මුල් පිටුව පරිසර හිතවාදී බව 76 සච්චං කිර ජාතකය

76 සච්චං කිර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් සමයෙක් හි ශාක්‍යල ප්‍රදීපවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසනසේක් වධයට උත්සාහ කිරීමක් අරභයා මේ ජාතකය වදාළසේක.

භික්ෂු සංඝයා වහන්සේ දම්සභා මණ්ඩපයෙහි රැස්ව හිඳ ඇවැත්නි දේවදත්ත ස්ථිවිරයෝ සර්වඥයන් වහන්සේගේ ගුණ නොදනිති. වධයට උත්සහ කරති. දේවදත් ස්ථිවිරයන්ගේ නුගුණ කියමින් උන් කල්හි ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කවර නම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි මහණෙනි දේවදත්ත ස්ථවිරයෝ දැන්මතු නොවෙති මට වදයට උත්සාහකළෝ පෙරත් උත්සාහ කළෝම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි ඒ රජ්ජුරුවන්ගේ දුෂ්ටකුමාර නම් පුත්‍රයෙක් විය. ඔහු කර්කෂය.ඵරුෂය, ප්‍රභාටාශිෂීයක්හු සමානය නොබැන නොගසා කිසිකෙනෙකුන් හා කථා නොකරන්නේය. ඒ කුමාරතෙම ඇතුලෙහි ජනයාටත් පිටත ජනයාටත් ඇසහුණු රජසක්මෙන්ද කන්ට ආ යකෙකු මෙන්ද අප්‍රියවන්නේය. උද්වේග උපදවන්නේය. ඒ කුමාර තෙම එක්දවසක් ගංගාවෙහි ජල ක්‍රීඩා කරනු පිණිස මහපිරිවරින් ගන්තෙරට ගියේය. එකෙණෙහි මහත්වූ මේඝයක් නැංගේය. සියළුද්ග් අන්ධකාර විය. ඒ කුමාරතෙමේ දාසකර්මකාරාදින්ට කියන්නේ සගයෙනි මෙසේ එව මා කැඳවාගෙණ ගංඟාමාධ්‍යට ගෙණ ගොස් නහවා ගෙණවයි කීයේය. එබස් ඇසූ දාසකම්කරුවෝ දීයහූ ඒ කුමාරයා ගංගා මධ්‍යයට ගෙණගොස් රජ්ජුරුවන් වහන්සේ අපට කුමක් කරණසේක්ද මේ පාවීවූ පුරුෂයා මෙතැන්හිම මරාම්හයි මන්ත්‍රණයකොට කාලකන්නිය මෙසේ එවයි කියා ඔහු දියේ ලා ගොඩනැගී ගංතෙර සිටියාහුය. කුමාරයෝ කොයිදැයි විචාළ කල්හි අපි කුමාරයන් නුදුටුම්හ. වැසි නැගුවා දැක දිය කිම්ද ඉදිරයෙහි ආයේවනැයි කියා අමාත්‍යයෝ රජ්ජුරුවන් සමීපයට ගියාහුය. රජ්ජුරුවෝ කුමාරයා කොයිදැයි විචාළේය. ස්වාමීනි නොදනුම්හ. වැසිනැගු කල්හි ඉදිරියේ ආසේක්වනැයි සිතා ආම්හයි කීහ. එබස් ඇසූ රජ්ජුරුවෝ වාසල්දොර හරවා ගංතෙරට ගොස් පරීක්ෂාකරවයි ඒ ඒ තැන බැළුය. මෙසේ බලා කිසිවෙක් කුමාරයා නුදුටුයේය.

ඒ කුමාරයෝ මේඝයෙන් අන්ධකාරව වැසිවසින්ට පටන්ගත් කල්හි දියෙන් ගන්නාවූ එක් දඬුකඩක් දැක එහි හිඳ මරණභයින් තැතිගෙණ අඬ අඬා යෙති. එකල බරණැස්නුවර වාසීවූ එක් සිටුපුත්‍රයෙක් ගංතෙර සතළිස් කෙළක් ධන නිධානකොට වස්තුලෝභයෙන් ඒ නිධානය සමීපයෙහි සර්පව උපන්නේය. අනික් සිටුපුත්‍රයෙක් ඒ මහාගංගා ප්‍රවාහ දේසයෙහි තිස්කෙළක් ධන නිධානකොට ධන තෘෂ්ණාවෙන් එහිම මුසිකව උපන්නේය. ඔවුන් දෙදෙනා වසන්නාවූ ස්ථානයට වතුරුවන්නේය. ඔහු දෙදෙනා දියවන් මගින් නික්ම ගඟරස පීනාගෙණ ගොස් ඒ රාජකුමාරයන් එල්බගෙණ යන්නාවූ දඬුකඩ සමීපයට පැමිණ දෙන්නාම දෙකෙළවරට නැඟි කඳපිට හොත්තාහුය. තවද එම ගංතෙර එක් දිඹුල්රුකෙක් ඇත. එහි ගිරාපෝතකයෙක් වසන්නේය. ඒ වෘක්ෂයත් දියෙන් මුල්සේදී ගඟ මත්තෙහිය. ගිරාපෝතකයා වැසි වසින්ට පටන්ගත් කල්හි නැඟි පලායානොහී එම දඬුකඩෙහි එක්පසෙක උන්නේය. මෙසේ සතරදෙනා එක්ව ගඟවතුරෙන් යන්නාහුය. එකල්හි අප මහබෝසතානෝ කසීරට ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණ වංශයෙහි ඉපිද වැඩිවිය පැමිණ සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව ඒ ගඟ වක්කලමක පන්සලක් කොටගෙණ වාසය කරන්නාහුය. ඒ මහබෝසතානෝ මධ්‍යම රත්‍රී වේලෙහි සක්මන් කරන්නාහු ඒ රාජ කුමාරයන්ගේ බලවත් වූ බැගෑපත් අඬ අසා මෙසේ සිතූය. මෙබඳූ වූ මෛත්‍රී කරුණාවෙන් යුක්ත වූ තාපසයකු බලා සිටියදී මේ පුරුෂයාගේ මරණය සුදුසු නොවෙයි. දියෙන් ගොඩනගා ඔහුට ජිවිත දානය දෙමි සිතා මහබෝසතානෝ ඕහට නොබවයි කියා අස්වසා ගඟට බැස දියසරස පීනා ගෙණ ගොස් ඒ දඬුකඩ එක් කෙළවරක් අල්වාගෙණ අදිනාහූ නාගබල ඇති ශක්තිසම්පන්න වූ මහබෝසතානෝ එකවේගයෙන්ම ගංතෙරට පැමිණ කුමාරයන් ඔසවා ගෙණ ගොස් ගොඩ සිටුවා ඒ නාගසර්පාදිනුත් ගොඩනංවා පන්සලට ගෙණගොස් ගිනිමොලවා මේ සර්පාදී තිරිසන් හෙයින් දුර්වලවෙද්දී සර්පයන්ටම දී පසුව රාජකුමාරයන්ට ඵලාඵල දුන්නාහුය. එකල රාජකුමාරයෝ මේ කූට තාපසයා මා රජකුමාරයයි නොසිතා තිරිසනුන්ට සත්කාර සම්මාන කොට සම්භාවනා කරන්නේයයි බෝධිසත්වයන් කෙරෙහි ආඝත බැන්දේය. ඉක්බිත්තෙන් කීපදවසක් ගියකල්හි ඇමදෙනම ඇඟබල බදිඝණ වතුරත් බටකල්හි සර්පයා තාපසයන් වැඳ කියන්නේ ස්වාමීනි නුඹ වහන්සේ විසින් මට බොහෝ උපකාරකරණලද, මමවූකලි දිලිදූ වූ එකෙකිමුත් නොවෙමි. අසවල් තැන මාගේ සතළිස් කෙළක් ධන නිධානකොට තිබෙන්නේය. නුඹ වහන්සේට වස්තුවෙන් ප්‍රයෝජනයක් ඇති කල්හි ඒ සියළු ධනය නුඹ වහන්සේට දෙන්ට සමර්ථයෙමි. ඒ ස්ථානයට නුඹ වහන්සේ අවුත් දීර්ඝයයි කියා හඬගාළුව මැනවයි කියා ගියෝය. මියාත් එසේම තාපසයන්ට වස්තු වෙන් පවරා අසවල්තැන සිට මුසිකයයි කියා කැඳවුව මැනවයි කියා ගියේය. ගිරවා වූකලි තාපසයන්ට වැඳ කියන්නේ ස්වාමීනි නුඹ වහන්සේ විසින් බොහෝ උපකාර කරණ ලද්දේය. මට වස්තු නැත. නුඹවහන්සේට රත්ඇල් සාලෙන් ප්‍රයෝජනයක් ඇති කල්හි අසවල් තැන මා වසන්නාවූ තැනට අවුත් සුවපෝතකයයි කියා අඬගාළුව මැනව, එකල මම මගේ නෑයන්ට කියා නොයෙක් සියගණන් ගැල්පුරණ පමණ රත්හැල් ගෙණදෙන්ට සමර්ථයෙමි කියා ගියේය. රාජකුමාරයෝ වනාහී මිත්‍රද්‍රෝහී බැවින් කිසිවක් නොකියාම ඒ බෝධිසත්වයන් තමන් සමීපයට ආකල මරමි සිතාගෙණ ස්වාමීනි මා රාජ්‍යයෙහි පිහිටි කල්හි වැඩියමැනවයි මම නුඹ වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කෙරෙමියි කියා ගියෝය. ඒ රජකුමාරයෝත් නුවරට ගොස් නොබෝ කලකින්ම රාජ්‍යයෙහි පිහිටියේය. බෝධිසත්වයෝ රාජකුමාරාදීන්ගේ සිත් පරීක්ෂාකෙරෙමි සිතා පළමුකොට සර්පයා සමීපයට ගොස් නුදුරුතැනක සිට දීර්ඝයයි කියා බැනවූසේක. දීර්ඝයා එකවචනයෙන්ම නික්ම අවුත් බෝධිසත්වයන්ට වැඳ කිමෙක්ද ස්වාමීනි මෙතන සතළිස් කෙළක් ධන ඇත. ඒ සියළු වස්තු වම මෑත් කරවාගෙණ ගියමැනවයි කිය බෝධිසත්වයෝ එසේවීනම් වන්නාටය මට කාරියක් පැමිණිකල ගන්නෙම්වේදැයි වදාරා සර්පයා රඳවාපියා මියා සමීපයට ගොස් අඬගෑවාහුය. ඒ මුසිකයාත් එපරිද්දෙන්ම පිළිගන්නේය. බෝධි සත්වයෝ ඔවුන් නවතා ගිරා පෝතකයා සමීපයට ගොස් සුවපෝතකයයි බැණ සත්වයෝ වූය. ඒ ගිරවාත් එකවචනයෙන්ම ගස අතුරින් බැස බෝධිසත්වයන් වැඳ ස්වාමීනි කිමෙක්ද මාගේ නෑයන්ට කියා හිමාලයවන ප්‍රදේශයෙන් නුඹ වහන්සේට සයංජාත හැල් හැරගෙන්වම්දැයි විචාළෝය. බෝධිසත්වයෝ ප්‍රයොජනයක් ඇතිකල්හි දන්නෙම්වෙදැයි ඔහුද වලකා දැන් රජ්ජුරුවන් පරීක්ෂා කෙරෙම් ගොස් රාජ්‍යොද්‍යානයෙහි වැස දෙවැනි දවස් ආකල්පිත සමුර්ධි ඇතිව පිඬූසිගන්නාවූ වතින් නුවරට වන්නාහුය. එකෙණෙහි ඒ මිත්‍රදෝහි රජ්ජුරුවන් සරහා පිළියෙළ කරණ ලද ඇත්කඳ මත්තට නැගී මහත්වූ පෙළහරින් නුවර පැදුකුණු කෙරෙමින් ර් රජ්ජුරුවෝ ඇත්කඳ මත්තේ හිඳ බෝධිසත්වයන් දුරදීම දැක මේ කූට තාපසයා මා සමීපයේ වළඳ වළඳා වසනු කැමතිව ආයේය. ඒ කාලකන්නි යම්තාක් පර්ෂිත් මධ්‍යයෙහි හිස කප්පවාපියම්හටි සිතා රාජපුරුෂයන් මුනබැළූයේය. රාජපුරුෂයෝ ස්වාමීනි කුමක් කරමෝදැයි කී කල්හි මේ කූටතාපසයා මාගෙන් කිසිවක් ඉල්ලවනු කැමතිව ආයේය යි සිතමි. ඒ කාළ කන්නි තාපසයා මා දැක්ක නොදී ඔහු ලක්වාගෙණ පිටතට හයා බැඳ සතර මන්සන්නධියක් පාසා මරා මරා නුවරින් පිටත්කොට දන්ගෙඩියෙහිදී ඔහුගේ හිස කපි මිණිය ගෙණගොස් ඇනපියවයි විධාන කළෝය. ඒ රාජපුරුෂයෝ රජ්ජුරුවන් කිබස් යහපතැයි පිළිගෙණ ගොස් නිරපරාධ වූ මහබෝසතානෙන් බැඳගෙණ සතරමන් සන්ධියෙදී මරමින් දන් ගෙඩියට ගෙණයන්ට පටන්ගත්තාහුය. බෝධි සත්වයෝ මැරූ මැරූ තැන්හිදි මෑනියනි නොකියාම නොහඬා නිර්භීතකාරීව මෙසේ කියන්නාහුය. මේ ලෝකයෙහි සමහර නුවණැති සත්වකෙණෙක් දියෙන් යන්නාවූ වියලිදණ්ඩක් දියෙන් ගොඩනගාලීම යහපතැයි උතුමැයි කියන්නාහූ වීනම් ඒ උත්තම ප්‍රඥා පුරුෂයෝ සැබැවක්ම කියති. කවර කාරණයකින්ද ඒ දියෙන් නැගු දඬු කඩ බත් ආදිය පිසීමටත් සිතයෙන් පීඩිත වූ සත්වයන්ට සිත දුරුකරන්නටත් අන්‍ය වූ සර්පාදීන්ගෙන් වන්නාවූ උපද්‍රව දුරු කරන්නටත් උපකාර වන්නේය. එසේවේද මේ පාවී වූ රුෂයා දියෙන් ගොඩනගා ගොඩලා මම්ම මට දුක්පමුණුවා ගත්තෙමි වේදැයි මෙසේ කැසූ කැසූ තැනදී මේ කාරණය කියන්නාවුය. එබස් අසා එතැනට රැස්වූ මනුෂ්‍යයන්ගෙන් යම් කෙණෙක් නුවනැත්තෝවූනම් ඔමු මෙසේ කිවාවුහ.

කිමෙක්ද පින්වත් වූ තාපසයෙනි තොප විසින් අපගේ රජ්ජුරුවන් වහන්සේට කළ කිසි ගුණයෙක් ඇද්දෙයි විචාලෝය. බෝධි සත්වයෝ එපවත් අසා කියන්නාහූ මම මොහු මහ වතුරෙන් යන්නාවූ ගොඩනගා මම්ම මට දුක් කළෙමි. ඒ කාන්තයෙන් පුරාතනයේ නුවණැත්තන් කීවා නොකෙලෙමි. සිතා මෙසේ කියම් කිව්වාහුය. එබස් අසා ක්‍ෂත්‍රීය බ්‍රාහ්මණාදීන් හා නුවර වාසීහූ මේ මිත්‍රද්‍රෝහී වූ රජ්ජුරුවෝ එබඳු ගුණ සම්පන්න වූ තමන්ට ජීවිත ධානය දුන්නාවූ තපස්වීන්ගේ ගුණ පමණකුත් නොදනිති. මොහුන් නිසා අපට වෙන වැඩෙක් නම් කොයින්ද. එසේ හෙයින් මොහු ගණුවයි කිපී වටින් එක්ව කැට මුගුරු අඩයටි ආදී පහරින් ඇත් කඳ මස්තකයෙහිම රජ්ජුරුවන් මරා ජීවිතකක්‍ෂයට පමුණුවා දෙකකුල් අල්වා ඇදගෙණ ගොස් අගල පිට දමා මහා බෝසතාන් අභිෂේක කොට රාජ්‍යයෙහි පිහිටවූහ. ඒ මහා බෝසතානෝ දැහැමෙන් රාජ්‍යය කරන්නාහු එක් දවසක් ෂර්පාදීන් පරික්ෂා කරනු කැමතිව මහ පිරිවරින් සර්පයා වසන තැනට ගොස් දීර්ඝ යයි කියා බැනවූය. එවිට සර්පයා අවුත් වැඳ ස්වාමීනි නුඹ වහන්සේ මේ වස්තුව ගත මැනවයි කීය. රජ්ජුරුවෝ හතලිස් කෙලක් වස්තුව අමාත්‍යයන්ට පාවාදී මීයා සමීපයට ගොස් මූසික යයි කියා බැනවූ සේක.. ඒ මීයාත් එබස් අසා අවුත් තිස් කෙලක් වස්තුව පාවාදුන්නේය. රජ්ජුරුවෝ ඒ වස්තුව අමාත්‍යයන්ට පාවාදී ගිරවා වසන තැනට ගොස් සුව පෝතකයැයි අඬගෑය. ගිරවාත් ඒ අසා අවුත් දෙපය බැඳ කිමෙක්ද ස්වාමීනි රත්හැල් ගෙනෙම්දැයි කීය. රජ්ජුරුවෝ ඇල් සාලෙන් ප්‍රයෝජනයක් ඇති කල්හි ගෙන්වා ගනිමියි වරෝ යම්හයි කියා සැත්තෑ කෙලෙක් වස්තුව හා සමඟ තුන් දෙනාම කැඳවාගෙන නුවරට ගොස් ප්‍රාසාදයෙහි මතු මහල් තලයට නැගී වස්තු සංග්‍රහ කොට තබා සර්පයාට වසනු පිණිස රන් නලයක් කරවා මීයාට වසනු පිණිස ස්ඵඨික මාණික්‍යයමය වූ ගුහාවක් කරවා ගිරවාට වසනු පිණිස රන් මැදිරියක් කරවා සර්පයාට හා ගිරවාට ගොදුරු පිණිස දවසක් පාසා රන් තට්ටමේ මීහා විළඳ ලවා මීයාට ගොදුරු පිණිස සුවඳ ඇල් සහල් රන් තට්ටමේ මී ලවා දී ඔවුන් තුන් දෙනාට සංග්‍රහ කොට දානාදී වූ පින්කම් කළාහුය. මෙසේ සතර දෙනම දිවි පමණින් සමඟි සතුටුව බැස ජීවිතාන්තයෙහි කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියාහුය. ශාස්තෘ වූ බුදු රජානන් වහන්සේ මහණෙනි දේවදත්ත ස්ථිවිරයෝ දැන් මතු මට වද කලෝ නොවෙයි. පෙරත් වදයට උත්සහ කළෝම වේදැයි. මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගලපා මේ සච්චංකිරි ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි දුෂ්ට වූ රජ්ජුරුවෝ නම් දැන් දේවදත්ත ස්ථිවිරයෝය. සර්පයා නම් ශාරීපුත්‍ර ස්ථිවිරයෝය. මීයා නම් මෞද්ගල්‍යාන ස්ථිවිරයෝය. ගිරවා නම් ආනන්ද ස්ථිවිරයෝය. පසුව රාජ්‍යය කල ධාර්මික රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම් ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.