මුල් පිටුව කාරුණික බව 75 සීලව නාගරාජ ජාතකය

75 සීලව නාගරාජ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සාන්ත වූ වෘත්තී ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසනසේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූන් වහන්සේලා ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ අකෘතඥයෝය. සර්වඥයන් වහන්සේගේ ගුණ නොදනිති කියමින් උන්සේක. ශෘස්තෘ වූ බුදුරජානන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව හුනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි මහණෙනි දේවදත්ත ස්ථවිරයෝ අකෘතඥවූවෝ දැන් මතු නොවෙයි පෙරත් අකෘතඥයෝයයි කිසිකලෙකත් මාගේ ගුණ නොදන්නෝමයයි වදාරා ඒ භික්ෂුන් වහන්සේ විසින් ආරාධිත වු බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහාබෝසතානෝ හිමාලය වනයෙහි ඇත්යෝනියෙහි උපන්නාහුය. ඒ බෝධිසත්වයෝ මව්කුසින් බිහිවන තැනැත්තෝ සර්වාංගයෙන් ධවලවුය. රිදි පිඩැල්ලෙක් හා සමානයෝය. ඒ බෝධිසත්වයන්ගේ ඇස් ඉඳුමිණිවට දෙකක් මෙන් ප්‍රකාශව පෙනෙන්නාවූ පඤචාප්‍රාසාදයෙන් හොබනේය. මුඛය රත්පලසක් හා සමාන වන්නේය. සොඬ ස්වර්ණ බින්දුයෙන් හෙබියාවූ රජතදාමයක් හා සමාන වන්නේය. සතරපය ලාක්‍ෂරසයෙන් පිරියම් කරණ ලද්දෙක් වැන්නේය. මෙසේ ඒ මහා බෝධිසතානන්ගේ දසපාරමිතාවෙන් අලංකෘත වූ රූපාග්‍රප්‍රාප්ත වූ ආත්මභාවය විය. ඉක්බිත්තෙන් විඤඤුබවට පැමිණියා වූ ඒ බෝධිසත්වයන්ට ඒ සියලු හිමාලය වනයෙහි හස්තීහූ රැස්ව උපස්ථාන කෙරෙමින් ඇවිදිනාහුය. මෙසේ ඒ මහබෝසතානෝ අසූදහසක් ඇතුන් පිරිවරා හිමාලය වනප්‍රදේශයෙහි වසන්නාහුය. මෑතභාගයෙහි ගෙණහි දෝෂ දැක ගණයා කෙරෙන් කායවිවේක කොට උදකලාව වල්හි වාසය කළාහුය. ඒ බෝධිසත්වයන් වහන්සේ සිල්වත් බැවින් සීලව නාගරාජ යය් කියා මේ නමින් ප්‍රසිද්ධ විය. එකල බරණැස් නුවර වැසි එක් වනචරයෙක් හිමාලය වනයට වැද තමා ජිවිකාප්‍රවෘත්තිය කරන්ට නිසි භාණ්ඩයන් සොයන්නේ දික් නියමකොට ගත නොහි මංමුළාව වල්මත්ව භයින් භයපත්ව දෝත හිසතබා අඬමින් ඇවිදින්නේය. මහබෝසතානෝ ඔහුගේ ඒ බලවත්වූ බැගෑහඬ අසා මේ පුරුෂයා සමීපයට එළඹ ඒ පුරුෂතෙම බෝධිසත්වයන් දැකලා භයින් පලාගියේය. බෝධිසත්වයෝ ඔහු යන්නා දැක සිටතෙනම් සිටපුව, ඒ පුරුෂයා බෝධිසත්වයන් සිටියා දැක තෙමෙත් සිටියේය. බෝධි සත්වයෝ නැවත නික්මුණාහ. ඒ පුරුෂයා නැවත පලාගොස් බෝධිසත්වයන් සිටිවේලේම සිට මෙසේ සිතූයේය. මේ හස්තිරාජයා මට අවැඩක් කැමති එකෙක් නොවෙයි. මේ දුකින් මුදනු කැමැත්තේ වනැයි නිර්භිතව සැකයක් නැතිව සිටියේය. බෝධිසත්වයෝ ඔහු කරා ගොස් පින්වත් පුරුෂය තෝ කවර කාරණයකින් හඬමින් ඇවිදිනේදැයි විචාලෝය. ස්වාමීනි දික්නියම් කොටගත නොහී මන්මුලාව මරණභයින් භයපත්ව ඇවිදිමියි කීය. ඉක්බිත්තෙන් ඕහට බෝධිසත්වයයෝ තමන් වසනතැනට ගොස් කීපදවසක් ඵලාඵලයෙන් සතපා පින්වත් වූ පුරුෂය තෝ නොබව මම තා මනුෂ්‍යා පථයට ගෙණ යෙමි කියා තමන් පිට හිඳුවාගෙණ මනුෂ්‍ය පථයට නික්මුනාහුය. ඉක්බිත්තෙන් ඒ මිත්‍රද්‍රෝහි පුරුෂයා කිසිවෙක් විචාළේ නම් කියයුතු වන්නේ යයි බෝධිසත්වයන් පිට හිඳූවා යන වේලෙහි වෘක්‍ෂ නිමිත්ත පර්වත නිමිත්ත සලකමින් යන්නේය. ඉක්බිත්තෙන් බෝධිසත්වයෝ අසත්පුරුෂයා වනයෙන් පිටත් කොට බරණැස්නුවරට යන්නාවූ මහමාවත සිටුවා පින්වත් පුරුෂය මෙ මගින් යව මා විචාළකෙණෙකුන්ට නොකියවයි ඔහු යවා මහා බෝසතානෝ පෙරලා තමන්වහන්සේ වසන්නාවූ ස්ථානයට ගියේය. ඉක්බිත්තෙන් ඒ පුරුෂයා බරණැස්නුවරට ගොස් ඒ නුවරට ඇවිදිනේ දන්තකාර වීථියට පැමිණ දන්ත විකෘර්ති කරන්නා දැක කිමෙක්ද පින්වත්නි ජීවදන්ත ලද්දෝත් ගනුදැයි විචාළේය. එබස් ඇසූ දළ වඩුවෝ කියන්නෝ පින්වත තෝ කුමක් කියම්ද ජීවදන්ත නම් මළ ඇතුන්ගේ දළට වඩා ඉතා මාහැගී වේදැයි කිවුය. එසේ නම් මම තොපට ජීවදන්ත ගෙණෙමි කියා මාර්ගෝපකරණ ගෙණ කර්කශ වූ කියතක් ගෙණ බෝධිසත්වයන් වසන්නාවූ ස්ථානයට ගියේය. බෝධිසත්වයෝ ඔහු දැක කුමක් නිසා අවුදැයි විචාළෝය. ස්වාමීනි මම දුක්ඛිතයෙමි කාපනයෙමි ජීවත්ව ගත නොහමි නුඹවහන්සේගෙන් දළකැබෙල්ලක් ඉදින් දුන්සේක් වී නම් දළකැබැල්ල ඇරගෙණ ගොස් විකොට ඒ මිලයෙන් ජීවත්වෙමි සිතා ආමි කීය. එබස් ඇසූ මහබෝසතානෝ පින්වත වන්නාටය තට දළදෙමි දළ කපන්ට කියතෙක් ඇද්දැයි විචාළෝය. කියත ඇරගෙණ ආමි කිය. එසේවී නම් කියතින් දළ කපා ගෙණවයි කියා බෝධිසත්වයෝ පා හකුළුවා උරව් ලා වැදහුන්නුය. ඒ අසත්පුරුෂයා බෝධිසත්වයන්ගේ දළ අක් දෙකම කපා ගත්තේය. බෝධිසත්වයෝ ඒ දළ කැබලි දෙක සොඬින් ගෙණ පින්වත් වූ පුරුෂය මට මේ දළදෙක අප්‍රියය අමනාපයයි නොදෙමි, මාගේ මේ දළදෙක මටවඩා දහසක් ගුණයෙන් ලක්ෂයක් ගුණයෙන් ස්වධර්මයන සර්වාකාරයෙන් ප්‍රතිවේධ කරන්ට සමර්ථ වූ සර්වඥතා ඥානය නැමති දන්තයෝම අතිශයින් මට ප්‍රිය වන්නාහුය. මේ මාගේ දන්තදානය සර්වඥතාඥාන ප්‍රතිවෙධයට ප්‍රත්‍යය වේවායි කියා සර්වඥතාඥාණය ඇපකොට දළ සඟල දුන්නාහුය. ඒ අසත්පුරුෂවූ පාපියා දළ සඟල ගෙණගොස් විකුට ඒ මිල නිමාගිය කල්හි නැවතත් බෝධිසත්වයන් සමීපයට අවුත් ස්වාමීනි නුඹ වහන්සේගේ දළ විකොට ලබනලද මිල මාගේ නය ගෙවන්නට පමණක් සැහිනෑ එසේ හෙයින් ඉතිරි දළ දුනමැනවයි කිය. බෝධිසත්වයෝ යහපතැයි ගිවිස පළමු පරිද්දෙන් කප්පවා ඉතිරි දළ දුන්නාහුය. ඒ පුරුෂයා ඒ දළත් විකොට නැවත අවුත් ස්වාමීනි ජීවත්වගත නොහෙමි මුල් දළ දුනමනවයි කීය. බෝධිසත්වයෝ යහපතැයි ගිවිස පළමු පරිද්දෙන්ම දුන්නාහුය. ඒ පාපී පුරුෂයා මහාබෝසතානන්ගේ රිදීදමක් හා සමාන වූ සොඬ මඩිමින් කෛලාසකූටයට හා සදෘශවූ කුඹත්තට නැගී දෙදළ විළුඹින් ඇන මස්පීරා රළු කියතින් මුල්දළ කපාගත නොහි වෙහෙසෙන රග බලා සොඬින් කියතකොන අල්වා දළකපා මුල්සිඳුවා ගෙණ ගියෝය. ඒ පාපීවූ පුරුෂයා මහබෝසතානන්ගේ දෘෂ්ටිපථයෙන් ඉවත්ව ගියෙන් මදකින්ම දෙලක්ෂ සතළිස්දහසක් ඝනකඩ මහබොල් පොළව සිනේරු යුගන්ධරාදී වූ භාරයන් හා දුර්ගන්ධ පිළිකුල් මළ මුත්‍රාදීය ධරන්ට සමර්ථවන්නේ වී නමුත් මහබෝසතානන් ගේ ගුණ රාශිය ධරාගත නොහෙන්නීය මෙන් පැලී විවරවුව, එකෙණෙහිම අවිචිමහ නරකයෙන් වහ්නිජවාලා නික්ම ඒ මිත්‍රද්‍රෝහී පුරුෂයා කුලසන්තකව රතු පලසකින් පොරවන්නාක් මෙන් වසාගෙණ අවිචිමහානරකයට ගෙණ ගියේය. මෙසේ පාපීවූ පුද්ගලයා පොළොවට වනකල්හි ඒ වන ලැහැබ වසන්නාවූ වෘක්‍ෂ දේවතාවා අකෘතඥ මිත්‍රද්‍රෝහී පුද්ගලයාට චක්‍රවර්තී රාජ්‍යශ්‍රීය දීත් සතුටුකරවන්ට නොපිළිවනැයි වනලැහැබ එකනින්නාද කොට මෙසේ ධර්මදේශනා කෙළේය. බෝධිසත්වයෝ ආයුපමණින් සිට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මහණෙනි දේවදත්ත ස්ථවිරයෝ අකෘතඥ වූවෝ දැන්මතු නොවෙති පෙරත් ආකෘතඥ වූවොම වේදැයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා මේ සීලව නාගරාජ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි මිත්‍රදෝහී පුරුෂයා නම් දැන් දේවදත්ත ස්ථවිරයෝය. වෘක්‍ෂ දේවතාවා නම් ශාරිපුත්‍ර ස්ථවිරයෝය. එසමයෙහි සීලව නාගරාජවූයෙම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.