මුල් පිටුව 251 සිට 300 දක්වා 262 ව්‍යාඝ්‍ර ජාතකය

262 ව්‍යාඝ්‍ර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මාගේ මව්වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝකාලිකස්ථිවරයන් අරභයා මේ ජාතකය දක්වන ලද.
ඒ කෙස්ද යත්.

මෙහි වර්ථමාන කථාව තෙළෙස්වෙනි නිපාතයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේයි මෙහි වනාහී කෝකාලිකස්ථිවිරයන් වහන්සේ වාසය කරන්නාවූ කෝකාලික ගම දෑගසව්වන් වහන්සේ කාටත් නොකියා වස්වැස සැවැත් නුවරට වැඩිපුසේක. ඒ කෝකාලික ගම වසන්නාවූ මනුෂ්‍යයෝ කෝකාලික තෙරුන් වහන්සේට කියන්නාහූ දෑගසව්වන් වහන්සේ මෙගම වස් වැස වැඩිනියාව අපට නොකීයේ ඇයිද ?. එසේ හෙයින් නුඹ වහන්සේ ගොසින් දෑගසව්වන් වහන්සේ කැඳවාගෙන වඩිනේ යහපතැයි කීහ. යහපතැයි කි කෝකාලිකස්ථවිරයන් වහන්සේ සැවැත්නුවරට ගොස් දෑගසව්වන් වහන්සේ කෝකාලික ගමට වඩිනානියාවට ආරාධනා කළසේක. දෑගසව්වන් වහන්සේ අප එන්නේ නැත තොපි යවයි නොගිවිසිසේක. මේ කථාව දම්සභාවට රැස්වූ මාළුවරුන් වහන්සේ කෝකාලිකස්ථවිරයෝ දැගසව්වන් වහන්සේ එක් වත් ඉන්දනොදෙති ඇරපියාත් ඉන්දනොදෙති, කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා දැන්මතුනොවෙයි මහණෙනි පෙරත් ඔහු එසේම වේදැයි ආරාධිත වූ සර්වඥයන් වහ්නසේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්ය කරණ සමයෙහි බෝධිසත්වයෝ වෘක්‍ෂ දේවතොව උපන්නාහ. ඒ ගාව එක්වනයෙක සිංහයෙකු හා ව්‍යාඝ්‍රයෙක් වාසය කරන්නේය. ඔවුන් දෙදෙනා නිසා මනුෂ්‍යයෝ ඒ වනය නොකපා ඉන්නාහ. සිංහයා හා ව්‍යාඝ්‍රයාත් ඒ වනයෙහි ඉදිනා සිව්පාවුන් කා ඒ ඒ තැන මස් කැබලි ඵලාතබන්නාහ. එසේහෙයින් ඒ වනය කුණුමසින් ගඳව වනය මුලුල්ලම දුර්ගන්ධ විය. ඒ වනය වසන්නාවූ වෘක්‍ෂදේවතාවා බෝධිසත්වයන් කරාගොස් එපවත් කියා සිංහයා හා ව්‍යාඝ්‍රයා මෙතෙකින් පහකොටපුවෝත් යහපත ඒ නියාවට පහකරන්ටදැයි විචාලේය. එවිට බෝධිසත්වයෝ කියන්නාහු සිංහයා හා ව්‍යාඝ්‍රයන් වනාන්තරයේ ඉඳිනා නිසා මනුෂ්‍යයන් මෙකියන වනාන්තරය නොකපන්නේය. එසේ නැත්නම් සිංහයන් හා ව්‍යාඝ්‍රයන් මෙකියන වනාන්තරයෙහි නැති නියව දත්තු නම් මෙකියන වනාන්තරය කොට පියා සේන්කොට ගන්නාහ. එසේ විසින් සිංහයා හා ව්‍යාඝ්‍රයන් පහකරවයි කීහ. එසේ කීවත් ඒ දිව්‍ය පුත්‍රයා බෝධිසත්වයන් කිවා නොඅසා භයන්කාර ශබ්දපවත්වා සිංහයා හා ව්‍යාඝ්‍රයන් පහකොටපීහ. මනුෂ්‍යයෝ සිංහ ව්‍යාඝ්‍රයන්ගේ පියවර නොදැක සිංහ ව්‍යාඝ්‍රයන් ඔබ්බේ වනාන්තරයකට ගියනියාවේදැයි සිතා ඒ වනාන්තරය එක් භාගයකින් කපා හෙලි කරන්නට වන්හ. එවිට එකියන දිව්‍යපුත්‍රයා බෝධි සත්වයන් කරාගොස් සබඳ ්තොප කීවා නොඅසා මම සිංහ ව්‍යාඝ්‍රයන් පහකෙළෙමි. සිංහ ව්‍යාඝ්‍රයන් වනාන්තරයේ නැති නිසාව දත්තාවූ මනුෂ්‍යයෝ වනාන්තරය එළිකරන්ට වන්නාහ. මෙවිට කුමක්කරම්දැයි කියා කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ සිංහ ව්‍යාඝ්‍රයන් ගියාවූ වනාන්තරයට තොපි ගොසින් පිළිගන්වීනම් ඔවුන් ගියාවූ වනාන්තරයට ගොස් දොහොත් මුදුනේ තබා ඔවුන් දෙදෙනාට ආරාධනාකොට මේ මම නොදැන තොපි හැම භයගන්වා එලවාපීම් ඒ මම නොදැන කළෙමි මට ක්‍ෂමා කොට මා වසන්නාවූ වනයට එවයි කීහ. එවිට ඔවුහුත් එබස් අසා තොප වසන්නාවූ වන්නරයට අපිනේම්මැයි කියා නාවාහූය. එකියන මනුෂ්‍යයෝත් ඒ බැද්ද කොටා එලිකොට සේන්කොටාගත්හයි වදාරා මේ ව්‍යාඝ්‍ර ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි සිංහයා නම් සැරියුත් මහාස්ථවිරයන්ය. ව්‍යාඝ්‍රයා නම් මුගලන් මහාස්ථවිරයන්ය. එකියන වනස්පති දේවතානම් කෝකාලිකස්ථවිරය වෘක්‍ෂදේවතාව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.