩි සාමණේරයන් වහන්සේගෙන් අසා ගිලන් බෙහෙත් ආදීවූ දෙය එවුම්හ. ඒ නුඹ වහන්සේට ප්‍රයෝජන වී දැයි විචාළාහුයි.

තෙරුන් වහන්සේ එබසට මුවෙන් නොබැන ආහර කෘත්‍යය කොට විහාරයට වැඩ සවස් වේලෙහි තමන් වහන්සේට උපස්ථාන කරන්ට ආවාවූ සාමණේරයා සමීපයට කැඳවා ඇවැත්නි අසවල් ගම අසවල් කුලෙහි ඇත්තන්ගෙන් මෙනම් මෙනම් දෙයක් දුන මැනවැයි ඉල්වා ගෙන තා විසින් අනුභව කරණ ලද්දේදැයි විචාරා එපරිද්දෙන් විනවා ගෙන අනුභව කිරීම ශ්‍රමණ සාරූප්‍ය නොවන හෙයින් නුසුදුසු වන්නේය. එසේ හෙයින් මතු මෙබඳු අක්‍රියා නොකරවයි අවවාද කොට වදාළසේක. එවේලෙහි අවවාද ක්ෂම නොවන්නා වූ අනාචාර වූ සාමණේරතෙම තෙරුන් වහන්සේ කළ අවවාද පමණකට ආඝාත බැඳගෙන සිතන්නේ මේ තෙරුන් වහන්සේ ඊයේ දවස් දිය පමණක් නිසා මා හා විවාද කළසේක. අද දවසත් තමන් වහන්සේගේ කුලුපගවූ උපාසකයන්ගේ අහර පමණක් වැලඳුවා නොයිවසනසේක්. නැවතත් කලහ කරණ සේක්. ඉදින් වන්නාටය. මුන් වහන්සේට කටයුත්තක් දනිමියි දෙවෙනි දවස් තෙරුන් වහන්සේ පිඩුසිඟා වැඩිය කල්හි වියරු හුනු එකෙකුමෙන් මුගුරු කඩක් ඇරගෙණ වලන් බිඳ පන්සලත් ගිනිලා ගියේය. ඒ අකර්‍තව්‍යකාරී පවිටු සාමණේරතෙම ඒ ආත්ම භාවයෙහි යපී ගන්නා පමණ අහරක් නොලැබ සම් මස් නහර වියලී මනුෂ්‍ය ප්‍රේතව කාලක්‍රියා කොට අවීචි මහනරකයෙහි උපන්නේය. ඔහු විසින් කලාවූ ඒ දුෂ්ට ක්‍රියාව මහජනයා මඬ්‍යයෙහි ප්‍රකාශ විය. ඉක්බිත්තෙන් එපවත් ඇසූ භික්ෂූන් වහන්සේගෙන් සමහරක් දෙනා වහන්සේ රජගහනුවරින් සැවැත් නුවරට ගොස් සභාග භික්ෂූන් වැඩ හිඳිනා විහාර වල පාසිවුරු තැන්පත් කොට තබා බුදුන් සමීපයට ගොස් වැඳ එකත්පස්ව උන්නාහුය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් හා පිළිසඳර කථා කොට කොතැන්හි වාසය කොට අවුදැයි විචාරා වදාළ කල්හි ස්වාමීනි බුදුරජානන් වහන්ස, රජගහ නුවර සිට ආම්හයි කීවාහුය. එතැන්දී තොපට අවවාද කරණ ආචාරීහු කවුරුදැයි විචාරා වදාළසේක. ස්වාමිනි මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේයයි දැන්නුවාහුයි මහණෙනි මහාකාශ්‍යප ස්ථවිරයන්ට සැපදැයි විචාරා වදාළසේක. එසේය ස්වාමීන් වහන්ස උන්වහන්සේ සැපසේ වාසය කරණ සේක. එතකුදු උවත් උන් වහන්සේගේ සදධිවිහාරික සාමණේරයෙක් අවවාදයෙහි කිපී එම කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ පන්සල ගිනිලා ගියා වේදැයි දැන්වූ සේක. එබස් ඇසූ බුදුරජානන් වහන්සේ වදාරණසේක්. ඒ මහාකාශ්‍යප ස්ථවිරයන්ට ඒ නුවණ නැති තුචඡ සාමණේරයා හා එක්ව වාසය කිරීමට වඩා හුදකලාව විසීම යහපත් වන්නේදැයි දම්පියාවෙහි මේ ගාථාවෙන් වදාළසේක.

ඒ කෙසේද යත්

චරං තෙ නාධිගචෙජය්‍ය සෙය්‍ය සදිසමතතනො

එකචරියං දළහං කයිරා නත්ථි බාලෙ සහායතා

යන මේ ගාථාව වදාරා නැවත ඒ භික්ෂුන්ට ආමන්ත්‍රණය කොට මහණෙනි එතෙම කුටි දූෂකයෙක් වූයේත් අවවාද දුන්නවුන් කිපුනේත් දැන් මතු නොවෙයි පෙරත් අවවාද දුන්නවුන්ට කිපී කුටී දූෂක වූයේ වේදැයි වදාරා එකල්හි එයින් වර්තමාන කථාව අත්‍රේ‍ඵාත්පත්ති කොට ගෙන ඒක්ෂණයෙහිම පූර්‍වෙනිවාසානුස්මෘති ඥානයෙන් අතීත කාල ප්‍රවෘත්තිය දැන වදාරණ සර්වඥ රාජොත්තමයානන් වහන්සේ මේ කුටි දූෂක ජාතකයෙහි අතීත කාල ප්‍රවෘත්ති වූ කථා ප්‍රබන්ධය ගෙන හැර දක්වා වදාරණ සේක්. එම්බා මහණෙනි යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් චතුර්විධ සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කෙරෙමින් රාජ ධර්මයෙන් අකොප්‍යව රාජ්ජය කරණ සමයෙහි පුරණ ලද බෝධිසමහාර ඇති මහ බෝසතානෝ සිංගිලි නම් පක්ෂි ජාතියෙක ඉපිද වැඩිවිය පැමිණ හිමාලය වන ප්‍රදේශයෙහි තමන් වහන්සේට සිත්කළු වූ වර්ෂා කාලයෙහි නෙතෙමෙන සේ කැදැල්ලක් කොටගෙන වාසය කරන්නේය. ඉක්බිත්තෙන් එක් වානරයෙක් වර්ෂා කාලයෙහි අවිචඡිනනධාරයෙන් නොපායා වස්නා කල්හි සීතයෙන් පෙලෙනා ලදුව වෙව්ලමින් දතින් දත්කා පහරමින් අවුත් බෝධිසත්වයන් සමීපයෙහි උන්නේය. බෝධිසත්වයන් වහන්සේ ජීවිත පීඩාවෙන් පෙළෙන්නා වූ වඳුරු දැක ඔහු හා කථා කරණ සේක්. එම්බා වානරය, තාගේ ඉස්මුදුන අතුල පතුල මනුෂ්‍යයන් බඳුවූ සටහන් ඇත්තේය. එසේ කල්හි තාගේ වාසය කිරීමට සුදුසු ගෙයක් නැත්තේය. කුමක් නිසා දැයි විචාළසේක. ඒ අසා වානරයා කියන්නේ එම්බා සිංගිලි පක්ෂිය ඒ සැබෑමය මාගේ ඉස මුදුන අතුල්පතුල් මනුෂ්‍යයන්ට බඳුවූයේය. එතකුදු වුවත් මනුෂ්‍යයන් කෙරෙහි නැත්තේය. එසේ හෙයින් මනුෂ්‍යයන් විසින් කටයුතු වූ ක්‍රියාවක් මා විසින් කොට ගන්ට නොහැක්කෙමි. එබැවින් වාසය කරන්ට ගෙයක් කොට ගත නොහෙමි කීයේය. ඒ අසා බෝධිසත්වයන් වහන්සේ වදාරණසේක්. එම්බා වානරය, මේ ලෝකයෙහි එකඟකොට නොපිහිටුවන ලද සිත් ඇති හෙයින් යුහුව පෙරළෙන සුළු ස්වාභාව ඇති ලඝුවූ ප්‍රවෘත්ති ඇති කෙළෙහි ගුණ නොදන්නා හෙයින් මිත්‍රද්‍රෝහී වූ නිරන්තරයෙන් අඛණ්ඩ කොට රක්ෂා කරණශීලාචාරාදී ගුණ ධර්මයක් නැති අඥානයාට කිසිකලෙකත් කායික චෛතසික සැපයට කාරණයක් නොවන්නේය. එසේ හෙයින් යහළු වඳුරාණෙනි ප්‍රඥාව උපදවා ගන්නා පිණිස තමාගේ දුශ්ශීල ස්වාභාව පහකොට ශීලාදී ගුණ ධර්මයෙන් යුක්තව ඒ ශීලාදී ගුණ රක්ෂා කොට ගෙන ශීත සුලඟින් පීඩා නොවී වාසය කිරීමට සුදුසු උපායක් කොට ගෙනැයි යනාදී අවවාද කළසේක. ඒ අවවාද අසා ස්වාභාවයෙන් ගුණ මකු දුෂ්ට වානර සිතන්නේ මූ නෙතෙමනතෙන උන් බැවින් තමුන්ගේ අහංකාර දක්වා පරිභව බෙනෙයි කියා උපන් ක්‍රෝධ චේතනාවෙන් ඉඳින් මුන් දැන් මේ කැදැල්ලෙහි සැපසේ ඉන්ට සලස්සන්නෙම් වේදැයි බෝධිසත්වයන් අල්වා ගන්නා පිණිස කැදැල්ලට පීනුයේය. බෝධිසත්වයෝ කැදැල්ලෙන් ඉගිල එක්තැනකට ගියේය. ඒ දුෂ්ට වානරතෙම කැදැල්ල සුන්බුන් කොට ගියේ වේදැයි වදාරා ශාස්තෘවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ කුටි දූෂක ධර්ම දේශනාව පූර්වපරසන්ධි ගලපා නිමවා වදාළසේක. එකල්හි ඒ කැදැල්ල බිඳු වානරයා නම් දැන් මේ කුටිදූෂක සාමනේරය, සිංගිලි පක්ෂි වූයේ දැන් තිලෝගුරු බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ ගෙණහැර දක්වා වදාළසේක