මුල් පිටුව කාරුණික බව 245 තිලමුට්ටි ජාතකය

245 තිලමුට්ටි ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මාගේ සිරෝමාණික්‍යවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් කොපීවූ භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ යම්තම් බසකටම කෝපවනසේක.සෙසු භික්ෂූන් වහන්සේ එනම් දැක කෝපී නොවන්නාවූ බුද්ධශාසනයෙහි මහාණව තොප කොපවීමෙන් දවස් යවන්නේ කටයුතු නොවන්නේ වේදැයි කියා ඒ භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ කරා ගෙණගොස් දැක්වූසේක. සර්වඥයන් වහන්සේත් සැබෑද තා කෝපවීමෙන් දවස්යවන්නේදැයි විචාලකල්හි සැබෑව ස්වාමිනි දැන්වූකල්හි සර්වඥයන් වහන්සේ මහණෙනි දැන්මතුනොවෙයි පෙරත් මේ භික්ෂූහූ කෝපවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේකී.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ බ්‍රහ්මදත්ත නම් රාජ කුමාරකනෙක් ඇත්තාහ. ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝත් තමන්ගේ පුතනුවන්ට මසෙසන් දහසක් හා පිළිසඟලක් හා පත්කුඩයක් හා වහන්සඟලක් හා බත්මුලක් ආදීවූ දෙයදී දිසාපාමොක් ආචාරීන් කරාගොස් සිල්පශාස්ත්‍ර ඉගෙණගෙණ එවයි යවුහ. එකියන කුමාරයාත් තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරී දකින්ටගිය වෙලාවට දිසාපාමොක් ආචාරීන් ශිෂ්‍යයන් ශිල්ප ශාස්ත්‍ර උගන්නා මිදුලෙහි සක්මන් කොට කොට සිටියහ. ඒ වෙලාවට රාජකුමාරයන් ලඟ එන්නා දැක ඇයි තොපි කුමට අවුදැයි විචාරා ශිල්ප උගන්ට ආමී කී කල්හි ආචාරීන්ට වස්තු දී ශිල්ප දැක උගනුද කුලියට ශිල්ප උගනුදැයි විචාළකල්හි එවිට රාජ කුමාරයාත් ආචාරී භාගයක් පළමුකොට තබා වැදහොත්තාහ, එවිට දිසාපාමොක් ආචාරීන් රාජකුමාරවරුන් නම් කල්යවා ශිල්ප උගන්ට බැරිය වහා ශිල්ප උගතමැනවයි කියා සාමාන්‍යයකක් සලස්වා ශිල්ප උගන්ට පටන් ගැන්වූහ. එක් දවසක් රාජ කුමාරයන් පිටිපස්සේ ලාගෙණ නාන්ට වැවට යමින් සිටියාහ. ඒ වෙලාවට එක්තරා මෑලි ස්ත්‍රියක් ඵලකරපුතල අව්වේ වනා වියලමින් සිටියහ. ඒ වෙලාවට දිසාපාමොක් ආචාරී පස්සේ යමින් සිටි රාජකුමාරයෝත් එකියන ඵල තල දැක කන්නා අභිප්‍රාය ඇතිව ගාණක් අතටගෙණ කාපූහ. එකියන මෑලි ස්ත්‍රීන් ඒ දැක කුඩාකොල්ලා හෙයින් බඩසයින් කාපුවමැනවැයි සිතා බැණ නොනැගී සිටියාහ. එවන දවසුත් එපරිද්දෙන්ම රාජ කුමාරයෝත් ඵල තල ගාණක් අරගෙණ ගියාහ. තුන්වන දවසුත් එපරිද්දෙන්ම ඇරගත්තාහ. එවිට ස්ත්‍රී සිතන්නී මේ නියායෙන් දවස්පතා කත්නම් මාගේ තල නිමායෙයි සිතා කියන්නී දිසාපාමොක් ආචාරීන් වහන්ස තමන් වහන්සේගේ අතවැස්සන් ලවා මාගේ තල ගන්නා සේකැයි මොරගෑව. එවිට දිසාපාමොක් ආචාරී ඇයි මෑනියනි මම කුමන අන්‍යවක් කෙලෙමිදැයි කීහ. එවිට ස්ත්‍රි කියන්නී නුඹ වහන්සේ පස්සේයන අතවැසි තුන්වාරයක් මාගේ තල ඇරගෙණ ඉනිබ්බේත් තලගනිත්නම් මාගේ තල නිමන්නේයයි කියා මොරගා කීය. එවිට දිසා පාමොක් ආචාරී කියන්නාහූ ඊට තොප වික්ෂේපනොව තොපගෙන් කෑ තලවලට මම මිලදෙමි කීහ. එවිට ස්ත්‍රී කියන්නී කෑ තලයට මිළ ඵපයි ඉනිබ්බේ මාගේ තල නොකන ලෙස අවවාද කියවයි කීහ. එවිට දිසාපාමොක් ආචාරි කියන්නාහූ ඉදිරියේදී පාටව කෙරෙමි කියා අතවැස්සන් දෙත්නකුලවා දැත් කර අල්වා උනපත්තෙන් පාරගණනක් ගස්වා පාටව කරවූහ. එවිට රාජ කුමාරාත් දැස්රත්කොට උරණවමුහුණුබලා වෛරබැන්දේය, දිසාපාමොක් ආචාරීන් තමන් කෙරේ වෛර බැඳි නියාව දන්හ. දැන දැනත් සියළු ශාස්ත්‍ර උගන්වා නිපුනකරවූහ. ඒ රාජ කුමාරයාත් දිසාපාමොක් ආචාරීන් වැඳ නුවරට යන්නාහූ ආචාරීන් වහන්ස මම සැපසේ රාජ්ජයට පැමිණියෙම්වීන්නම් නුඹවහන්සේ කැඳවා එවමි එවිට අවමැනවයි කියා තමන්ගේ රටටගොස් තමන්ගේ පියරජ්ජුරුවන්ට ශිල්ප දැක්වූහ. එවිට රජ්ජුරුවෝ සමාධිව මා අසසමුයේ මොහුගේ රාජ්ජ්‍යශ්‍රී දකිමි සිතා රාජ්ජ්‍යශ්‍රීය දුන්නාහ. එකියන රාජ කුමාරයාත් රාජ්ජයට පැමිණ දිසාපාමොක් ආචාරීන්ට පාටවකරන්නා කැමතිව ආචාරීන් වහන්සේ මාකෙරේ සැකනොසිතා වහා එන්නේ යහපතැයි කියායවුහ. එපවත් දිසාපාමොක් ආචාරීන් වහන්සේ අසා රජ්ජුරුවන් වහන්සේ මා කැඳවා එන්නේ මට සෙනෙහයෙන් නොවෙයි මා ගැසු පාරට නිග්‍රහ කරන්නටයයි සිතා දැන කුමාරයෝ බාලයෝය එසේ හෙයින් මා කියන අවවාද දැන් අසන්නේ නොවෙති. පසුව වැඩි මාළු වයසට පැමිණිකල යෙමිසිතා නොගොස් කල් යාමක්කොට රජ්ජුරුවන් වැඩිමාළුව ගියපසු දිසාපාමොක් ආචාරීන් නොකැඳවාම තුමූ ගියහ. ගොස් වාසල සිට තමන් ආපවත් කියායවුහ. එපවත් අසා රජ්ජුරුවෝ යහපත ආචාරීන් වහන්සේ කැඳවමි කියා කැඳවා කියන්නාහූ ඇයි ආචාරීනී තොපි මරණ නලලේ තබා අවුද එදවස් තොප විසින් මා තලකැවයි කියා දෙන්නකුලවා අත් දෙක දල්වා උණපත්තෙන් තැළවුපාර තවදක්වා මාගේ පිටේ රිදෙන්නේයයි කියා අමාත්‍යයෙනි මේ දිසාපාමොක් මරවයි කීහ. එවිට දිසාපාමොක් ආචාරී කියන්නාහූ රජ්ජුරුවෙනි එදවස් තොප කෑ තලවට පාරක් නොගැසී නම් දෙවෙනි දවස් අනික් සොරකමක් කරණසේක. එවිට යම් කෙණෙක් මරාදමාපුනම් දැන් මේ රාජ්ජශ්‍රීය බලන්ට නැත්තේ වේද එසේ හෙයින් හික්මවීම පිණිස කළ පාටවයට උත්තමයෝ වෛරනොබදිති කියානීහ. එපවත් අසා බොහෝ අමාත්‍යයෝත් එසේමය දේවයන් වහන්සැයි දිසාපාමොක් ආචාරීන් වහන්සේ පිණිස රාජ්ජ්‍යශ්‍රී නුඹ වහන්සේ ලද්දේයයි අමාත්‍යයෝ කීහ. රජ්ජුරුවෝ ඒ කාරණය සිතාගෙණ ආචාරීන්ගේ බොහෝ ගුණ සඳහන්කොට කියන්නාහූ දිසාපාමොක් ආචාරීනි රාජ්ජජයට පැමිණියේ තොප පිණිසයයි එසේ හෙයින් රාජ්ජය පිළිගණුවයි කීහ. එපවත් අසා දිසාපාමොක් ආචාරීන් රාජ්ජය නොගිවිස්සාහ. රජ්ජුරුවෝත් තමන්ගේ මිනිසුන් යවා ආචාරීන්ගේ අඹුදරුවන්ගෙන්වාගෙණ තමන්ගේ නුවරලා ආචාරීන්ට බොහෝ තරම්පදම් සලස්වා තමන්ට පුරෝහිත තනතුරෙහි තිබුවේදැයි වදාරා මේ තිළමුට්ථි ජාතකය නිමවා වදාළ සේක. මේ ජාතකය අවසානයෙහි එකියන භික්ෂූන් වහන්සේ අනාගාමිඵලයෙහි පිහිටි සේක. එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් මේ කෝපි භික්ෂූහුය. දිසාපාමොක් ආචාරීව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.