මුල් පිටුව 51 සිට 100 දක්වා 74 කුද්දාල ජාතකය

74 කුද්දාල ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි ප්‍රඥාවිෂයාතික්‍රාන්තවූ ධර්මකාය ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් චිත්ත හස්ත ශාරී පුත්‍ර ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකයව වදාළ සේක.

ඒ තෙරුන් වහන්සේ නම් සැවැත් නුවර එක් එක් කුලපුත්‍රයානකෙණෙක ඉක්බිත්තෙන් එක් දවසක් ඒ කුලපුත්‍රතෙම සීසාපියා එනතැනැත්තේ විහාරයට වැද එක් තෙරකෙණෙකුන් වහන්සේගේ සිනිදුවූ මිහිරිවූ ප්‍රණීතභොජනයක් ලැබ මෙසේ සිතුයේය. අපි රෑ දාවල් මුළුල්ලෙහි සිය අතින් නොයෙක් කර්මාන්ත කොටත් මෙබදූ වූ මධුරාහාරයක් නොලබම්හ. මාත් මහණවූවොත් යහපතැයි සීතීය. මෙසේ සිතා එ කුලපුත්‍ර මහණව මසක් යෙළමසක් ඇවැමෙන් නුවනින් සිහිනොකොට ක්ලෙශ වසඟව ගිහිව නැවත බත් නොලැබ මිරීකී අවුත් මහණව අභිධර්මය උගත්සේක මෙම ක්‍රමයෙන් සචාරයෙක ගිහිව සත්වෙනිවාරයෙහි මහණව සප්තප්‍රකරණය හදාරා බොහෝ භික්ෂූන් වහන්සේ අභිධර්මය උගන්වා විදර්ශනා වඩා රහත් වූසේක. එකල උන්වහන්සේගේ සහාය භික්ෂූහූ පැවැත්වූ චිත්තනයෙහි කිමෙක්ද තොපට පෙරපරිද්දෙන් දැන් ක්ලේශයෝ නොවසිද්දැයි නින්දා කළසේක. එකල උන්වහන්සේ වදාරණසේක් ඇවැත්නි මම දැන් මෙතැන්පටන් ගිහිවන්ට අයොග්‍යවෙමි කී සේක. මෙසේ උන්වහන්සේ අර්හත් ඵලයට පැමිණිකල්හි ධම්සභා මණ්ඩපයෙහි මෙසේ වූ කථාවෙක් පහළ වූයේය, ඇවැත්නි මෙබඳූ වූ අර්හත් ඵලයට උපනිශ්‍රය ඇතුව තිබියදී ආයුෂ්මත් වූ චිත්ත හස්තශාරිපුත්‍රස්ථිවිරයෝ සචාරයෙක ගිහිවූය. එසේ හෙයින් පෘථග්ජන බව නම් ඉතා මහත්වූ දෝෂ ඇති දෙයකැයි මෙසේ වූ කථාවක් උපදවා උන්සේක. එකල සර්වඥයන් වහන්සේ අවුත් මහණෙනි දැන් කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි දැන්වූ කල්හි මහණෙනි ප්‍රථග්ජන චිත්තය නම් ලඝුය. නිග්‍රහ නොකොට හැක්කේය. ආලම්බන වසයෙන් ගොස් ඇලින්නේය. එක්වරෙක ඇලිගිය සිත වහා මුදාලන්ට නොපිළිවන. එබඳුවූ චිත්තයාගේ දමනය යහපත් වන්නේය. දමනයෙහි ලනලද්දාවුම චිත්තය සැප ඵලවන්නේ. යම්බඳු වූ චිත්තයකට නිග්‍රහකොට ගතනුහුණු බැවින් පෙර නුවනැත්තෝ එක් උදලුකෙටියක් නිසාම ඒ උදලු හැරපිය නොහි ලෝභවශයෙන් සචාරයෙක ගිහිව සත්වෙනි වාරයෙහි පැවිදිව ධ්‍යාන උපදවා ලොභයට නිග්‍රහකළෝමවේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණලද බෝධිසම්භාර ඇති අප මහාබෝසතානෝ ඵලාදිය විකුණන්නාවූ කුලයක ඉපිද විඤඤූ බවට පැමිණියෝය. කුද්දාපණ්ඩිතයෝ යයි ඔවුන්ට නම් තුබූයේය. ඒ බෝධිසත්වයෝ උදැල්ලෙන් බිම කොට ඵල හා ලබු කොමඩු කැකිරි ආදිය රෝපනය කොට ඒ ඵලාදිය විකුණමින් දුක්ඛ ජීවිකාවෙන් ජීවත්වෙති ඒ බෝධිසත්වයන්ට උදලු කෙටිය හැර අනික් වස්තුවක් නැත්තේය. ඒ කුද්දාල පණ්ඩිතයෝ එක් දවසක් මෙසේ සිතූහ. මට ගිහිගෙයි විසීමෙන් ප්‍රයෝජන කිම්ද. මේ ගිහි ගෙන් නික්ම මහණවෙමි සිතූහ. ඉක්බිත්තෙන් එක් දවසක් උදලුකෙටිය සඟවා තබා සෘද්ධි ප්‍රවෘජ්ජාවෙන් පැවැදිව උදලුකෙටිය සිහි කොට ලොභය සිඳගත නොහී කෙටි උදැල්ල නිසා නැවත නැවත ගිහිවූයේය. මෙසේ දෙවෙනිවාරය තුන් වෙනි වාරයයි මෙසේ සචාරයෙක උදලුකෙටිය සඟවා තබා මහණත් වූහ. ගිහිත් වූහ. සත්වෙනිවාරයෙහි මහබෝධිසත්වයෝ සිතන්නාහු මම මේ කෙටි උදැල්ල නිසා නැවත නැවත ගිහිවිමි දුන් ඒ උදලු කෙටිය මාහාගංගාවට දමාපියා මහණවෙමි ගන්තෙරට ගොස් ඉදින් උදලුකෙටිය හුණු තැන් දුටුයේ වීන් නම් නැවත අවුත් ගොඩනගාගන්ට සිතිවිලි උපදනේයයි උදලුකෙටිය මිට අල්වා ගෙණ ඇත්බල හා සමාන බල ඇති බෝධිසත්වයෝ ඉසවට තුන්විටක් සිසාරා ඇසපියා ගෙණ ගංගාව මධ්‍යයට දමා ජයගතිමි ජයගතිමි කියා තුන්වරක් සිංහනාද කළෝය. එකෙණෙහි බරණැස් රජ්ජුරුවෝ පසල් දනව්වට සෙමෙහි තබා තනතැනැත්තෝ ගහවෙහිදි ඉස හා සමග ජලස්නානය කොය ස්වර්ණාභරණයෙන් සැරහී ඇත්කඳක් මත්තෙන් යමින් හිඳ බෝධිසත්වයන්ගේ ජයශබ්දය අසා මේ පුරුෂයා ජයගතිමි කියන්නේ මොහු විසින් කවරෙක් ජයගන්නා ලද්දේ දැයි ඔහු කැඳවා විචාරවයි බෝධිසත්වයන් කැඳවා ගෙන්වා ගෙණ පින්වත් වූ පුරුෂය. මම වූ කලී විජිත සංග්‍රාම ඇත්තෙමි, දැන් ජය ගෙණ එමි. තා විසින් ජයගන්නා ලද්දේ කවරෙක් දැයි විචාලෝය.

එසේ ඇසූ බෝධිසත්වයෝ කියන්නාහු මහරජ්ජුරුවෙනි යුද්ධ දහසකුත් යුද්ධ ලක්ෂයකුත් ජයගත්තාවූ තොප විසින් කෙලෙසුන් ජයනොගත් බැවින් ජය නොගෙන ලද්දේය. මම වූ කලී මාගේ අභ්‍යන්තරයෙහි ලෝභයට නිග්‍රහ කොට කෙලෙසුන් ජයගතිමියි කියමින් සිටම මහත් වූ ගංගාව බලා අපොකසිණය අරමුනු කොට ඇති ධ්‍යානය උපදවා පංඤචාභිඤා අෂ්ට සමාපත්ති උපදවා ආකාශයෙහි හිඳ රජ්ජුරුවන්ට ධර්මදේශනා කරන්නාහූ මෙසේ කිවුය. පසමිතුරන් පරාජය කොට රාජ්ජය ලැබ නැවත ඒ සතුරන් විසින් ජයගත යුතු හෙයින් ඒ යුද්ධයෙන් ලබන්නාවූ ජය අගපත් වූ ජයක් නම් නොවයි. කුමක් හෙයින් ද යත්?. නැවත සතුරන් විසින් ජයගතයුතු හෙයින් කෙලෙස් නැමති පසමිතුරන් පරාජය කොට මැඩ ජයගැන්මක් නැතිහෙයිනැයි එසේ හෙයින් මහරජ්ජුරුවෙනි තෙපි දහසක්වර ලක්ෂයක් වර යුද්ධ ජය ගෙණ තොපි සංග්‍රාම යෝධයෝ නම් නොවව්. කුමක්හෙයින්ච තොපගේ කේලේශයන් ජයනොගත් හෙයින් යහෙක් වනාහි තමාගේ අභ්‍යන්තරයෙහි ක්ලේශයන් ජයගනී නම් ඒ තෙමේ උත්තම වූ සංග්‍රම ශිර්ෂයෙහි යෝධනම් වන්නේයයි ආකාශයෙහි හිඳ මෙසේ සර්වඥවිලාශයෙන් ධර්මදේශනා කලෝය. මෙසේ රජ්ජුරුවෝ ධර්මය අසමින් සිටියදීම තදඟ ප්‍රභාණවශයෙන් ක්ලේශයෝ ප්‍රහීන වූහ. ප්‍රවෘජ්‍යාවට සිත නැමුනෝය. රජ සෙනඟටත් එසේම ක්ලේශයෝ ප්‍රහීනවූහ. මහරජ්ජුරුවෝ දැන් නුඹ වහන්සේ කොයි යන්සේක් දැයි බෝධිසත්වයන් විචාළෝය. හිමාලය වනයට වැද ඍද්ධි ප්‍රවෘජ්ජාවෙන් පැවිදිවෙමි මහරජ්ජුරුවෙනි කිවුය. එසේ වීනම් මමත් මහණ වෙමි කියා බෝධිසත්වයන් සමඟ නික්මුණාහ. සේනාව බ්‍රහ්මණ ගෘහපතිහූය ඇති නායකවරුය යන සියල්ලෝම ඒ ස්ථානයෙහි රැස්වූය ජන සමූහයෝ රජ්ජුරුවන් සමඟ නික්මුනාහුය. බරණැස්නුවරවාසී මනුෂ්‍යයෝ අපගේ රජ්ජුරුවන් වහන්සේ කුද්දාල පණ්ඩිතයන්ගේ ධර්මදේශනාව අසා මහණවනු කැමතිව සේනාව හා සමග නික්මුන සේක. එසේ හෙයින් අපි මෙතන කුමක් කරමෝදැයි දෝළොස් යොදුනක් පමණ ඇති බරණැස්නුවර සියලු නුවරවාසි සත්වයෝ නික්මුණාහුය. දොළොස්යොදුනක් පමණ පර්ෂිද වුයේය. ඒ පර්ෂිත් ගෙණ බෝධිසත්වයෝ හිමාලයවනයට වන්නාහුය. ශක්‍රදේවේන්ද්‍රයන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය බෝධිසත්වයන්ගේ ආනුභාවයෙන් උෂ්ණාකාර දැක්වූයේය. ඒ ශක්‍රදේවේනද්‍රයෝ කිමෙක්දෝහොයි පරීක්ෂා කරන්නාහු කුද්දාල පණ්ඩිතයෝ මහබිනික්මන් නික්මුණාහුයයි දැක මහත් ජයසමාගමක්වන්නේය. එසේ හෙයින් උන්ට වසනතැනක් උවමැනවයි සිතා විස්ව කර්මයා කැඳවා දරුව කුද්දාල පණ්ඩිතයෝ මහබිනික්මන් නික්මුනාහුය. වසනතැනක් ලබන්ට වටනේ, තෙපි හිමාලවනයට ගොස් සමවූ භූමිප්‍රදේශයක දිගින් තිස්යොදනක් හා පුළුලින් පසලොස් යොදුනක් හා පමණ ඇති ආශ්‍රම ප්‍රදේශයක් මවයි කිවාහුය. ඒ ඇසූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා යහපත ස්වාමීනි ගිවිස එහි ගොස් එපරිද්දෙන්ම කෙළේය. තවද විශ්වකර්ම දිව්‍යපුත්‍රයාත් ආශ්‍රම ප්‍රදේශයේ පන්සල මවා භය ජනක ශබ්ද පවත්වන්නාහු දුෂ්ටමෘගයන් පක්ෂින් අමුනුෂ්‍යයන් දුරුකොට ඒ දිසා භාගයෙන් එක්පියවරක් ඇති මාර්ගයක් දක්වා තමන් වසන්නා වූ ස්ථානයටම ගියේය. කුද්දාල පණ්ඩිතයෝ ඒ පර්ෂිත් ඇරගෙණ හිමාලවනයට වැද ශක්‍රදේවේන්ද්‍රයන් විසින් දෙනලද ආශ්‍රම ප්‍රදේශයට ගොස් විශ්වකර්ම දිව්‍යපුත්‍රයා විසින් මවන ලද තවුස්පිරිකර ගෙණ පළමු තුමූ පැවිදිව පසුව පර්ෂිත් පැවැදිකොට ආශ්‍රම ප්‍රදේශය බෙදා දුන්නාහුය. සත්රාජ්‍යයක රජදරුවෝ තමන්ගේ රාජ්‍යය හැර බෝධිසත්වයන් සමීපයට අවුත් තාපසප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වූහ. තිස්යොදුනක් පමණ අසපු පිරිගියේය. කුද්දාල පණ්ඩිතයෝ අවශේෂ කසීපණයෙහිත් පරිකර්ම භාවනාකොට බ්‍රහ්මවිහාරයන් වඩා පර්ෂිද හැමටම කමටහන් කීවාහුය. ඇමදෙනාම පංචාභිඡා අෂ්ටසමාපත්තිලාභිව බ්‍රහ්ම විහාරයන් වඩා බ්‍රහ්මලෝකයෙහි උන්නාහුය. යම් සත්වකෙනෙක් ඒ තපස්වීවරයන්ට අත්පාමෙහෙවර උපස්ථාන කළාහු නම් ඔහු හැමදෙනම දිව්‍යලෝකයෙහි උපන්නාහුය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මහණෙනි මෙසේ මා චිත්තය ක්ලෙශවශයෙන් ඇලී ගියේ නම් මුදාලිය නොහැක්කේය. උපන්නාවූ ලෝභධර්මයෝ දුරුකොට ලිය නොහැක්කාහුය. මෙබඳූ නුවනැත්තන් පවා ඒ ලෝභධර්මයෝ අඥාන කොට පුවෝවවුදැයි මේ ධර්මදේශනාව ගෙන හැර දක්වා වදාරා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළසේක. චතුරාර්ය සත්‍යයයාගේ කෙළවර සමහර කෙණෙකුන් වහන්සේ සෝවාන් පෙළෙහි පිහිටිසේක. සමහර කෙණෙකුන් වහන්සේ සකෘද්ධාගාමී පෙලෙහි පිහිටිසේක. සමහර කෙණෙකුන් වහන්සේ අනාගාමී ඵලයෙහි පිහිටිසේක. සමහර කෙණෙකුන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටිසේක. සර්වඥයන් වහන්සේත් පූර්වාපර සන්ධි ගළපා මේ කුද්දාල ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන් ස්ථිවිරයෝය. එසමයෙහි පර්ෂිත් නම් දැන් බුදු පිරිසය. එසමයෙහි කුද්දාල පණ්ඩිතයෝ නම් දැන් තිලොගුරු සම්‍යයක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.