64 මචඡ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් සමයෙක්හි සශ්‍රීක වූ මුඛ පත්මයක් ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් තමන් වහන්සේ විසින් වස්වන වර්ෂාවක් අරඹයා මේ ජාතකය වදාළ සේක.

එසමයෙක්හි කොසොල් රට වැසි නොවැසීමෙන් ගොයම් ආදීය මිය යන්නේය. ඒ ඒ තැන වැව් පොකුණු ආදීය වියලී ගියේය. ජේතවන දොරටුව සමීපයෙහි වු ජේතවන පොකුණෙහිත් පැන් සිඳි ගියේය. කරල් යට වැදහොත්තාවූ මස් කැස්බන් කපුටන් වන් හා උකුස්සන් ආදි වූ පක්ෂිහුල් හා සමාන වූ තුඩින් ඇන මෑත් මෑත් කොට සල්ව සල්වා අනුභව කරන්නාහුය. සර්වඥයන් වහන්සේ මස් කැස්බන්ට පැමිණියා වූ ව්‍යයසනය දැක මහා කරුණාවෙන් මෙහෙයන ලද සිත් ඇතිව අද මා විසින් වැසි වස්සන්නට වටනේයයි පහන් වූ කල්හි සවුරු පිළි දැඟ පිඬු සිඟන වේලාව සලකා මහත් වූ භික්ෂූ සංඝයා වහන්සේ විසින් පිරිවරන ලදුව මහත් වූ බුද්ධ විලාශයෙන් සැවැත් නුවරට පිඬු සිඟා වැඩ වදාළ අන්තයෙහි සැවැත් නුවරින් විහාරයට වඩනා සේක් ජෙතවන පොකුනෙහි පියගැට මත්තෙහි වැඩ හිඳ ආනන්ද මහ තෙරුන් වහන්සේට වදාරණ සේක් ආනන්ද ස්ථීවිරයනි. ජල සාටිකාව ගෙනව. ජේතවන පොකුනෙන් පැන් සනහාමියි වදාලසේක. ස්වාමීනි ජෙතවන පොකුනෙහි පැන් සිඳි ගියේය. කරල් මඩ පමණක්ම තිබුයේ නොවේයි දැන් වූසේක. ආනන්ද ස්ථීවිරයනි සර්වඥයන්ගේ ආනුභාව නම් ඉතාමහත. එසේ හෙයින් තෙපි ජල සාටිකාව ගෙනවයි වදාල සේක. එබස් ඇසු අනද මහ තෙරුන් වහන්සේ යහපත ස්වාමීනි කියා ජල සාටිකාව ගෙනවුත් දුන් සේක. සර්වඥයන් වහන්සේ ජල සාටිකාව එක් කෙළෙවරක් ඇද එක්කෙළෙවරකින් සරීරය වසා ජේතවන පොකුනෙන් ජල ස්නානය කරමියි පියගැට මත්තෙහි වැඩ සිටි සේක.

එකෙනෙහි සක්‍රදේවේන්ද්‍රයාගේ පාන්ඩු කම්බල ශෛලාසනය උණුවිය. ඒ සක්‍රදේවේන්ද්‍රයෝ කිමෙක්දෝහෝයි පරික්ෂා කරන්නාහු ඒ කාරණාව දැන් වැස්ස වලාහක දිව්‍යය පුත්‍රයා කැඳවා දරුව සර්වඥයන් වහන්සේ ජේතවන පොකුනෙන් පැන් සනහමියි මුදුන් පියගැට මත්තේ වැඩ හිඳ සේක. වහා සියළු කොසොල් රට එක මේගය කොට වර්ෂාව වස්වයි විධාන කළෝය.

ඒ වැස්ස වලාහක දිව්‍ය පුත්‍රයා යහපතැයි ගිවිස එක් වලාවක් ඇඳ එක් වලාවක් පෙරව මේග ගීතිකා ගායනා කරමින් නැගෙනහිර සක්වලට අභිමුඛව නික්මුනේය. එකෙනෙහි නැගෙන හිර දිශා භාගයෙහි කලවිටි මඩලක් පමණ එක් මේඝ මණ්ඩලයක් නැගී ක්‍රමයෙන් ශත පඨල සහශ්‍ර පඨල ගර්ජනා කෙරෙමින් විදුලිය ගස්වමින් කිබිසිනි කොට තබන ලද පැන් කලයක් මෙන් වසිමින් සියළු කොසොල් රට මහා වතුරෙන් සලා දිවන්නාක් මෙන් වැටුනේය. වර්ෂා ධාරානි පාතයෙන් වස්නට පටන් ගත් කල්හි මද ඇසිල්ල නික්ම ජේතවන පොකුණ පිරී ගියේය. මුදුන් පියගැට වසා පොකුණේ පැන් පිරී ගියේය. එකෙණෙහිම සර්වඥයන් වහන්සේ ජලස්නානය කොට රත් වූ දෙපට අඳය සිවුරු ඇඳ ඊ මත්තේ පටි ධාතුව බැඳ සුගත මහා චීවරය ඒ කාංශ කොට ගෙණ භික්ෂූ සංඝයා වහන්සේ පිරිවරා ගොස් ගධ කිලි මලුයේ පනවන ලද බුද්ධාසන මස්ථකයෙහි වැඩ හිඳ භික්ෂූ සංඝයා වහන්සේ විසින් වත් දැක්වූ කල්හි නැගී සිට මැනික්මය වූ සඳ කඩ පහණ මත්තෙහි වැඩ හිඳ භික්ෂූ සංඝයා වහන්සේට අවවාද දී යවා සුඝන්ධ ගන්ධ කුටියට වැද දකුණැලයෙන් සිංහ සෛයියාවෙන් සැතපී වදාල සේක. සවස් වෙළෙහි දම් සභා මණ්ඩපයෙහි රැස්ව උන්නාවූ භික්ෂූන් වහන්සේ ඇවැත්නි දසබල දාරී බුදු රජානන් වහන්සේගේ ශාන්ති කරුණා සම්පත්තියත් බලව නොයෙක් සත්වයන් මියන්නට පටන් ගත් කල්හි නොයෙක් විල් පොකෙුණු ආදිය වියලෙන්නට පටන් ගත් කල්හි මහා කැස්බන් මහා දුකට පැමිණෙන්නට පටන් ගත් කල්හි කරුණාව නිසා මහජනයා දුකින් මුඳමින් ජල සාටිකාව හැඳ ජේතවන පොකුණෙහි පියගැට මත්තේ සිට මද ඇසිල්ලකින් සියළු කොසොල් රට මහ වතුරෙන් උන් පවා පියන්නාක් මෙන් වැසි වස්සවා මහජනයා කායික චෛතසික දුක්ඛයෙන් මුදා විහාරයට වන් සේක් වේදැයි කතා කරමින් සිටි කල්හි ගධ කිළියෙන් නික්ම දම්සභ මණ්ඩපයට වැඩ මහණෙනි මා එන්නට පූර්ව භාගෙයිහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා මේ නම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි මහණෙනි සර්වඥයෝ මහජනයා දුකින් පීඩිත වන්නට පටන් ගත් කල්හි දැන් මතු නොවෙයි. පෙරත් තිරිසන් යෝනියෙහි ඉපිද මත්ස්‍ය රාජ කාලයෙහි වැසි වස්සුවෝම වේදැයි ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස මේ කොසොල් රට මෙම සැවැත් නුවර මෙම ජේතවන පොකුණ පිහිටි තැන වැල් කැලයෙන් ගැවසී ගත්තා වූ එකඳූ රැලියක් විය. එසමයෙහි මහා බෝසතානෝ මත්ස්‍ය යෝනියෙහි ඉපිද මත්ස්‍යය සමූහයා විසින් පිරිවරන ලදුව ඒ කඳූ රැලියෙහි වසන්නාහුය. දැන් යම් සේද එපරිද්දෙන්ම එසමයෙහිත් ඒ රට වැසි නොවටුයේය. මනුෂ්‍යන්ගේ ගොයම් මියගියේය. වැව් ආදිය සිඳි ගියේය. මස් කැස්බෝ කලල්යට වන්නහුය. මේ කඳූ රැලියෙහිත් මත්සයෝ කලල් යට වැද ඒ ඒ තැන සැඟවුනාහුය. කපුටු ආදිහූ තුඩින් ඇන මැත් කොට කන්නාහුය. මහ බෝසතානෝ ඥාති සමූහයාට පැමිණියා වූ ඒ ව්‍යසනය දැක මොහුන් ට උපන්නාවූ මේ දුක්ඛය මා හැර අනික් මුදන්නට සමර්ථ එකෙක් නැත. සත්‍ය ක්‍රියා කොට වැසි වස්වා මරණ දුකින් මුදනු පිණිස කලු වූ මඩ දෙබැ කොට පීරා නික්ම අගූරු කැටයක් වැනි වූ මාහා මත්සයානෝ මනා කොට ගාන ලද ලෝහිත අංකයක් හෝ මානික්‍යයන් වූ සමාන වූ ඇස් දෙක දල්වා අකාශය බලා වැස්ස වලාහක දිව්‍යය පුත්‍රයාට අඬගා කියන්නාහු පින්වත් වු වැස්ස වලාහක මම නෑයන් නිසා දුකට පැමිණියෙමි. සිල්වත් වූ මා දුක් විඳිමින් සිටියදී තෝ කවර කාරණයකින් වැසි නොවැස්වන්නෙහිද. මා විසින් ස්වජාති මාන්සය කන්නාවූ මත්ස්‍යයෝනියෙහි ඉපිද සාලටක් සා පමණ වූත් මත්සයෙක් කෑ විරු නැත්තේය. මා විසින් අන් ප්‍රාණියෙකුත් ජිවිතයෙන් තොර කල විරු නැත්තේය. මේ සත්‍යයෙන් වැසි වස්වා මාගේ ඥාති සමූහයා දුකින් මුදයි කියා පරිවාරක කෙල්ලෙකුට විධාන කරන්නාහු මෙන් වස්සවලාහක දිව්‍යය පුත්‍රයාට විධාන කරන්නාවූ මහා බෝසතානෝ මෙසේ කිවුය. පිනවත් වූ වැස්ස වලාහක දිව්‍ය පුත්‍රය තෝ ගර්ජනා කොට විදුලිය ගසා වර්ෂාව වස්සවා කපුටු සමුහයා කලල් යට වැද සිටියා වූ මත්සයන් තුඩින් හැන මෑත් කොට කන්නාවූ දියෙන් සඟවා ඒ කපුටුවන්ගේ මත්‍යය නිධානය නසා පියව. තවද කපුටු සමූහයා මේ කඳු රැලිය දියෙන් පිරි ගිය කල්හි මත්සයන් නොලැබ සෝක කරන්නනේය. ඒ කපුටු සමූහයා තෝ මේ කඳූ රැලිය පුරමින් සෝකාග්නියෙන් දවා පියව. මාත් මාගේ නෑයනුත් සියල්ලඋන්ම මේ මරණ ශෝකයෙන් ගලවා පියා මෙසේ මහා බෝසතානෝ පරිවාරක සේවකයන් හට ආඤ්ඥා කරන්නාක් මෙන් වැස්ස වලාහක දිව්‍යය පුත්‍රයාට විධාන කොට මහවැසි වස්සවා මහජනයා මරණ දුකින් මුදා ජීවිතාන්තයෙහි කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘ බුදුරජානන් වහන්සේ මහනෙණි සර්වඥයන් වහන්සේ දැන් මතු වැසි වැස්සූවෝ නොවෙති. පෙරත් මත්ස්‍යයෝනියෙහි ඉපිදත් වැසි වැස්සවූවෝ වේදැයි වදාරා මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ මත්‍යය ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි මත්ස්‍ය සමූහයා නම් දැන් බුදු පිරිසය. වැස්ස වලාහක දිව්‍ය පුත්‍රයා නම් ආනන්ද ස්ථිවරයෝය. එසමයෙහි මත්ස්‍ය රජ්ජුරුවෝ නම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.