මුල් පිටුව 301 සිට 350 දක්වා 311 මතරොදන ජාතකය

311 මතරොදන ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද අසරණ සරණ වූ අප බුදුහු දෙව්රම් වෙහෙර වැඩවසන සේ්ක්. එක්තරා කෙළෙඹි පුත්‍රයෙකු අරභයා මේ ජාතකය වදාළ සේක.

සැවැත් නුවර වැසි එක් කෙළෙඹි පුත්‍රයෙක් තමාගේ බෑයා මළ කල්හි ශෝකයෙන් ආහර වර්ජිත කොට ස්නාන විභූසන මාලා ගන්ධ විලේපනාදිය නොකෙරෙයි රූක්ෂ වූ ශරීර ඇතිව සවස උදෑසන බෑයා දැවුතැන සොහොනට ගොස් අඬයි. එක් දවසක් බුදුහු අළුයම් වේලෙහි මහා කරුණා සමාප්තතියට සම වැද එයින් නැගී මාර්ග ඵල ලැබීමට හේතු සම්පත් ඇති වෛනයජනයෝ කවුරුදැයි ලොව බලා වදාරණසේක්. කෙළෙඹි පුත්‍රයාගේ සෝවාන් ඵලයට සුදුසු බලවත් හේතු සම්පත ඇති බව දැක දෙවෙනි දවස් පස්වරු වේලෙහි එක් භික්ෂු කෙනෙකුන් වහන්සේ පසු මහණ කොට ගෙන ඔහු කෙරෙහි පැවති අනුග්‍රහයෙන් ගේ දොරට වැඩි සේක. ඉක්බිති ඒ කෙළෙඹි පුත්‍රතෙම බුදුහු වැඩිසේකැයි යනු අසා පෙරමගට අවුත් මහත් ආදරයෙන් බුදුන් තමාගේ ගෙඩ වඩාගෙන ගොස් මාහැඟි වූ බුද්ධාසනයක් පනවා එහි වැඩ උන් කල්හි වැඳ එකත් පස්ව උන්නේය. එවිට බුදුහු කීමෙක්ද කෙළෙඹිය ශෝකයෙන් ඇද්දැයි විචාරා වදාළ සේක. එකල්හි කෙළෙඹි පුත්‍ර තෙම එසේය ස්වාමීනි මාගේ බෑයන් වහන්සේ මළ තැන් පටන් බොහෝ ශෝක ඇත්තෙමි දැන්වූයේ බුදුහු සියලු සංස්කාරයෝම අනිත්‍ය නෙවෙද්ද ඒකාන්තයෙන් මේ ශරීරය නම් ජරාවෙන් මිරීකි ව්‍යාධියෙන් පීඩිතව මරණින් භේදයට පැමිණෙති. එබඳු ස්වාභාව ඇත්තේය. මේ ලෝකයෙහි උපන්නාවූ සත්වයන් සංස්කාරයෙන් අතුරෙහි නිත්‍යව නොනැසී පවත්නා එකකුදු නැත්තේය. එහි නුවනැත්තවුන් විසින් කවර ශෝක කිරීමක්ද පෙර නුවනැති පණ්ඩිත ජනයෝ තමන්ගේ බෑයෙක් මළ කල්හි බිඳෙන සුළු දෙයය බිඳුනේය. නස්නා සුලු දෙය නැසුනේයයි සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වාභාවය සලකා ශෝක නොකළෝ වේදැයි වදාරා තුෂ්නිම්භූතව වැඩ හිඳ ඒ කථාව අසනු කැමැති කෙළෙඹි පුත්‍රයා විසින් ආරාධිත වූ සේක්. අතීත කථා වස්තු ගෙණ හැර දක්වා වදාළ සේක.

ඒ කෙසේද? යත්:-

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි අප මහා බෝධිසත්ව තෙම එම නුවර අසූ කෙළක් ධන ඇති සිටු කුලයක ඉපිද දෙමවුපියන්ගේ ඇවෑමෙන් සිටු තනතුරට පැමිණ බෑයන් නිසා ජීවත් වන්නේය. මෑත භාගයෙහි බෝධි සත්වයන්ගේ බෑවූ ඒ සිටානෝ කාල ක්‍රියා කළහ. ඤාති මිත්‍රාදීහු බොහෝ දෙන මහ හඬින් බැගෑපත්ව විලාප තියති. එතැන්හි රැස්වූ එකද සත්ව කෙනෙකුදු සොම්නසට නොපැමිණ ස්වාභාවෙන් සිටිනව සමස්ථයෙක් නොවීය. බෝසතානෝ පමණක් නොහඬති. විලාප නොකියති. මුඛ විකාර පනෙකුදු නොදැක්වූහ. ඒ දැක සෙසු ජනයෝ මේ පුරුෂයාගේ කාර්යය දැන්මක් බලව, මේතෙම ඉතා තද රෞද්‍ර එකෙක තමාගේ බෑයාගේ ධන කොටස් දෙකම එක් කොට අනුභව කරමියි යන සිතින් බෑයාගේ මරණ කැමති වූයේවනුයි යනාදී බෝසතානන්ට නින්දා කරන්ට පටන් ගත්හ. අතවැස්ස බන්ධහුද එසේම නින්දා කළහ. අවවාද කළහ. එකල්හි බෝධිසත්ව තෙම එම්බා තොපි හැම දෙනම තොපගේ අඥාන ස්වාභාවෙන් ලාභය, අලාභය, අයසය, යසය, සැපය, දුකය යන අෂ්ටලෝකධර්මය සියළු සත්වයන්ට නියත බව නොදනිති. මාගේ බෑයා මළේය. ඔහු මළාය යනාදී අඬා විලාප කියව, මම ඒකාන්තයෙන් මියන්තෙමය තෙපි සියල්ලෝමද එසේම මියන්නාහ. ඉඳින් අඬතොත් තමා හට පැමිණෙන්නාවූ මරණ සලකා අඬන බව මිස අනුන්ගේ මරණ උදෙසා ඇඬුමට කාරණයෙක් නැත. හේතුවෙන් උපදනා සියලු සංස්කාරයෝම නැතිවෙති. පළමු ස්වරූපයෙන් පවත්නේ නොවෙති. තෙපි හැම දෙනම මේ බව හා යථෝක්ත අෂ්ටවිධ ලෝක ධර්මය ස්වාභාවය නොදැන අඬන තුදු ඒ සියල්ල දත්තා වූ මම කුමට අඬම්දැයි කියා නැවත ඒ ජනයන් හට ඇවැත්නි තෙපි සියල්ලෝ මළ එකෙක් හට හැඬීමි වැලපීම් කෙරෙති, මියන්නාක් බලා නෙකෙරෙති.

මේ ලෝකයෙහි සියලු සත්වයෝම ඔවුනොවුන් පසු පස්සෙහි පිළිවෙලින් මරණට පැමිණෙති. නොමියෙන එක සත්වයෙකුදු නැත. තවද මේ ලෝකයෙහි අධිකතර දිව්‍ය සම්පත්තියෙහි පිහිටි ශක්‍ර බ්‍රහ්මාදී දෙවියෝද එසේම මනුෂ්‍ය ලෝකයෙහි අධික වූ ආධිපත්‍යයට පැමිණි චක්‍රවර්තී ප්‍රදේශයක මඬලිකා දී වූ රජ දරුවන් ආදී කොට ඇති සියලු මනුෂ්‍යයෝද බලසම්පන්න සීහ ව්‍යාඝ්‍ර හස්ති අශ්වාදී අනේකවිධ චතුෂ්පද ජාතීහුද මහානුභාව සම්පන්න ගරුඬ රාජයන් ආදී වූ අනේකවිධ පක්ෂීහුද උග්‍රවූ විෂ තේජස් හා මහත් දිව්‍යානුභාව ඇති වාසුකී මහාකාලාදී සර්ප රාජයෝද යනාදී වූ අපාද දීපාද චතුෂ්පාදාදී වූ සියලු සත්වයෝම තමතමන් ශරීරයෙහිම ඉසුරුනු වූවාහු දිව්‍ය මනුෂ්‍යලෝකාදී තම තමන් උපන් ස්ථානයෙහි ද ශරීර ධන ජීවිතයෙහි ද සිත් අලවාම පරිත්‍යාග කරණ බව මුත් එහි අලාය හැර මියන්නෝ නොවෙති. මේ යථෝක්ත ප්‍රකාරයෙන් කාම භවය රූප භවය අරූපභවය යන තුන් ලෝවැසි සත්වයන්ට පැමිණියාවූ සුවදුක් දෙකම නිරන්තරයෙන්ම ඒකාකාරව නොපැවත සැපයට අනතුරුව දුකය දුකට අනතුරුව සැපයයි යන මේ දෙක ක්‍රමයෙන් පෙරලී වක්‍රාකෘතිව පවත්නා හෙයින්ම චංචල වන්නේයයි දැක අෂ්ටලෝක ධර්මය දක්නා වූ නුවනැත්තවුන්ට හැඬීම් වැලපීම් නිෂ්ප්‍රයෝජනව වැටහෙන්නේය. තෙපි මේ මහත්වූ සොක නැමති පර්වතයෙන් මිරිකී කවර කාරණයකින් දුක් අනුභව කරව්ද. තවද යම් කෙනෙක් ස්ත්‍රී ධූර්ත සුරාධූර්ත වෙද්ද දූ කෙළි ආදියෙහි ලෝල වෙද්ද අනිත්‍යාදී වශයෙන් පැවතීමයයි කියන ලද යොනිසො මනස්කාරයෙහි යෙදීමක් නැත්තාහුද කෙලෙස් නැමති සතුරන් ජය ගැම්මෙහි සෞරවීය්‍ර්‍ය නැතිවෙද්ද ධර්මාධර්ම විභාග කල්පනාව කුදු නැතිව ආස්වාස මාත්‍රයෙකින් ජීවත්වෙද්ද යන මේ ධර්මයෙහි අදක්ෂ වූ ආඥාන බාල ජනයෝ තමන්ගේ අඥාන මූඪවූ බබව හේතු කොට ගෙන ඤාතිව්‍යසනාදිය පැමිණි කල්හි අඬමින් අනේකප්‍රකාර විලාප කියමින් ධර්මය දාන ඤාති මිත්‍රාදීන්ගේ මරණයෙහි අඬීම් වැලපීම් නොකරන්නාවූ නුවනැත්තවුන්ට කිසිවක් නොදන්නා අඥානයෝයයි අපහාස කෙරෙතියි යනාදීන් කුසල් අකුසල් හා අෂ්ටලෝක ධර්මය විභාග කරණයෙන් ධර්ම දේ්ශනා කොට සෝක දුරු කෙළේය. බුදුහු මේ අතීත වස්තුව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්‍යය ප්‍රකාශ කොට කෙළෙඹි පුත්‍රයා සෝවාන් ඵලයට පමුණුවා එකල්හි අඬන්නා වූ මහජනයා ධර්ම කථාවෙන් නිස්සෝක කළාවූ සිටු පුත්‍රයා නම් මම්ම වේදැයි තමන් වහන්සේ ගෙන හැර දක්වා මේ ජාතකය පූර්වපරසන්ධි ගලපා නිමවා වදාළ සේක.