මුල් පිටුව 51 සිට 100 දක්වා 53 කාචනස්කන්‍ධ ජාතකය

53 කාචනස්කන්‍ධ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් සමයෙක්හි අසරණයන්ට සරණ වූ සර්වඥයන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන සේක් එක් තරා භික්ෂූන් කෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත් නුවර වාසය කරන්නාවූ එක් කුල පුත්‍රයෙක් සර්වඡයන් වහන්සේගේ ධර්ම දේශනාව අසා සර්ව ඥායාසනයෙහි පැහැද පැවිදි වූයේය. ඉක්බිත්තෙන් ඒ භික්ෂූන් වහන්සේට අවවාද දෙන්නාහු ඇවැත්නි සීලය ඒක විද වන්නේය. විවිධ වන්නේය. යනාදී බහුප්‍රකාශ වන්නේය. මේ චුල්ලශිල නම් මේ මධ්‍යම ශීල යන මේ මහා ශීල ගුණ මේ ප්‍රාතිමොක්ෂ සංවර ශීල ගුණ මේ ඉන්ද්‍රිය සංවර ශීල ගුණ මේ ආජීව පාරිශුද්ධි ශීල නම් මේ ප්‍රත්‍යය සන්නිශිත ශීලනමැයි කියා සීලය ප්‍රභේද වන්නාහු වෙති. ඒ භික්ෂූන් වහන්සේ මෙසේ සිතු සේක. මේ සිලය නම් ඉතා බොහෝය. මම මෙපමණක් සමාදන්ව පවත්වන්නට නොහැකි වන්නේය. සිල් පුරන්නට නොහැකි වන්නා හට ප්‍රවෘජ්ජාවෙන් කවර ප්‍රයෝජනද. මම ගිහිව ධානාදී වූ කුසල් කරන්නෙමි. පුත්‍ර දාරාවන්ද රක්ෂා කරන්නෙමි. සිතු සේක. මෙසේ ද සිතා ස්වාමීන් වහන්ස මම සිල් රක්ෂා කරන්නට නොහැකි වන්නෙමි. සිල් රකින්නට නොහැක්කා හට ප්‍රවෘජ්ජාවෙන් කවර ප්‍රයෝජනද. මම සිවුරු හරින්නෙමි නුඹ වහන්සේලාගේ පා සිවුරු ගනවයි කීයේය. එසේ කී මහණ හට ආචාර්යය උපාධ්‍යයන් වහන්සේ වදාරන සේක් ඇවැත්නි එසේ කල්හි බුදුන් වැඳ යවයි කියා උන් වහ්නසේලා ඒ මහණ කැඳවාගෙන සර්වඥයන් වහන්සේගේ සමීපයට ධම්සභා මණ්ඩපයට ගියාහුය. සර්වඥයන් වහන්සේ දැක මහණෙනි කවර කාරණයකින් නොකැමති කරවා මහණක් වූ කැඳවාගෙන ආවාහුදැයි වදාළසේක. ස්වාමින් වහන්ස මේ භික්ෂූන් වහන්සේ මට සිල් රකින්නට නොහැකි වන්නෙමි කියා පාත්‍රා සිවුරු භාරකොට දුන්නේය. ඉක්බිත්තෙන් ඒ මහණ අප කැඳවාගෙන ආම්හයි දැන්වුවාහුය. මහණෙනි තෙපි වනාහි මේ මහණ හට කවර කාරණයකින් ශිලය බොහෝ කොට කීවාහුද. යම් පමණක් තෙමේම රක්නට හැකිවේද එපමණක්ම රක්ෂා කෙරේවා මෙතැන් පටන් තෙපි එසේ කිසිවක් නොකියව. මීට කටයුතු මම දනිමි කියා මහණෙනි තෙපි මෙසේ එව. තොපට බොහෝ ශිලයෙන් කවර ප්‍රයෝජනද ත්‍රිවිධ ශීලයම රක්ෂා කරන්නට හැකි වන්නේදැයි විචාරා වදාළ සේක.

ස්වාමීන් වහන්ස හැකිවන්නෙමි කීය. එසේ වීනම් තෙපි මෙතැන් පටන් කායවරව, වාක් වාරය, මනෝ වාරය, යන ත්‍රිවිද වාරයන්ම රක්ෂා කරව. කාය වාරයෙන් අකුශල කර්මය නොකරව. වාග් වාරයෙන් අකුශල් නොකරව, මනෝ වාරයෙන් අකුශල් නොකරව, ගිහි නොව මේ ත්‍රිවිධ ශීලයම රක්ෂා කරවයි කීය. මෙපමණකින් ඒ භික්ෂූන් වහන්සේ තුටු පහටු සිත් ඇතිව යහපති ස්වාමීන් වහන්ස මේ ත්‍රිවිධ ශ්‍රීලය රක්ෂා කරමි කියා සර්වඥයන් වහන්සේට නමස්කරා කොට ආචාර්ය උපධ්‍යයන් වහන්සේ හා කැටිව ගිය සේක. ඒ භික්ෂූන් වහන්සේ ඒ ත්‍රිවිධ ශීලය පුරමින්ම දැනගත් සේක. ආචාර්ය උපාiයන් විසින් මට කියන ලද ශිලයද මෙපමණෙක්මය. උන් වහන්සේ වනාහි තමුන් සවුනේ ගෙවා නොදත් බැවින් මට අවබෝධ කරන්නට නොහැකි වූවාහුය. බුදුරජානන් වහන්සේ වනාහි තමන් සවුනේ ගෙවා ලද් බැවින් නිරුත්තර වූ ධර්ම රාජන්ම බැවින් මෙපමණ ශීලය චාරත්‍රයෙහිම බහා මට දැන් වූ සේක. ඒ කාන්තයෙන්ම සර්වඥයන් වහන්සේ මට පිහිට වූ සේකැයි කියා විදර්ශනා වඩා කීප දවසකින් ම අර්හත් ඵලයෙහි පිහිටි සේක. ඒ ප්‍රවෘත්තිය දැන දම්සභා මණ්ඩපයෙහි රැස්ව හුන්නාහු භික්ෂූන් වහන්සේලා කියන්නාහු ඇවැත්නි අසවල් මහණ සිල් රක්ෂා කරන්නට නොහැකි වන්නේ කියා ගිහි බවට පැමිණෙන්නාහු සියළු ශීලයන් තුන් කොටසෙක්හි පිහිටුවා ග්‍රහණය කරවා ශාස්තෘන් වහන්සේ අරහත් ඵලයට පැමිණ වූ සේක. සර්වඥයෝ නම් ඉතා ආශ්චර්යය මත් සේකැයි බුදුගුණ කියමින් හුන්නාහුය. සර්වඥයන් වහන්සේ එතනට වැඩ වදාරා මහනෙනි ධම්සභාවෙහි කවර නම් කතාවකින් යුක්තව හුන්නුදැයි වදාරා මේ නම් කතාවකින් යයි දැන් වූ කල්හි මහණෙනි ඉතා බෑරුරුම් බර කොට්ඨාශ වශයෙන් නොබෙදන ලද්දේ සැහැල්ලුවාක් මෙන් වන්නේය. පෙර නුවණැති මහොත්තමයෝ මහත් රත්රන් කඳක් ලැබ ඔසවා ගන්නට නොහැකිව විභාග කොට ඔසවාගෙන ගියාහුය. වදාරා අතීත කථාව ගෙන හැර දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහා බෝසතානෝ එක් ගමක කර්ෂකව උපන් සේක. බෝධිසත්වයානන් වහන්සේ එක් දවසක් එක්තරා කරන ලද ගමෙක්හි කෙතක් කර්ෂණය කරන සේක. පූර්වයෙහි ඒ ගම සම්පත්තියෙන් යුක්ත වූ එක් සිටාන කෙනෙක් කලලයක් හා පමණ වට ඇති සතර රියන් දිග ඇති රන්කඳක් නිදාන කොට කළුරිය කළේය. ඒ රන් කදෙහි බෝධිසත්වයන් වහන්සේගේ නගුල ලග්නව සිටියේය. බෝධිසත්වයන් වහන්සේ මුල් සමූහය වනැයිසිතා පස් පිරමින් ඒ මුල දැක පාංශුවෙන් වසා දාවල් කර්ෂණ කොට සූර්ය අස්ථාන ගත වූ කල්හි වියදඩු නගුල් ආදීය එක් පසෙක්හි බහා තබා ස්වර්ණස්කන්ධය ගෙන යන්නෙමි සිතා ඒ රන්කඳ ඔසවා ගන්නට නොහැකි වූ සේක් හිඳ මෙපමණ කුක්ෂි රක්ෂා පිණිස වන්නේය. මෙපමණෙක් නිධාන කොට තබන්හෙි මෙපමණකින් කෘෂිවණෙක් කර්මාන්ත ආදියෙහි යොදන්නෙහි. මෙපමණ ධානාදී කුසල් කිරීමට වන්නේයයි කිය සතර කොට්ටාසයක් කල සේක. මෙසේ කොට්ටාසය කල කල්හි අප මහා බෝසතානන් වහන්සේට ඒ ස්වර්ණස්කන්ධය සැහැල්ලූ වූවාක් මෙන් වුයේය. අප මහ බෝසතානන් වහන්සේ ඒ ස්වර්ණස්කන්ධය ඔසවා ගෙට ගොස් සතර කොට්ටාසයකට බෙදා දානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියසේකැයි වදාරා සර්වඥයන් වහන්සේ බුදුව වැඩ හිදී මෙසේ වදාල සේක්. භෝගයන්ගේ කේෂමයට හෙවත් නිර්වාණයට පැමිණෙන පිණිස දුරු කර නීවරණයන් ඇති තිත්තයින් එසේ විගත නීවරණ වශයෙන් දවා සොභා කළස්වර්ණයක් සේ නිර්මල වූ සිත් ඇති යම් සත්වයෙක් නිරාමත්වයෙන් කුසල් කම් වූ පරිද්දෙන් බෝධිපාක්ෂික ධර්මයන් වඩාද ඒ තෙම සියළු සංයෝජනයන්ගේ විනාශයට පිළිවෙළින් පැමිණෙන්නේයයි මෙසේ සර්වඡයන් වහන්සේ අරහත් ඵලයට කුළුගන්වා දේශනාව නිශ්ටා කොට පූර්වාපර සන්ධි ගලපා මේ කාන්චනස්කන්ධ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි ස්වර්ණස්කන්ධය ලද්දා වූ පර්ෂික පුරුෂ වුයේම් තිලෝගුරු සම්‍යයක් රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.