මුල් පිටුව 51 සිට 100 දක්වා 72 අන්‍ධභූත ජාතකය

72 අන්‍ධභූත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් සමයෙක්හි සර්වත්තෝත්තම වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙර වැඩ වසන සේක් උකටලී වූ භික්ෂූවක් හූ අරභයා මේ ජාතකය වදාළසේක.

සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූහට සැබෑද මහණ තෝ උකටලී වුයෙහිදැයි වදාරා සැබෑව ස්වාමීනි කී කල්හි මහණ ස්ත්‍රීහූ නම් රැක්ක නොහැක්කාහුය. පෙර නුවනැත්තෝ ස්ත්‍රියක ගර්භයෙහි පටන් රක්නාහු රැකගත නුහුනුවෝම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණ ලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතානෝ ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ වැඩිවිය පැමිණ සියලු සිල්පයෙහි නිස්පත්තියට පැමිණ පියරජ්ජුරුවන්ගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමෙන් රාජ්‍යය කරන්නාහුය ඒ බෝධිසත්වයෝ පුරෝහිත බ්‍රහ්මණයා හා සමඟ දුකොළනාහූය කෙළෙමින් හිඳ.

සබ්බානදී වංකගතා සබ්බේ කට්ඨමයා වනා

සබ්බිත්තියෝ කරේපාපං ලභමානාති වාතකෙ.

යනමේ දූත ගීතිකාව කියමින් රිදිපෝරුවෙහි රන්පස ඇට දමන්නාහුය. මෙසේ කෙළනාවූ ඒ රජ්ජුරුවෝ නිරන්තරයෙන් දිනති. පුරෝහිතයා පරදනේය. ඒ පුරෝහිත බ්‍රාහ්මණයා ක්‍රමයෙන් තමාගේ ගෙයි සම්පත් නිමන්ට පටන්ගත්කල්හි මෙසේ සිතුයේය. මෙසේ නිරතුරුවපැරදීම ඇතිකල්හි මාගේ මේ ගෙයි සියලු ධනය ක්‍ෂයවන්නේය පුරුෂාන්තරයට නොගියවූ එක් ස්ත්‍රියෙක සොයා ගෙයි වාසයකරන්නෙමි සිතීය. තවද ඕහට මෙසේ වූ සිතිවිල්ලෙක් විය. අන්තපුැෂයෙකු නුදුටුවාවූ ස්ත්‍රියෙක රක්නට නොපිළිවන ගර්භයෙහි පටන් එක්ස්ත්‍රියෙක රැක ඈ වැඩිවිය පැමිණිකල්හි මාගේ වසඟයෙහි තබා එක් පුරුෂ යෙක්හටම නියතකොට තරකොට රැකවල්ලා රජ්ජුරුවන් වහන්සේගෙන් වස්තු ගෙණගියේවිනම් යහපතැයි සිතීය. ඒ බ්‍රාහ්මණ තෙමේත් අඟපසඟ ලකුණු දැන්මෙහි සමර්ථය ඉක්බිත්තෙන් ඒ තෙමේ දුක්පත්වූ ස්ත්‍රියක ගර්භනී නියාව දැක දුවක වදන්නීයයි දැන ඈ කැඳවා සමීපයට ගෙන්වාගෙන වැටුප් වියදන් දී ගෙහිම වස්වා වැදූකල්හි ඈට වස්තු දී යවා ඒ කුමාරිකාව අන්තපුරුෂයකු දැක්කනොදි ස්ත්‍රින් අතටම දී පෝෂ්‍යකරවා වැඩිවිය පැමිණිකල්හි ඒ කුමාරිකාව තම වසඟයෙහි තුබුයේය. යම් පමණ කලෙකින් ඒ කුමාරිකාව වැඩේ නම් ඒ තාක්කල් මුලුල්ලෙහි රජ්ජුරුවන් හා සමග දූ නොකෙළියේය ඒ ස්ත්‍රිය තමා වසඟයෙහි තබා පසුව මහරජ්ජුරුවන් වහන්ස දුකෙළුම්හයි කියේය රජ්ජුරුවෝ යන පතැයි කියා පළමු පරිද්දෙන්ම දූ කෙළියාහුය. පුරෝහිත බ්‍රාහ්මණයා රජ්ජුරුවන් ගායනාකොට පසඇට දමණකල්හි මාගේ ස්ත්‍රිය ඇර ගායනා කළමැනවයි කීය එතැන්පටන් පුරෝහිත බ්‍රහ්මණයා දිනන්නේය, රජ්ජුරුවෝ පරදිති බෝධිසත්වයෝ මොහුගේ ගෙයි පතිව්‍රතා ධර්මය රක්ෂාකරන්නාවූ එක් ස්ත්‍රියක් වියයුතුයයි පරික්ෂාකරණ තැනැත්තෝ ඇතිනියාව දැන් ඈගේ පතිව්‍රතා ධර්ම සංඛ්‍යාත වූ සීලය බිඳූවමි සිතා එක් ධූර්තියෙක් කැඳවා ගෙන්වා ගෙණ පුරෝහිතයන් ස්ත්‍රියගේ පතිව්‍රතා ධර්මය බිඳපියන්ට පිළිවන්දැයි කිවුය. පිළිවන ස්වාමීනි කී කල්හි ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ ඕහට වස්තු දී එසේ වී නම් වහා ඒ කාර්යය නිෂ්ටා කරවයි කියා ඒ ධුර්තියා යැවුය. ඒ ධුර්තිතෙම රජ්ජුරුවන් සමීපයෙන් වස්තු ඇරගෙණ සුවඳසුනු කපුරුතකුල් ආදී වූ සුවඳ බඩුගෙණ ඒ පුරෝහිත බ්‍රාහ්මණයාගේ ගෙට නුදුරුතැන සියළු සුවඳ බඩුයෙන් සල්පිලක් සැදුයේය. පුරෝහිත බ්‍රාහ්මණයාගේත් ගෙය සත්මාලක් සත් දොරටුවක් ඇත්තේය. හැමදොරටුවලම ස්ත්‍රීන්ගෙන් රැකවල් වන්නේය. පුරෝහිත බ්‍රහ්මණයා හැර අන්පුරුෂයෙක් ගෙට වදනට අසමර්ථ වන්නේය. කසල දඹන්නා වූ පෙට්ටියත් බලා පරීක්ෂා කොටම ඇතුල් ගෙට ගන්නාහුය. ඒ මාණවිකාව පුරෝහිතයාම දක්නේය. අන්පුරුෂයෙක් නොදක්නේ. එකල ඒ ස්ත්‍රියගේ එක් පරිවාරිකා ස්ත්‍රියක් සුවඳ මල් ආදියට මිළ ඇරගෙණ යන්නී එම ධුර්තියාගේ සල්පිල සමීපයෙන් යන්නීය. එකල ඒ ධුර්තියා මෝ තෝමෝ පතිව්‍රතා ධර්මය රක්ෂාකරන්නාවූ ස්ත්‍රියගේ පරිවාරිකා ස්ත්‍රියෙකැයි නියමයෙන් දැන එක් දවසක් ඒ පරිවාරිකා ස්ත්‍රිය එන්නවුන් දැකලාම සල් පිළින් නැගී සිට ගොස් ඈ පාමුල වැටී හි දෑතින් දෙපයතරකොට අල්වාගෙණ මෑනියෙනි මෙතෙක්දා මුළුල්ලෙහි කොයිගියෝදැයි කියා ඇඬුයේය. එකල අවශේෂ වූ ඕහට සහාය වූ ධූර්තියෝත් එක්පසෙකසිට අතපය මුව සටහන්නුත් ගමණාගමණ ආදීවූ ආකල්පයෙනුත් මෑනියන් හා පුතනුවෝ එක සැටියෝමයයි කිවාහුය. ඒ ස්ත්‍රී ඒ ඒ බොහෝ දෙනා මෙසේ කියන්ට වන් කල්හි තොමෝද අදහාගෙණ මේ මාගේ පුත්‍රයෙක්වනැයි තෝමෝත් අඬන්ට පටන්ගත. ඔහුදෙදෙනාම අඬා වැලප ඔවු නොවුන් වැලඳ සිටියාහුය. ඉක්බිත්තෙන් ඒ දූර්තිතෙම මෑනියෙනි දැන් තෙපි කොයි වැලඳ සිටියාහුය. ඉක්බිත්තෙන් ඒ ධුර්තිතෙම මෑනියෙනි දැන් තොපි කොයි යවුදැයි කියේය.

පරිවාරිකා ස්ත්‍රී කියන්නී කින්නරාඟනාවකගේ විලසබඳූවූ විලස්ඇති රූපයෙන් අග්‍රප්‍රාප්ත වූ පුරෝහිත බ්‍රාහ්මණයානන්ගේ ලදරු ස්ත්‍රියට උපස්ථාන කෙරෙමින් වෙසෙම් කිවුය. දැන් මෑනියෙනි කොයියවුදැයි ධුර්තියා විචාලේය. ඒ කුමාරිකාවන්ට සුවඳ මල් ආදීය ගන්නා පිණිසයෙමි කී කල්හි මෑනියෙනි අනික් තැනකට යාමෙන් ප්‍රයෝජන කිම්ද මෙතැන් මා සමීපයෙන්ම සුවඳ මල් ගෙණවයි කියා මිළ නොගෙණ බොහෝ බුලත් තකුල් කපුරු ආදිය හා නොයෙක් සුවඳමල් ආදිය දුන්නේය. ඒ සුවඳ මල් ආදිය ඇරගෙණ පරිවාරිකා ස්ත්‍රිය ගෙට ආ කල්හි මානවිකාතොමෝ බොහෝ සුවඳ මල් ආදිය දැක කීමෙක්ද මෑනියෙනි අද අපගේ බමුණානෝ අප කෙරෙහි ප්‍රසන්නවුදැයි කිව, කවර කාරණයකින් මෙසේ කියන සේක්දැයි පරිවාරිකා ස්ත්‍රිය කී කල්හි මේ සුවඳ මල් ආදිය බොහෝනියාව දැකයයි කිවුය. එකල පරිචාරිකා ස්ත්‍රීය කියන්නී පුරෝහිතයානන් වහන්සේ සුවඳ මල් ආදියට බොහෝ මිළ නුදුන් සේක. මා විසින් වනාහි මේ සුවඳ මල් ආදිය මාගේ පුතනුවන් සමීපයෙන් ගෙණනලදැයි කිව, මෙසේ කියා එතැන්පටන් බමුණානන් දුන් මිළ තොමෝ ඇරගෙණ ඒ ධුර්තියාගෙන්ම සුවඳ මල් ආදිය ගෙණන්නීය. ඒ ධුර්තියා කීපදවසක් ගියකල ගිලන් ආකාරයක් දක්වා වැද හොත්තේය. ඒ පරිචාරිකා ස්ත්‍රී තොමෝ ඔහුගේ සල්පිලට ගොස් ඒ ධුර්තියා නොදැක මාගේ පුතනුවෝ කොයිදැයි විදාළිය. ගෙයිසිටි මනුෂයෝ කියන්නෝ තොපගේ පුතනුවන් ඇඟට ආළුසුවෙක් බලවතැයි කිවුය. එබස් ඇසූ පරිචාරිකා ස්ත්‍රී ඔහු වැදහොත්තෙනට ගොස් හිඳ පිට පිරිමදින්නී පුත තොපට ආළුාසු කවරේදැයි විචාළිය. හෙතමමුවෙන් නොබැණ වැදහොත්තේය. පුත බෑණනොනැගෙන්ට කාරණා කිම්දැයි විචාළකල්හි මෑනියනි මියෙත් තොපට කියන්ට නොපිළිවනැයි කියා මට නොකියා පුත කවුරුන්ට කියව්දැයි කී කල්හි මෑනියෙනි මට අනික් අළුවාසුවෙක් නැත. ඒ තරුණ මාණවිකාවයේග වර්ණ සෞන්දර්යය අසා පිළිබඳසිත් ඇතිවීම් ඒ මාණවිකාව ලද්දෙම් විනම් ජිවිතය තිබෙයි නොලද්දේ වීනම් මෙතැන්හිම මියන්නෙම් වේදැයි කීහ. පරිචාරිකා ස්ත්‍රී කියන්නී පුත මට ඒ භාරය තෙපි ඒ මාණවිකාව නිසා සිතිවිලි නොකරවයි කියා ඔහු අස්වසා බොහෝ සුවඳ ආදිය ගෙණ මාණවිකාව සමීපයට ගොස් කියන්නී මෑනියෙනි මාගේ පුත්‍රයා මාගෙන් තොපගේ ගුණ අසා පිළිබඳ වූ සිත් ඇතිවිය. කුමක් කටයුතුමෝදැයි කිව, ඉදින් කැඳවාගෙණ එන්ට සමර්ථයෝ වී නම් අපගෙන් අමුතුකවරේදැයි කිය, පරිවාරිකා ස්ත්‍රී මාණවිකාවගේ බස් අසා එතැන් පටන් ඒ ගෙයි කොන් කොන් වලින් බොහෝකසල එක්කොට මල්ගෙණෙන පෙට්ටියෙ ලාගෙණ යන්නී පෙට්ටිය පරීක්ෂා කරණ වෙලෙහි රැකවල් සිට ස්ත්‍රියගේ ඉසට දමන්නීය. ඒ රැකවල්සිටි ස්ත්‍රී ඇඟට කසලදැමීමෙන් පිළිකුල්ව ඉවත්වන්නීය. ඒ පරිචාරිකා ස්ත්‍රීතොමෝ මෙම ක්‍රමයෙන් යමක් යමක් කිසිවක් කියානම් ඒ ඒ ස්ත්‍රිය ඉසමත්තට කසල දමන්නීය එතැන් පටන් පරිචාරිකා ස්ත්‍රිය යමක් ඇතුලෙන් ගෙණතත් පිටතින් ඇතුලට ගෙණෙතත් කිසි ස්ත්‍රියක් ඒ ගෙණෙනදෙය පරික්ෂාකරන්නට උත්සාහ නොකරන්නීය. එකල්හි ඒ ස්ත්‍රී ධුර්තියා මල් ගෙණන පැස ඇතුලේ ලාගෙණ මාණවිකාවගේ සම්පයට ගෙණ ගියාය.ධ්ර්තිකාව මාණවිකාවගේ ශිල භේදකොට එක්දවසක් ප්‍රාසාදයෙහි විසුයේය. පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් බැහැර ගිය කල්හි දෙදෙනාම අභිරමණ අභිරමණය කෙරෙති ඔහු ආකල්හි ධූර්තියා සැඟවෙන්නේය. ඉක්බිත්තෙන් ඒ මාණවිකාතොමෝ එක් දෙදවසක් ගියකල්හි පුරුෂය තොප දැන් යන්ට වටනේයයි කිව, එබස් ඇසූ ධූර්තියා කියන්නේ මම බමුණානනිට පහරක් ගසා යනු කැමැත්තෙමි කීය, මාණවිකා තොමෝ එසේ වීනම් වන්නාටයයි ධූර්තීයා සඟවා හිඳුවා බමුණා ගෙට ආ කල්හි මෙසේ කීව, ස්වාමීනි මම නුඹ වහන්සේ වීණාගායනා කරණ කල්හි නටනු කැමැත්තෙම් කීව, යහපත සොඳුර නටවයි කියා බමුණා වීණාගායනා කරන්ට පටන් ගත්තේය. එකල මානවිකා කියන්නී නුඹවහන්සේ බලාහිදිද්දී නටන්නට ලජ්ජා ඇත්තේමි. එසේ හෙයින් නුඹ වහන්සේගේ මූණ කඩ කින් වසා බැඳ නටමි කිව, එබස් ඇසූ බමුණා ඉදින් තෙපි ලජ්ජාව වී නම් එසේ කරවයි කීය. එකෙණෙහි මාණවිකා ඝනවූ වස්ත්‍රයක් ගෙණ ඒ බමුණාගේ ඇස්දෙක වසා මුහුණ බැන්දීය, මුහුණු කඩින් මුහුණ බඳවාගෙණ වීණාගායනාකරන්නට පටන්ගත. ඒ මාණවිකාතොමෝ මද ඇසිල්ලකින් නටාපියා කියන්නී ස්වාමීනි මම නුඹ වහන්සේගේ හිසට එකවිටක් ඇනපියන් නා කැමැත්තෙමි කිව, ස්ත්‍රිය කෙරෙහි ලොල් වූ බමුණා කිසි කාරණයක් නොදැන පැහැර පියයි කිය, එකෙණෙහි මාණවිකා ධූර්තියාට ඉඟිකළාහුය, ධූර්තිතෙමේ සෙමෙන් සෙමෙන් අවුත් බමුණාගේ පිටිපස්සෙහිසිට ඉස වැලමිටෙන් ඇන්නේය. එකෙණෙහි ඇස්පිටපලායන්නාක් මෙන් විය. හිස ගැටක් පැනනැංගේය. ඒ බමුණා වේදනාවෙන් පිඩීතව තිගේ අත මෙසේ ගෙණෙවයි කිය,මාණවිකා තමාගේ අත ඔසවා බමුණාගේ අත මත්තෙහි තිබූය. බමුණා කියන්නේ තීගේ අත මොලොක පහරවූකලි ඉතාම තදයයි කීය. ධූර්තියා බමුණාට ඇණපියා සැඟවුනේය. මාණවිකා ඔහු සැඟවීගිය කල්හි බමුණා මුහුණින් වස්ත්‍රය මුදා හෙලා තෙල් ගෙණවුත් හිස ගැට නැගිතෙන ගා මැඩ සන්තර්පණය කළාය. බමුණා ගෙන් බැහැර ගිය කල්හි නැවත ඒ පරිචාරිකා ස්ත්‍රී ධූර්තියා පැසලාගෙණ පිටත් කළාය. ඉක්බිත්තෙන් ඒ ධූර්තියා රජ්ජුරුවන් සමීපයට ගොස් ඒ සියළු පවත් කියේය. රජ්ජුරුවෝ තමන්ට සේවයට ආවාවූ පුරෝහිත බ්‍රාහමණයා දැක බමුණානෙනි දු කෙළිමෝදැයි කිවුය. යහපත රජ්ජුරුවන් වහන්සැයි කී කල්හි රජ්ජුරුවෝ දූත ශාලාව සරහා පළමු පරිද්දෙන්ම දූත ගීතිකාවන් කියා පස ඇටදැමූය. බමුණා මාණවිකාවගේ තපස් බිඳිගියබව නොදැන මාගේ මාණවිකාව හැර ගායනා කළමැනවැයි කීය. මෙසේ කියන්නාවූන් බමුණා පරුද්දේය. එකල්හි රජ්ජුරුවෝ ධූර්තියාගෙන් තමා මාණවිකාව පවත් අසා දත්හෙයින් කියන්නෝ බමුණ මාණවිකාව තබන්නට කුමට කියයිද තාගේ මාණවිකාවගේ තපස් බිඳි ගියේය. තෝ මගම ගර්භයෙහි පටන් රැකගත් තැනක රැකවල්ලා රැක්කගත හෙමියි සිතුයෙහිය. ස්ත්‍රීන් නම් බඩ ඇතුලේ ලාගෙණ ඇවිදිදත් රක්නටනොපිළිවන මේ ලෝකයෙහි එක්පුරුෂයෙකුම පතා පතිව්‍රතා ධර්මය රක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් නැත තාගේ මාණවිකාව නටනු කැමැත්තෙමි කියා වීනාගායනා කරන්නාවූ තාගේ මුහුණ වස්ත්‍රයකින් වසා බැඳ තමාගේ චෞර පුරුෂයා ලවා තාගේ හිස වැලමිටින් අන්නවා යවුය දැන් තෝ දූ කෙළිමින් හිඳ මාගේ ස්ත්‍රිය තබා දූත ගීතිකාව ගායනා කළ මැනවයි කුමක් පිණිස කියන්නෙහිදැයි මෙසේ මහබෝසතානෝ බමුණාට ධර්මදේශනා කළෝය.

එකල්හි බමුණා බෝධිසත්වයන්ගේ ධර්මදේශනාව අසා ගෙටගොස් ඒ මාණ විකාවට කියන්නේ තී විසින් මෙබඳූ පාප කර්මයක් කරණ ලදදැයි කීය. ස්වාමින් ඒ කිවෝ කවුරුද නොකෙළමි මම මා අතින් ඇන්නෙමි අනික් නුඹ වහන්සේගේ හිසට ඇනි කෙනෙක් නැත. ඉඳින් නුඹ වහන්සේ මා කීවා නොඅදහන සේක් වී නම් මම නුඹ වහන්සේ ඇර අන් පුරුෂයෙකුගේ මා අත ඇල්ලීම් පමණකුත් නොදනිමියි සත්‍ය ක්‍රියා කොට ගිනිවැද නුඹ වහන්සේ අදහවමියි කීව.

එකල්හි බමුණා බෝධිසත්වයන්ගේ ධර්මදේශනාව අසා ගෙටගොස් ඒ මාණ විකාවට කියන්නේ තී විසින් මෙබඳූ පාප කර්මයක් කරණ ලදදැයි කීය. ස්වාමින් ඒ කිවෝ කවුරුද නොකෙළමි මම මා අතින් ඇන්නෙමි අනික් නුඹ වහන්සේගේ හිසට ඇනි කෙනෙක් නැත. ඉඳින් නුඹ වහන්සේ මා කීවා නොඅදහන සේක් වී නම් මම නුඹ වහන්සේ ඇර අන් පුරුෂයෙකුගේ මා අත ඇල්ලීම් පමණකුත් නොදනිමියි සත්‍ය ක්‍රියා කොට ගිනිවැද නුඹ වහන්සේ අදහවමියි කීව.