137 කාක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි බන්ධු සංග්‍රහයක් නිසා මේ ජාතකය දක්වන ලද එහි වර්තමාන කථාව දසවැනි නිපාතයෙහි භද්‍රසාල ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයෙක් වීථියේ යමින් සිටියේය. එවේලාවට කවුඩෝ දෙන්නෙක් තොරණයක් පිට උන්නාහ. ඉන් එක් කවුඩෙක් කියන්නේ මේ බමුණාගේ ඉස වර්චස් කරන්ට මට අභිප්‍රායයි කියන්නා එවිට අනික් කවුඩු කියන්නේ මහා සම්පත් ඇති උවමනා බමුණාය. එසේවූ බමුණා හා කැටිව වෛර වීමෙන් කවුඩු රැස එකසීම නසාලන්ටත් සපන. එසේවූ දෙයක් නොකරවයි කීහ. ඊට කවුඩු කියන්නේ බමුණා ඉස වර්චස් නොකොට ඉන්ට බැරිය, කුමක් වේවයි වර්චස් කරමි කී විසින් අනික් කවුඩු තා කළදෑ තොමෝ දකුවයි කියා ඔබ්බකට ගියේය. එවිට බමුණාත් තොරණ කෙළවරට ලන්වන්නාම කවුඩු ඉස වර්චස් කොටපීය. එවිට බමුණුත් කවුඩුත් කෙරේ වෛර බැන්දේය. ඒ අවධියට අනුන්ට බැලමෙහෙකොට ජීවත් වන ගැහැණියක් වී සිඟිත්තක් අව්වේ වනාලුය. පීඩාම්ලොම් ඇති එලුවෙක් ඒ වී කන්ටවන, එවිට ඒ ස්ත්‍රිය විසින් පොල්ලක් ලා මරා ලුහුබඳවපුව තවත් ඇගේ ප්‍රමාදයක් බලා වී කන්ට ආය. දෙවෙනිවත් එසේම ගැසූය. එවිටත් පලා ගියේය. පසුව මැහැලි සිතන්නී තවත් මූ විටින් විටම වී කත්නම් මාගේ බැලමෙහෙය පහරින්ට ගෙණා වි නිමායෙයි සිතා ගිණි පෙණෙල්ලක් අතින් ඇරගෙණ නිදා වැටි වැටී වැදහොත්තීය. එවේලාවට ඒ එලුවා වී කන්ට ආ විසින් ගිණි පෙණෙල්ලෙන් බල පහරක් ගැසුව. සැඩ ඇතිව එලුවා විසින් ඇඟ ගිණිවැදගත. ඒ ගිණි නිවන්ට එලුවා වහා ගොසින් ඇත්හළ තුබූ ඉලුප් ගොඩක වැඩී වැදහොත්තේය. ඒ ඉලුප් ගේත් ගිණිගත්හ. ඇත්හළ දා ඇතුන් පිට වැටී ඇතුන්ගේ පිට බොහෝ වණව ගියේය. ඇත්හළ වෙදවරුන් පිළියම්කොට බැරිහෙයින් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ එපවත් අසා පුරෝහිත බමුණා ගෙන්වා ඇතුන්ට පිළියම් කරන්ට බැරියයි වෙදවරු කීහ. ඊට ආචාරීනි කළමනා කින්දැයි විචාළහ. එපවත් බමුණු අසා කවුඩන්ගේ තෙල් ලදොත් පිළියම් කරන්ට භාරයයි කීහ. එපවත් රජ්ජුරුවෝ අසා කවුඩන් මරවයි කීහ. ඒ නියාවට මෙහෙවර අසා ගත් නුවර වාසී කවුඩන් සිය දහස් ගණන් මරා ගොඩකොටපුවාහ. එසමයෙහි බෝධිසත්වයන්වහන්සේ සමසානයක් සමීපයෙහි සුවාසූදහසක් කවුඩන් පිරිවරා කවුඩන්ට නායක රජව ඉන්නාහ. එපවත් රජ්ජුරුවෝ අසා කවුඩන්ටවූ විපත්තිය කවුඩකු අතින් අසා මාගේ බන්ධූන්ටවූ ආපදාය මාම ගොසින් ගළවතොත් විනා අනික් කෙනෙකුන්ට බැරියයි සිතා දශපාරමිතාව පෙරදැරි කොට සියලු සත්වයන් කෙරේ මෛත්‍රී පතුරුවා මා විසින් මාගේ බන්ධූන් වු කවුඩු සමූහයා ගලවන නිසාය මා යන්නේය, ඒ ගැළවීම සත්‍යය නම් මට කිසි අන්තරාවක් නොවේවයි කියා අධිෂ්ඨාන කොට පවනට බඳුවූ වේගයෙන් අවුත් ඇරලා තිබූ කවුළු දොරින් රජගෙට වැද රජ්ජුරුවන්ගේ සිංහාසනයට වන්හ. එවිට එතන සිටි මිනිසුන්ගෙන් එකෙක් කවුඩා අල්ලන්ට ලඟට ආයේය. එවිට රජ්ජුරුවන්ට කියන්නාහු රජ්ජුරුවෙනි පරීක්ෂා කරවීනා කීවන්ගේ බසට මෙසේ අනත්‍ර්‍ඵයක් කෙරෙද්දැයි කීහ. රජ්ජුරුවන් විසින් නම් පරීක්ෂාකාරීව මිසක් වෛරයෙන් කී කී බස්පස්සේ ගොසින් මෙසේ කෙරෙද්දැයි අවවාද කීහ. එවිට රජ්ජුරුවෝ සතුටුව සතපාක තෙලින් දෙපිය එවමැඩ තමන්ට ඉදිකළ අනනපාන ආදී දෙය බඩ පුරා කවා රන්බිස්සක් පිට ඉඳුවා කවුඩන්ට තෙල් නැත්තේ කුමක්දැයි විචාළහ. එවිට රජගෙය මුළුල්ලේ එකනාදකොට මිණියක නාදයක්සේ මිහිරි කටහඬින් කියන්නාහු දෙවයෙනි කවුඩෝ යටත් පිරිසෙයින් කුඩා කොල්ලකුත් පමණ මනුෂ්‍යයෙකුත් දකිනා කලත් මහ භයචකිත ඇත්තාහ. එසේ හෙයින් උන්ගේ ලෙහි දැන්වත් ගියදවසත් අනාගතයෙහිවත් ඇඟ තෙල් නැත්තේමයයි කියා බමුණා විසින් කවුඩන් නසන නිසා කියයි කියා මිහිරි කටහඬින් කියත් කියත් රජ්ජුරුවන්ගේ ලය මොලොක්ව කියන්නාහු මාගේ රාජ්ජයෙන් තොපට පූජාකෙරෙමි රාජ්ජය පිළිගනුවයි කියන්නා ඉන් මට ප්‍රයෝජන කින්ද මාගේ බන්ධූන් ගැලවෙන්නා පමණයයි කීහ. රජ්ජුරුවෝ සතුටුව සියලු ප්‍රාණීන්ටම අභය දී කවුඩන් මරන්ට එපායයි කියා එතැන් පටන් සාල් අමුණක බත් පිසවා ඊට නිසි මාළු ආදීවූ දෙය ඇතිව දවස්පතා කාවනුවේ බත් ලන්නාහ. බෝධිසත්වයෝ දවස්පතා තමන් මේ නිමවන බත් ලබන්නාහ. මේ නියායෙන් දවස් ඇර කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාරා, එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය, කවුඩන්ට රජව උපන්නෙම්. ලොව්තුරා බුදුවූ මම්මයයි වදාරා කාක ජාතකය නිමවා වදාළසේක