511 නලිනී ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක්. පුරාණ දූතිකාවක් කෙරේ ලොබ කළ භික්‍ෂුවක් අරභයා මේ ජාතකය වදාල සේක.

දිනක් බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි පනවන ලද බුද්ධානයෙහි වැඩ සිටි සේක් භික්‍ෂුන් විසින් කැඳවාගෙන එන ලද එම භික්‍ෂුව අමතා සැබෑද මහණ, ශෘස්ත්‍රයෙහි කළකිරුනෙහිදැයි අසා සැබව ස්වාමිනී, පුරාණ දූතිකාව නිසා යයි කී කල්හි මහණ පෙරත් තොප ඈ නිසා ධ්‍යානයෙන් පිරිහී විනාශයට පැමිණියේවේදැයි ඉකුත්වත වදාල සේක.

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි කසීරට බමුණු මහසල් කුලයක උපන් උතුමෙක් ශීල්ප නිමවා වැඩිවිය පැමිණ හිමාලයට වැද පැවිදිව ධ්‍යාන උපදවා වසන්නේය. එකල එක් මුවදෙනෙක් ඒ තාපසයන්ට මුත්‍රා කලාවූ ස්ථානයේ තිබූ තණ අනුභව කොට එපමණකින් දරුගැබ පිළිසිඳ තාපසයන් කෙරෙහි ස්නේහයෙන් දුර නොගොස් එහිම වසන්නී. නොබෝ දිනකින් කුමාරයකු වැදූවාය. තාපසයෝ කුමාරයන්ව ලෙන වඩා වර්ධනය කොට ඉසිසිංග තිපසයෙි යයි නම් තබා මහණ කොට කිසුණු පිරියම් ඉගැන්වීය. ඒ තාපස කුමාරයෝත් නොබෝ දිනකින් ධ්‍යාන භාවනා කොට සමාපත්ති උපදවා ගෙන දමනය ලද ඉඳූරන් ඇතිව ධ්‍යාන සැපයෙන් කල් යවන්නාහ. දිනක් ඒ තාපසයන්ගේ තේජසින් ශක්‍රයන්ගේ අසුන උන් නොකැමැති පරිද්දෙන් කම්පිත වූයේය. ඒ දුටු ශක්‍රයන් මුන්ගේ ශිලය කවර හෝ උපායකින් බිඳුවමියි සිතා තුන් අවුරුද්දක් මුළුල්ලේ කසීරට වැසි වට නොදී නැවතූහ. එකල සියළුම රාජ්‍යය ගින්නෙන් දා ගියාක් මෙන් වූයේය. ගොයම් බත නැති විය. පීඩිත වූ මනුෂ්‍යයෝ රාජාංගණයට රැස්ව මෙය පැමිණිලි කළහ. රජ්ජුරුවෝ එබස් අසා පෙහෙවස් රක්‍ෂා කොටත් වැසි වස්වා ගත නොහැකි වූවාහුය. දිනක් සක් දෙවිඳු මැදියම් රෑ රජ්ජුරුවන්ගේ ශ්‍රී යහන් ගබඩාවට වැඳ ආකාශයෙහි සිට තමා ශක්‍රයන් බැව් හඟවා කිමෙක්ද? රජතුමනි, වැසි නොවස්නා කාරණය දන්නෙහිදැයි විචාරා නැතැයි කී කල්හි එම්බා රජ්ජුරුවනි, ඉසිසිංහ නම් වූ මහා තපස් ඇති එක් තාපසයෙක් හිමාලයෙහි වසන්නාහ. ඔහු නිතර වැසි වස්නා කල්හි කිපී අහස දෙස බැලූහ. ඒ කාරණයෙන් වැසි නොවසින්නේ යයි කීහ. එවිට රජ්ජුරුවෝ මීට කුමක් කළයුතුදැයි විචාරන්නා ශීලය භෙද කළයුතුය. මහරජ, නලිනි නම් වු තොපගේ දුව ඊට සමර්ථ වන්නේය. ඈ කැඳවා ඊට කරුණු කියා පිටත් කළ මැනවැයි කියා ශක්‍රයෝ තමාගේ සථානයට ගියහ.

රජ්ජුරුවෝ දෙවන දින නලිනි නම් වු තම දියණිය කැඳවා දියණියෙනි, තොපගේ මේ රාජ්‍යයද ජනපදවල්ද දුර්භීක්‍ෂව නසින්නේය. එබැවින් වැසි වට නොදෙන්නා වූ ඒ තාපසයන්ව තොපගේ වසඟයට ගෙන සීලය බිඳ ඔහුව මා සමීපයට කැඳවාගෙන එවයි කීහ. කුමාරිකාවද එබස් අසා යහපතැයි පිළිගෙන ඇමති පිරිවර සමග පිටත් වී වැද්දන් පෙන්වන ලද මාර්ගයෙන් හිමාලයට ගොස් පූර්‍වහණ වේලෙහි පිරිස මඟ ආරක්‍ෂා පිණිස නතර කරවා කුමරිය පමණක් ආශ්‍රම පදයට පැමිණියාය. ඒ වේලෙහි පිය තාපසයන් වහන්සේ පලවැල සදහා වනයට ගියේ පුත් වූ ඉසිසිඞග තාපසයන් පමණක් ආශ්‍රමයෙහි සිටියේය. කුමාරිකාවද හුයින් වෙළන ලද පෙද වටක් ගෙන ඉන් ක්‍රීඩා කරමින් ස්වර්ර්‍ණභරණයෙන් සැරසී පන්සල් දොරකඩට පැමිණියාය. එවිට ගල්පෝරුවක් මත වූ ඉසිසිඞග තාපසයෝ එන්නා වූ කුමරිය දැක භයින් ත්‍රස්තව පන්සලට වැඳ සිටියේය. කුමාරිකාව පෙද වට ගෙණ කෙළිමින් පන්සල් දොරකඩ සමීපයෙහිම සිටියාය. තාපසයෝ සිතන්නාහු මේ යක්‍ෂණියෙක් නම් බිය වී පළාගිය මා අල්ලා මුරු මුරු ගා කන්නේය. මේ යක්‍ෂණියෙක් නොව තාපසයෙක් වන්නේ යයි සිතා එළියට පැමිණ මීට පෙර තමා පෙදවට නුදුටු හෙයින් ගසක ගෙඩියකැයි සිතා තොප අත ඇත්තේ කුමන ඵලයෙක් දැයි විචාළාහ. එවිට කුරිය බොරු ගොතා කියන්නී. තාපසයෙනි, ගන්‍ධමාදන පර්‍වතය සමීපයෙහි මාගේ පන්සලෙහි මෙවැනි පල ඇති බොහෝ ගස් ඇත. මේ පල මෙසේ දුර දමන ලද්දේ සමීපයටම එන්නේය. අත්හැර නොයන්නේ යයි කීවාය. තාපසයෝද එබස් අසා ඈද තාපසයෙක් යයි සිතා පිළිසඳර කථා කොට පන්සල තුළට පැමිණ වැඳ හිදුව, මුව සෝදා විඩා හැර මේ මිහිරි පල අනුභව කරවයි කීහ. කුමරියද යහපතැයි ඒ තුළට වැඳ කොළ ඇතිරියෙක්හි උන්නේය. එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. තාපසයෝ ස්ත්‍රීන්ගේ යෝනි කිසිදිනෙක නුදුටු හෙයින් පහවූ වස්ත්‍රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු. එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද ස්ප්පි මුඛයක් බඳුදෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්තස්ථානය නොපෙණෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ. එවිට ඈ කියන්නී තාපසයෙනි, මෙතැන වනව ගොස් කණුඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරවයි කීහ. තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ඉදින් ඔබට මාගෙන් සැපයක වී නම් එය කෙරෙමියි කියා ඇගේ සියුම් වස්ත්‍ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමියි කීහ. එබසට ඈ කියන්නී තාපසයෙනි, මන්ත්‍ර යෝගයක් වේවයි ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරවයි කීහ. ඒ ඇසූ තාපසයෝද එයද වෙදකමෙකැයි සිතා මේථුන ධර්මයෙන් සිල් බිදීමක් වන්නේය, ධ්‍යාන පිරිහෙන්නේය, යනාදී ආදීනව නොදැන මෛථුන ධර්මයෙහි සිත් සේ යෙදුනාහ. එකෙණෙහි සීලයෙන් බිඳී ධ්‍යානයෙන් පිරිහුණාහ. මෙසේ දෙතුන් විටක්ම සංසර්ගයෙහි යෙදී දෙදෙනාම පන්සලින් පිටව ජලස්නානය කොට විඩා සංසිඳුවාගෙන නැවත පන්සලට වැද තාපසයෙකුයි යන ස්ථීර හැගීමෙන් යුතුව සිටින තැන් විචාළහ. ඈ කියන්නී තාපසයෙනි, මේ අසපුවට උතුරු දික් භාගයෙහි ඛේමා නම් වූ ගඞගා තීරයෙහි මිහිරි පලවැලවලින් පිරි උයන් පිරිවැරූ ගී ගයන කිදුරු ලියන්ගෙන් අවට ශොභාමත් වූ ආශ්‍රමයෙක් ඇත. මම එහි වාසය කරමි. කැමත්සේක් නම් තොපද එහි යාමට ආව මැනව, නොයනු කැමති සේක් නම් මම යෙමියි නලිනි කුමාරිකාව පිටත් වූවාය. එවිට ඉසිසිඞග තාපසයෝද ඈ අමතා තපස්වීනි, මගේ පියා වනයට ගියේය. දැන් එන සේක. උන්වහන්සේ පලාඵල ගෙණකල අවසර ගෙන අප දෙදෙනම තොප වර්ණනා කළ අසපුවට සැපසේ යම්හයි කීහ. එවිට ඈ සිතන්නී මේ තාපසයෝ වූ කලි වනයේම වැඩී වර්ධනය වූ බැවින් ස්ත්‍රීන්ව නොහදුනති. මුන්ගේ පියාණෝ මා දුටු විට ස්ත්‍රී නියාව හඳුනා මගේ ඔළුව පලාපියා එළවා දමන්නටද හැක්කේය. එබැවින් උන් එන්නට පළමුව යාමට වටනේය. මම ආ කාරිය සමුර්‍ධව ගියේයැයි සිතා තපස්වීන් මා හා කැටව ඒමට උපායක් කියන්නී. තාපසයන් වහන්ස, මට මෙහි පමාවිය නොහැක. මාගේ පන්සලට යන මාර්ගය බොහෝ උතුම් තපස්වීවරයන් වසන්නාහ. නුඹවහන්සේව එහි කැඳවාගෙන යන ලෙස මම ඔවුන්ට දන්වා යෙමි. උන් අතින් විචාරා වඩිනු මැනවයි. කියා ඈ ආ මාර්ගයෙන්ම අමාත්‍යයන් සමීපයට ගොස් ඔවුන් සමඟ බරණැස් නුවරට ලඟා වූවාය. ශක්‍රයාද ඉතා සතුටුව සියළු රට වැසි වැස්සූහ. ඉසිසිඞග තාපසයන්ගේ සියළු ශරීරය ඇගේ පලා යෑමෙන් පසු දැවෙන්නට විය. වැහැරී සිවුර හිස පාදාන්තය දක්වා වසාගෙන වැදහොත්තාහුය.

පියාණෝ සවස් වේලෙහි පැමිණ පුතනුවන් සොයා වැදහොත් තැන් දැක හිස පිරිමැද වතාවත් පිරිහෙළා උකටලීව සිටින්නට හේතුව විචාළහ. එබසට ඉසිසිඞගයෝ කියන්නාහු පියාණෙනි, මේ පැමිණියේ ශරීරාලෝකයෙන් මේ පෙදෙස පිරී ගියේය. ඉඳුන්ල් මැණිකක් වන් කෙස්වැටියෙන් පිරි හිස ශෝභාවත්ය, දැලි රැවුල් නැත්තේය, පැවිදි වූ නොබෝකල් ඇත්තාහුය, බොහෝ පළඳනාය, පපුවෙහි මනාව වැඩුණූ මස්ගඩු දෙකක් ඇත, පියාණෙනි, අපි මේ වැහැරී චීවර දරතත් ඒ තපස්වී රන්වන් සිවුරු දරන්නාහ. ඔහුගේ දන්තයෝ ඉතා විසිතුරුය. අලමුල් නොකෑමෙන් සකක් මෙන් විසිතුරුය. කථාව ඉතා මිහිරි වන්නේය. ඒ මධුර ස්වරයෙහි මාගේ සිත තදින් ඇලුනේය. උන් නැවත දකින්නට බලවත් අභිලාෂ ඇත්තෙමි. තවද පියාණෙනි, ඔහුගේ දෙකලව අතර එක් තුවාල වූ වනයක් ඇත. එහි බෙලි තුඩක් මෙන් සිප්පි වැදගෙන තිබෙන්නේය. හාත්පස මට සිළුටුය, සියුම් කැකුළක් හා සම වන්නේය. ඒ තාපයන්ගේ ඉල්ලීමෙන් මාගේ මාගේ අඞගජාතය එහි ප්‍රවිෂ්ට කොට කටියෙන් පෙලුයෙමි. පියාණෙනි, ඒ තාපසය් ගිය වේලේ පටන් යාග ක්‍රියා මාගේ සිතට අභිප්‍රාය නොවන්නේය. මන්ත්‍ර නොවැටහෙන්නේය. ඔහු නොදැක මට මෙහි සිටිය නොහැක. මම ඔහු සිටින දිශාව දනිමි. එහි පමුණුවාළුව මැනව, පියාණෙනි පමාවුවහොත් මා මෙහි දිවිහරිමි. ඊට පෙර මා ගෙන ගොස් තරුණ තපස්වීන් වසන පන්සලට ළුවමැනවයි ඉසිසිඞගයෝ විලාප කියන්නට වන්හ. ඒ බැගෑහඩ අසා පිය තාපසයන් වහන්සේ එක් ස්ත්‍රියක විසින් මුන්ගේ ශීල භෙදය කරන ලද්දේය. මුවදෙනෙකගේ බඩින් ඉපිද වනයේම ඇතිදැඩි වූ හෙයින් පිරිමින් මිස ස්ත්‍රීන් දැක නැත. අද මොහු ස්ත්‍රියකට වසඟ වී ඇත. ඉන් ගලවා ගත යුතුයයි සිතා අවවාද කරන්නේ පුත, ඉසිසිඞගයෙනි, ගිනිදෙව්යාට කරන ලද පූජාවෙන් ඒකාලෝක වූ ගාන්‍ධර්‍වයන් හා දිව්‍යාප්සරාවන් විසින් නිතර සෙව්නා ලද සෘෂින්ගේ මෙබඳු ආශ්‍රම පෙදෙසෙහි වසන්නා වූ තෙපි යම් රතියකට පැමිණියාහු වී නම් එබදු උකටලීයව නුවණැත්තෝ නොපැමිණෙන්නාහ. පුත, මේ මිනිස් ලොව යම් යක්‍ෂණි සංඛ්‍යාත වූ භූතයෝ නා නා වෙසින් ඇවිද තම වසඟයට පැමිණියවුන් අල්ලාගෙන අනුභව කරන්නාහ. ඒ භූතයන් නුවණැත්තා වූ සත්වතෙමේ සේවනය නොකරන්නේය. එසේ හෙයින් තෙපි ඒ යක්‍ෂණිය විසින් දක්නා ලදුව තොප දැක අල්වාගත් ගමනේ නොකා ඇරපුයේ තොපගේ පින් නිසාමයයි අවවාද කළහ. ඉසිසිඞගයෝ පියාණන්ගේ බස් අසා ඕ තොමෝ යක්‍ෂණියක් යයි භයින් ත්‍රස්තව ඈ පිළිබඳ සිත පහ කොට පියාණෙනි, මම ඈ නිසා මෙතනින් පිට නොවෙමි. මින්මතු නොසිතමි. මට ක්‍ෂමාකළ මැනවයි වැද පියාණන් ක්‍ෂමා කරවා ගත්හ. පිය තාපසයන් වහන්සේ ඔහු අස්වසා පුත, තෙපි මෙසේ වූ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‍ෂා යන සතර බ්‍රහ්ම විහාර භාවනාවන් වඩවයි කීහ. ඉසිසිඞග තාපසයෝ ඒ වඩා ධ්‍යාන ලබා බඹලොව උපන්නාහ.
එසමයෙහි නලිනි කුමාරිකාව නම් මේ පුරාණ දූතිකා වන්නීය. ඉසිසිඞග තාපසයෝ නම් උකටලී මහණය. පිය තාපසයන් වහන්සෙ නම් බුදුරජණන් වහන්සේය.