මුල් පිටුව 51 සිට 100 දක්වා 69 මහා සීලව ජාතකය

69 මහා සීලව ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් සමයෙක්හි මහපොලොවසේ විපුල වූ ගුණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක් පසුබට විර්ය ඇති එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයක් නමක්දේ ඕහට සැබෑද මහණ තෝ පසුබට වීර්යය ඇත්තෙහිදැයි විචාරා එසේය ස්වාමීනි කී කල්හි මහණ තෝ කවර කාරණයකින් මෙබදු නෛර්යානික ශාසනයෙහි මහණව වීර්යය හැරපුයෙහිද පෙර නුවණැත්තෝ රාජ්‍යයෙන් පිරිහීත් තමන්ගේ වීර්යයහෙි සිට නටුවාවුත් යසස ඉපදවූවෝම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණ ලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතානෝ ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ ගත්තුය. ඒ බෝධිසත්වයන්ට නම් තබන දවසේ ශිලවකුමාරයෝයයි නම් තුබූහ. සොළොස් ඇවිරිදි වයසෙහි දීම සියලු ශිල්පයෙහි කෙළ පැමිණ මෑතභාගයෙහි පියනන්ගේ ඇවෑමෙන් රාජ්‍යයයෙහි පිහිටා මහාශිලාව රජ්ජුරුවෝයයි මෙනමින් ප්‍රසිද්ධ වූය. ධර්මිෂ්ඨයෝය ධර්මයෙන් රාජ්‍යය කෙරෙති ඒ රජ්ජුරුවෝ නුවර සතරවාසල් දොරය නුවර මධ්‍යයෙහිය තමන්ගේ මාලිගාව සමීපයෙහි යයි දන්හල් කරවා දුගී මගී යාචකයන්ට දන්දෙති නිරන්තරයෙන් පන්සිල් රකිති. පොහොය පෙහෙවස් වෙසෙති. ක්‍ෂාන්ති මෛත්‍රී කරුණාවෙන් යුක්තව ඇකයෙහි උන් දරුකෙණෙකුන් නලවා සතුටුකරන්නාක්මෙන් සියලු සත්වයන් සතුටුකරවමින් දැහැමෙන් රාජ්‍යය කෙරෙති එකල රජ්ජුරුවන්ගේ එක් අමාත්‍යයෙක් අන්තඃපුරයට වැද මෑතභාගයෙහි තමා කළ කාර්යයන් ප්‍රසිද්ධ විය. අමාත්‍යයෝ රජ්ජුරුවන්ට එපවත් දැන්වූය. රජ්ජුරුවෝ පරීක්ෂා කරන්නාහු තුමුම ප්‍රත්‍යක්‍ෂකොට ගෙණ ඒ අමාත්‍යයා කැඳවා කියන්නේ නුවනැනි තා විසින් නොකලමනා දෙයක් කරණ ලද තෝ මාගේ විජිතයෙහි වසන්නට නුසුදුසුයෙහිය. තාගේ වස්තුවත් පුත්‍රදාරා වනුත් හැරගෙණ අනික් තැනකට පලායායි කියා රටින් නෙරපූය. ඒ අමාත්‍යයා කසී රටින් නික්ම ගොස් කොසොල් රජ්ජුරුවන්ට සේවයකරන්නේ ක්‍රමයෙන් රජ්ජුරුවන්ට අබ්භ්‍යන්තරව විස්වාසවීය එතෙම එක්දවසක් කොසොල් රජ්ජුරුවන්ට කියන්නේ රජ්ජුරුවන් වහන්ස ඉතා මොලොක්සේක. ස්වල්ප වූ සේනාවකින් බරණැස්නුවර රාජ්‍යය හැරගන්නට පිළිවන් වන්නේයයි කිය. රජ්ජුරුවෝ ඔහුගේ බස් අසා බරණැස් නුවර රාජ්‍යය නම් මහත් වන්නේය. මේ තෙමෙත් ස්වල්ප වූ බලවාහණයකින්ම රාජ්‍යය ගන්ට පිළිවනැයි කිය කිමෙක්ද මේ රජ්ජුරුවන්ගෙන් එව් චරපුරුෂයෙක් දෝහෝයි සිතා තෝ චරපුරුෂයෙක්දැයි කිවුය. රජ්ජුරුවන් වහන්සෙ මම චර පුරුෂයෙක් නොවෙමි ඇත්තම කියමි ඉදින් මාගේ බස් නො අදහනසේක්වී නම් මනුෂ්‍යයන් යවා පසල් දනව්වෙන් ගමක් නසාපුව මැනව ඒ ගම් පහරණ මනුෂ්‍යයන් අල්වාගෙණ තමන්වහන්සේ සමීපයට ගෙණගිය කල්හි වස්තුදීලා හැරපියනසේකැයි කිය. එබස් ඇසු රජ්ජුරුවෝ මේ තෙම ඉතා නිර්භීතව කියන්නේ වන්නාට පරීක්ෂා කෙරෙමියයි සිතා තමන් පුරුෂයන් යවා පසල් දනව්වෙන් ගමෙක මිනිවරවා කොල්ලකැවුය. ඒ පසල්දනව්වේ මනුෂ්‍යයෝ මිනීමරු සොරුන් දැක දරුවෙනි කවර කාරණයකින් ගම් පැහැරූදැයි විදාළෝය. ස්වාමීනි ජීවත්ව ගතනොහි ගම් පැහැරුම්හයි කී කල්හි එසේ කල කුමක් නිසා මෙතෙක් කල් මා සමීපයට නො ආවාද දැන් මෙවක් පටන් මෙබන්දක් නොකරවයි කියා ඔවුන්ට සම්පත් දී අළුවාහුය ඒ මනුෂ්‍යයෝ ගොස් කොසොල් රජ්ජුරුවන්ට එපවත් දැන්වූහ. ඒ රජ්ජුරුවෝ මෙපමණකිණුත් යා නොහි නැවත මධ්‍යයේ ජනපදයක් පැහැරවුය. ඒ සොරුන්ටත් බරණැස් රජ්ජුරුවෝ පළමු පරිද්දෙන්ම සම්පත් යැවූය. කොසොල් රජ්ජුරුවෝ පෙම මණකිණුත් නො ගොස් නැවත පුරුෂයන් යවා විථිමධ්‍යයෙහි මිනී මරවා කොල්ලකැවුය. රජ්ජුරුවෝ ඒ සොරුන්ටත් සම්පත් දී යව්වාහුය. එකල්හි කොසොල් රජ්ජුරුවෝ ඉතා ධර්මිෂ්ට රජ්ජුරුකෙණෙකැයි දැණ බරණැස් රාජ්‍යය ගනිමියි සේවාවාහණ ගොණ නික්මුනාහුය. එසමයෙහි වනාහී බරණැස් රජ්ජුරුවන්ගේ මතහස්තිරාජයානුදු අභිමුඛව එනකල්හි පිටිපෑ පලා නොයන්නාහු ස්වභාව ඇති සියදහස් ගණන් අකුණු ගසන කල්හිත් තැති නොගන්නා වූ ස්වභාව ඇති ශිලව මහරජ්ජුරුවන්ගේ අභිප්‍රාවක් ඇති කල්හි දියළු දඹදිව රාජ්‍යය ඇරගන්නට සමර්ථ වූ දහසක් පමණ ඔවුනොවුන් හැර වෙන්ව පලානොයන්නාවූ උත්තම මහායෝධයෝ ඇත. ඔහු හැමදෙනම කොසොල් රජ්ජුරුවෝ යුද්ධයටයෙති අසා තමන්ගේ රජ්ජුරුවන් සමීපයට ගොස් කියන්නෝ කොසොල් රජ්ජුරුවන් වහන්සේ බරණැස් නුවර රාජ්‍යය ගනිමියි එනසේක. ස්වාමීනි යම්හ උන්වහන්සේ අපගේ රාජ්‍යය සීමාවට බැස්ස නොදීම තලාපියා අල්වාගනුම්හයි කිය. ඒ අසා රජ්ජුරුවෝ ම නිසා දරුවෙනි අනුන්ට පීඩා කිරීමෙන් ප්‍රයෝජන නැත. රාජ්‍යය කැමති කෙණෙක් ගනිත්වයි එසේහෙයින් තොපි ඇමනොයවයි වැලකූය. කොසොල් රජ්ජුරුවෝ සීමාව ඉක්ම දනව් මධ්‍යයට වන්නාහුය. අමාත්‍යයෝ නැවතත් රජ්ජුරුවන් කරා ගොස් එසේම කීවාහුය. රජ්ජුරුවන් පළමු පරිද්දේන්ම වැලකුය. කොසොල් රජ්ජුරුවෝ පිටිනුවර සිට රාජ්‍යය හෝ දෙත්වයි යුද්ධ හෝ කෙරෙත්වයි කියා ශිලව මහරජ්ජුරුවන්ට අසුන් යවුය. රජ්ජුරුවෝ ඒ අසා මා හා සමග කරන්නා වූ යුද්ධයක් නැත. රාජ්‍යය ගන්නාසේක්වයි කියා පෙරලා අසුන් යැවුය. නැවතත් අමාත්‍යයෝ රජ්ජුරුවන් කරා ගොස් කියන්නෝ රජ්ජුරුවන් වහන්ස අපි කොසොල් රජ්ජුරුවන් නුවරට වැද්දනොදෙම්හයි පිටිනුවරදී තලාපියා අල්වාගනුම්හයි කිවුය. රජ්ජුරරුවන් පළමු පරිද්දෙන්ම වලකා නුවර වාසල් දොරහරවා අමාත්‍යයන් දහසක් දෙනා සමග ප්‍රාසාදයේ මතු මහල්තලයෙහි සිංහාසනමස්තකයෙහි උන්නාහුය. කොසොල් රජ්ජුරුවෝ මහත් වූ සේනා වාහන හා සමඟ බරණැස් නුවරට වන්නාහු ඒ කොසොල් රජ්ජුරුවන්ගේ මාලිගා දොර සමීපයට ගොස් අමාත්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව නොවසන ලද දොර ඇති මාලිගාවෙහි සරහා පිළියෙල කරණ ලද මතුමහල්තලයට නැගී උන්නා වූ නිරපරාධව ශිලව මහරජ්ජුරුවන් අමාත්‍යයන් දහසක් දෙනා හා සමඟ අල්වා යවා මේ රජ්ජුරුවන් අමාත්‍යයන් දහසක් දෙනා හා සමග පිටිතල හයා බැඳ අමුසොහොනට ගෙණ ගොස් කරවටක් පමණ වලකැන යම්සේ එකෙකුත් අතක් ඔසවන්නටත් අසමර්ථ නම් ඒපරිද්දෙන් පස්ලා වලලා ලව රාත්‍රියෙහි සිවල්ලු අවුත් මොවුන්ට කලමනා දෙයක් කරන්නෝවේදැයි කිවුය.

මනුෂ්‍යයෝ සතුරු රජ්ජුරුවන්ගේ බස් අසා රජ්ජුරුවන් හා සමග අමාත්‍යයයන් දහසක් දෙනා පිටිතල හයා බැඳ පිටත් කළාහ. එකල්හි ශිලව මහරජ්ජුරුවෝ සතුරු රජ්ජුරුවන් කෙරෙහි ආඝාත පමණකුත් නොකළෝය. ඒ අමාත්‍යයන් දහස්දෙනා මෙසේ බැඳලා ගෙණ යනකල්හි රජ්ජුරුවන්ගේ වචනය ඉක්ම පවත්වන්නට අසමර්ථ කෙණෙක් නම් නුවූයේය. මෙසේ ඒ මහා බෝධිසතානන්ගේ පර්ෂිද් ඉතාවිනීත පර්ෂිද් වන්නේය. ඉක්බිත්තෙන් ඒ සතුරු රජ්ජුරුවන්ගේ රාජපුරුෂයෝ අමාත්‍යයන් සහිතවූ ශිලව රජ්ජුරුවන් මධ්‍යයෙහි අවශේෂ අමාත්‍යයන් දැලයෙහියයි දහසක් දෙනාම වලටබා පස්ලා ඝනකොට පස්තලා ගියාහුය. එකල්හි ශිලව රජ්ජුරුවෝ අමාත්‍යයන් බණවා කියන්නෝ සතුරු රජ්ජුරුවන් කෙරෙහි කෝපයක් නො කොට මෛත්‍රී කරවයි අවවාද කළෝය. ඒකල මධ්‍යම රාත්‍රිවේලේ මනුශ්‍ය මාංශ කම්හයි කැනහිල්ළු ආවාහුය. ඔවුන් දැක රජ්ජුරුවන් හා අමතා්‍යයෝ එකපැහැරම හඬ ගැසුය.කැනැහිල්ලු භයින් ත්‍රස්ථව පලාගියාහුය. නැවත ඔහු පෙරලාසිට බලන් නාහු පස්සෙහි එනකෙනෙකුන් නැති නියාව දැන නැවත ආපසු ගියෝය. වල තල මනුෂ්‍යයෝ පළමු පරිද්දෙන්ම අඬගැසූය. මෙසේ තුන්වාරයක් පළාගොස් නැවත පෙරලා සිට බලන්නාහු ඔවුන් අතුරෙන් එකෙකුවත් නොඑන නියාව දැන මොහු වධයට පැමිණියෝ වනැයි බුහුටිව පෙරලා අවුත් නැවත දහසක් දෙනා අඬගසමින් සිටියදීත් පලානොගියාහුය. ප්‍රධාන කැනහිලා රජ්ජුරුවන් කරා ගියේය. අවශේෂයෝ සෙසු අමාත්‍යයන් සමීපයට ගියෝය. උපායෙහි දක්ෂ වූ රජ්ජුරුවෝ ඔහු තමන් සමීපයට එන නියාව දැනඩහන්ට අවසරදෙන්නාක් මෙන් කර ඔසවා ඔහු යට උගුර ඩැහැගත්තාහ. නිකටින් ඇදයන කල මිරිකාගන්නාක් මෙන් තරකොට මිරිකාගත්තුය ඇත්බල ඇති රජ්ජුරුවන් විසින් නිකටින් ඇද ග්‍රීවයෙන් තරකොට මිරිකාගන්නා ලද කැනහිලා තමා ගලවාගන්ට අසමර්ථව මරණ භයින් භයපත්ව මහ හඬින් හැඬුයේය. සෙසු කැනහිල්ලු ඔහුගේ බැගෑ අඬ අසා එක් පුරුෂයක්හූ විසින් අල්වාගන්නා ලද්දේ වනැයි අමාත්‍යයන් සමීපයට වදනට අසමර්ථව මරණ භයින් භයපත්ව ඇමදෙනාම පළාගියාහ. රජ්ජුරුවන්ගේ නිකටින් තරකොට ගන්නාලද කැනහිලා ඈත මෑත ගැසෙන්ට වන්කල්හි පස් සීතලව ගියේය. ඒ කැනහිලාත් මරණ භයින් භයපත්ව සතරකකුලෙන් රජ්ජුරුවන්ගේ ලය ශරීරයේ පස් පසුරුගා ඉවත් කෙළේය, රජ්ජුරුවෝ සීථල වූ නියාව දැන කැනහිලා හැර ඇත්බල ඇති ශක්ති සම්පන්න තැනැත්තෝ ඔබිමොබ කැරකැවී දෙපිටට නැමී දැත ඔසවා මුවවිට එල්බ සුලගින් කඩා දැමූ වලාකුලක්මෙන් වලින් ගොඩ නැගී සිට අමාත්‍යයන් අස්වසා පස්පීරා සියල්ලවුන් ගොඩනගා අමාත්‍යයන් විසින් පිරිවරණලදුව අමුසොහොනෙහි සිටියාහු එසමයෙහි මනුෂ්‍යයෝ මළ මිනියක් අමුසොහොනට ගෙණ ගොස් දමන්නාහූ යක්ෂයන් දෙදෙනෙකුගේ සීමා මධ්‍යයට දැමූය. ඒ යක්ෂයෝ දෙදෙන මිනිය බෙදාගතනොහි අපි මේ මිනිය බෙදාගත නොහෙම්හ. මේ සීලව රජ්ජුරුවන් වහන්සේ ධර්මිෂ්ට සේක. උන් වහන්සේ අපට බෙදා දෙන සේක. ඒ රජ්ජුරුවන් වහන්සේ සමීපයට යම්හයි ඒ මළ මිනිය දෙකකුල අල්වාගෙණ රජ්ජුරුවන් සමීපයට ගොස් රජ්ජුරුවන් වහන්ස අපට මේ මිනිය බෙදාදුන මැනවයි කීය. එකල බෝධිසත්වයෝ කියන්නෝ පින් වත් වූ යක්‍ෂයනි. මම තොපට මේ මිනිය බෙදාදෙමි මම වූකලී පිරිසිදු නොවෙමි එසේ හෙයින් පළමුකොට නාමියි කිවුය. යක්ෂයෝ සතුරු රජ්ජුරුවන්ට තිබූ සුවඳ කැවූ පැන් තමන්ගේ ආනුභාවයෙන් ගෙණවුත් රජ්ජුරුවන් නාන පිණිස දුන්නුය. ඉස්නානය කොට සිට රජ්ජුරුවන්ට සතුරු රජ්ජුරුවන්ගේ පත්කොටු තුබූ සළුවක්ගෙණවුත් දුන්හ. ඒ සළු ඇඳගෙන සිටියාවූ රජ්ජුරුවන්ට සිව්දැගඳ කරඬුවක් ගෙණ දුන්හ. සුවඳ විලවුන් ගල්වා සිටි රජ්ජුරුවන්ට රන්කරඬුවේ ලා මැනික් තල්වැට මත්තේ තුබූ නොයෙක් මල් ගෙනවුත් දුන්හ. මල් පැලඳ සිටි රජ්ජුරුවන්ට අනික් කුමක් කරමෝදැයි විචාලෝය.

රජ්ජුරුවෝ තමන්ට සය ඇතිනියාව ඇඟවූය. යක්ෂයෝ ගොස් සතුරු රජ්ජුරුවෝ තමන්ට සය ඇතිනියාව ඇඟවූහ. යක්ෂයෝ ගොස් සතුරු රජ්ජුරුවන්ට පිස තබනලද නොයෙක් අග්‍රරසයෙන් යුක්ත වූ භෝජන ගෙණවුත් දුන්හ. රජ්ජුරුවෝ නාහා සුවඳ විලවුන් ගල්වා සැරහී සැදී පැහැදී සිටිතැනැත්තෝ අනෙකප්‍රාකාරවූ අග්‍රරසයෙන් යුක්ත වූ භෝජනය අනුභව කළෝය. යක්ෂයෝ සතුරු රජ්ජුරුවන්ට තුබූ සුවඳකැවු පැන් ස්වර්ණ භිංකාර යෙන් රන්තැටිය හා සමග ගෙණාවාහුය. ඉක්බිත්තෙන් බෝධිසත්වයෝ පැන් බී මුඛය සෝදා අත සේදුකල්හි සතුරු රජ්ජුරුවන්ට සපයන ලද පස් පලාවතින් යුක්ත වූ බුලත් ගෙණවුත් දුන්හ. බුලත් කා සිටි කල්හි අනෙක් කුමක් කරමෝදැයි විචාළෝය. නැවත ගොස් සතුරු රජ්ජුරුවන්ගේ ඉස්දොර තූබූ මඟුල් කඩුව ගෙනෙවයි කිවුය. ඒ මගුල්කඩුවත් ගෙනාවාහුය. රජ්ජුරුවෝ කඩුවගෙණ එම මිනිය කෙළින් සිටුවා ඉස්මුදුනෙහි කඩුවෙන් ගසා දෙකක් කොට පලා යක්‍ෂයන් දෙදෙනාට සමබෙත්මෙන් බෙදා දුන්නාහුය. ඒ කඩුව සෝදා කොපුවේ ලා උරයේ බැඳ එල්වාගෙණ සිටියාහුය. ඉක්බිත්තෙන් ඒ යක්ෂයෝ මනුෂ්‍ය මාංස කා බඩපුරාගෙණ සතුටුවූ සිත් ඇතිව සිටියාහු රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේ ට අනික් කුමක්කරමෝදැයි විචාළෝය. ඒ සේ වී නම් තෙපි තොපගේ ආනුභාවයෙන් මා ගෙණගොස් සතුරු රජ්ජුරුවන්ගේ ශ්‍රී යහන් ගබඩාවේ බා සිටුවාලවයි මේ අමාත්‍යයන් ගෙණගොස් තම තමන්ගේ ගෙයි සිටුවාලවයි කිවුය. ඒ යක්ෂයෝ දෙදෙන යහපති ස්වාමීනි කියා ගිවිස එපරිද්දෙන්ම කළාහුය. එසමයෙහි රජ්ජුරුවෝ සරහන ලද ශ්‍රී යහන් ගබඩාවේ ශ්‍රී යහන් මස්තකයෙහි වැදහෙව නිදන්නාහුය. රජ්ජුරුවෝ සතුරු රජ්ජුරුවන් නිදිමත්ව නිදන තැනැත්තන්ගේ බඩට කඩුපතින් ගැසූය. ඒ රජ්ජුරුවෝ භයින් ත්‍රස්තව පිබිද ප්‍රදීපාලෝකයෙන් සීලවමහ රජ්ජුරුවන් හැඳින යහනින් නැගී ධෛර්යය උපදවාගෙණ සිට රජ්ජුරුවන්ට මෙසේ කිවුය. මහරජ්ජුරුවෙනි මෙබඳූ වූ රාත්‍රියෙහි ගනනා ලද රැකවල් ඇතිව වසන ලද දොර ඇති මේ ප්‍රාසාදයෙි රැකවල් මනුෂ්‍යයන්ගෙන් අවසරයක් නැත්තාවූ ස්ථානයෙහි කඩුව අල්වාගෙණ ස්වර්ණාභරණයෙන් සැරහී කෙසේ නම් තොපි මේ යහන් මත්තට අවුදැයි කීය. එබස් ඇසූ සීලව මහා රජ්ජුරුවෝ තමන් ආ සැටිය විස්තර කොට කීවාහුය. එබස් ඇසූ සතුරු රජ්ජුරුවෝ කලකිරුණාවූ සිත් ඇති මහරජ්ජුරුවෙනි මම මනුෂ්‍යාව සිටත් තොපගේ ගුණය නොදත්මි අනුන් ඇඟ වෙර ලේ මස් කන්නා වූ චණ්ඩ පරුෂ වූ යක්ෂයන් විසින් තොපගේ ගුණ දන්නා ලද රජ්ජුරුවෙනි දැන් මම මෙබඳු වූ සීල ගුණයෙන් යුක්තවූ තොප කෙරෙහි ද්‍රෝහයක් නොකරමි කඩුව ගෙණ සපථ කොට රජ්ජුරුවන් ක්‍ෂමා කරවා මහයානේ සතපවා තුමූ කුරු යහනෙක වැදහෙව පාන්වගියකල හිරුනැගි කල්හි බෙරලවා සියලු සේනාව හා අමත්‍ය බ්‍රාහ්මණ ගෘහපතීන් රැස්කරවා ඉදිරියේ ආකාශයෙහි පුන්සඳ මණ්ඩප ඔසවා පාන්නාක්මෙන් සීලව රජ්ජුරුවන්ගේ ගුණ කියා පර්ෂිත් මධ්‍යයෙහි දීම නැවත රජ්ජුරුවන් ක්‍ෂමා කරවා රාජ්‍යය පාවාදී මෙතැන්පටන් නුඹ වහන්සේ උපන්නාවූ සතුරන්ගෙන් උපද්‍රවයෙක් ඇත්නම් මටභාර වන්නේය. මාගත් රැකවලින් නුඹ වහන්සේගේ රාජ්‍ය ශ්‍රී අනුභව කොට වදාළ මැනවයි කියා කේලාම් කී තැනැන්තවුන් රාජාඥාකොට තමන්ගේ සේනා වාහණ ගෙණ ස්වකීයවූ රාජ්‍යයටම ගියෝය. සීලවරජ්ුරුවෝත් ස්වර්ණාභරණයෙන් සැරහී ධවල චඡත්‍රයයට සරහන සරහ මෘගයන්ගේ කකුල් බඳුවූ පා ඇති ස්වර්ණ පර්යංකයේ හිඳ තමන්ගේ සම්පත්තිය බලා මෙබඳූ සම්පත්තියත් අමාත්‍යයන් දහසක් දෙනාගේ ජීවිත ප්‍රතිලාභයත් මා විර්යනොකළ කල්හි කිසිවෙක් සිද්ධනොවන්නේ වේදැයි වීර්ය බලයෙන්ම මම නටුවාවූ යසසත් ලදිමි. අමාත්‍යයන් දහස්දෙනාට ජීවිත දානයත් දිනිමි. ඒ කාන්තයෙන්ම ප්‍රාර්ථනා කළ වස්තුවෙහි ආලය නොහැර වීර්යය කටයුත්තේය. කාළවූ වීර්යය ඇති සත්වයාහට විපාකනම් මෙසේ සමුර්ධි වන්නේයයි සිතා තවද ඒ මහබෝසතානෝ පින්වත්නි සිල්වතුන්ගේ වීර්යයෙහි ඵලනම් මෙසේ සමුර්ධි වන්නේයයි උදන් අනා දිවිපමණින් කුසල්කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණ හැරදක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශ කළ සේක. චතුස් සත්‍යයාගේ කෙළවර පසුබට විර්ය ඇති භික්ෂූන් වහන්සේ අර්හත්ඵලයෙහි පිහිටිසේක. සර්වඥයන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ මහසීව ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි දුෂ්ට වූ අමාත්‍යයා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝය. දහසක් අමාත්‍යයෝ නම් දැන් බුදුපිරිස්ය. මහසීල රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.