මුල් පිටුව 51 සිට 100 දක්වා 71 අසාත මන්ත ජාතකය

71 අසාත මන්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් සමයෙක්හි ස්වධර්මයෙහි අප්‍රතිහතවූ ඥානාචාර ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක් උකටලී වූ භික්ෂුවක් හු අරභයා මේ ජාතකය වදාළ සේක.

මෙහි වර්ථමාන කථාව උම්මදනති ජාතකයෙහි මතු පහළ වන්නේය.සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූහට මහණ මේ ලෝකයෙහි ස්ත්‍රීහූ නම් දුක්ඛයට වස්තූහූය. අසත්පුරුෂයෝය, ලාමකයෝය, අන්තිමයෝය, තෝ එබඳූ ලාමක ස්ත්‍රියක නිසා කවර කාරණයකින් උකටලීවූයෙහිදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරණ කල්හි අප මහාබෝසතානෝ ගන්ධාර රට තක්ෂලා නුවර බ්‍රාහ්මණ වංශයෙහි ඉපිද නුවණැති බවට පැමිණ වේදත්‍රයෙහිත් සියළු සිල්පයෙහිත් නිමාවට පැමිණ දිසාපාමොක් ආචාරීවූය.එසමයෙහි බරණැස්නුවර බ්‍රහ්මණ කුලකයක පුත්‍රයෙකු උපන් දවස්ම ගිනිගෙණ නොනිවාතිබුය. ඉක්බිත්තෙන් ඒ බ්‍රාහ්මණ කුමාරයා සොළොස්ඇවිරිදි වයසට පැමිණි කල්හි දෙමව්පියයෝ මෙසේ කිවුය, පුත අපි තොප උපන් දවස්ම ගිනිගෙණ තිබූම්හ, ඉදින් තෙපි බ්‍රහ්මලෝකයෙහි උපදනා කැමැත්තාහුවිනම් ගිනිගෙණ වලටවැද ගිනිදෙවියාට නමස්කාර කෙරෙමින් බ්‍රහමලෝක පරායනවව ඉදින් ගිහිව වසනු කැමැත්තාහුවිනම් තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප ඉගෙණ කුටුඹ ඝණ්ඨාපනය කරවයි කිවුය. මාණවකයා කියන්නේ මම වලගිනි පරිහරණය කරන්නට අසමර්ථියෙමි කුටුඹඝණඨාපණය කෙරෙමියි කියා දෙමාපියන් වැඳ ආචාර්යය කොට්ඨාසයයි කියන ලද මස්සෙන් දහසක් ගෙණ තක්සලා නුවරටගොස් ශිල්ප ඉගෙණ පෙරලා ආයේය. ඔහුගේ දෙමාපියෝ ගිහිගෙයි විසීමට නොකැමැත්තාහුය. වනහේ හිඳ ගිණිදෙවියාට පුජාකරණු කැමැත්තාහුය. එසේ හෙයින් එකල මාණවකයාගේ මව්තොමෝ ස්ත්‍රීන්ගේ දෝෂදක්වා වලටයවනු කැමැත්තී දිසාපාමොක් ආචාරීන්වහන්සේ නුවණැතිසේක, ව්‍යක්තසේක, මාගේ පුතනුවන්ට ස්ථීන්ගේ දෝෂ කියන්ට සමර්ථසේකැයි සිතා පුත තොප විසින් ශිල්ප උගන්නාලදැයි කිවුය. එසේය මෑනියන් වහන්සැයි කී කල්හි තොප විසින් අසාතමන්ත්‍රයෝත් උගන්නාලද්දාහුදැයි කිවුය. නැත මෑනියන් වහන්සැයි කී කල්හි ඉඳින් තොප විසින් අසාතමන්ත්‍ර නොඋගන්නා ලද්දේ වීනම් තොප විසින් කවර නම් ශිල්පයෙක් උගන්නාලද්දේද යව යව අසාතමන්ත්‍රයත් ඉගෙණ එවයි කිවුය. ඒ මාණවකයා මෑනියන් කී බස් යහපතැයි පිළිගෙණ නැවත තක්සලා නුවරට අභිමුඛව ගියේය. ඒ ආචාරීන්ගේත් මෑනියෝ ඉතා වෘද්ධයෝය. අවුරුදු එක්සිය විස්සක් වයස් ඇත්තාහුය. දිසාපාමොක් ආචාරීහු තමන්ගේ මෑනියන් සිය අතින් නහවා කවා පොවා පෝෂ්‍ය කෙරෙති. අවශේෂ මනුෂ්‍යයෝ බෝධිසත්වයන් මෙසේ කරන්නා දැක පිළිකුල්වන්නාහුය. එකල මතබෝසතානෝ මෙසේ සිතූහ. මම වලට වැද ඒ වනයෙහිදී මෑනියන් වහන්සේ පෝෂ්‍ය කෙරෙමින් විසුයේවීනම් යහපතැයි සිතූය. ඉක්බිත්තෙන් මහබෝසතානෝ මෙසේ සිතා එක් විවේකවූ වනයෙක්හි පැන්පාසුතැනක පන්සලක් කොට ගිතෙල් මී උක්සකුරු උඳූ මුන් සාල් ආදීවූ දෙය ගෙණ්වාගෙණ මෑනියන් උසුළුවාගෙණ ඒ වනයට ගොස් මෑනියන් පෝෂ්‍ය කෙරෙමින් වාසය කළෝය. ඒ අසාතමන්ත්‍රය උගන්නා කැමති මානවකයාත් තක්සලානුවරට ගොස් ආචාරීන් නොදක්නේ ආචාරීන් වහන්සේ කොයිදැයි විචාරා එපවත් අසා වනයට ගොස් නමස්කාර කොට සිටියේය. එකල ඕහට ආචාරීහු කියන්නෝ කිමෙක්ද දරුව ඉතා වහා අවුනැයි කිවුය. එබස් ඇසූ මානවකයා කියන්නේ නුඹ වහන්සේ මා අසාතමන්ත්‍රය උගන්ටකීවෝ කවුරුදැයි විචාළෝය, ආචාරීන් වහන්ස මාගේ මෑනියන් වහන්සේ කීසේකැයි කීය. එකල බෝධිසත්වයෝ සිතන්නෝ මේ ලොකයෙහි අසාතමන්ත්‍ර නම් දෙයක් නැත මේ මානවකයාගේ මෑනියෝ මෝහට ස්ත්‍රීන්ගේ දෝෂ දක්වනු කැමැත්තෝවනැයි සිතූය.

ඉකිබිති ඕහට මහබෝසතානෝ කියන්නෝ දරුව යහපත තොපට අසාත මන්ත්‍රය දෙමි අද පටන් කොට මාගේ තනතුරෙහි සිට මාගේ මෑනියන් වහන්සේ සිය අතින් නහවා කවා පොවා පොෂ්‍ය කරව අත පය හිස පිරිමැදීම පිටමැඩීම් ආදිය කරන්නාවූ තොපි ආර්යයන් වහන්සේ නුඹ වහන්සේ ජරාවට පැමිණිකල්හිත් නුඹවහන්සේගේ මෙබඳූ යහපත් වූ සැරිරයන් වන්නේය. ලදරු අවස්ථාවෙහි වීනම් කෙබඳූවේදැයි කියව, අතපය මඩනා අවස්ථාවෙහිත් හස්තපාදාදීද්ගේ ගුණ කියව, තොපට මාගේ මෑණියන් වහන්සේ යමක් කීයේවිනම් එකීදෙය තෙපි ලජ්ජානොව මට කියව, එසේ කළානම් අසාතමන්ත්‍රය ලබව නොකළානම් නොලබනවාදැයි කිවුය. ඒ මානවකයා යහපත ආචාරීන් වහන්සැයි කියා මහබෝසතානන්ගේ වචනය පිළිගෙණ එතැන්පටන් කියනලද්දාවූ සියළුකාරිය කෙළේය. ඉක්බිත්තෙන් ඒ බෝධිසත්වයන්ගේ මෑනියන්ට ඒ මාණවකයා නැවත නැවත ශරීර වර්ණනා කරත් කරත් මේ තෙම මා හා සමග අභිරමණය කරණු කැමැත්තේවනැටි සිතා අන්ධ වූ ජරාවෙන් ජීර්ණ වූ බෝධිසත්ව මාතාවෝ එක්දවසක් තමන්ගේ ශරීර වර්ණනාව කරණු කල්හි ඒ මාණවකයාට කියන්නෝ මා හා සමග අභිරමණය කරණු කැමැත්තෙහිදැයි කිවුය. ආර්යයන් වහන්සේ මම වූ කලී කැමැත්තෙමි ආචාරින් වහන්සේ ගුරුසේක්වී දැයි කිය. ඉඳින් තෝ මා කැමැත්තෙහිවීනම් මාගේ පුතනුවන් මරාපියයි කිවුය. මෙසේ කී කල්හි මාණවකයා කියන්නේ මම ආචාරීන් වහන්සේ සමීපයෙහි මෙතෙක් ශීල්ප ඉගෙණ ක්ලේශ මාත්‍රයක් නිසා කුමකැයි කියා ආචාරීන් වහන්සේ මරම්දැයි කිය, එසේ වීනම් ඉදින් තෙපි මා නොහැරනම් මම්ම ඒ දරුවන් මරමි කිවුය.

මේ ලෝකයෙහි ස්ත්‍රීහු නම් අසත්පුරුෂයෝය. දුක්ඛයට වස්තූහුය. ලාමක යෝය. පශ්චිමයෝය. එබඳූවූ වයසෙහි සිට පවා රාගසිත් උපදවා කෙල්ශ වසඟවන්නී මෙසේ උපකාරී වූ පුත්‍රයා මරණු කැමැතිවුව එසේහෙයින් ස්ත්‍රීහූ නම් අසත්පුරුෂයෝමය. ඉක්බිත්තෙන් මාණවකයා ඒ සියළු කථා බෝධි සත්වයන්ට කීයේය. එබස් ඇසූ මහබෝසතානෝ මානවකය ඒ සියළු ප්‍රවෘත්තිය මට කියන්නාවූ තා විසින් කලද ඉතා යහපත් වන්නේයයි කියා මෑණියන්ගේ ආයුසංස්කාරය බලන තැනැත්තෝ අදම මියෙතියි දැන මානවකය මෙසේ උන්වහන්සේගේ අභිප්‍රාය පරීක්ෂාකරම්හයි එක් දිඹුල් දණ්ඩක් ගෙන්වාගෙණ සැස මහබෝසතානෝ තමන්ගේ ප්‍රමාණයෙන් කාෂ්ටරූපයක් කොට ඉස හා සමග පොරොව තමන් වැදහොත් තැන උත්තැනිකොට හොවා රෑනක් බැඳ අතවැස්සාට කියන්නාහු දරුව පොරවක්ගෙණ ගොස් මාගේ මෑනියන්වහන්සේට මාමෙතන වැදහොත් නියාව හඟවාලවයි කිවුය. එබස් ඇසූ මාණවකයා ගොස් ආර්යයන් වහන්ස ආචාරීන් වහන්සේ පන්සල තමන් වහන්සේ වැදහොනාතැන වැදහොත්සේක මා විසින් වැදහොත් තැන දැනගන්නා සඳහා රෑනක් බැඳ තබනලද, මේ පොරව ඇරගෙණ උයනින් රෑනසනින් ගොස් ඉඳින් පිළිවන්වී නම් පුතනුවන් වහන්සේ මරාපුව මැනැවයි කිය. එබස් ඇසූ බෝධිසත්ව මාතාවෝ මා නොහරණාව දැයි කිවුය. කවර කාරණයකින් මම නුඹවහන්සේ හැරපියම්දැයි කීය. එකල බෝධිසත්ව මාතාවෝ පොරව ඇරගෙණ වෙවුල වෙවුලා නැගීසිට රෑන සංඥාවෙන් ගොස් අතින් අල්වා බලා මේ තෙම මාගේ පුතනුවෝයයි යන සංඥාවෙන් කාෂ්ටරූපයෙහි මුහුනින් වස්ත්‍රය ඉවත්කොට පොරොව ඇරගෙණ එකපහරින්ම මරමි සිතා බොටුවෙහිම පොරොව හෙලා ටැකැයි යන අනුකරණ ශබ්දය උපන්කල්හි දඬුරුවකැයි දත්තුය. ඉක්බිත්තෙන් මහබෝසතානන් විසින් ඉවතට මෑනියන් වහන්ස කුමක් කරණසේක්දැයි කී කල්හි වඤාකරණ ලද්දෙම් වෙමියි සිතා එතැන්හිම මිය ගියේය. තමන්ගේ පන්සල වැදහොත් නමුත් ඒ වෙලාවට උන් විසින් මළයුතුමයි එසේ හෙයින් මහබෝසතානෝ මෑනියන් මළ නියාව දැන ආදාහණ කොට සොහොනෙහි ගිණි නිවා වනපස මලින් පුජාකොට මාණවකයා කැඳවා ගෙණ පන්සල් දොර හිඳ කියන්නෝ දරුව වෙන අසාත මන්ත්‍ර නම් දෙයක් නැත. ස්ත්‍රීහු නම් අසත්පුරුෂයෝය. අසාතයෝය තොපගේ මෑනියෝ අසාත මන්ත්‍රය ඉගෙණගෙණ එවයි මා සමීපයට එවන නැත්තෝ ස්ත්‍රීන්ගේ දෝෂ දැනගන්නා පිණිස එවුය. දැන් වූකලී තොප විසින් ප්‍රත්‍යක්‍ෂයෙන්ම මාගේ මෑනියන්වහන්සේගේම දෝෂ දක්නාවේද මේ කාරණයෙන් ස්ත්‍රීහුනම් සැපදුරු කොට දුක්ඵලවනහෙයින් අසාතයෝය. දුක්ඛවස්තුහුය අසත්පුරුෂයෝය. ලාමකයෝය. අන්තිමයෝය. දැනගනුවයි ඒ මානවකයාට අවවාද කොට යැවුය. ඒ මාණවකයාත් ආචාරීන් වැඳ දෙමාපියන් සමීපයට ගියේය. එකල්හි මෑනියෝ කියන්නෝ පුත තෙපි අසාතමන්ත්‍රය ඉගෙණ ගතුදැයි ඔහු අතින් විචාළෝය. එසේය මෑනියන් වහන්සැයි කී කල්හි දැන් කුමක් කරව්දැයි මහණව ගිණිදෙවියාට පුදපුජා කරව්ද නොහොත් ගිහිගෙයි වසව්දැයි කිවුය. එබස් ඇසූ මාණවකයා කියන්නේ මෑණියන් වහන්ස මා විසින් ප්‍රත්‍යක්‍ෂ කොට ස්ත්‍රීන්ගේ දෝෂ දක්නා ලද එසේහෙයින් මට ගිහිගෙයින් ප්‍රයෝජන නැත මම තපස්ප්‍රවෘජ්ජාවෙන් පැවිදීවෙමි තමන්ගේ අභිප්‍රාව ප්‍රකාශකෙරෙමින් මෙසේ කීව්ය. මේ ලොකයෙහි ස්ත්‍රීහූ නම් දුක්ඛයට වස්තුහෙයින් අසාත නම්වෙති අසත්පුරුෂ නම් වෙති ඔවුන් කේල්ශ වසඟවීමට හිමෙක් නම් මරියාදාවෙක්නම් නැත්තේය. යම්සේ වහ්නිය තමා කෙරෙහි ළූ යම් යම් කාෂ්ටයෙක් ඇත්නම් මුළුල්ලෙම ද්වාභසමකරමුත් මෙතෙක් සැහෙයි යන තෘප්තිවාරණයෙක් නැත්තේද එපරිද්දෙන්ම ස්ත්‍රීහු නම් කෙතෙක් දවස් කෙලෙස් වසඟවූ නමුත් මෙතෙක් සෑහෙයි යන තෘප්තියක් ඔවුන්ට නැත්තේය. එසේ හෙයින් ගර්භිත වූ කෙලෙස් වසඟවන්නාවූ ස්ත්‍රීන් හැර කාය විවේකචිත්‍රවිවේක වර්ධනය කෙරෙමින් මහණවෙයි පැවිදිව කිසුණු පිරියම් කොට බ්‍රහ්මලෝක පරායන වෙමියි කිය තවද මෙසේ කියා තෘපස ප්‍රවෘජ්ජාවෙන් පැවිදිව කිසුණුපිරියම්කොට පඤ්ඤාභිඥ අෂ්ටසමාපත්ති උපදවා ගණයාකෙරෙන් කාය හා කෙලෙසුන් කෙරෙන් විත්ත විවේකකොට මේ විවිධ විවේකය වඩමින් බ්‍රහ්මලෝකොත්පත්තිය කෙරෙමි මට ගිහිතෙන් ප්‍රයෝජන නැතැයි මෙසේ ස්ත්‍රීන්ට නින්දාකොට දෙමාපියන් වැඳ පැවිදිව කියනලද ප්‍රකාර ඇති විවේකය වඩමින් බ්‍රහ්මලෝකයෙහි උපන්නාහුය.ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මහණෙනි ස්ත්‍රීහූ නම් දුකට වස්තුහුය. අසත් පුරුෂයෝය. ලාමකයෝය. දුක්දෙන්නහුයයි කියා මෙසේ ස්ත්‍රීන්ගේ නුගුණ කියා චතුස්සත්‍යය ප්‍රකාශ කොට වදාළසේක. චතුස්සත්‍යය ධර්මදේශනාවගේ කෙළවර ඒ ශාසනයෙහි උකටලීව ඇළුම් නැතිවූ භික්ෂූන් වහන්සේ සෝවාන් පෙලෙහි පිහිටිසේක. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ පූර්වාපර සන්ධිගලපා මේ අසාත්මන්ත්‍ර ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි මෑනියෝනම් දැන් භද්‍රකාපීලානිය පියානෝ නම් මහා කාශ්‍යප ස්ථවිරයෝය, අන්තේවාසිකනම් දැන් ආනන්දස්ථිවරයෝය. එසමයෙහි දිසාපාමොක් ආචාරීවූයෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.