507 ශරභංග ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ධර්මරාජයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මුගලන් තෙරන්ගේ පරිනිර්වාණය අරභයා මේ ජාතකය වදාල සේක.

මුගලන් තෙරන් වහන්සේ සෘධියෙන් කෙළ පැමිණි යන්හට අගතැන් පත්වීම හේතුකොට ගෙන දිව්‍ය ලෝකයෙහිද නරකයෙද ඇවිද සත්වයන් විඳින සැපදුක් දැනගෙන විත් අසවල් අසවල් අය මේ මේ කුසල් කොට දෙව්ලොව ඉපිද සම්පත් අනුභව කරන්නාහ. තීත්‍ර්‍ථක ශාවකයන් අතුරෙන් අසවල් අය නරකයෙහි ඉපිද දුක් අනුභව කරන්නාහයි යනාදීන් පින් කළ සත්වයන් විඳිනා පව්කළ සත්වයන් විඳිනා දුක් ද මනුෂ්‍යයන්ට වදාරණ සේක්. මේ හේතුවෙන් සර්වඥ ශාසනයට මහත් වූ සත්කාර බහුල විය. තීත්‍ර්‍ථකයන් හට සත්කාර පිරිහී ගියේය. එකල්හි තීත්‍ර්‍ථකයන් මුගලන් තෙරුන් මරම්හයි කියා සමණකුන්ත නම් වූ සොරෙකුට මසුරන් දහසක් දී ඒ සදහා කලාසියා නම් ගල්ලෙන සමීපයට යැවූහ. තෙරුන් වහන්සේ එන්නා වූ ඔහු දැක සෘධි බලයෙන් අහසට වැඩිසේක. මෙසේ හය දවසක්ම සොරුගේ පැමිණීමත් තෙරුන්ගේ අහසට වැඩීමත් සිදු විය. සත්වෙනි දින පෙර ජාතියෙහි කරන ලද අපරාප්‍ර්‍යවේදනීය කර්‍මයෙන් අවකාශ ලද්දේය.

ඒ පාප කර්‍මය කෙසෙද යත්?

පෙර ආත්මයක තම භාර්‍යාවගේ බස් ගිවිස තම තම අන්ධ දෙමාපියන් මරණු පිණිස රථයකට නංවාගෙන වලට ගෙන ගොස් සොරු වටලා ගත්තාක් මෙන් හඟවා හිංසා කරන්නට තලන්නට පටන් ගත්හ.

අන්ධ දෙමාපියන්ද තලන්නේ සොරුයයි සිතා අනේ පුතේ, සොරු වටලා අපට තලති තොප බේරී පලායවයි අඩමින් කීහ. පුත්‍රයාද දෙමාපියන්ගේ අදෝනා බස් අසා සිත උණු වී තමා දුරසිට එන බව හඟවා මම සොරුන් පලවා හැරියෙමි. දැන් බිය නොවවයි නැවත ගෙදරට කැඳවාගෙන ගොස් උවටැන් කළහ. ඒ කලාවූ අකුසල කර්මය අන්තිම ආත්මය දක්වා ලුහු බඳිමින් අවුත් සත්වන දින සොරුන්ට අසුවිය. සොරහුද තෙරුන් වහන්සේ අල්වාගෙන ඇටතලා පිඳුරු බිස්සක් පරිද්දෙන් හකුලා මලහයි සිතා ඇද දමා සොර දෙටුවා සමග ගියහ. තෙරුන් වහන්සේද සිහිඑලවාගෙන ධ්‍යානයෙන් ශරීරය වෙළාගෙන ආකාශයට පැන නැගී බුදුන් සමීපයට ගොස් වැඳ අවසර ගෙන පැමිණ එහිදීම පිරිනිවන් පා වදාළ සේක්. එකෙනෙහි සදෙව් ලොව දෙවියෝ එක්ව අනූනම රියන් සඳූන් දර සෑයක් තනා අදාහන කෘත්‍ය කරවූහ. සර්වඥයන් වහන්සේ මුගලන් තෙරුන්ගේ ධාතු පිහිටුවා වේළුවනාරාම දොරටුව සමීපයෙහි දාගැබක් බැන්දවූ සේක.

මේ පිළිබඳ දිනක් දම්සභා මණ්ඩපයෙහි කථාවක් උපන් කල්හි එහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ එම්බා මහණෙනි, මේ මුගලන් තෙරුන් සත්කාර ලද්දේ දැන් මතු නොවෙයි පළමුත් ලද්දේ වේදැයි ඉකුත් වත වඳාල සේක.

යටගිය දවස බරණැස රාජ්‍ය කළ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රහ්මණයාට පුත්‍රයෙන් උපන්නේය. දොළොස් යොදුනක් පමණ දුර බරණැස මුළුල්ලෙහි සියළුම ආයුධ මේ කුමාරයා උපන් ඇසිල්ලෙහිම දිලිහී ගිය බැවින් ජොතිපාල කුමාරයෝ යයි නම් තැබූහ. තවද එම කුමාරයා උපන් දින ඇති වූ නක්‍ෂත්‍ර යෝගය අනුව මුළු දඹදිව දුනුවායන්ට අග්‍ර වන්නාහ යයි දැන බරණැස් රජතුමාද ඉතා ප්‍රීතිමත්ව කිරි මිළ දහසක් යවා වැඩිවිය පැමිණි කල්හි කැඳවාගෙන අවුත් අපට දක්වාලවයි නියම කළහ. සොළොස් හැවිරිදි වයස් වූ ජොතිපාල කුමාරයා ශිල්ප සදහා තක්‍ෂලා නුවරට ගොස් සතියක් ඇතුලත ශාස්ත්‍රයාගේ පරතෙරට පැමිණ දිසාපාමොක් ආචාරිණී විසින් දෙන ලද ඛඩ්ග රත්නයද සන්‍ධි ඇති මැඩහඟු දුන්නද එසේම සන්‍ධි ඇති ඉයවුරක්ද තමන් ඇඟ බඳන ලද්දා වූ සන්නාහයක්ද නළල් පටක්ද ලබාගෙන ඔහුගේ ඉල්ලීම පිට ශිල්ප ඉගැන්වීම සදහා පන්සියයක් මානවකයන්ද කැටිව බරණැස් නුවරට පැමිණ දවසට දහසක් වැටුප් ලබමින් රජුන්ට සේවාකම් කරන්නාහ. එකල අවශේෂ රාජ සේවකයෝ එක්ව ජොතිපාල කුමාරයන් විසින් කරන ලද කටයුත්තක් නොදුටු වෙමු. නමුත් දවසට දහසක් වැටුප් ලබති. එබැවින් අප හැම උන්ගේ ශිල්ප දකිනු කැමැත්තම්හයි කීහ. කුමාරයෝද අදින් සත්වන දින ශිල්ප දක්වමි.සියළුම දුනුවායන් රැස්කරනුවයි රජ්ජුරුවන්ට දැන්වූහ. ජොතිපාල කුමාරයෝද එදින නියමිත වේලාවට තමාට ගුරුන් අතින් ලැබුණ දුන්න ඉයවුර නළල්පට සන්නාහ යන මේ සියල්ල ඉණ යට තබා ගෙන කඩුව පමණක් ගෙන පියවි ස්වභාවයෙන් රජ්ජුරුවන් සමීපයට ගොස් වැඳ එකත්පස්ව සිටියාහ. රැස්ව සිටි දුනුවායෝ ජොතිපාල කුමාරයෝ ධනු ශිල්පය දක්වන්නට එන්නාහු දුන්නක් නොගෙනා හෙයින් අපගෙන් දුන්නක් ඉල්ලුවද දුනු නොදෙම්හයි ඔවුනොවුන් කතිකාකර ගත්හ. රජ්ජුරුවෝ ජොතිපාල කුමාරයන් කැඳව දරුව, ශිල්ප දක්වවයි කීහ. කුමාරයේද යහපතැයි වට තිර අදවා ඒ මැදට වී සන්නාහ සන්නද්ධව නළල්පට බැඳ මැඩහඟු දුන්නෙහි පබුළුවන් වූ දුනු දියත් නගි ඉයවුර වුරපිට බැඳ කඩුව වම් උරයේ එල්වා විදුරු අක් ඇති නාරාවනයක් නියපිට නටවමින් වට තිරය පහ කොට පොළව පළා නැගි අලංකාර නාගමානවකයෙකු පරිද්දෙන් ගොස් රජ්ජුරුවන්ට ආදර දක්වා සිටියහ.ඒ දුටු මහජනයෝ ඔල්වරසන් දෙන්නට වූහ. කුමාරයෝ පැමිණි දුනුවායන් අතුරෙන් අක්‍ෂණවේධිය, චාලවෙධිය, ශබ්දවෙධිය, ශරවෙධිය යන සතර පක්‍ෂයෙහි දුනුවායන් සතර දෙනෙකු කැදවා රාජාඞඝනයෙහි මණ්ඩපයක් කරවා සතර කොන ඒ සතර දෙනා සිටුවා එක් එක් දුනුවායාට තිස් දහස බැගින් ඊ දඩුදීමට ඒ ලඟ සතර දෙනෙකු සිටුවා තුමූ වීදුරුපීරු අත් ඇති නාරාවනයක් අතින් ගෙන මණ්ඩපය මධ්‍යයට පැමිණ කියන්නාහු රජ්ජුරුවන් වහන්ස. මේ දුනුවායන් සතර දෙනා එකවිට ඊ වලින් මට විදිත්වයි මම මොවුන් විඳිනාලද ඊ පහරවල් වලකමියි කීහ. රජ්ජුරුවෝද යහපතැයි කීහ. දුනුවායන් කියන්නාහු රජතුමනි, අපි දුනු ශිලිපයේ දක්‍ෂයෝ වම්හ. ජොතිපාල කුමාරයෝ තරුණ පුරුෂව සිටියාහ. එබැවින් අපි නොවිදුම්හයි කීහ. එකල කුමාරයෝ එසේ එකවිට විඳින්නට පටන් ගත්හ. කුමාරයෝද තමා වෙත එන්නා වූ ඊ තල නාරාවනයෙන් ගසා එහෙ මෙහෙ නොයා බොධි කොටුවක් පරිදි තමන් වට කොට වට තිරයක් මෙන් සිටින්නට කළහ. දුනුවායන්ගේ ඊ දඩු නිමා ගිය පසු ඒ බව දැන ගත් කුමාරයෝ ඊ පවුර නොබිද උඩ පැන රජ්ජුරුවන් සමීපයට ගොස් සිටියාහ. පැමිණී මහජනතාවගෙන් එවිට ලත් පූජා වස්තු අටලොස් කෙලකි. එකල රජ්ජුරුවෝ මේ කිනම් ශිල්පයක් දැයි විචාළහ. රජතුමනි, මේ සරභඞග නමි. මේ දඹදිව මා හැර මේ ශිල්පය දන්නා අනිත් කෙනෙක් නැතැයි කීහ. රජතුමනි මේ සතර දෙනෙක් සිට එකෙකුටවත් මා විදගත නොහැකි විය. මම මේ සතර දෙනාවම එක ඊ පහරින් විදමියි කීහ. එකල දුනුවායෝ ඊට අකමැති වූහ. කුමාරයෝ සතර කොන කෙසෙල් කඳකට විද්දාහ. ඒ ඊය කෙසෙල් කඳ විදගෙන දෙවෙනි තුන්වෙනි සහ සතරවෙනි කදන්ද විද ගෙන වටේ ගොස් නැවතත් විදගෙන පළමු විදි කද විදගෙන කුමාරයාගේ අත්හිම පිහිටියේය. කෙහෙල් කඳ වල් රතු නූලෙන් වටකරන ලදුව සිටියේය. ඒ චක්‍ර නම් ධනුස් විදමන විය. එසේම සැරලබිධි, සැරඅජ්ජුන, සැරවෙනි, සැරප්‍රසාද, සැරමණ්ඩප, සැරසොපාන, සැරපුෂ්කර, සැරපුම ආදී සිල්පද මහත් රාශියක් දක්වමින් සිටියදී හිරු අවරට ගියේය. ඉක්බිති රජ්ජුරුවෝ ඕහට සෙනෙවිරත් තනතුර දෙමැයි නියම කොට කුමාරයෙනි, අද වේලා නොවෙයි. සෙට දවස සෙනෙවිරත් තනතුර ගනුව. දැලි රැවුල කපා ස්නානය කොට එවයි කියා එදවස් පටන් වියදමට ලක්‍ෂයක් දුන්නාහ. කුමාරයෝත් මෙයින් මට ප්‍රයෝජන නැතැයි ලත් සතුටු පඩුරු ඒ ඒ අයටම දී ගොස් ස්නානය කොට ස්වර්ණාභරණයෙන් සැරසී ආහාර අනුභව කොට ශ්‍රී යහනට නැඟ සැතපී පශ්ච්ම යාමයෙහි පිබිදී හිඳ සිතන්නේ මා උගත් දුනු ශිල්පයෙහි මුල අනුන්ගේ මිය යෑම පෙනෙන්නේය. කෙළවර නරකොත්පත්තිය පෙනෙන්නේය. ප්‍රාණඝාත කිරීමෙන් නරකව උපන්නේය. රජතුමා මට සෙනෙවිරත් තනතුරු දීමන් වස්තුවද අඹු දරුවෝද බොහෝ වන්නාහ. පසුවට මෙය හැරළිය නොහැක්කේය. මින් මට ප්‍රයොජන නැත. දැන්ම ගිහිගෙයින් නික්ම හුදකලාව වනයට වැද සෘෂි ප්‍රවෘජාවෙන් පැවිදිවෙමියි සිතා රහසින් ගෙයින් පිටවී ගොධාවරී නම් ගංතෙර තුන් යොදුනක් පමණ ඇති වූ දිවුළු වනයට ගොස් තමන් නිසා විස්කම් දෙවිපුත් මැවූ තවුස් පිරිකර ගෙන මහණව තවුස් වෙසින් වනයට හොබවා ඉන් සත්වන දින පංචාභිඥ අෂ්ට සමාපත්ති උපදවාගෙන වාසය කරන්නාහ. එකල ජොතිපාල කුමාරයන් සොයමින් අඩා වැලපෙන මව්පිය හිතවතුන්ට කුමාරයෝ පැවිදිව කවිඪ නම් වු වනයේ වසන බව එක වැදි පුත්‍රයෙක් අතින් දැන ගන්නට ලැබී රජ්ජුරුවෝ ප්‍රධාන මහත් පිරිසක් එහි ගොස් බණ අසා පැවිදි වූහ. ප්‍රධාන තාපසයන් සමීපයෙහි සැළිස්සර, මෙධිස්සර, පර්‍වත, කාළදෙවල, කිශවච්ඡ, අනුසිස්ස, නාරද යයි අතවැසි තපස්වරු සත්දෙනෙක් වන්නාහ. ටික දිනකින් එම කවිඪ නම් වූ වනය තපස්වීවරයන්ට වසන්නට ඉඩ නැතිවන අන්දමින් පිරී ගියේය. ඉක්බිති නායක තාපසයෝ එක් එක් තාපසයන් අමතා පිළවෙලින් ඔවුන් අත වැස්සන් කැටුව පජ්ජොත රජ්ජුරුවන්ගේ ලම්භචූලක නම් නියම් ගමටද, සුරඪා නම් ජනපදයෙහි සාතොදිකා නම් ගංතෙරට ද අඤ්ජන පර්වතය සමීපයටද දක්‍ෂිණ පර්වතයෙහි අවන්ති රට ඝනසේන නම් පර්වතය සමීපයටද දණ්ඩකී රජ්ජුරුවන්ගේ විජිතයෙහි කුම්භවතී නුවර මධ්‍ය දේශයෙහි ආරජගිරි පර්වතය සමීපයටද යවා අනුශිෂ්‍ය තාපසයෝ තමා සමීපයෙහි නතර කර ගත්හ. දණ්ඩකී රජ්ජුරුවන්ගේ විජිතයට ගිය කිසවච්ඡ තාපසයන්ට එනුවර සෙනෙවිරදුන් උවටැන් කරන්නාහ. එනුවර තනතුරෙන් පහ කරන ලද වෛශ්‍යාවක් වූවාය. ඈ මාළිඟාවට යන්නී කිසවච්ඡ තාපසයන් දැක මොහු කාලකන්නියෙක් වන්නේය. මොහුගේ ශරීරයේ පාපප්‍රවාහ කොට ඉස් සොධා නහා යෙමියි කියා දැහැටි දඩු විකා තාපසයන්ගේ ජටා මතුවට කෙළ ගසා දැහැටි පොතු දමා ඉස් සෝදා නහා ගියාය. රජ්ජුරුවෝද කිසි කාරණයකින් ඈ සිහි කොට නැවත ඒ තනතුරම ලබා දුන්නාහ. මෝහයෙන් මුලා වූ ඈ තාපසයන්ගේ ශරීරයෙහි ප්‍රාපප්‍රවාහ කොට යසස ලද්දේ යයි සිතුවාය.

නොබෝ දිනකින් තනතුරෙන් පහ වූ පුරෝහිතයාද ඇගෙන් උපදෙස් ගෙන තාපසයන් සමීපයට ගොස් දැහැටි කා කෙළගසා ඉස්සෝදා නා රජගෙට ගියේ රජතුමා කිසි කාරණයකින් ඔහුටද එම තනතුර නැවතත් දුන්නේය. මෑත භාගයෙහි රජ්ජුරුවන්ගේ පසල් දනව්ව කුපිත වූයේ ය. රජ්ජුරුවෝ සිව්රග සෙනඟින් යුක්තව යුද්ධයට සූදානම් වූහ. මූඪ පුරෝහිත බමුණු රජු අමතා දේවයන් වහන්ස, යුද්ධයෙන් ජය ගනු කැමති නම් ඔබගේ උයනේ වසන කාලකන්නී තාපසයාගේ ශරීරයෙහි ප්‍රාපප්‍රවාහ කොට යනු මැනවැයි කීයේය. රජ්ජුරුවෝද එය පිළිගෙන සේනාවට එසේ කරන සේ නියම කොට තුමූ පළමු කොට දැහැටි පොතුද කොලද ජටා මතුයෙහි ගසා ඉස් සෝදා නා ගියහ. සියළු දෙනාම එසේ කලහ. ඔවුන් සැමදෙනා ගිය කල්හි සෙනෙවිරදුන් තාපසයන් සමීපයට අවුත් දැහැටි පොතු ආදිය දැක වහා ඒවා අස් කොට මනාකොට නහවා තාපසයන් වහන්ස, මෙසේ දුෂ්ඨකම් කලාවූ රජ්ජුරුවන්ට කුමක්වේදැයි විචාළේය. එම්බා උපාසකයෙනි, දෙවියෝ කළකිරී ගියහ. අදින් සත්වන දවස මේ සියළු රට නැසී යන්නේය. එසේ හෙයින් තෙපි වහා අන් රටකට යවයි කීහ. සෙනෙවිරදුන්ද බියපත්ව ගොස් ඒ බව රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ එබස පිළිනොගත්හ. සෙනෙවිරදුන් අඹුදරුවන් කැටුව වහා පළාගියහ. ඒ බව දැනගත් ශරභඞග ශාසතෘන් වහන්සේ තාපසවරුන් දෙදෙනෙක් යවා කිශවචිඡ තාපසයින් යහනාවකට නංවා ගෙන්වා ගත් සේක. රජ්ජුරුවෝ යුද්ධ කොට ජයගෙන නුවරට පැමිණි කල්හි හැම දෙවියෝ එක්ව වැසි වස්වා සියළු කුණු සෝදා හැර ශුද්ධ වූ පසු සුදුවැලි මත්තෙන් මල්වැසි වැස්වූහ. ඒ මත මසුරන් වැසිද, ඒ මත කහවනුද, ඒ මත දිව්‍යාභරණද වැස්වූහ. ඒ දුටු මනුෂ්‍යයෝ ප්‍රීතියෙන් ඒවා ගැනීමට පටන් ගත්හ. එවිට ඔවුන්ගේ ශරීර මතුවට ගිණිගෙන දිළිසෙන මහත් අවු වැසිද, ආයුධ ද අඟුරු ද, මහත් පර්වත කැටද, වැස ඉන්පසු සැටරියනක් උසට සියුම් වැලිවැස්සවූහ. මෙසේ සැටරියනක් උසට සියුම් වැලි වැස්සවූහ. මෙසේ සැට යොදුනක් රාජ්‍ය විනාශයට පැමිණ අරාජිත වූයේය. මේ රාජ්‍ය විනාශ වූ බව සියළු දඹදිව ප්‍රසිද්ධ විය. එකල ඒ රාජ්‍ය ආසන්න වූ රටවල කාලිංග, අඨක, භීමරථ යන රජවරු තුන්දෙන එක්වී කියන්නාහු පෙර දවස බරණැස ක්‍ෂාන්තිවාදී තාපසයන්ය හිංසාකොට පොළව පළාගෙන ගිය කළාබු නම් වූ කසී රජ්ජුරුවෝද එසේම පන්සියයක් තාපසවරුන්ව බල්ලන් ලවා කවන ලද නාලිකීර නම් රජ්ජුරුවෝද එසේම අංගීරස තාපසයන්ට හිංසා කොට විනාශයට පත් හශ්‍රබාහු අර්ජුන නම් රජ්ජුරුවන්ද එසෙම මේ කිසවච්ඡ තාපසයන්ට හිංසා කොට රාජ්‍යයත් සමඟ විනාශයට පත් දණ්ඩකී රජ්ජුරුවන්ද උපන්තැන් අපි නොදනිමු. අපිට දැන ගත හැක්කේ ශරභඞග ශාසතෘවරුන් වහන්සේගෙන් පමණි. එසේ හෙයින් උන්වහන්සේ කරා එළඹ විස්තර විචාරම්හයි කියා ඒ රජදරුවෝ තුන්දෙනා වෙතවෙනම ගොස් ගොධාවරී ගංතෙරදී එක් වූහ.

එකෙනෙහි ශක්‍ර දේවේන්දායෝ මේ රජදරුවන් තිදෙනා විචාරන්නට යන ප්‍රශ්නය සමග විචාරමියි අන්‍ය ප්‍රශ්න සතරක්ද ගොත් ගෙන දෙව්ලොවින් බට වූයේය. එදවස කිසවච්ඡ තාපසයන් කළුරිය කොට සෘෂිගණයා එක්ව ආදාහන කෘත්‍ය නිමවා ශ්‍රාවකයන් පිරිවරා උන්සේක්. රජදරුවන් එන පෙරහරේ හබිදය ඇසි අනුශිෂ්‍ය තාපසයන් කැඳවා කුමක්දැයි බලන ලෙස නියම කෙළේය. ඒ තාපසයෝද යහපතැයි කලයත් ගෙන ගඟට ගියාහු, ඒ රජදරුවන් අතින් ආ පුවත අසා ප්‍රශ්න අසන්නට ආ බැව් දැන යහපත ජලස්නානය කොට දාහනිවාගෙන එවයි නියම කොට එන්නේ ශක්‍ර දේවේන්දායන් ප්‍රධාන දිව්‍ය සමූහයාද අහසින් එන්නා දැක කුමක් පිණිස ආවහුදැයි විමසා ප්‍රශ්න විසඳාගනු සදහා පැමිණියෙමුයි කී කල්හි යහපත පස්සේ එවයි දන්වා තුමූ පැන් කලය ගෙන ආශ්‍රමය පැමිණ පැන් කලය තබා ඒ බව නායක තාපසයන්ට දැන්වූහ. ශරභඞග තාපසයෝ සෘෂි ගණය පිරිවරා මහ විසල් මළුවෙහි උන්නාහ. එකල රජදරුවො තිදෙනාද, ශක්‍රදේවේන්දායෝද පැමිණ දොහොත් මුදුන් දී වැඳ තපස්වී වරයන්ගේ බඹලොව තෙක් පැතිරී ඇති ශීලගුණය වර්ණනා කොට අවසර ලබා ගෙන ප්‍රශ්න විචාරන්නාහු මෙසෙ කීහ. ශරභඞග ශාස්තෘන් වහන්ස, කුමක් නසා සත්වයා කිසිකලෙකත් ශෝක නොකෙරේද? කවර ධර්මයක්හුගේ ප්‍රහාණය සෘෂිවරයෝ වර්ණනා කෙරෙත්ද? මෙලොව කවරෙකු විසින් කියනලද පරුෂ වචන ඉවසිය යුතුද? ඒ කාරණය මට කියවයි කීහ. ශාස්තෲන් වහන්සේ ප්‍රශ්න විසඳන සේක්. ශක්‍ර දේවේන්දායෙනි, සත්වතෙම ක්‍රෝධය නිසා කිසිකලෙකත් ශෝක නොකරන්නේය. තමාට කරන ලද ගුණමැ කීම ඔහුගේ ප්‍රහාණය සෘෂිවරයෝ වර්ණනා කරති. හීන මධ්‍යමෙත්කෘෂ්ට සියල්ලන්ගේම පරුෂ වචනය ඉවසිය යුතුය. පෙර නුවණැත්තෝ මේ ක්‍ෂාන්තියම උතුම්යයි කීහ. නැවතද ශක්‍රදේවේන්දායෝ ශාස්තෲන්වහන්ස, තමාට උසස් හෝ තමාට සමාන අයගේ පරුෂ වචන ඉවසිය හැක්කේය. තමාට පහත් වුවන්ගේ පරුෂ වචන කෙසේ ඉවසිය හැක්කේද? එය මට කියවයි කියන්නාහ. ශක්‍රදේවේන්දායෙනි, තමාට උතුම් අයගේ වචනය භය නිසා ඉවසිය යුතුය. සමාන අයගේ වචනය මත්තෙහි වන යමක් බලා ඉවසිය යුතුය. තමාට පහත් අයගේ පරුෂ වචනට ඉවසීම සත් පුරුසයෝ උතුමැයි කියතියි කීහ. නැවත ශක්‍රයේ ස්වාමීනි, තවත් විමසමියි සැක තැන් විමසා දැන ඉවසීමෙන් වෛරය සන්සිඳෙන්නාහයි අසා ප්‍රීතියට පත් වූහ. ඉක්බිති අනෙක් රජදරුවෝ තුන්දෙන මේ ශක්‍රදේවේන්දායෝ තමන්ගෙන් ප්‍රශ්න විචාරමින් කල් යවති. අපට අවකාශ නොදෙතියි සිතූහ. ශක්‍රයෝ උන්ගේ අදහස දැන තමන් සිතූ ප්‍රශ්න තබා ස්වාමීනී, අන් ප්‍රශ්නයක් ව්චාරමි. එය වඳාල මැනවයි කියා දණ්ඩකී, නාලිකීර, අර්ජුන සහ කලාබු යන රජවරු බොහෝ අකුසල් කොට විනාශයට පත්වූහ. ඒ රජදරුවෝ කොයි උපන්නාදැයි විචාළාහ. ශාස්තෲන් වහන්සේ ඒ ප්‍රශ්න විසඳන්නේ ශක්‍රයෙනි, දණ්ඩකී රජ්ජුරුවෝ යොදුන් සියයක් පමණ කප අටගත්දා පටන් හළු නරකයෙහි ලා පැසෙන්නාහ. ඔහුගේ හිස මුදුනෙහි මහත් ගිණි පුපුරු වැගිරෙන්නේය. නාලකීර රජ්ජුරුවෝ එම අකුසල කර්මයෙන් තුන්ගව්වක් උස ශරීර ඇතිව නරකයෙහි උපන්නේ සුනඛයෝ නෙයෙක් තැනින් දිව අවුත් අල්වා සල්ව සල්වා ඇට පමණක් තිබියදී මාංශය අනුභව කරන්නාහ. අර්ජුන රජ්ජුරුවෝ සත්ත්සුල නම් නරකයෙහි පා උඩුකොට වැටී මහ දුක් අනුභව කරන්නේය. කලාබු නම් කසී රජ්ජුරුවෝ අවීචි මහා නරකයෙහි ඉපිද මහදුක් විඳින්නාහ. සෘධියෙන් උන් උපන් අපායවල් පෙන්වා නැවත අන්තර්‍ධාන කොට එහෙයින් නුවණැත් අය පින් කිරීමෙන් දෙව්ලොව ඉපිද සම්පත් අනුභව කරන්නේයැයි කියා ප්‍රශ්න විසඳූහ. රජවරුන් තිදෙනාගේ සැක දුරුව ගියේය.

ඉක්බිති ශක්‍රදේවේන්දායන් වහන්ස, අවශේෂ ප්‍රශ්න සතරක් විචාරමියි. විසඳා වදාල මැනවයි කියා, කෙබදු සත්වයා සිල්වතැයි කියත්ද, කෙබඳු සත්වයා නුවණැත්තේ යයි කියත්ද, කෙබඳු සත්වයා සත්පුරුෂ යයි කියත්ද කෙබඳු පුරුෂයා කරා පැමිණි ශ්‍රී තොමෝ ඔහු හැර නොයේදැයි විචාළේය. ශක්‍රයෙනි, යමෙක් තිදොරින් අකුසල් නොකෙරේද එබදු සත්වයා සිල්වත් යයි කියති. යමෙක් ධර්මාවබෝධ කොට අනුන්ට කියන්නට සමත් වේද පාපකර්ම වලින් වෙන්ව දානශීලාදි වූ පින්කම් කෙරේද එබදු සත්වයා නුවණැත්තේ යයි කියති. යමෙක් කළගුණ සලකාද, කළ්‍යාණ මිත්‍රද, දුකේදී පිහිට වේද එබඳු සත්වයා සත්පුරුෂ යයි කියති. යමෙක් සියළු ගුණයෙන් යුක්තද සතර සංග්‍රහ වස්තුවෙන් පුදන පුද්ගලයා කරා පැමිණි ශ්‍රී තොමෝ පලා නොයන්නේ යයි කීහ. එයින් ප්‍රසන්න වූ ශක්‍රදේවේන්දායෝ ස්වාමීනී මේ ධර්ම හතරෙන් කවර ධර්මයක් ශ්‍රේ්ෂ්ඨ වන්නේදැයි විචාළහ. එම්බා ශක්‍රයෙනි, තාරකාවන්ට අධිපති චන්දායා මෙන් නුවණැත්තෝ සියළු ධර්මයන්ට වඩා ප්‍රඥාව ශ්‍රේෂ්ඨ යයි කියති. ස්වාමීනි, තව ප්‍රශ්ණයක් විචාරමි. කවර කුසලයකින් ප්‍රඥාව ලැබේද දැන ගනු කැමැත්තෙමියි කීහ. එවිට තාපයෝ පින්වත් ශක්‍රයෙනි, බහුශ්‍රුත පුද්ගලයින් සේවනය කෙරේද, පාලි උගනීද ගල කෙටූ අකුරක් මෙන් රන් බදුනෙහි වූ සිංහතෙල් මෙන් මනා කොට සුහාෂිතය දරාද අසාද එවැනි සත්ව තෙම් නුවණැති වන්නේය. එසෙම පංචකාමයෙහි නොඇලී ඉන්වෙන් වී ආදීනව දැනගත යුත්තේයයි ධර්ම දේශණා කළහ. එහි පැමිණි රජවරු තිදෙනා ප්‍රධාන පිරිසේ පංචකාම ගුණයන් ප්‍රහීනව ගියහ. ඒ දුටු තාපසයන් වහන්සේ ඔවුන්ට ප්‍රශංසා කොට තොපගේ ඒම සඵල වී යයි කීහ. ඒ පිරිස පරසිත් දත් තිපසයන් ගැන පැහැදී පැවිදිවීමට අවසර ඉල්ලාගෙන එහිම පැවිදිව භාවනා කොට ධ්‍යාන උපදවාගෙන ප්‍රීතියෙන් වාසය කලාහ. ශක්‍රයෝ වැඳ අවසර ගෙන දෙව්ලොවටම ගියහ. එදවස සාලිස්සර, මෙධිස්සර, දේවල, නාරද, අනුශිෂ්‍ය සහ කිසවචිඡ යන ප්‍රධාන අතවැසි තාපසයන් සත්දෙනා පිළිවෙලින් දැන් සැරියුත්, මහා කාශ්‍යප, අනුරුද්ධ, මහා කාත්‍යායන, උපාලි, ආනන්ද සහ මුගලන් යන ශ්‍රාවකයන් වහන්සේලා වූ අතර ශරභඞග ශාස්තෘ වූයේ දැන් ලොවුතුරා බුදුරජාණන් වහන්සේය.