මුල් පිටුව 401 සිට 450 දක්වා 432 චුල්ලබෝධි ජාතකය

432 චුල්ලබෝධි ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ශිලසමාධි ප්‍රඥායෙන් යුක්තවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝපී භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වා වදාළසේ

ඒ කෙසේද යත්

එක් භික්ෂූකෙනෙකුන් වහන්සේ තද රළු පරුෂව කිවන්ගේ බසට කෝපීව වාසයකරන්නේය. සර්වඥයන් වහන්සේ එපවත් දැන වදාරා සැබෑද මහණ තෝ කෝපිව වාසය කරන්නේයයි විචරා වදාරා සැබැව ස්වාමිනි කී කල්හි මහණ තා කෝපයෙන් නැත්තාවූ බුද්ධශාසනයෙහි මහණව කෝපවන්ට කාරණා කිම්ද පෙර උත්තමයෝ බුද්ධශාසනයෙන් පිටත් තාපසභාවයෙහි සිටත් කෝපකළමනා ස්ථානයෙහි කෝපනුවුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් වහන්සේ රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක් බ්‍රහ්මණ කුලයෙක උපන්හ. උන්ට නම් තබන්නාහූ බෝධිසත්ව කුමාරයෝයි නම් තුබූහ. ඒ කුමාරයෝත් වැඩිවිය පැමිණ තක්ලසා නුවර දිසාපාමොක් ආචාරීන් කරා ගොස් උගතමනා ශිල්ප නිමවා ඉගෙණ දෙමව්පියන්ට ශිල්ප පෑවාහ.දෙමව්පියෝත් පුතනුවන් කෙරෙහි සතුටුවු සුදුසු කුලයකින් බිරින්දක් ගෙණවිත් පාවාදෙන්ට උත්සාහ කළාහ. ඒ කුමාරයෝ මට බිරින්දගෙන් කාරිය නැත. මම තපසට යෙමි නොගිවිස්නාහ, දෙමව්පියෝත් උන් නොගිවිස්සත් සමානකුලයකින් කුමාරිකාවක් ගෙණවිත් විවාමගුල් කරවා පාවා දුන්හ. බිරින්ද පාවා දුන් පමණක් විනා කෙළෙස් වසඟයෙන් මූන පමණකුත් නොබලා එකගෙයි වාසය කරන්නාහ. එසමයෙහි දෙමව්පියෝ දෙදෙනාම කාලක්‍රියා කළාහ. බෝධිසත්වයෝ බොහෝ සම්පත් බලා කියන්නාහු මේ සම්පත් තෙපි ඇරගණුවයි බිරින්දට කීහ. කුමාරිකාව කියන්නී ඇයි ස්වාමිනි නුඹ වහන්සේ කොයි වඩනා සේක්ද, මට සම්පත් පාවාගන්ට කියන්නේ යයි කීහ.බෝධිසත්වයෝ කියන්නාහු මම හිමාලයවනයට තපසටයෙමියි කීහ. ඇයි ස්වාමිනි ස්ත්‍රින්ට තපස්කරන්ට නපුරුදැයි විචාළාහ. නපුරු නොවෙයි තොපට පුළුවන්වීනම් තපස්කරවයි කීහ. එවිට දෙන්නම ඒ දෙමව්පියන්ගේ සම්පත් හැර හිමාලයවනයට ගොස් ඍර්ෂිප්‍රවෘජ්ජාවෙන් පැවිදිව දසඅවුරුද්දක් අඛණ්ඩ ශිලය යහපත්ව රක්ෂා කල පමණවිනා පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවාගත නුහුනුවාහ ඇඹුල් ලුනු සෙවුනා පිනිස මනුෂ්‍යපථයට ගොස් බරණැස් රජ්ජුරුවන්ගේ උයණෙහි වාසය කරන්නාහ. ඒ උයන රක්නා උයන්ගොව්වා උයනේ යහපත්වූ පලාඵල ඇරගෙණ රජ්ජුරුවන් කරා ගොස් රජ්ජුරුවන්ට පලාඵල දින රජ්ජුරුවෝ කියන්නාහු එඹල උයන් ගොව්ව අප කීප දවසකින් උයන්කෙළියට එම්හ. උයන යහපත්කොට සරසවයි කීහ.

උයන්ගොව්වාත් යහපතැයි උයනට ගොස් උයන කසලකර සරසාලීය. රජ්ජුරුවෝත් උයනටගොස් උයන්කෙලි කෙළ ඒ ඒ තැන ඇවිදිනාහු තාපසයන් හා පරිවාජිකාවන් දැක වැඳ එකත්පස්ව සිටියාහු පරිව්‍රාජිකාවන් දැක උන්කෙරෙහි පිළිබඳ සිත් ඇතිව පරිව්‍රාජිකාවන් පවත් තාපසයන් අතින් විචාරන්නාහු ස්වාමිනි මේ පරිව්‍රාජීකවන් වහන්සේ නුඹ වහන්සේට කුමක්වන සේක්දැයි විචාළාහ. මහරජ කුමක්වෙද්ද එක්ව තපස් කරණ තැනැත්තෝය. එසේදවුවක් මා ගිහිකල පාදපරිචාරිකාවෝයයි කීහ. එවිට රජ්ජුරුවෝ මේ තාපසයන් වහන්සේ කෝප ඇතිසේක්දෝ නැති සේක්දෝහෝයි පරීක්ෂාකරන්ට උවමැනවැයි සිතා කියන්නාහු තාපසයන් වහන්ස ඉඳින් යමෙක් පරිව්‍රාජිකාවන් වහන්සේ බලයෙන් උදුරාගෙන යන කෙණෙක් වීනම්ද ඇත්නම්ද කෝප ඇද්ද නැද්දැයි විචාළාහ. තාපසයෝ කියන්නාහු මහරජ රහත් නුයේයින් කෝපනැත කියද්ද ඉඳින් කෝපයක් ඇතිවුවත් මම වනාහි ඇවිලෙන ගින්නෙක පැන්කල සලා ගිණි නිවන්නාසේම සන්තානයෙහි කෝපය අඩුකරණ පමණක්විනා අනුන්ට දැනෙන නියායෙන්කෝප නොකෙරෙමි මාගේ ජිවිතය දක්වාත් කෝප නොකෙරෙමියි කීය. රජ්ජුරුවෝත් තමන්ගේ එක්තරා අමාත්‍යයෙකු කැඳවාගෙණ තෙල පරිව්‍රාජිකාවන් ඇරගෙණ රජගෙට ගෙණයවයි කීහ. ඒ අමාත්‍යයාත් පරිව්‍රාජිකාවන් අත අල්වාගෙණ මුරගාවා මෙසේවූ අධර්මයෙක් ඇද්ද මෙසේවූ අධර්මියෙක් මේ ලෝකයෙහි පවත්නා නියායයි කියා මුරගාවා මුරගාවා රජගෙට ගෙණ ගොස්ලීය. තාපසයෝත් කරඹඔසවාලා බැණනොනැගී උන්නාහ. රජ්ජුරුවෝත් කල්යවා එතන නොසිට රජගෙට ගොස් පරිව්‍රාජිකාවන්ට කියන්නාහූ මාගේ සොළොස්දහසක් පුරඟනාවන්ට නායකකොට අගමෙහෙසුන් තනතුරෙහි පිහිටුවාලිම් මේ තපස් කිරීමෙන් කුමණ කාරියෙක්දැයි කීහ. පරිව්ර්‍‍රාජිකාවෝ කියන්නාහු මහරජ තොපගේ සම්පත්තීන් මට කුමණ ප්‍රයෝජනද තපස්කිරීම උත්තමයයි කියා නොගි විස්සාහ. රජ්ජුරුවෝත් ඒ පරිව්‍රාජිකාව නොගිවිස්නා හෙයින් එක්ගෙයක ලවා තාපසයෝ උරණ ඇද්දෝහෝයි නැද්දෝහෝයි පරීක්ෂා කොට උවමැනවැයි තනිව උයනට ගොස් පදසන් නො ඇසෙන නියායෙන් තාපසයන් වසන ස්ථානයට ගියාහ. තාපසයෝ පරණ වල්කලාවක් ඇරගෙණ ගෙත්තම්කරන්නාහු රජ්ජුරුවන් එන නියාව නොදත් හෙයින් බැණනොනැගී උන්නාහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ ඇයි තාපසයන් වහන්ස මාගේ ජිවිතාන්තය දක්වාත් කෝප නොකෙරෙමියි කියාවේද නුඹ වහන්සේ කියේය. මා ඇවිත් සිටිනා මෙතෙක්වෙලා බෑණනොනැගේ කෝප නැත්තෙන්දැයි කීහ. එවිට තාපසයෝ කියන්නාහු මහරජ එවිට උපන්නාවූ කෝපය එවිටම නැඟාවූ ධුලිරැසක් වැසිගිය නිවාපුවාසේම සන්හිඳූවාපිම් කීහ. එවිට රජජුරුවෝ කියන්නාහු තාපසයන් වහන්ස මෙසේවූ කෝපයට අඩුවන්නට කාරනා කිම්දැයි කීහ. තාපසයෝ කියන්නාහු මහරජ දඬුදෙකක් එක්වගෑකල ගිණි වැටෙන්නේය. නැවත ඒ ගිණිදඬුදෙකම දවන්නේය. මහරජ එමෙන් මේ කෝපය ඇතිවූකල එවිටම නිවාපියතොත් විනාකෝපය දිවුනුකල තමාටම ආයසවන්නේය. එසේවූ කොපයවහා නසාපිය යුත්තේ යයි බොහෝ නය දක්වා කෝපයෙන් ආදිනව කීයේය. රජ්ජුරුවෝත් තාපසයන් වහන්සේ විසිෂටකොට කීයන ලද්දාවූ ධම්මයෙහි සතුටුව තමන්වහන්සේ පරිව්‍රාජිකාවන් උදුරාගෙන ගියාවූ මා කෙරෙහි කෝපයක් නොකොට බණ වදාළසේකැයි සතුටුව අමාත්‍යයකු කැඳවා පරිව්‍රාජිකාවන් ගෙන්වා තාපසයන්ට පාවාදී උයනේ වාසය කරණ නියායෙන් ආරාධනා කොට වස්වා උපස්ථාන කළාහ. නොබෝ කලකින් පරිව්‍රාජිකාවෝ මළහ. තාපසයෝත් හිමාලය වනයට ගොස් පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා නොපිරිහුනු ධ්‍යානයෙන් බඹලොව ගියහයි වදාරා මේ චුල්ලබෝධි ජාතකය නිමවා වදාළසේකි. එසමයෙහි පරිව්‍රාජිකාවෝ නම් යසෝධරා ස්ථවිරිය. රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. චුල්ලබෝධි තාපසයෝ නම් බුදුවූ මම්යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.