මුල් පිටුව 51 සිට 100 දක්වා 70 තයො ධම්ම ජාතකය

70 තයො ධම්ම ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තවද එක් සමයෙක්හි රාගාධිසංග රහිත වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසන සේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ වධයට උත්සහ කිරීමක් අරභයා මේ ජාතකය වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කරණ කල්හි දේවදත්ත ස්ථවිරයෝ වානර යෝනියෙහි ඉපිද හිමාල වන ප්‍රදේශයෙහි වානර සමූහයා පරිහරණය කරන්නාවූ තමන් නිසා උපන්නාවූ වානර පෝතකයන් මොහු වැඩීගිය කල වානරසමූහයා පරිහරණය කෙරෙති යන භයින් දැතින්ඩෑ ඔවුන්ගේ බීජොත්පාටනය කරන්නාහුය. එසමයෙහි බෝධිසත්වයෝත් එම වානරයා නිසා එක් වැඳිරියක කුස පිළිසිඳගත්තාහුය. එකල වැඳිතොමෝ දරුගැබ පිහිටි නියාව දැන තමාගේ දරුගැබ රකිමින් අනික් පර්වත ප්‍රාන්තයට ගියාය. ඕතොමෝ ගැබ මුහුකුරා ගිය කල්හි බෝධිසත්වයන් වැදූහ. බෝධිසත්වයෝ වැඩී විඥබවට පැමිණ ශක්ති සම්පන්නවූය. ඒ බෝධිසත්වයෝ එක් දවසක් මැනියන් අතින් මාගේ පියානන් වහන්සේ මෑනියෙනි කොයිදැයි විචාළෝය. පුත අසවල් පර්වත ප්‍රාන්තයෙහි වදූරුමුල රකිමින් වෙසෙති කිව, මෑනියෙනි ඒ වානර රජ්ජුරුවන් සමීපයට මා ගෙණයවයි කිවුය. පුත තොප විසින් පියානන් සමීපයට යන්ට නොපිළිවන, තොපගේ පියානෝ තමන් නිසා උපන්නාවූ වානරපෝතකයන්ගේ වඳූරුමුල පරිහරණය කෙරෙත් යන භයින් තින් ඩෑ බීජොත්පාටනය කෙරෙති කිවුය. මෑනියෙනි මා එතනට ගෙණයව මම ඊය කටයුතු දන්නෙම් වේදැයි කී කල්හි ඒ වැඳිරි තොමෝ පුත්‍රයා වඩාගෙණ ඒ වානරයා සමීපයට ගියාය. එකල වානරයා තමාගේ පුත්‍රය දැකලාම මෙතෙම වැඩීගියේ වීනම් වඳූරුමුල පරිහරණය කළ නොදෙති, එසේහෙයින් දැන්ම මොහු දුරුකොට පියායුතුයි ඔහු වැලදගන්නාක් මෙන් තරකොට මැඩලුයේය. බෝධිසත්වයෝ වූ කලී ඇත් බල හා සමාන වූ බල ඇත්තෝය. එසේහෙයින් බෝධිසත්වයෝත් පිය වඳුරු අල්වා තරකොට මැඩලූය. ඔහුගේ ඇඟ ඇට බිඳියන්නාක්මෙන් විය. ඉක්බිත්තෙන් ඒ වානරයාට මෙසේ සිතිවිල්ලෙක් විය. මේ තෙම වැඩිවීගියේ වීනම් මා මරන්නේය, කවර උපායකින් පළමු කොට මොහු මරාපියම්දෝහෝයි සිතීය. තවද මෙසේ සිතීය මට නුදුරුතෙන රාක්ෂාධිගෘහිතවූ විලෙක් ඇත. ඒ විල රාක්ෂසයා ලවා මොහු කවමියි සිතා ඉක්බිත්තෙන් ඕහට කියන්නෝ මම මහළු වයසට යෙමි මේ වඳූරුමුල තොපට පාවාදෙමි. අදම තොප රජකෙරෙමි, අසවල් තැන විලෙක් ඇත. ඒ විල ඇඹුල වන දෙකකුත් ඉපුලවන තුනකුත් නෙළුම්වන පසකුත් පිපෙන්නේය. එයින් මල් ගෙණවයි කිය. මහබෝසතානෝ යහපත පියානන් වහන්ස ගෙණෙමි කියා ගොස් වහා විලට නොබැස හාත් පසින් පියවරසටහන් පරික්ෂාකන්නෝ බට පියවර දුටුය. විළින් ගොඩනැගී පියවර නොදුටුය. බෝධිසත්වයෝ මේ විල රාක්ෂාධිගෘහිත විය යුතුය. මාගේ පියානන් වහන්සේ මා මරණුකැමතිව තමන්වහන්සේ මරාගතනොහි රාක්ෂසයා ලවා මරවනු කැමැතිසේවනැයි සිතා මේ විලට නොබස්මි. මළුත් කඩාගනිමියි පැන්නැති තෙනට ගොස් වේග දක්වා උඩපැන එපිට යන තැනැත්තෝ පැන් නැති ආකාශයෙහිම සිටියා වූ මල් දෙකක් කඩාගෙණ එපිට වැටිගියෝය. නැවත එතරින් මෙතර පැන එන තැනැත්තෝ ඒ උපායෙන්ම මල් දෙකක් කඩාගත්තුය. මෙසේ විල්දෙතෙර රැස්කරන්නා වූ බෝධිසත්වයෝ මළුත් කඩාගත්තුය. රාක්ෂයාගේ ආඥාව පවත්නා තැනටත් නොබටුය. ඉක්බිත්තෙන් මෙතැකින් වඩා ඔසවාගත නොහැක්කේයයි සිතා ඒ කැඩූ මල් එක්තෙනක රැස්කරමින් සිටිකලට ඒ රාක්ෂයා සිතන්නේ මා විසින් මෙතෙක් කල් මුළුල්ලෙහි මෙබඳු නුවණැති ආශ්චර්යමත් පුරුෂයෙක් දුටුවිරු නැත, මළුත් තමා කැමති පමණක් කඩාගෙණ මාගේ ආඥාව පවත්නාතෙනටත් නොබටුයේයයි දිය දෙබෑකොට දියෙන් ගොඩනැගී බෝධිසත්වයන් සමීපයට ගොස් කියන්නේ වානරෙන්ද්‍රය මේ ලෝකයෙහි සම්ප්‍රාප්ත වූ භය දුරුකිරීම දන්නා වූ ප්‍රඥාසම්ප්‍රයුක්ත වූ උත්තම වූ විර්යය නිර්භීතබවය උපාය ප්‍රඥාය යන මේ ධර්මයෝ තුන්දෙන යමහක්හට ඈත්තාහූ වී නම් ඒ සත්වතෙමේ පසමිතුරන් මැඩපවත්නේය. ඒ ධර්මයෝ තුන් දෙනාම තොපගේ අභ්‍යන්තරයෙහි විද්‍යාමානයෝයයි සිතමියි මෙසේ උදාකරක්‍ෂසයා බෝධිසත්වයන්ට ස්තූති කොට මේ මල් කුමක් පිණිස ගෙණවුදැයි විචාළේය. මපියානන් වහන්සේ මා රජකරණු කැමති සේක. ඒ කාරණයෙන් ගෙණයෙමි කී කල්හි රාක්ෂසයා මෙබඳු උත්තම පුරුෂයෙක්හූ විසින් මල් ශඳාඔසවාගෙන යන්ට නොපිළිවන, මම ගෙණයෙමි තෙමේ මේ මල් මිටිය ඔසවාගෙණ බෝධිසත්වයන් පසුපස්සෙහි ගියේය. ඉක්බිත්තෙන් බෝධිසත්වයන්ගේ පියවඳූරා එන්නා වූ බෝධිසත්වයන් දුරදීම දැක මම මොහු රකුසුවත් කන්නේයයි යැවිමි. ඒ තෙමේ දැන් රාක්ෂසයා ලවා මල් ගෙන්වාගෙණ එන්නේය. දැන්වූකලී නටුයෙම්වේදැයි සිතමින් සත්කඩක්කොට ලය පලාගෙණ එතැන්හිම ජීවිතක්ෂයට පැමිණියෝය. එකල්හි අවශේෂ වානරයෝ එක්ව බෝධිසත්වයන් රජ කළාහුය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ තයෝධර්ම ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි යුථපතිනම් දැන් දේවදත්ත ස්ථවිරය. එසමයෙහි යුථපති පුත්‍ර වූයේම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි. තමන්වහන්සේ දක්වා වදාළසේක.