315 කනවෙර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ලෝක ස්වාමී වු තිලෝගුරු බුදුරජානන් වහන්සේ සැවැත් නුවර ගම් කොට ජේතවනාරාමයෙහි වැඩ වසන සේක්. පුරාණ දූතියක් විසින් පොලඹන ලදුව සස්නෙහි උකටලී එක් භික්ෂු කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක. මෙහි වර්තමාන කථාව අටඨක නිපාතයෙහි ඉන්ද්‍රිය ජාතකයෙහි කී පරිද්දෙන්ම දත යුත්තේය. බුදුහු ඒ භික්ෂු හට එම්බල මහණ තෝ පළමුත් මේ ස්ත්‍රිය නිසා කඩුවෙන් ඉස් කැපීමට පැමිණියේ වේදැයි වදාරා එපවත් අසා නුවනැති භික්ෂූන් වහන්සේ විසින් යාඥා කොට දැන්වූ කල්හි ඉකුත්වත් කථාව ගෙණ හැර දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි අප මහ බෝසතනානන් වහන්සේ කසී රට එක්තරා ගමෙක්හි එක් සිටාන කෙනෙකුන්ගේ ගෙයි පිළිසිඳ සොර නැකතකින් බිහිව වැඩි විය පැමිණ ගෞරවීය්‍ර්‍ය හා ඇත් පොව්වකුට බඳු වූ බල ඇති ලෝක ප්‍රසිද්ධ සොරකම් කොට ජීවත් වනසේක. කිසි කෙනෙකුන් අල්වා ගත නොහෙති. එක් දවසක් සිටාන කෙනෙකුන්ගේ ගෙට උමං බිඳ වැද බොහෝ වස්තු අරගත් කල්හි දෙවෙනි දවස නුවර වැස්සෝ රජ්ජුරුවන් කර එලඹ කියන්නා වූ දේවයන් වහන්ස එක් මහ සොරෙක් නුවර බොහෝ සොරකම් කොට ඇවිදිනේය. ඔහු ඇල්ලුව මැනවැයි කීහ. රජ්ජුරුවෝද ඔහු අල්වන්ට නුවර රැකවලෙහි නියුක්ත පුරුෂයාට නියෝග කළහ. ඒ පුරුෂතෙම රාත්‍රියෙහි රැකවලුන් ඒ ඒ තැන්හී මුළු මුළුව කොට සිටුවා බඩු හා එක්ව සොරු අල්වා ගෙන රජ්ජුරුවන්ට දැන්වූයේය. එකල්හි රජ්ජුරුවෝ සොරුන්ගේ ඉස සිඳින්ට ඒ පුරුෂයාට නියෝග කෙළේය. ඒ පුරපෙල පුරුෂ තෙම සොරු පිටි තොල හයා බැඳ රත් කණේරු මල්දම් කරලා උළුසුණු ඉසට ගසා වීථිසන්ධියක් පාසා සැමිටියෙන් පහර දෙමින් කර්කශ වූ අඬ ඇතිව වද බෙරගස්වමින් සොරුන් මරණ තැනට ගෙනයන්ට වන්නේය. මේ නුවර වොලෝගෙන ඇවිදින සොරතෙම අල්වන ලද්දේයයි මුළු නුවර එක කෝලාහල විය. එසමයෙහි ඒ නුවර දවස දහසක් ලබන්නා වූ පන්සියයක් වෛශ්‍යා පිරිවර ඇති සාමානම් වූ රාජ වල්ලභ වූ වෛශ්‍යාවක් ඇත. ඕ තොමෝ එදවස්ද තමා වාසය කරණ ප්‍රාසාදයාගේ මතුමාලේ සිව් මැදුරු කවුළුව හැර වීථිට බලන්නී උතුම් වූ රූප සොභාවෙන් අග්‍රප්‍රාප්ත වූ දුටුවන් ප්‍රසාදවහ වූ සියල්ලන්ගේ මත්තෙන් පෙනෙන්නාවූ සොරහු දැක පිළිබඳ සිත් ඇතිව මේ උතුම් වූ රූප ශ්‍රී ඇති පුරුෂයා කවර උපායකින් තමාට වල්ලභ කරා ගනිම්දෝහෝයි සුදුසු උපායක් සොයන්නී තමහට වැඩ හැසිරෙන්නාවූ එක් ස්ත්‍රියක් අතර දහසක් දී මේ සොරතෙම සාමාවගේ මලනුවෝය, සමවන්හැර සොරුට පිටි වහලෙක් නැත. නුඹ වහන්සේ මේ දහස ගෙන මේ පුරුෂයා සාමාවන්ට දුන මැනවැයි කියා යන ලෙස් උගන්වා ගමන් කරවූවාය. ඒ ස්ත්‍රී දහස ගෙන ගොස් ඒ පුරුෂයාහට දි එපරිද්දෙන් කීවාය, එකල්හි ඒ පුරපාලක පුරුෂ තෙම කියන්නේ මේ සොරතෙම ප්‍රසිද්ධ වූ එකෙක, එසේ හළ නොහැක්ක. අන් පුරුෂයෙකු වධයට ලද හොත් පිළිසන් යානාවෙක හිඳුවා එවන්ට පිළිවන්දැයි කීයේය. ඒ ස්ත්‍රීද එපවත් අසාගෙන ගොස් වෛශ්‍යයාට කීවාය. එසමයෙහි එක් සිටු පුත්‍රයෙක් සාමාව කෙරෙහි පිළිබඳ සිත් ඇතිව දවස දහසක් දෙයි ඒ සිටුප්‍රත්‍රතෙම එදවස් සවස් වේලාවෙහි දහසක් වස්තු ගෙන ඇගේ ගෙට ගියේය. ඒ සාමාවද ඔහු දුන් දහසින් බඳ පියල්ල අතට ගෙන උකුලෙහි තබා අඬන්ට පටන් ගත්තීය. කුමට අඬද්දැයි විචාළ කල්හි කියන්නී සාමිනී වධයට ගෙනයන්නාවූ මේ සොර තෙම අනිකෙක් නොවෙයි මාගේ මලනුවෝය, තමා හීන නිවවවූ සොරකම් කරන හෙයින් ලැජ්ජාවෙන් මා සමීපයට එන්ඩ අසමත්ය. පුර පාලක පුරුෂයා හට මා විසින් යාඥාකොට කියාය වූ කල්හි දහසක් දුනහොත් අරිමි කියා එව්වේය. දැන් මේ දහස ගෙන ගොස් පුරපාලක පුරුෂයා හට දෙන්ට නිසි පුරුෂයෙකු නොබලමි කීවාය. ඒ සිටු ප්‍රත්‍ර තෙම තමා ගෙන දහසින් බඳ පියල්ල ගෙන පුර පාලනයාගේ ගෙට ගියේය. ඒ පුර පාලක පුරුෂ තෙමේම සිටු පුත්‍රයා සඟවා තබා සොරු පිළිසන් යානාවක හිඳුවා සාමාවගේ ගෙට යවා අප විසින් මේ වධයට ගෙනා පුරුෂතෙම රාජ්‍යයෙහි ප්‍රසිද්ධ සොරෙක මධ්‍යම රාත්‍රියෙහි මනුෂ්‍යයන් නිදි ගෙන හැසුරුණු වේලෙහි මරම්හයි ඉතිරි රාජ පුරුෂයන්ට ව්‍යාජයෙන් කියා මදක් කල් යවා මනුෂ්‍යයන් නිදි ගත් කල්හි සිටු පුත්‍රයා මහත්වූ රැක වලින් සොරුන් මරණ තැනට ගෙන ගොස් කඩුවෙන් හිස කපා ශරීරය උල තබා නුවරට වන්නේය.

එතැන් පටන් ඒ වෛශ්‍ය දූ තොමෝ අන් පුරුෂයන් අතින් කිසිවක් නොගෙන සොරු හා එක්වම ප්‍රියසංවාසය කෙරෙමින් වෙසෙයි. ඉක්බිතිව ඒ සොරු සිතනුයේ මෝතොමෝ ඉතා මිත්‍ර ද්‍රෝහිය අනිකක්හු කෙරෙහි සුපිළිබඳ සිත්වූ නමුදු ඒ සිටු ප්‍රත්‍රයා මෙන් මාත් මරවා ඔහු හා එක්වත් ප්‍රිය වාසය කරන්නීය. කවර උපායකින් මෑ කෙරෙන් මිදෙන්ද මෙහි බොහෝ දවසක් කල් නොයවා යා යුතු යයි සිතා ඉක්බිති සිතන්නේ යන කල සිස් අතින් ගොස් ප්‍රයෝජන කින්ද මැගේ ආභරණයන් ඇරගෙන යෙමි සිතා එක් දවසක් සිතන්නේ සොඳුර අප මැදිරියෙහි ලූ කුකුලන් මෙන් නිරන්තරයෙන් ගෙයිම වැදලා ඉඳ දුක් විඳීමෙන් ප්‍රයෝජන කවරේද උයන් කෙළියට යම්හයි කීහ. ස්ත්‍රී යහපතැයි ගිවිස කන බොන දෑ ඇතුලුව උපකරණ සපයාගෙන තොමෝ ස්වර්ණාභරණයෙන් සැරහී සොරු හා එක්ව පිලිසන් යානාවෙකින් උයනට ගියාය. ඒ සොරුද ඈ හා එක්ව උයනේ කෙළ ඇවිදිනේ දැන් මා විසින් යන කලැයි සිතා ඈ සමඟ රති ක්‍රීඩා කරුණූ කැමැත්තෙකු මෙන් කනේරු ගස් ගොල්ලකට වැද ඈ ආලිඞගනය කරන පසාරයෙන් දැඩි කොට මිරිකා මූර්ඡාකොට සියළු ආභරණ ගලවා ඇගේ උතුරු සළුවෙහිම පොදියක් කොට බැඳ කරට දමා ගෙන උයන් වැට පැනගෙන පලා ගියේය. සොරු ගිය නොබෝ කලකින් ඒ ස්ත්‍රිය සිහිලැබ බැණ නැගී සිට තමාගේ පිරිවර ස්ත්‍රීන් කරා ගොස් මාගේ ස්වාමි පුත්‍රයා කොයි දැයි විචාරා උන් විසින් නොදනුම්හයි කී කල්හි මුර්ඡා වූ මා මළැයි යන හෙයින් ගියේවනැයි සිතා දොම්නසට පැමිණ ගෙට ගොස් මාගේ ප්‍රිය වල්ලභයා දුටු දවසකමුත් කවර සැප විදීමෙක්දැයි යන ශෝකයෙන් සැරහූ යානෙහි නොසැතපී භූමි සෙය්‍යාව කෙරෙමින් මනා වස්ත්‍රායෙහිද ඇළුම් නොකොට කිළුටු වස්ත්‍ර අඳිමින් එකවේල අනුඵව කෙරෙමින් සුවඳ මල් ආදිය නොපැළඳ හැරම යම්කිසි උපායකින් ප්‍රිය වල්ලභයා ගෙන්වා ගණිමියි සිතා නාටකයන් ගෙන්වා දහසක් වස්තු දී තොප විසින් නොයන තැන් නැත. ගම් නියම්ගම් රාජධානි ආදියට ගොස් ගී නැටුන් පවත්වන තැන්හි පළමු කොට මේ ගීතිකාව ගායනා කරව. මාගේ ස්වාමිපුත්‍ර තෙම එතැන්හි වී නම් මේ ගීතිකාව ඉඳිනා බව කියා කැඳවා ගෙන එව. අනුන් හෝ කියා එවයි නියෝග කොට තමාගේ ගීතිකාව උගන්වා මාර්ගෝපකරණ සපයා දී යැවුවාය. ඒ නාටක ජනයෝ ඒ බරණැස් නුවරින් නික්ම ගම් නිය්ම ගම් පිළිවෙලින් ගී නැටුන් පවත්නා ඇවිදිනාහු. ඒ සොරහු වාසය කරණ පිටිසර ගමට පැමිණ එතැන්හි රැස්වූ පිරිස් මැද නෘත්‍ය මඬලය මැද ගී නැටුන් පවත්නා පළමු කොට මේ භීතිකාව කීහ.

යනතං වසනත සමයෙ

කණවෙරෙසු භානසු

සාමංබාහාය පීලෙය

සාතං ආරොග්‍යමබ්‍රවීති

මේ ගාථාවෙන් කීයේ නම් අනේකවිධ පුෂ්පඵල වාදියෙන් වනය සොභාමත් වූ වසන්ත කාලයෙහි උයන් කෙළියට ගියා වූ නුඹ වහන්සේ මොන වට පිපී මල් පැහැයෙන් රත්වූ සොභා ඇති කනේරු ගස් අතුරට වැද රති ක්‍රීඩා අභිප්‍රායෙන් සාමා නම් ස්ත්‍රියක් ආලිඞගනය කොට මුර්ජාවූ කල්හි මළයි යන භයින් සැඟවී ගිය සේක්ද ඕතොම නුඹ වහන්සේට තමා නිදුක්ව ජීවත්ව ඉඳිනා බව කියන්නීය යන අභිප්‍රාවය.

ඉක්බිති ඒ පිරිස් අතුරෙහි අසා සිටියා වූ සොර තෙම නාටකයා කරා එලඹ කියන්නේ එම්බල කොල නාටකය, තෝ සාමාව ජීවත්ව ඉඳිති කියන්නෙහිය. මම වනාහි වචනය අදහන්නෙම් නොවෙමි. එඹල නාටකය මෙලොවෙහි පවනෙක් තණ පරඬලා මෙන් පර්වත ගෙන යන්නේය යන මේ බසෙක් ඇද්ද එබස ඇදහිය යුතු නොවෙයි. ඉදින් පවනෙකින් පර්වතයක් ඔබිමෙබ ගෙන යන්නේ වී නම් මේ මුළු ලොව ද එපරිද්දෙන්ම ගෙන යයි. පොළොව හා පර්වතයන් පවනින් ගෙන යෙති යනු යම්සේද, සාමාව ජිවත් වෙති යනුද එමෙන් වන්නේය. යම් හෙයකින් සාමා නම් ස්ත්‍රී මළාද ඈ ආරෝග්‍යව විචාරති යනු කුමට අදහම්ද, මළ සත්වයෝත් කථා කෙරෙත්දැයි කීයේය. ඒ වචනය අසා නාටක තෙම කියන්නේ සාමීනි නුඹ වහන්සේ කුමක් කියන සේක්ද ඒ සාමාවෝ මළෝ නොවෙති. අන් පුරුෂයකු කැමැත්තෝද නොවෙති. නුඹ වහන්සේ නික්ම ආ තැන් පටන් කිළුටු වූ වස්ත්‍ර හැඳ එක්වේලේ අනුභව කොට සුවඳ මල් විලේපනාදිය දුරු කොට යහන්වරා බිම සැතපී නුඹ වහන්සේගේ ඊම බලමින්ම ඉඳිති කීයේය, ඉක්බිත්තෙන් සොරතෙම කියන්නේ ඕ තොමෝ ජීවත් වේවයි නොවේවයි ඈගෙන් ප්‍රයෝජන නැත. ඕ තොමෝ නොබෝකලක් තමාගේ පුරුදු වූ නියමසාමී වූ සිටු පුත්‍රයා මට පැමිණි වධයට යොදා කිසි පුරුදු කමක් නැත්තා වූ අමුතුව දුටු මා වධයෙන් මුදා තමාට වල්ලභ කළාය. මතු අන් පුරුෂයකු දුටු කල ඔහු නිසා මාත් අනත්‍ර්‍ඵයට පමුණුවන්නීය. එසේ හෙයින් ඈ සමීපයට යන්නා තබා ඒ නාටකයන් බල බලා සිටියදී වස්ත්‍රය තරව ඇඳ වේගයෙන් නික්ම ගියේය. නාටක ජනයෝ එපවත් දෙවනුව ගොස් සාමාවට කීහ. ඒ ඇසූ සාමාතෙම තමා කළ මිත්‍රද්‍රෝහියට කලකිරී පළමුවෙන් තමාගේ වෛශ්‍යා ස්වාභාවයෙන් ජීවත් වූවාය. තිලෝගුරු බුදුරජානන් වහන්සේ මහණ තෝ දැන් මතු නොවෙයි. පෙරත් මේ ස්ත්‍රී නිසා දුකට පැමිණියේ වේදැයි වදාරා චතුසසත්‍යය ප්‍රකාශ කිරීමෙන් මේ ජාතකය නිමවා වදාළ සේක. දේශනා වගේ කෙළවර ශාසනයෙහි උකටලීවූ භික්ෂූන් වහන්සේ සොවාන් ඵලයෙහි පිහිටි සේක. එකල්හි වෛශ්‍යාව නිසා ඉස් කැපුන් ලත් සිටු පුත්‍රයා නම් මේ උකටලීවූ මහණය, එකල්හි සාමා නම් වූ වෛශ්‍යාව නම් උකටලී කරවා ශාසනයෙන් චුත කරවන්ට උත්සාහ කළ පුරාණ දූතිකාය. එසමයෙහි සොරව උපන්නේ දැන් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ ගෙණ හැර දක්වා වදාළ සේකි.